ඇමරිකාව අවුරුදු පහකට කලින් හොයාගත්ත පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා

Last Updated on 1 day by admin

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද – 4 කොටස

පාස්කු ප්‍රහාරයට වසර 6ක් පිරෙන හෙට දිනයට (අප්‍රේල් 21) පෙර, පාස්කු ප්‍රහාරයට ‘වගකිව යුතු සැලකිය යුතු’ කණ්ඩායමක් පිළිබඳව විස්තර හෙළිකරන බවට ජනාධිපතිවරයා මාර්තු 30 වැනිදා දෙයියන්දරදී උදම්අනා තිබුණි. මේ ප්‍රකාශය නිසා ජනතාවත් විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට ගොදුරු වී තුවාල ලැබූවන්, මියගිය අයගේ ඥාතීන්, කතෝලික ජනතාව මෙන්ම පොදු ජනතාවද මහත් උනන්දුවකින් ඒ දවස උදා වන තෙක් බලා සිටියහ. තවමත් බලා සිටිති.

ඊයේ (අප්‍රේල් 19) වන විට ඔහුගේ උදම්ඇනීම, කෙඳිරිල්ලක් තරමට බාල වී තිබේ. විමර්ශන ඉතා හොඳින් සිදු වන බවත්, එහි ඉදිරි පියවරයන් ඉතාම සූක්ෂ්මව සහ ප්‍රවේශම් සහගතව සිදු කළ යුතු බැවින් සමහර තොරතුරු ජනතාවට දැන්ම දැනගැනීමට නොහැකි වන බවත් ඔහු 19 වැනිදා බදුල්ලේදී පැවති ජනරැලියකදී කියා ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය. ‘කට ඇරපු නැති අය කට අරින්න පටන් අරගෙන තිබෙනවා. සාක්ෂි දෙන්න බයේ හිටපු අය සාක්ෂි දෙන්න පටන් අරන් තියෙනවා. සම්බන්ධ නෑ කියපු අය සම්බන්ධතා එළිදරව් වෙමින් තිබෙනවා.’ යැයිද ඔහු කියා තිබේ.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට නැවත රටට විහිළු සපයන්නට වුවමනා වී ඇති බව ඊයේ (19) හිරු රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවේදී පැහැදිලි විය.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ප්‍රධානියකු අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසන බවට ප්‍රවෘත්තියක් ඊයේ (19) රාත්‍රී ඇතැම් මාධ්‍යවල පළ වී තිබුණි.

මේ සියලු විහිළු, කෝළම්, නාඩගම්, රූකඩ නැටුම් මැද ශ්‍රී ලංකාවේ ජනාතවගේ ඇස් අරවන්නට සමත් තොරතුරු ස්වලිපයක් මෙසේ ඉදිරිපත් කරමු.

2021 වසරේ අගෝස්තු මස 10 වැනිදා ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව විසින්, අංක HC (TAB) 2972/21 යටතේ, පාස්කු ප්‍රහාරය අළලා අධිචෝදනා 23,270ක් සම්බන්ධයෙන්, නවුෆර් මව්ලවි, සජිඩ් මව්ලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ (ගෆූර් මාමා), මොහොමඩ් සනාස්ඩීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී.

එයින් මාස 7කුත් සති 4කට පෙර 2020 දෙසැම්බර් 11 වැනිදා, ඇමරිකාවේ මධ්‍යම බුද්ධි සේවය (එෆ්බීඅයි), ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස්හි කැලිෆෝර්නියා දිස්ත්‍රික් අධිකරණයේදී අපරාධ නඩු කටයුත්තක් (Case No: 2:20-mj-06014) ආරම්භ කළේය. ඒ සම්බන්ධ අධිචෝදනා පත්‍රය අධිකරණයේදී විවෘත කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ නඩුකරය ඇරඹීමට මාසයකට පමණ පෙර, 2021 අගෝස්තු 10 වැනිදාය.

අපරාධ පැමිණිල්ල මගින් අධිචෝදනා එල්ල වී ඇති විත්තිකරුවන් තිදෙනා මෙසේය:

1. මොහොමඩ් නවුෆර්, මොහු ‘ශ්‍රී ලංකාවේ අයිසිස් ශාඛාව’ යැයි තමන් විසින් හඳුන්වා ගන්නා ලද අයිසිස් ආධාරකරුවන්ගේ කණ්ඩායමේ දෙවැනි ‘එමීර්’ය. එම කණ්ඩායමේ ප්‍රචාරක කටයුතු මෙහෙයවීමට, කණ්ඩායමට අලුතින් සාමාජිකයින් බඳවා ගැනීමට සහ බහුදින යුද පුහුණු කඳවුරු පැවැත්වීම යන කටයුතුවලට සම්බන්ධ බව ඔහුට එල්ල වන චෝදනාය.

2. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්. මොහුට එරෙහිව, පාස්කු ප්‍රහාරවලදී භාවිතා කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට උදව් කිරීමේ චෝදනාව එල්ල වී තිබේ.

3. අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ්. ගිනි අවිය ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම, ඔත්තුකරුවෙකුට වෙඩි තැබීම, වෙනත් ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා ස්ථානයක් සොයාබැලීම යන චෝදනාවලට ඔහුට එල්ල වී ඇති චෝදනාය.

චෝදනා පත්‍රයට අනුව, කුමන්ත්‍රණයට සම්බන්ධ චූදිත විත්තිකරුවන් තිදෙනා සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය ත්‍රස්තවාදීන් අට දෙනෙකු ඇතුළුව තවත් අය, විවිධ ක්‍රියාමාර්ග හරහා අයිසිස් සංවිධානයට සේවා සහ පිරිස් ඇතුළුව ද්‍රව්‍යමය සහාය ලබා දීමට කුමන්ත්‍රණය කර ඇත. එම ක්‍රියාමාර්ග අතරින් කීපයක් මෙසේය:

(1) අයිසිස් සංවිධානයට හා එහි දෘෂ්ටිවාදයට කැප වූ ශ්‍රී ලංකාවේ අයිසිස් ආධාරකරුවන් කණ්ඩායමක සාමාජිකයින් ලෙස සංවිධාන වීම, එම සංවිධානය නඩත්තු කිරීම, එයට සේවය කිරීම සහ අයිසිස් සංවිධානයේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රචණ්ඩ ප්‍රහාර සැලසුම් කිරීම හා දිරිමත් කිරීම.

(2) පුපුරණ ද්‍රව්‍ය සහ අනුප්‍රතිපාදිත පිපිරුම් උපකරණ සංරචක (IED components) ලබා ගැනීම.

(3) ප්‍රහාරයේදී අවසානයේ භාවිතා කරන ලද පිපුරුම් උපකරණ ඇතුළුව පිපුරුම් උපකරණ නිෂ්පාදනය කිරීම සහ පරීක්ෂා කිරීම.

(4) ශ්‍රී ලංකාවේ අනෙකුත් අයිසිස් සාමාජිකයින් බඳවා ගැනීම.

(5) ප්‍රහාරකයින්ට සහ ඔවුන්ගේ සම-කුමන්ත්‍රණකරුවන්ට ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතය පිළිබඳව උපදෙස් සහ පුහුණුව ලබා දීම සඳහා අයිසිස් විසින් නිර්මාණය කරන ලද පුහුණු මෙවලම් භාවිතා කිරීම.

(6) ආරක්ෂක අංශවලට හොර රහසේ පාස්කු ප්‍රහාර ඇතුළුව අයිසිස් සංවිධානයේ නාමයෙන් ප්‍රහාර සඳහා සූදානම් වීම පිණිස කණ්ඩායම සඳහා ආරක්ෂිත නිවාස මිලදී ගැනීම.

(7) අපරාධ කුමන්ත්‍රණය සැඟවීමට සංකේතාත්මක පණිවිඩ යෙදුම් භාවිතා කිරීමට අයිසිස් නියාමනයන් අනුගමනය කිරීම.

(8) ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම, නිලධාරීන්ගේ ගිනි අවි ලබා ගැනීමට ඉදිරිපත් වීම.

(9) පොලිස් ඔත්තුකරුවෙකුට වෙඩි තැබීම.

මේ නඩුකරය, පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයට ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සහාය දුන් එෆ්බීඅයි ආයතනය විසින් වසර දෙකකට ආසන්න කාලයක් පුරා පවත්වන ලද විමර්ශනයක ප්‍රතිඵලයකි.

ලොස් ඇන්ජලීස් එෆ්බීඅයි ක්ෂේත්‍ර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටි කේ. ජොන්සන් Kristi K. Johnson අධිකරණය අමතා කළ දේශනයේදී මෙසේ පවසා තිබේ.

“විදේශීය භූමියක පහරදීමක් සම්බන්ධයෙන් අද දේශීයව ප්‍රකාශයට පත් කරන ලද චෝදනා, සංචාරක ඇමරිකානු වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට සහ මෙහි (ඇමරිකාවේ) සහ විදේශයන්හි එක්සත් ජනපද අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස වන එෆ්බීඅයි ආයතනයේ කැපවීම පෙන්නුම් කරයි.”

ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ සහකාර නීතිපති ජෝන් සී. ඩෙමර්ස්ගේ John C. Demers දේශනයේ කොටසක් මෙසේයි:

“… මෙම ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විමර්ශනයට සහ නඩු පැවරීමට අපි පූර්ණ සහයෝගය දක්වන අතර මෙම විත්තිකරුවන් ඔවුන්ගේ අපරාධ සඳහා වගකිව යුත්තන් බවට පත් කිරීමේ අපගේ පොදු ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ දිගටම කටයුතු කරන්නෙමු. එසේම, මෙම චෝදනාවලින් පිළිබිඹු වන්නේ එක්සත් ජනපද අධිකරණ පද්ධතිය, විදේශයන්හි සිටින අපගේ පුරවැසියන්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා වන බලගතු මෙවලමක් බවයි. අපි, මෙම දරුණු ප්‍රහාරවල වින්දිතයින් සහ ත්‍රස්තවාදයේ සියලු ඇමරිකානු වින්දිතයින් සඳහා යුක්තිය පසිඳලීම අඛණ්ඩව කරගෙන යන්නෙමු.”

මධ්‍යම කැලිෆෝනියාවේ ප්‍රධාන නීති නිලධාරී නික් හැනා Nick Hanna මෙසේ පැවසීය.

“ලෝකයේ කොතැනක ඇමරිකානුවන් ඉලක්ක කරන ත්‍රස්තවාදීන්ට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදු වන බව සහතික කිරීම සඳහා එක්සත් ජනපදය තීරණාත්මක පියවර ගන්නා බව මෙම නඩුවෙන් පැහැදිලිව පෙන්නුම් කෙරේ. අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන්ට ඇති හැකියාව පිළිබඳව එක්සත් ජනපදය විශ්වාසයෙන් සිටී. විත්තිකරුවන් දඬුවමින් බේරීමට උත්සාහ කළහොත් මෙම අධිකරණ කටයුත්ත මගින් ඔවුන්ට නිසි දඬුවම් දීමට අපි සූදානමින් සිටිමු.”

මේ හැම කතාවකින්ම පැහැදිලි කෙරෙන තීරණාත්මක කරුණු කීපයක් තිබේ. එකක්, වසර දෙකක් පුරාවට සිදු කරන ලද විමර්ශන මගින් එෆ්බීඅයි ආයතනය පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය තොරතුරු සියල්ලම පාහේ අනාවරණය කරගෙන ඇති බවයි. ප්‍රහාරයට වගකිවයුත්තන් කවුරුන්ද යන්න ඔවුන් තහවුරු කරගෙන ඇත. ප්‍රහාරය පිළිබඳව එෆ්බීඅයි නිලධාරීන්ගේ විමර්ශනයේ විස්තර, 2020 දෙසැම්බර් 11 දාතමින්, එෆ්බීඅයි ආයතනයේ විශේෂ ඒජන්ත මෙරිල් ආර්. ගුඩ්වින් Merrille R Goodwin ගේ අත්සනින් මධ්‍යම කැලිෆෝර්නියා අධිකරණයට ඉදිරිපත් කරන ලද පිටු 72කින් යුතු චෝදනා පත්‍රයේ අඩංගුය. ඇමරිකානු බුද්ධි අංශ සිය නිගමනවලට එළඹෙන්නේ, ත්‍රස්තවාදය, අයිසිස් සංවිධානයේ ක්‍රියාකාරකම්, මූලධර්ම, කලාපීය ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ආදිය පිළිබඳව ඇති පුළුල් දැනුම භාවිත කරමිනි.

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ අරමුණ සිය රටවැසියන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නිසි දඬුවම් පැමිණවීමයි. උක්ත දේශන උපුටුනයන් සියල්ලෙන්ම පැහැදිලි වන්නේ එයයි.

පසුගිය වසර 6 පුරාවට, කාදිනල්තුමා, සිරිල් ගාමිණී පියතුමා, වත්මන් ජනාධිපතිවරයා සහ විවිධ දේශපාලකයින්, පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, ෂානි අබේසේකර, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ලේකම්වරයකු වූ මවුලානා, ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ පුද්ගලයින් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද විවිධාකාර ප්‍රකාශ ඇමරිකානු ඔත්තු සේවාවන්ටත්, අධිකරණ දෙපාර්තමේන්තුවටත් රහස් විය නොහැකිය. මවුලානාගේ ප්‍රකාශය ඇතුළත් ‘පාස්කු ප්‍රහාරය’ චිත්‍රපටයේ පැවසුනු කතා පිළිබඳව ඔවුන් දැනුවත් බවට සැක නැත. පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා සෙවීමේ ශ්‍රී ලංකා නාටකය ගැනත් ඔවුන්ට පූර්ණ අවබෝධයක් තිබිය යුතුය.

එහෙත් ඒ කිසිවකින් ඇමරිකානු බුද්ධි අංශ හෝ නීතිපති දෙපාර්තමේන්තුව හෝ සිය තීරණ වෙනස් කර නැත. ශ්‍රී ලංකාවේ ‘මහමොළකාරයා’ සෙවීමේ කතාබහ නිසා තම පරීක්ෂණ ගැන යම් හෝ සැකයක් මතුවී නම්, ඔවුන් මේ වන විටත් අලුතින් පරීක්ෂණ අරඹා තිබිය යුතුය.

තම නම පාස්කු ප්‍රහාරයට ගෑවීමට ගන්නා උත්සාහය හමුවේ, පාස්කු ප්‍රහාරය පිළිබඳව නැවත පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා (ජනාධිපතිව සිටියදී) තමන්, එෆ්බීඅයි සහ සීඅයිඒ සංවිධානවලින් ඉල්ලීමක් කළ බවත්, ඒ පිළිබඳව තම නිලධාරීන් පරීක්ෂණයක් කර ඇති බැවින් නැවත පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි 2022 අප්‍රේල් 7 වැනිදා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් දන්වා එවූ බවත් ගෝඨාභය ‘චැනල් 4’ චිත්‍රපටියට පිළිතුරු වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි. එයින් පැහැදිලි වන්නේද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය පිළිබඳව ඇති විශ්වාසයයි.

ලෑන්ඩ්බර්ග් වැඩි දුරටත් පැහැදිලි කර ඇති පරිදි, ප්‍රහාරයෙන් පසු සතියේ ඇමරිකානු එෆ්බීඅයි නිලධාරීන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය දීම සඳහා යොදවා තිබේ. මේ සහයෝගීතාවට සාක්කි එකතු කිරීම, සාක්කිකරුවන් හා වින්දිතයින් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ ඩිජිටල් උපාංග පරීක්ෂා කිරීම යනාදිය ඇතුළත්ය. ජනාධිපති අනුර දැන් කියන ‘කට ඇරපු නැති අය කට අරින්න පටන් අරගෙන තිබෙනවා. සාක්ෂි දෙන්න බයේ හිටපු අය සාක්ෂි දෙන්න පටන් අරන් තියෙනවා. සම්බන්ධ නෑ කියපු අය සම්බන්ධතා එළිදරව් වෙමින් තිබෙනවා.’ ප්‍රකාශය මෙයින් පුස්සක් බවට පත් වේ. ලංකාවේ නිලධාරීන් හමුවේ ඇත්ත කියන්නට යම් පුද්ගලයකු බිය වී යැයි සිතිය හැකි වුවද, ඇමරිකානු එෆ්බීඅයි නිලධාරීන්ට ඇත්ත කියන්නට ඔවුන් බිය වූවේ යැයි සිතිය නොහැකිය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කෙරෙන විමර්ශනවලට සිදු කෙරෙන ආගමික, දේශපාලන බලපෑම් පිළිබඳව ඇමරිකානු ආරක්ෂක හා නීති අංශවලට අවබෝධයක් තිබෙන බවත් ඒ නිසා ශ්‍රී ලංකාවේ විමර්ශන කටයුතු අසාර්ථක වීමට ඉඩ ඇති බවත් මධ්‍යම කැලිෆෝර්නියාවේ ප්‍රධාන ඇටර්නිවරයා අධිකරණය හමුවේ කළ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. යහපාලනය ඇරඹුණු පසු බුද්ධි අංශ දුර්වල වීම පිළිබඳවද ඇමරිකාවට අවබෝධයක් තිබේ. සහරාන් ඇතුළු පිරිස පිළිබඳව ලබාදුන් බුද්ධි තොරතුරු රවි සෙනෙවිරත්නගේ මේසය මත සතියක් පමණ වේලි වේලී තිබුණු බව ඇමරිකාට රහසක් නොවේ. එවන් දුර්වල බුද්ධි අංශවල කටයුතු පිළිබඳව ඇමරිකානු බුද්ධි අංශවලට හොඳ තක්සේරුවක් ඇති බවට සැක නැත.

“විත්තිකරුවන් (ශ්‍රී ලංකාවේදී) දඬුවමින් බේරීමට උත්සාහ කළහොත් මෙම අධිකරණ කටයුත්ත මගින් ඔවුන්ට නිසි දඬුවම් දීමට අපි සූදානමින් සිටිමු.” යන ඔහුගේ ප්‍රකාශයෙන් ව්‍යංගයෙන් පැහැදිලි කෙරෙන්නේ, ශ්‍රී ලංකා බලධාරීන්ගේ දුර්වලතාය.

ඇමරිකාවට ප්‍රධාන වශයෙන්ම අවශ්‍යව ඇත්තේ තම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර, රාජකාරි කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් සිටි නිලධාරියකුද ඇතුළුව තම රටවැසියන් 5 දෙනෙකු ඝාතනය කළ ත්‍රස්තවාදී ප්‍රහාරයකට සම්බන්ධ පිරිසකට දඬුවම් දීමයි. අයිසිස් ත්‍රස්වාදීන් ඇතුළු ඇමරිකාවට, කතෝලික ආගමට හා පොදුවේ බටහිර ජාතීන්ට එරෙහිව ක්‍රියාත්මක ඉස්ලාම් ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ අවශ්‍යතාවද ඇමරිකාවට තිබේ. බෝම්බ ප්‍රහාරය ක්‍රිස්තියානි බැතිමතුන් හා බටහිර ජාතීන් ඉලක්ක කොට එල්ල කරන ලද්දක් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ නිගමනයයි. දේවස්ථාන හා බටහිර ජාතිකයින් වැඩි වශයෙන් ගැවසෙන හෝටල් ඉලක්ක බවට පත් වූයේ ඒ නිසායැයි ඔවුහු අවධාරණය කරති.

‘කිතුණු පල්ලිවලට ප්‍රහාර එල්ල කරන්නේ, එයින් මසකට පමණ පෙර නවසීලන්තයේ මුස්ලිම් මස්ජිඩයකට කිතුණුවකු එල්ල කළ ප්‍රහාරයේ පලිය ගන්නට බවත්, හෝටලවලට පහරදීමේ අරමුණ බටහිර වැසියන්ගෙන් පළිගැනීමට බවත්’ සහරාන් ප්‍රසිද්ධ කළ වීඩියෝවේදී ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ අරමුණ, 2019 මාර්තු මාසයේ බටහිර ජාතීන් විසින් සිරියාවේ බඝෂ් බලකොටුව අල්ලා ගැනීමට පළිගැනීම යැයි අයියිස් නායක බඝ්ඩාඩි 2019 අප්‍රේල් මස අග භාගයේ පවසා තිබුණි. ඇමරිකානු ජාතිකයින් ඉලක්ක කර ලොව කොතැනක ප්‍රහාරයක් එල්ල වුවත් ඒ සඳහා ත්‍රස්තවාදීන්ට නිසි දඬුවම් පැමිණවීම ඇමරිකානු රාජ්‍ය fදාපර්තමේන්තුවේ ස්ථාවරයයි.

තම රටවැසියකුට ඇමරිකාවේදී වේවා විදේශයකදී වේවා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ විට ඊට වගකිවයුත්තන් සොයා දඬුවම් පැමිණවීම ඇමරිකාවේ ප්‍රතිපත්තිය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි තවත් උදාහරණ තිබේ.

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් විදේශිකයින් 40ක් පමණ මිය ගියහ. එහෙත් විමර්ශන සිදු කර අපරාධයට සම්බන්ධ පුද්ගලයින් අනාවරණය කරගෙන ඔවුන්ට විරුද්ධව අධිකරණය හමුවට ගියේ ඇමරිකාව පමණි.

2016 ජුලි 1 වැනිදා බංගලා දේශයේ හොලේ ආර්ටිසාන් හෝටලයට එල්ල වූ ප්‍රහාරයේදී එක් ඇමරිකානු පුරවැසියකු මිය ගිය අතර ඔහුගේ බිරිය තුවාල ලැබුවාය, ප්‍රහාරයට සම්බන්ධ අය පිළිබඳ තොරතුරු සපයන්නකුට ඇමරිකන් ඩොලර් මිලියන 5ක මුදලක් ප්‍රධානය කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තානාපති ආරක්ෂක සේවාව ඉදිරිපත් විය. මේ ප්‍රධානය අදටත් විවෘත අතර මේ සම්බන්ධ විමර්ශනයද තවමත් ක්‍රියාත්මකය.

මේ ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු ත්‍රස්තවාදීහු ආරක්ෂක හමුදා අතින් ඝාතනය විය. ප්‍රහාරය සැලසුම් කිරීමේ හා ආයුධ සැපයීමේ චෝදනාවට ලක්වූ 7 දෙනෙකුට එරෙහිව බංගලා දේශ අධිකරණයේ පැවති නඩු විභාගයෙන් පසු ඒ සියලු දෙනාටම මරණ දඬුවම හිමි විය. එහෙත් ඇමරිකාව තෘප්තිමත් නැත. ඩොලර් මිලියන 5ක ප්‍රදානයත්, විමර්ශන කටයුතුත් තවමත් විවෘත එබැවිනි.

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව එෆ්බීඅයි ආයතනය පැවැත්වූ විමර්ශනය ගැන ඔවුන් තෘප්තිමත්ය. විමර්ශන අවසන් කොට අධිකරණ කටයුතු ආරම්භ කර ඇත්තේ එබැවිනි. එහි ‘මහමොළකාරයා‘ ගැන තොරතුරු සපයන්නෙකුට ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමක් පිළිබඳ නිවේදනයක් නැත. මේ කාරණය දෙස විමසුම් ඇසින් බලන්නෙකුට සත්‍යය අවබෝධ කරගැනීමට හැකිය.

ඇමරිකාවෙන් ලැබෙන මේ සියලු කරුණු සලකා බැලූ විට, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සොයන්නට දෙයක් නැති බව පැහැදිලි වෙයි. අතට දුන් බේත් වේල කටට දමාගන්නට බැරි වුන ශ්‍රී ලංකාවේ ආරක්ෂක බලධාරීන්ගෙන් ඉගෙන ගන්නට දෙයක් ඇමරිකානු බුද්ධි අංශවලට ඇතැයි සිතීම විහිළුවකි. දකුණු ආසියානු කලාපයේ ත්‍රස්තවාදී කටයුතු පිළිබඳව ඇමරිකානු බුද්ධි අංශ නිරන්තර අවධානයෙන් පසුවෙයි. ඉන්දියානු ඔත්තු සේවා පවා ඇතැම් බුද්ධි තොරතුරු ලබාගන්නේ ඇමරිකානු බුද්ධි අංශවලිනි. තාක්ෂණික සහාය බොහෝවිටම ලැබෙන්නේ ඇමරිකාවෙනි. ඉන්දියානු ඔත්තු සේවා ඇමරිකානු ඔත්තු සේවාවලට තොරතුරු සපයන අවස්ථාද තිබේ. විශේෂයෙන්ම පකිස්ථානය පිළිබඳ තොරතුරු ඇමරිකාවෙන් ඉන්දියාවට ලැබෙන අතර ඊට හිලව් වශයෙන් ඉන්දියාව ඇෆ්ගනිස්ථානය පිළිබඳ බුද්ධි තොරතුරු ඇමරිකානු බුද්ධි සේවාවලට සපයයි. පාස්කු ප්‍රහාරය පිළිබඳවද ඇමරිකානු බුද්ධි අංශ ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීම් කර තිබුණි. ශ්‍රී ලංකාවේ ඇතැමුන්ගෙන් කොතරම් තැළුම්කෑවත්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඇමරිකාවෙන් ලැබෙන සහයෝගය සුළුපටු නොවේ. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි.

‘මහමොළකාරයා’ කතාව කරළියට දමන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීම වැළැක්වීමේ ප්‍රධාන අරමුණ ඇතිවය. ඒ සඳහා කතාවක් ගොතා ගැනීමට කුමන්ත්‍රණකරුවන්ට හැකි විය. ඒ, සහරාන්ට ඉහළින් සිටි පුද්ගලයකුගේ (මහමොළකාරයා) උපදෙස් පිට මේ බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ඒ පුද්ගලයා සුරේෂ් සලේ බවත්, සලේ ඒ සඳහා යොමු කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බවත් කුමන්ත්‍රණයේ සාරාංශයයි. මේ සිද්ධිය යට දෙමළ ඩයස්පෝරාවත් සිටින බවට සැක නැත. ගෝඨාභය, සුරේෂ් සලේ, පිල්ලෙයාන්, මේ සියලු දෙනාම ඩයස්පෝරාවේ ඉලක්කයන්ය. එක ගලෙන් කුරුල්ලන් කීප දෙනෙකු බිම දමාගන්නට හැකි වෙතැයි ඔවුහු බලාපොරොත්තු වූහ. මේ කුමන්ත්‍රණ කතාව, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීමේ චෝදනාවට ලක්ව සිටින රවි සෙනෙවිරත්නටද එල්ලෙන්නට පිදුරු ගහක් විය.

පිල්ලෙයාන් හිරගෙදරදී හඳුනාගත් නවුෆර් මවුලවිව, මවුලානාගේ මාර්ගයෙන් සුරේෂ් සලේට මුණගස්වා (සහරාන් ඇතුළු පිරිසක් සමග) මේ ප්‍රහාරය සැලසුම් කර ඇතැයි කියන කුමන්ත්‍රණය ඇරඹුණේ ඒ ආකාරයෙනි. නමුත්, සුරේෂ් සලේ ඒ කියන කාලය තුළ මැලේසියාවේ රාජකාරියේ නිරතව සිටීම, ඉහත දැක්වූ ලෑන්ඩ්බර්ග්ගේ ප්‍රකාශය ආදී කරුණු කීපයක් නිසා චැනල් 4 චිත්‍රපටය පුස් වෙඩිල්ලක් බවට පත් විය. මේ පිළිබඳව පෙර ලිපියකින් පැහැදිලි කෙරිණි.

මෑතකදී පිල්ලෙයාන් නැවත අත්අඩංගුවට ගැනීමද පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකාරයා’ ගැන දැනගන්නට පුලපුලා බලා සිටින ජනතාව ඇන්දවීමද ඉලක්ක කර සිදු කරන ලද්දකි. පිල්ලෙයාන් අත්අඩංගුවට පත් වූයේ වෙනත් කාරණයක් සම්බන්ධයෙන් බව වාර්තා වුවද, පාස්කු ප්‍රහාරයටද පිල්ලෙයාන්ගේ සම්බන්ධයක් තිබෙන බවට යම් යම් තොරතුරු ඇතැයි පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක ඇමතිවරයාගේ කටින් පැන්නේය. 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිසක් ගැන හෙළිදරව් කරන බව ජනාධිපතිවරයා මාර්තු 30 වැනිදා පැවසීම හා අප්‍රේල් 8 වැනිදා පිල්ලෙයාන් අත්අඩංගුවට පත්වීම නිසා, මහමොළකාරයා 21ට පෙර අනාවරණය කෙරෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වූහ. ‘චැනල් 4 චිත්‍රපටයෙන් මවුලානා පැවසූ කතාව අමූලික මුසාවක් බැවින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවකු පිල්ලෙයාන්ගේ මාර්ගයෙන් අනාවරණය කරගැනීමේ හැකියාවක් නැති බව බොහෝ දෙනා නොදනිති.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සාධාරණය පතා තවදුරටත් මහමොළකාරයා නාගඩම දෙස බලාසිටීම අනුවණකමකි. මේ යන ආකාරයට නම්, ඔවුන්ට සාධාරණයක් බලාපොරොත්තු විය හැක්කේ ඇමරිකානු අධිකරණයෙන් පමණි.

ඇමරිකානු එෆ්බීඅයි නිලධාරීන් සිය විමර්ශනයෙන් අනාවරණය කරගෙන අධිකරණයට වාර්තා කර ඇති තොරතුරුවලට අනුව නම්, පාස්කු ප්‍රහාර මාලාව මෙහෙයවූ නායකයා හෙවත් ‘මහමොළකාරයා’ සහරාන් හෂීම්ය.

(මතු සම්බන්ධයි)

මේ සම්බන්ධ පෙර ලිපි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top