Last Updated on 4 days by admin
සෑම් සෙනෙවිරත්න

අප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමක නම් හෙළිදරව් කරන බවට ජනාධිපති සහෝදරයා මාර්තු 30 වැනිදා රටට දුන් පොරොන්දුව පුස්සක් බවට පත් විය. විමර්ශණයේ ඉදිරි කටයුතු ඉතාම සූක්ෂ්මව හා සැලකිල්ලෙන් කළ යුතු හෙයින් මහජනයාට තොරතුරු ඉදිරිපත් කිරීමට කල් ගත වනු ඇතැයි ඔහු කෙඳිරිගාන්නට විය. 21 වැනිදාට පෙර යුක්තිය ඉටු නොකළොත් පාරට බහින බවට තර්ජනය කළ කාදිනල්තුමා පාරට බැස්සේ නැත.
ජනාධිපතිවරයා රටේ සේනාධිනායකයාය. දැන් බුද්ධි හා ආරක්ෂක අංශවල ප්‍රධානත්වය දරන්නේ ඔහු පත් කළ නිලධාරීන්ය. පාස්කු ප්‍රහාර විමර්ශන අලුතින් සිදු වන්නේ ඔහු පත් කළ නිලධාරීන් යටතේ බැවින් වගකිවයුත්තන් ළඟදීම හෙළිදරවු වනු ඇතැයි කාදිනල්තුමා අනාවැකියක්ද පවසා තිබුණි. එවන් පසුබිමක් යටතේ, අප්‍රේල් 21 වැනිදාට පෙර නම් කීපයක් හෙළිදරව් කරන බව ජනාධිපතිවරයා පැවසීම, සුළුකොට සැලකිය යුතු සිද්ධියක් නොවේ. රටම 21 වැනිදාට පෙර ඔහු හෙළිදරව් කරන නම් මොනවා දැයි දැනගැනීමේ කුතුහලයෙන් පසු විය.
හිටිහැටියේම ජනාධිපති සහෝදරයාගේ මෙන්ම කාදිනල්තුමාගේත් සැර බැස්සේ ඇයි දැයි අනාගතයේදී හෙළිදරවු වනු ඇත.
ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනයේ විමර්ශනවලට අනුව ප්‍රහාරය සැලසුම් කළ මහමොළකාරයා සහරාන් හෂීම් බව අනාවරණය වී ඇතැයි පසුගිය ලිපියේ සඳහන් කෙරිණි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක බලධාරීන් දිගින්දිගටම මහමොළකරුවකු සොයද්දී, ඇමරිකාව සහරාන් මහමොළකාරයා යැයි පිළිගත්තේ ඇයි දැයි විමසා බැලීමෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් අනාවරණය නොවුණු වැදගත් කරුණු කීපයක් මතු කරගත හැකිය.
‘සහරාන් හෂීම් මේ ප්‍රහාර සියල්ල සංවිධාන කළ පුද්ගලයා විය නොහැකි බවත් එය මෙහෙයවූ පුද්ගලයා හෝ කණ්ඩායම සොයාගන්නා තුරු විමර්ශන අසම්පූර්ණ බවත් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ රවි සෙනෙවිරත්න පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණි. ‘මහමොළකාරයා’ සෙවීමේ සෙල්ලම ඇරඹුණේ ඒ අනුවය. ප්‍රහාරය එල්ල වූ අවස්ථාව වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය දැරූ ෂානි අබේසේකරද ඒ අදහස අනුමත කළේ ඊට හේතුවක් එකතු කරමිනි.
‘ත්‍රස්තවාදී සංවිධානයක නායකයා කිසි විටෙක මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට ඉදිරිපත් නොවේ. ඔවුන් හැම විටම පහළ සාමාජිකයන් ප්‍රහාරවලට යොමු කර තම ජීවිත බේරාගනී. එම නිසා සහරාන් හෂීම්ට ඉහළින් නායකයකු සිටිය යුතුය’ යන්න ඔහුගේ අදහස විය.
ප්‍රභාකරන්, බින් ලාඩන් ඇතුළු බොහෝ ත්‍රස්ත නායකයින් සම්බන්ධයෙන් මේ කාරණය සත්‍යයක් නිසා ඒ අදහස පිළිගන්නට පෙළඹෙන්නන් සිටිය හැකිය.
ත්‍රස්වාදී ප්‍රහාර විමර්ශන පිළිබඳ ලොව වැඩිම අත්දැකීම් සහිත රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය තම නිගමනවලට එළඹ ඇත්තේ, වාචික සාක්කි සහ සහරාන් ඇතුළු පිරිස පරිහරණය කළ පරිගණක, ජංගම දුරකථන, සීසීටීවී දර්ශන ඇතුළු සාක්කි රාශියක් පදනම් කරගනිමිනි. ඒ සඳහා ප්‍රධානම වාචික සාක්කියක් සපයා ඇත්තේ, නවුෆර් මවුලවිවරයායි. මවුලවිවරයා එෆ්බීඅයි නිලධාරීන්ට දී ඇති සාක්කිවලට අනුව, ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ සහරාන්ය. සංවිධානයේ ප්‍රධානියාද සහරාන්ය. නවුෆර් මවුලවිවරයා දෙවැනියා හෙවත් දෙවැනි එමීර්ය.
ඉන්දියානු ඔත්තු සේවා හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ ප්‍රහාර සැලසුමට සම්බන්ධ බවට ඉතා සුළු සාක්කියක් වත් එෆ්බීඅයි ආයතනයට ලැබුණේ නම්, සිය රටවැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට ඇමරිකාව කිසි සේත් පසුබට වන්නේ නැත. ඇමරිකාව මහමොළකාරයා කතාව නොතකා හරින්නේ සත්‍ය තත්වය පිළිබඳ අවබෝධයෙනි.
නවුෆර් මවුලවිගේ ප්‍රකාශයට අනුව, සහරාන් සිරියාවේ අයිසිස් මධ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ශ්‍රී ලංකාව තුළ කටයුතු මෙහෙයවා තිබේ. මෙය පිළිගත හැකි කාරණයක් නොවේ. (සහරාන්ට සිරියාවේ අයිසිස් මධ්‍ය සංවිධානය සමග සම්බන්ධතා තිබුණේ නම්, මේ සිද්ධිය නිමා වන්නේ මේ ආකාරයෙන් නොවේ. ඒ පිළිබඳව ඉදිරියේදී විස්තර කෙරේ.) එසේ නම්, මේ තරම් පළපුරුදු එෆ්බීඅයි ආයතනය මවුලවිවරයාගේ ප්‍රකාශය පිළිගත්තේ ඇයි දැයි කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වීම සාධාරණය. එෆ්බීඅයි සංවිධානය නවුෆර් මවුලවිවරයාගේ ප්‍රකාශය පිළිගත් බවක්, එයින් අවධාරණය නොවේ. නවුෆර්ගේ ප්‍රකාශයේ අඩංගු සාවද්‍ය තොරතුරු එෆ්බීඅයි සංවිධානය හොඳන්ම දනී. නමුත් ඔවුන් ඔහුගේ ප්‍රකාශය පිළිගන්නේ හේතුවක් ඇතිවය. පාස්කු ප්‍රහාරය සහ ඒ පිළිබඳ විමර්ශනය අවබෝධ කරගැනීමට නම් ඒ කාරණය තේරුම් ගත යුතුව තිබේ.
අයිසිස් සංවිධානයේ ක්‍රියාකාරකම් ඇරඹී කලකට පසුව, ප්‍රතිප්‍රහාර හමුවේ පසුබසින තත්වයක් උද්ගත වූ පසු දකින්නට ලැබුණු විශේෂ තත්වයන් කිපයක් පිළිබඳව මේ ලිපි පෙළේ මුල් ලිපියෙන් පැහැදිලි කෙරිණි. විවිධ රටවලින් සිරියාවට පැමිණ සිටි සටන්කාමීන් ආපහු සිය රටවල් බලා යෑම සහ අයිසිස් සංවිධානයේ ක්‍රියාකාරකම් හා මූලධර්මය අනුව යමින්, අයිසිස් නාමයෙන් පෙනී සිටිමින් සිය රටවල ප්‍රහාර එල්ල කරන දේශීය කණ්ඩායම් බිහිවීම එහිදී කැපී පෙනුණු ක්‍රියාකාරකම් දෙකකි. සහරාන් ඇතුළු පිරිස අයත් වන්නේ මේ දෙවැනි කණ්ඩායමටය.
ඒ බව සනාථ කෙරෙන පැහැදිලි සාධක තිබේ. අයිසිස් නායක බඝ්ඩාඩි, ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සඳහා වගකීම භාරගත්තේ ප්‍රහාරයෙන් දින දෙකකට පසුවය. මේ පමාවීම ඒ කාලයේ ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අවධානයට ලක්ව තිබුණි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලටද මෙය නිරීක්ෂණය වූ බවට සාක්කි තිබේ. එසේ පමා වී ප්‍රහාරයේ වගකීම භාරගැනීමෙන් අනාවරණය වන්නේ, අයිසිස් සංවිධානය ප්‍රහාරය පිළිබඳව නොදැන සිටි බවයි. එෆ්බීඅයි ආයතනය අවධාරණය කරන්නේද, සහරාන් ඇතුළු පිරිසගේ සංවිධානය ‘ශ්‍රී ලංකාවේ අයිසිස් සංවිධානය’ යනුවෙන් තමන් විසින්ම හඳුන්වා ගන්නා එකක් බවයි.
සහරාන් සිය කටයුතු පිළිබඳව පටිගත කළ වීඩියෝවක්, ශ්‍රී ලාංකික හිතවතුන්ගේ මාර්ගයෙන් සිරියාවේ අයිසිස් මධ්‍ය සංවිධානයට යවා, එහි අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක වූ බව නවුෆර් මවුලවිවරයා පවසා තිබේ. එසේ අනුමැතිය සහ සන්නිවේදනයක් ඇතිව කටයුතු කළේ නම් පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගන්නට අයිසිස් සංවිධානය දින දෙකක් බලා ඉන්නේ නැත.
එසේ නම් සිදුවී ඇත්තේ කුමක්ද? කාදිනල්තුමා, සිරිල් ගාමිණී පියතුමා, රවි සෙනෙවිරත්න, ෂානි අබේසේකර ඇතුළු පාර්ශ්වයන් ගණනාවක් පුනපුනා පවසන අබු හින්ද්ගේ කාර්ය භාරය සම්බන්ධ වන්නේ මෙතැනටය.
අබු හින්ද්, ඉන්දියානු රහස් ඔත්තු සේවාවක් විසින් නිර්මාණය කරන ලද පරිගණක වැඩසටහනක් බව, මහාචාර්ය රොහාන් ගුණරත්නගේ අදහසයි. (එය වෙනත් ඔත්තු සේවාවක කාර්යයක්ද විය හැකිය. මෙවැනි රහසිගත බුද්ධි මෙහෙයුම් පිළිබඳව අනවශ්‍ය ආකාරයෙන් තොරතුරු සමාජගත කිරීම නුසුදුසු හෙයින්, මෙයින් ඉදිරියට මහාචාර්ය ගුණරත්නගේ අදහසේ පිහිටා තොරතුරු ඉදිරිපත් කෙරේ.) සහරාන් සිරියාවට යැවූ වීඩියෝව රහස් ඔත්තු සේවාවකට අසුවී, අබු හින්ද් නමැති අයිසිස් නායකයකු ලෙස හඳුන්වා දුන් රොබෝ වැඩසටහනේ ආධාරයෙන් දුරකතන සංවාද පවත්වා සහරාන්ගේ සියලු ක්‍රියාකාරකම් එක්රැස් කරගත්තේ යැයි අනුමාන කිරීමට පුළුවන. එසේ නැතිනම්, වෙනත් ක්‍රමයකින් සහරාන් ගැන දැනගත් ඉන්දියානු ඔත්තු සේවාව, අබු හින්ද් රොබෝවා මාර්ගයෙන් සහරාන් දුරකතනයෙන් සම්බන්ධ කරගත්තාද විය හැකිය. සහරාන් තමාට සිරියාවේ මධ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇතැයි නවුෆර් මවුලවිවරයාට පවසන්නේ, අබු හින්ද්ගේ උගුලේ හිරවීමෙනි. එෆ්බීඅයි ආයතනය මහමොළකාර අබු හින්ද් සෙවීමට උත්සාහ නොගන්නේ මේ පිළිබඳ දැනුම ඇති නිසාය.
ප්‍රහාරවලින් පසුව අතුරුදහන් වූ පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් හෙවත් ‘සාරා’, එම බුද්ධි සේවාව සහරාන් ඇතුළු ත්‍රස්ත පිරිසගේ තොරතුරු එක්රැස් කළ තවත් මාධ්‍යයක් විය යුතුය. සාරාගේ අතුරුදහන්වීම පිළිබඳව වාර්තා වූ තොරතුරුවල සැකසහිතභාවය එබඳු තීන්දුවකට ඒමට හේතුවකි. පළමුව වාර්තා වූයේ ප්‍රහාරයෙන් පසුව සාරා පොලිස් නිලධාරියෙකුගේ උපකාරයෙන් ඉන්දියාවට පැන ගිය බවයි. ප්‍රහාරවලින් පසුව තමන් සාරා පණපිටින් සිටිනු දුටුවේ යැයි සහරාන්ගේ බිරිය සාක්කි දෙමින් කියා තිබුණි. සාරා සිටි ස්ථානයේ සිරුරු කොටස් පිළිබඳව කරන ලද ඩීඑන්ඒ පරීක්ෂණ දෙකකින්ම ඇගේ සිරුරු කොටස් එහි නොතිබුණු බව තහවුරු විය.
පසු කාලයකදී එනම් 2022 අප්‍රේල් මාසයේදී පැවති ලද තුන් වැනි ඩීඑන්ඒ පරීක්ෂණයක ප්‍රතිඵල අනුව සාරාද මිය ගොස් ඇතැයි වාර්තා විය. මෙය ඉතා සැක කටයුතු වාර්තාවකි. ඩීඑන්ඒ වාර්තා දෙකකින් තහවුරු වූ කාරණයක් පිළිබඳව හිටි හැටියේ තවත් පරීක්ෂණයක් පවත්වා පළමු ප්‍රතිපල දෙකටම වෙනස් ප්‍රතිඵලයක් වාර්තා වීම පිළිගැනීමට අමාරුය. මෙයින් පැහැදිලි වන්නේ, සාරා ජීවතුන් අතර නැති බව සහතික කිරීමට කිසියම් පාර්ශ්වයකට අවශ්‍ය බවයි.
‘සාරා මියගිය බව පැවසීමට අවශ්‍යව ඇත්තේ රෝ සංවිධානයටය. ඒ, රෝ සංවිධානය විසින් මේ ප්‍රහාරය සැලසුම් කළ බව අනාවරණය වීම වැළැක්වීම සඳහාය’ යනුවෙන් මෙහිදී කෙනෙකු තර්ක කළ හැකිය. එහෙත් එය පහසුවෙන් බිඳිය හැකි තර්කයකි.
‘රෝ’ සංවිධානය විසින් පාස්කු ප්‍රහාරය සැලසුම් කරන ලද බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරති. බොහෝ විටම ඒ චෝදනාවෙන් ඉලක්ක කෙරෙන්නේ, ගෝඨාභය බලයට ගෙන ඒම සඳහා රෝ සංවිධානය එවැනි මැදිහත් වීමක් කළ බවයි. (ඉන්දියා මැතිවරණයෙන් මෝදිය සහාය ලබාගැනීමට හා ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අපකීර්තියට පත් කිරීමට ප්‍රහාරය සැලසුම් කළ බවටද චෝදනා තිබේ. ඒ පිළිබඳව පෙර ලිපිවලින්ද කරුණු ඉදිරිපත් කර තිබේන හෙයින් මෙහිදී ඒ ගැන අවධානය යොමු නොකෙරේ.)
වර්තමාන අමාත්‍ය නලින්ද ජයතිස්ස ද ඒ කාලයේ ඉන්දියාවට මේ චෝදනාව එල්ල කළේය. ඔහු ඊට දැක්වූ හේතු මෙසේයි:
‘හදිසි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශවලින් මුලින්ම තොරතුරු ලැබී තිබෙන්නේ 2019 අප්‍රේල් 04 වෙනි දිනය. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද එක් ඉලක්කයක් බව එම බුද්ධි තොරතුරුවල කියැවිණ. ඒ අවස්ථාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වැඩි ආරක්ෂාවක් දෙන මෙන් ඉන්දියාව ඉල්ලීමක් කළේ ද, නොඑසේනම් එවැනි ආරක්ෂාවක් ලබා දුන්නේ දැයි පාර්ලිමේන්තු කමිටුව කළ විමසීමට ආරක්ෂක බලධාරීන්ගේ ප්‍රතිචාරය වූයේ ‘නැත’ යන්නය. 2019 අප්‍රේල් 08 වෙනි දින ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ හදිසි එක් දින සංචාරයක නිරත විය. එදින ඔහු වෙනුවෙන් කිසිදු විශේෂ ආරක්ෂක විධිවිධානයක් යොදා නොතිබිණ.’
විදේශයන්හි පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලවල ආරක්ෂාව සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස සතුව ප්‍රමාණවත් දැනුමක් නැති බව මේ ප්‍රකාශයෙන් පැහැදිලිය. වියානා සම්මුතියට අනුව, තානාපති කාර්යාලවලට ආරක්ෂාව සැපයීම, ඒවා පිහිටි රටේ වගකීමක් බව ඇත්තකි. එහෙත් ඊට වෙනස් අයුරින් කටයුතු සිදු වන අවස්ථාද තිබේ. 2017 අප්‍රේල් මස 5 වැනිදා පා.ම. මීනක්ෂි ලේඛි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් එවක ඉන්දියානු විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ්, ‘ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇති විදේශය තානාපති කාර්යාලවලට, අදාළ රාජ්‍යයේ අනුදැනුම ඇතිව ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අමතර ආරක්ෂාවක් සපයනු ලබන බව ප්‍රකාශ කළාය. නලින් ද ජයතිස්ස ඒ අවබෝධය ඇතිව, ප්‍රශ්නය ඇසුවේ නම් වෙනස් පිළිතුරක් ලැබෙන්නට ඉඩ තිබුණි.
ගෝඨාභය බලයට ගෙන ඒමට පාර කැපීම සඳහා රෝ සංවිධානයේ මැදිහත්වීමෙන් පාස්කු ප්‍රහාරය එල්ල කරන ලදැයි කීමද පදනමක් නැති කතාවකි. මහින්ද රාජපක්ෂ රජය කොටි ත්‍රස්තවාදය පරාජය කළේ ඉන්දියාවේ ආධාරයෙනි. ඒ සඳහා බැසිල් රාජපක්ෂගෙන් විශාල කාර්යභාරයක් ඉටු විණි. ඉන්දියාව සමග කෙරුණු සාකච්ඡා බොහෝමයක් කෙරුණේ ඔහුගේ මැදිහත් වීමෙනි. ඉන්දියාවේ සහයෝගය නොලැබෙන්නට එය සාර්ථක නොවන්නට ඉඩ තිබුණි. එම නිසා බැසිල් රාජපක්ෂට රෝ සංවිධානය සහ වෙනත් ඉන්දියානු බුද්ධි ඒකක සමග සම්බන්ධතා තිබුණේය යන්න පුදුම විය යුතු කතාවක් නොවේ.
ත්‍රස්තවාදයෙන් නිදහස් වූ පසු, රාජපක්ෂ ආණ්ඩුව චීනයට තදින් සම්බන්ධ වූවේය. ඉන්දියාව වඩාත් කෝප වූයේ, මහින්ද, ඉන්දියාවට නොදන්වා, චීන සබ්මැරීන දෙකකට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර ලබා දීම හේතුවෙනි. මහින්ද, චීනයට නැඹුරු වන්නට සාධාරණ හේතුවක් තිබුණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලකාවට එරෙහිව යෝජනා ගෙනා හැම අවස්ථාවකම චීනය, සිය නිෂේධ බලය පාවිච්චි කර ඒවා පරාජය කිරීමට සහයෝගය දුන්නේය. එහෙයින් චීනයේ ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ්’ ව්‍යාපෘතියට එක් වන්නට මෙන්ම සබ්මැරීමවලට ඇතුළු වන්නට ඉඩ දීමටද මහින්දට සිදු විය.
මහින්ද පරාජය කිරීමට ඉන්දියාව කටයුතු කළේ චීනයට තදින් ළංවීම නිසාය. රෝ සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානියා රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා සමග සාකච්ඡා කර පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවට එකල චෝදනා එල්ල විණි. මෛත්‍රීපාල සිරිසේනගේ, ‘මෝදි ඇඳුම’ මේ වැඩපිළිවෙළේ සංකේතයකි.
ගෝඨාභය බලයට ඒම යනු පෙරළා ශ්‍රී ලංකාව තුළ චීන ක්‍රියාකාරකම් තීව්‍ර වීම බව ඉන්දියාව දනී. එසේම ගෝඨාභය යනු පහසුවෙන් නම්මවාගත නොහැකි දැඩි තීන්දු ගන්නා පුද්ගලයකු බවද පෙනෙන්නට තිබුණි. කොටි යුද්ධයේ අවසන් අවස්ථාවේ උතුරට යන්නට අවස්ථාව ඉල්ලූ බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ඒ සඳහා අවසර නොදීමට තරම් ගෝඨාභය නිර්භය වූයේය. අනුර දිසානායකගේ මෙන් කරට අත දමා, ‘මේ මගේ කොල්ලා යැ’යි ගෝඨාභයට කියන්නට නොහැකි බව මෝදි දැන සිටියේය. ඒ නිසා, ගෝඨාභය බලයට ගෙන ඒමට මෝදි යටතේ ඇති බුද්ධි සේවාවක් කටයුතු කරතැයි කිසි සේත්ම බලාපොරොත්තු නොවිය යුතුය.
ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් අන්තවාදීන් ත්‍රස්තවාදී කටයුතුවල යෙදීම පිළිබඳව රෝ සංවිධානයේ අවධානය යොමු වන්නේ, කාලයකට පෙර සිටය. රෝ සංවිධානය, 2010 වසරේ ශ්‍රී ලංකාවේ සිදු කළ මෙහෙයුම්වලින්, මුම්බායි ප්‍රහාරය මෙහෙයවූ පකිස්ථානයේ හුජි :්‍යමන්‍ෂ* සංවිධානයේ සටන්කාමියකු වූ ෂෙයික් අබ්දුල් ඛවාජා අත්අඩංගුවට ගෙන ඉන්දියාවට රැගෙන යෑමට සමත් විය.
එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ අයිසිස් නාමයෙන් ප්‍රහාර එල්ල වීම කලාපීය අයිසිස් ත්‍රස්තවාදයේ නැගීමට හේතුවකි. එයින් ලොකුම හානිය සිදුවන්නේ ඉන්දියාවටය. එය ඉන්දියානු බුද්ධි අංශවල කීර්තියටද හානියකි. ඒ නිසාද ඉන්දියාව මෙවැනි ප්‍රහාරයකට කිසි සේත්ම ඉදිරිපත් නොවේ.
පාස්කු ප්‍රහාරයට ඉන්දියානු ඔත්තු සේවාවල යම් සම්බන්ධයක් තිබේ. එහෙත් එය ඇතැමුන් චෝදනා කරන පරිදි, ඉන්දියන් ඔත්තු සේවා විසින් සිතාමතා සැලසුම් කළ එකක් නොවේ. අබු හින්ද් රොබෝවා හා සාරා මාර්ගයෙන් තොරතුරු එකතු කරන අතරතුර, සහරාන් හෂීම්ට ප්‍රහාර සංවිධාන කරමින් ඉදිරියට යන්නට, ඉන්දියානු ඔත්තු සේවා (අබු හින්ද් මාර්ගයෙන්) අනුබල දුන් බව උපකල්පනය කළ හැකිය. මෙය සහරාන් ඇතුළු සියලු සගයින් එකවර අත්අඩංගුවට ගන්නට ඇටවූ උගුලකි. අයිසිස් නාමයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සහරාන්ගේ ත්‍රස්ත කල්ලිය මුලිනුපුටා දැමීමට යෙදූ උපායකි. එම සැලසුම වැරදුණේ, රවි සෙනෙවිරත්නගේ දුර්වලතාව නිසාය. රවි සෙනෙවිරත්න ‘මහමොළකාරයකු’ ගැන කියන්නේ තමාගේ ගැලවිජ්ජාව වෙනුවෙනි. විලිලැජ්ජාව වසා ගැනීමටය. මහමොළකාරයා අල්ලාගන්නා තුරු විමර්ශන අසම්පූර්ණ යැයි ඔහු කියන්නේ ඒ නිසාය.
සාරා ඉන්දියාවට පැන යෑමට හේතුව සහ ඇය මියගිය බව ලෝකයට ඇඟවීමට හේතුව පැහැදිලිය. සාරා ඉන්දියාවට පැන ගියේ ඇය හා ඉන්දියන් ඔත්තු සේවා ප්‍රහාරය සැලසුම් කිරීමට සම්බන්ධ නිසා එයින් බේරීමට යැයි නැගෙන චෝදනාව අසත්‍යයකි. ඇය ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටියේ නම්, අත්අඩංගුවට පත්වීමට හා අධිකරණයට මුහුණ දීමට සිදු වේ. ඇතැම් විට ඇයට ඉදිරි ජීවිතයම ගතකරන්නට සිදු වන්නේ බන්ධනාගාරයේය. එහිදී ඇය බේරා ගැනීමට මැදිහත් වීමේ හැකියාවක් ඉන්දියාවට නැත. අනෙක් අතින් ඇය, ඇගේ සැමියාගේ (කටුවාපිටිය පල්ලියට ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියා වූ මොහොමඩ් හස්තුන්) පවුලේ ඥාතීන්ගේ චෝදනාවලට මෙන්ම ඇතැම් විට අන්තවාදීන්ගේ ප්‍රහාරවලටද ගොදුරුවීමේ අවදානම තිබේ.
ඉන්දියානු බුද්ධි සේවා, ශ්‍රී ලංකාවේ බුද්ධි සේවාවලට රහසින් මේ සියල්ල සිදු කිරීම පිළිබඳවද අවධානය යොමු කළ යුතුව තිබේ. ඔවුන් සියලු තොරතුරු රැස්කර අවසානයේ තොරතුරු සියල්ල ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශය වෙත තොරතුර ලබාදුන්නේ ඇයි? යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ දුර්වල වූ බව ඔවුන්ට රහසක් නොවිණි. ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතරද පසුව එදිරිවාදිකම් ඇති විය. ආරක්ෂක මණ්ඩලය දිගු කලක් රැස්වූයේ නැත. එවන් අංගබජල් ආරක්ෂක සම්බන්ධීකරණයක් හා දුර්වල බුද්ධි අංශයක් සමග මෙවැනි අතිශය සංකීර්ණ මෙහෙයුමක් දියත් කිරීමේ අවදානම, ඉන්දීය බුද්ධි අංශ දනී. සියලු තොරතුරු සපයා දී තිබියදීත් ප්‍රහාරකයන් අත්අඩංගුවට ගන්නට අසමත්වීමම, ශ්‍රී ලංකාවේ බුද්ධි හා අදාළ ආරක්ෂක අංශවල එකල පැවති දුර්වලකමට උදාහරණයි. ‘අපිට තොරතුරු ලැබුණා. ඒත් මෙච්චර දෙයක් වෙයි කියල අපි හිතුවෙ නෑ.’ එවක ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප්‍රනාන්දු විදේශීය මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
එෆ්බීඅයි ආයතනය මේ රහස් සියල්ල දනී. එෆ්බීඅයි, සීඅයිඒ වැනි ඇමරිකානු බුද්ධි සේවා සහ ඉන්දියානු බුද්ධි අංශ අතර කලාපීය කටයුතු සම්බන්ධයෙන් අන්‍යොන්‍ය සන්නිවේදනයක් හා අවබෝධයක් තිබේ. අබු හින්ද් කවුරුන්ද යන්න ඔවුන්ට රහසක් නොවේ. ඔවුන්, නැති මහමොළකරුවකු සොයමින් කාලය අපතේ නොයවා, අධිකරණ කටයුතු ඇරඹුවේ එබැවිනි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ බලධාරීන් අතින් මේ අධිකරණ කටයුත්ත නිසි ආකාරයෙන් සිදු නොවුන හොත්, ඇමරිකාවේ පවරා ඇති අධිකරණ කටයුත්ත මගින් චූදිතයන්ට දඬුවම් දීමට ඔවුන් සූදානමින් සිටී.
එසේය, සහරාන්ට ඉහළින් නායකයෙක් සිටියේය. බොහෝ දෙනා ඔහුව හඳුනන නමුදු කිසිවෙකුට ඔහු ගැන සිහියට නොආවේ අයිසිස් මූලධර්මය ගැන අවබෝධය නැතිකම නිසාය. සහරාන්ගේ නායකයා අබුබකර් අල් බඝ්ඩාඩිය. කිලාෆා හෙවත් ඉස්ලාම් රාජ්‍යයේ මූලධර්මය එයයි. කිලාෆාවක් ප්‍රකාශ කොට කලීෆා කෙනෙකු ඉදිරිපත් වූ විට, අන්තවාදී පිරිස් වියරු වැටෙයි. ඔවුන්ගේ මූලධර්මයට අනුව කලීෆා හෙවත් කිලාෆාවේ පාලකයා යනු මොහොමඩ්තුමාගේ අනුප්‍රාප්තිකයාය. ඔවුන්ගේ දේශපාලන හා ආධ්‍යාත්මික නායකයාය. එය සුළුපටු තනතුරක් නොවේ. මොහොමඩ්තුමාට පමණක් දෙවැනි වන තනතුරකි. මොහොමඩ්තුමාගේ අනුප්‍රාප්තිකයකු සිටින විට වෙනත් නායකයින් නැත. සියලු දෙනාම ඔහුගේ අනුගාමිකයෝ වෙති.
ශ්‍රී ලංකාවේ අයිසිස් නමින් පෙනී සිටි සහරාන් ඇතුළු පිරිසගේ ශ්‍රී ලංකාවේ නායකයා නවුෆර් මවුලවිවරයා වශයෙන් සැලකිය හැකිය. ඒ ඔහු ආගමික නායකයා බැවිනි. සංවිධානය ඉදිරියට ගෙන යෑමේ වගකීම ඇත්තේ ඔහුටය. සහරාන් ඇතුළු මරාගෙන මැරෙන පිරිස, ‘අල්ලා’ සතුටු කර පාරාදීසයට යෑම පිණිස ප්‍රාණපරිත්‍යාගයට ඉදිරිපත් වූවන්ය. එහිදී නායකත්වය යන සංකල්පය ගැන සැලකිල්ලක් නොදැක්වේ. ඔවුන්ගේ මානසිකත්වය වටහා ගැනීමට පෙර ලිපියකින් පැහැදිලි කළ අල් ක්වස්වාරා වැන්නවුන්ගේ චරිත අධ්‍යයනය කළ යුතුය. එෆ්බීඅයි ආයතනයට මේ අවබෝධය තිබේ. දැන් නවුෆර් මවුලවි කොටුවී හමාරය. ඒ නිසා, ඔහු පළවෙනි එමීර්ද දෙවැනි එමීර්ද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක බලධාරීන් ‘මහමොළකාරයකු’ සොයමින් තෙපරබාති. ඇමරිකානු හා ඉන්දියානු ඔත්තු සේවා, මේ වන විටත්, නවුෆර් මවුලවිවරයාගේ පාරේ යන තවත් අය සිටී දැයි විමරමින් සිටින බව සහතිකය.
අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති සහෝදරයාට, කාදිනල්තුමාට හා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවකු සොයන සියලු දෙනාට පොඩි කාරණයක් සිහිපත් කළ යුතුව තිබේ. මේ නඩුව කුමන දිශාවකට ගමන් කරන්නේ දැයි බලා සිටින තවත් පාර්ශ්වයක් සිටී. ඒ ඇමරිකාවයි. තම රටවැසියන්ට ප්‍රහාරයක් එල්ල කර ඝාතනයට ලක් කළ ත්‍රස්තවාදීන්ගෙන් ඉතිරිව සිටින පිරිසට දඬුවම් කිරීමට ඇමරිකාවට අවශ්‍යය. එය ඔවුන්ගේ ලෝක ත්‍රස්තවාදයට එරෙහි සටනේද කොටසකි. තව කොතෙක් කලක් ඇමරිකාව ශ්‍රී ලංකාවේ මහමොළකාරයා නාඩගම දෙස බලා සිටිනු ඇත්දැයි සැක සහිතය. 21 වැනිදා වගකිවයුත්තන් කීප දෙනෙකුගේ නම් හෙළිදරව් කරන බවට උදම් ඇනූ ජනාධිපතිවරයා කෙඳිරිගාන්නට පටන් ගත්තේත්, කාදිනල්තුමා පාරට නොබැස්සේත්, ඇතැම් විට ඇමරිකාව පැත්තෙන් ආ උපදේශයක් අනුවද විය හැකිය. ජනාධිපතිවරයා ඉතා සැලකිල්ලෙන් තීන්දු නොගතහොත් එය රටට ඉතා අහිතකර ප්‍රතිඵල අත්කර දෙනු ඇති බවට අනතුරු අඟවමු.
නිමි