සිංහල – යුදෙව් ඓතිහාසික සම්බන්ධතා

Last Updated on 6 days by admin

ඉන්දියාව සහ පකිස්ථානය අතර යුද්ධය නැවතුන නමුදු, ඔවුන් අතර පවතින ආගමික ගැටුම නිමා නොවන්නකි. මධ්‍යතන යුගයේ තුර්කියේ සිට පැමිණි ඉස්ලාම් හමුදාවට දඹදිව රාජධානි හසු විය. ආක්‍රමණිකයෝ, කුෂානයන් ගොඩනැගූ ගාන්ධාරය අගනුවර කරගත් සුවිශාල බෞද්ධ රාජ්‍යය වැනසූහ. මෙම ඵෙතිහාසික රාජධානිය මුල්කර ඉංග්‍රීසීන් හැදූ රට පකිස්ථානය නම් වේ. මේ නමට අර්ථ දක්වන ඇතැම් ඉස්ලාම් භාෂාවේදියෝ ‘පිරිසිදු (ඉස්ලාම්) වාසස්ථානය’ යන අර්ථය ඉදිරිපත් කරති. ඉන්දු පකිස්ථාන ගැටුමේදී තුර්කිය පකිස්ථානයට පක්ෂව කටයුතු කළේය. එය දන්නා හින්දු ඉන්දියානුවෝ, තුර්කියෙන් ඉන්දියාවට ආනයනය කරන පළතුරු වර්ජනය කරමින් තුර්කියෙන් පළතුරු ආනයනය කිරීම නවත්වන්නැයි ආණ්ඩුවට බල කරති.

දැන් ඊශ්‍රායලය හා ඉරානය අතර යුද්ධයක් සිදු වේ. ‘හූති, ‘හිස්බොල්ලා’, වැනි ඇතැම් ඉස්ලාමික ත්‍රස්තවාදී කණ්ඩායම්, ඍජුවම ඉරානයට පක්ෂපාතිත්වය පෙන්වති. අරාබි රටවලින් වැඩි පිරිසක් නිහඬව සිටින්නේ ඉරානය සුන්නි මුස්ලිම් රටක් නොවන බැවිනි. සංචාරක කර්මාන්තය රටේ අනාගත ප්‍රධාන ආදායම් මග සේ සලකා සැලසුම් සකසන අරාබි රටවලට යුද්ධ කිරීම අසීරුය. ක්‍රිස්තියානි රටවල් සහ කිතු බැතිමතුන් වැඩි පිරිසක් ඊශ්‍රායලයේ ජය පතති. ඔවුන්ගේ ජය පණිවිඩ මැටාහි දක්නා ලැබේ. කිතුනුවන් මේ අයුරින් හැසිරෙන්නට ප්‍රධාන හේතුව යුදෙව් මැවුම්කරු (ගොඩ්) ඔවුන්ගේද මැවුම්කරු වීමයි.

සිංහලයන්ටත් ආගමික බැඳීමක් පවතී. ඇතැමුන් අතීතයේත් වර්තමානයේත් ලෝකයේ විවිධ ස්ථානයන්හි, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, යුදෙව් ආගමික ගැටුම් සිදුනොවන්නා සේ සිංහල බෞද්ධයන්ගේ ආගමික බැඳීමට දොස් කියති. ඔවුන් දකින්නේ සිංහලයන්ගේ ජාතිකත්වය වර්තමාන ලෝකයට නොගැලපෙන ජාතිවාදයක් ලෙසයි. එළාර නමැති විදේශීය ආක්‍රමණිකයා අල්ලා ගත් රට නිදහස් කරගැනීමට ඉදිරිපත් වූ ගැමුණු කුමාරයා, ‘මාගේ ව්‍යායාමය බුදුසසුන රැකගැනීමයි’ යනුවෙන් කළ ප්‍රකාශය ඔවුන්ගේ විවේචනයට ලක් වේ. ඇතැමුන්ට මහාවංශය නුරුස්සන්නේ එහි ගැමුණු කුමාරයා ජයගත් යුද්ධය ගැන විස්තරය ලියැවී ඇති හේතුවෙනි.

ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් දෙකම යුදෙව්වන්ගේ බයිබලය (පරණ බයිබලය, පරණ ගිවිසුම හෙවත් පරණ තෙස්තමේන්තුව) මුල්කරගෙන හැදුන ආගම්ය. ඉස්ලාමය බිහි වූයේ ක්‍රිස්තියානි ආගමට වසර 500කට පමණ පසුවය. ඉස්ලාමිකයෝ උපතේ සිටම ක්‍රිස්තියානීන් සමග වෛරයෙන් කටයුතු කරති. අතීතයේ ලංකාවේ යුදෙව් ජනපද පැවතුනි. සිංහල රජවරුන්ට පෘතුගීසින්ගේ බලය මර්දනයට ඉස්ලාමිකයන්ගේ සහාය ගන්නට සිදු විය. ඔවුන් ලංකාවේ නැගෙනහිර පළාතේ බලය පිහිටුවා ගැනීම ඉතා මෑත කාලීන සිද්ධියකි. මෙම ප්‍රදේශය ලෝක ඉස්ලාම් ත්‍රස්තවාදයේ කඳවුරක් යැයි සමහරු සිතති. වරක් ඇමරිකාව නැගෙනහිර පළාතේ ආරුගම්බේ ප්‍රදේශය සංචාරක තහනම් කලාපයක් කළේ බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමිනි.

‘ද්වීතීය සම්ම්ත ග්‍රන්ථ’ බයිබලයේ පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම අතර විශේෂ කොටසකි. ‘ද්විතීය සම්මත ග්‍රන්ථවලින් කෙලින්ම උපුටා ගත් කොටස් නව ගිවිසුමේ සඳහන්ව නැති නමුත් නව ගිවිසුම කෙරෙහි ඒවායේ ආභාෂය හා බලපෑම බොහෝ දුරට පැහැදිලිව දක්නට ලැබේ’ යැයි ශුද්ධ වූ බයිබලයේ පෙරවදනෙහි සඳහන් වේ. නව (අලුත්) ගිවිසුම යනු ක්‍රිස්තියානි බයිබලයයි.

ශුද්ධ වූ බයිබලය යනු ග්‍රීක බසින් ලියවී තිබුණු බයිබලයට යෙදෙන නමකි. ඊජිප්තුවේ සිටි ටොලමි පිලඩෙල්පස් (ග්‍රීක පාරාවෝ) යුදෙව් බයිබලය ග්‍රීක් භාෂාවට පරිවර්තනය කිරීම සඳහා ඊශ්‍රායලයේ විසූ ගෝත්‍ර 12 න් වියතුන් 72 කු රෝම අධිරාජයාගේ අගනුවර වූ ඇලෙක්සැන්ද්‍රියාවේ පිහිටි ජාතික පුස්තකාලය වෙත යැවු බව පොදු පිළිගැනීමයි. ඒ අනුව යුදෙව් බයිබලය ග්‍රීක භාෂාවට පරිවර්තනය වීම ග්‍රීක බලය ලෝකයේ පැතිර පැවති කාලයේ සිදුවීමකි. ග්‍රීක බයිබලය මිස ඊට මුල් වූයේ යැයි කියන ‘හෙබ්‍රෙව් බයිබලය‘ අප දන්නේ නාමමාත්‍රිකව පමණි.

පාර්සි අධිරාජ්‍යය තුළ, විදේශ පොත් පාර්සි බසට පෙරළීම සිදු වී ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ සංස්කෘත, පාලි, පර්සියන්, චීන, ටිබෙට් ආදී භාෂාවලින් ලියවුන පොත් විශාල ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කෙරිණි. ලන්ඩනයේ, පාලි ග්‍රන්ථ පරිවර්තන සමාගමක් ඇරඹී, මහාවංශය ඉංග්‍රීසියට පෙරළුණි. මිහිඳු හිමියන් පිළියෙල කළ ‘හෙලටුවා’ පාලියට පරිවර්තනය කිරීම මේ සියල්ලටම පෙර සිදු වූවකි.

අතීතයේ විසූ ග්‍රීකයන්ට මහා ශිෂ්ටාචාරයක් බිහි කිරීමට හැකි විය. ඇලෙක්සැන්දර් මැසිඩෝනියාවේ සිට රටවල් යටත් කරමින් ඉන්දු නිම්නය ආසන්නයට පැමිණීම මැසිඩෝනියානු ග්‍රීක බලය දකුණු ආසියාවේ පැතිරයාමේ විශේෂ අවස්ථාවකි. මෙම සිද්ධියෙන් පසුව ග්‍රීක සංස්කෘතිය ඔවුන්ට යටත් වූ ප්‍රදේශවල පැතිර ගිය හැටි පැහැදිලි කිරීමට ජොහැන් ගුස්තාව් ඩ්‍රොයිසන් නමැති ජර්මන් ජාතික මහාචාර්යවරයා ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙකක් ඉදිරිපත් කළේය. එහිදී ඔහු ‘හෙලනික’ සහ ‘හෙලනිස්ටික්’ යන වචනවල තේරුම් ඉදිරිපත් කරමින් ග්‍රීකයන් හෙලනික නමින් හැඳින්වූ බවත් හෙලනිස්ටික් සංස්කෘතිය යනු ග්‍රීකයන්ට අනුගත වූ ජාතීන්ගේ මිශ්‍ර සංස්කෘතිය බවත් පෙන්වයි. මේ මිශ්‍රවීම මිසරයේ සිට පර්සියාව ඔස්සේ ඉන්දු නිම්නය දක්වා මහා භූමි කලාපයක් තුළ සිදු වූවකි. එවන් ඇතැම් ජන කණ්ඩායම් අලුත් වාර්ගික නාම භාවිත කර තිබේ.

යුදෙව්වන් ග්‍රීක හෙලිනිස්ටික් සංස්කෘතියේ ප්‍රධාන ජන කොටසයි. මේ ගැන වැඩි තොරතුරු සොයන්නෙකුට පැහැදිලි වන්නේ ඇලෙක්සැන්දර්ගේ හමුදාව යුදෙව්වන්ගේ දැනුම හා බලපෑම නිසා ඉන්දු නිම්න ප්‍රදේශයට පැමිණි බවයි. ඉන්දු නිම්න ප්‍රදේශවල සිට මිසරය දක්වා මහා භූමි කලාපයක ග්‍රීකයන් හා සම්බන්ධකම් පැවැත්වූ යුදෙව්වන්ගේ ජනපද තිබුණි. මෞර්ය රාජ වංශයේ නිර්මාතෘ චන්ද්‍රගුප්ත, ඔහුගේ පුරෝහිත බ්‍රාහ්මණ ‘කෞටිල්‍ය’ සහ ඇලෙක්සැන්දර් තක්ෂිලා විශ්වවිද්‍යාලයේදී සාකච්ඡා පවත්වා තිබේ. එයත් ඉස්ලාම් ආක්‍රමණිකයන්ට හසුවී පිළිස්සුන සරසවියකි.

චන්ද්‍රගුප්තයන්ගේ මුනුබුරු අශෝක් මෞර්ය යුවරාජයා වශයෙන් සිටි අවන්ති දේශය, යුදෙව්වන් බහුලව විසූ මෞර්්‍යයන්ට අයත් රාජධානියකි. මේ ප්‍රදේශයෙන් යේසුස් වහන්සේ කතා කළ යුදෙව් ඇරමයික් භාෂාවෙන් ලියවුන සෙල්ලිපියක් හමු වී ඇත. අශෝක යුවරාජයා බෞද්ධයෙකු වීමට ප්‍රධාන හේතුව විදිසා දේවිය හා සම්බන්ධ වීම විය යුතුයි. සාංචිය, විදිසා දෙවියගේ පවුල විසින් ගොඩනගන ලද විහාරයකි. මිලින්ද ප්‍රශ්නයේ සඳහන් වන මිනැන්ඩර් බෞද්ධයෙකු වූ හෙලනික ග්‍රීක රජෙකි. යේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්ය යන ප්‍රවෘත්තිය අසන ඇතැමුන් කිපෙන නමුදු බීබීසිය මේ සමීප පෙදෙසක (ශ්‍රීනගර්හි) පිහිටි යේසුස් වහන්සේගේ යයි සැලකෙන සොහොන ගැන විස්තර කෙරෙන චිත්‍රපටියක් නිපදවා තිබේ.

විදිසා දේවියගේ පියා වෙළෙඳ නායකයෙකු (සෙට්ඨියෙකු) බව පාලි වංශකතාවේ සඳහන් වේ. යුදෙව් වර්ගයා කලාපය පුරා පැතිර ගොස් ඇත්තේ වෙළෙඳාම සමගිනි. ජාතක කතාවල සඳහන් ගැල්සාත්තු නායකයින් යුදෙව්වන් වශයෙන් පිළිගැනීමට පුළුවන. ඉස්ලාම් ආක්‍රමණ නිසා යුදෙව්වන් බොහෝමකට ඉස්ලාම් ආගම පිළිගන්නට සිදු විය. වර්තමාන ලංකාවේ කුඩා නගරවල ඉස්ලාම් ජනගහණය පැතිරෙන්නේ වෙළෙදාම මුල් කරගෙනය. ජාතක කතා බොහෝමයක අතීත කතා හෙලනීක ග්‍රීක රාජධානිවල සකස් වී තිබේ. ‘හුණුවටයේ කතාව’ බුදුදහම සමග නැගෙණහිර යුරෝපය දක්වා පැතිර ගිය කතාවකි.

මහාචාර්ය පරණවිතාන, සිංහල වර්ගයාගේ මුල ග්‍රීකයන්ට සම්බන්ධ කර පෙන්වන ග්‍රන්ථයක් සකස් කළේය. ලංකාවේ විසූ ‘කාකයන්’ ගැන පැහැදිලි කිරීමටද එතුමාට හැකි විය. සාංචි කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන එම ප්‍රදේශයෙන් සොයාගත් සෙල්ලිපියක සඳහන් වන ලෙසට අතීතයේ සංචි ප්‍රදේශය ‘කකුනදභොට’ නම් වූයේය. එයින් කියවෙන්නේ සාංචිය කාලයක් කාකයන් විසූ ප්‍රදේශයක් වූ බවයි. හෙලනික ග්‍රීක ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කරන විට ලංකාවට වැඩම කළ මහින්ද තෙරනුවන් ධර්මය දේශනා කළ ‘දීප භාෂාව’ පිළිබඳව ගැටලුවක් මතු නොවේ. මහින්ද හිමියන් සිංහලෙන් බණ කිව්වේ කොහොමදැයි ප්‍රශ්න කරන ඇතැමුන් උන්වහන්සේ දකුණු ඉන්දියාවේ සිට ලංකාවට වැඩියහ යි කතාවක් ගොතති. මේ ප්‍රබන්ධයේ යටි අරමුණ අතීතයේ අනුරාධපුරය දෙමළ රාජ්‍යයක් බව හැඟවීමයි.

වර්මානය, ඉතිහාසය නමින් බොරු වපුරන උගතුන් බහුල සමයකි. ඕනෑම පචයක් ලියා මැටාහි පළකිරීමට ඔවුන්ට පුළුවන. ‘යූටියුබ්’ වීඩියෝවක් හැදීමත් පහසු දෙයකි. ‘වංශකතාවල නැතුවාට රුවන්වැලි සෑය හැදුවේ පිරිවෙනක උගත් සිරිබද්දන නම් ඉංජිනේරුවා යැ’යි භික්ෂු සමූහයක් ඉදිරියේ ජැක්සන් ඇන්තිනි කීවේය. ‘මහින්ද රාජපක්ෂ ශාක්‍ය වංශයෙන් පැවතෙන්නෙක්ය’ යන්නද ඔහුගේ ඉදිරිපත් කිරීමකි. ඉතිහාසය ලෙසට මෙවැනි පච දෙඩීමේ පරමාර්ථ රාශියකි. අයෙක්, ‘බුදුන් ලංකාවේදී ධර්මය දේශනා කළේ මොන භාෂාවෙන්දැ’යි මැටාහි ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබුණි. යොහෝවා හෝ මහාබ්‍රහ්මයා හෝ දේශනා පැවැත්වූ භාෂාව කුමක් දැයි අසන්නෙකු කිසිදාක දක්නා නොලැබුණි.

ග්‍රීක හෝ හෙලනික ග්‍රීක ඉතිහාසය පිළිබඳ බොහෝ පොතපත ලියවී ඇතත් ඒ කටයුත්තේ යෙදුන පඬිවරුන් ඉතා වැඩි පිරිස බෞද්ධ ඉතිහාසය ගැන සැලකිල්ලක් දක්වා නැත්තේ ක්‍රිස්තියානි ආගම පිළිබඳව ඇති බැඳියාව හේතුවෙනි. ඔවුන් අඩුම තරමින් පෛතගරස් නමින් ප්‍රසිද්ධ, ‘පිතගුරුස්’ නමේ උපත පැහැදිලි කරමින් ග්‍රීක දර්ශනික ගුරු පරපුරේ පියා පිළිබඳව තොරතුරු හෙළි කිරීමට වත් ඉදිරිපත් නොවූයේ ඒ බැඳියාවෙනි.

ඉරානය යනු පුරාණයේ පැවති මහා පර්සියා අධිරාජ්‍යයේ කොටසකි. එහි ඇතැම් පාලකයින් බුද්ධාගමට විශාල ලෙසින් අනුග්‍රහ දක්වා තිබේ. පර්සියාවටම විශේෂ වූ බුද්ධාගමට සමාන ‘සොරස්ත්‍රියානු’ ඇදහීම් දියුණු කිරීමටත් ඔවුන් වෙහෙසි ඇත. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන ‘ශක්‍ර’ පර්සියානු අධිරාජයා යැයි මතයක් පවතී.

ඉරානය ලොවේ ඇති ප්‍රධාන ‘ෂියා’ ඉස්ලාම් රටයි. ‘සුන්නි‘ හා ‘ෂියා’ ඉස්ලාමික කණ්ඩායම් අතර පවා ගැටුම් පවතී. කෙටියෙන් කීවොත්, පුරාණ බෞද්ධ කලාපයේ ජීවත් වූ බෞද්ධ මුල් තිබුණ කිසිම පිරිසක් අතර දැන් බෞද්ධයින් නැත. ඔවුන් මැවුම්කාරයකු අදහමින් කෝලහාල කරගනිති. යුධ වදිති. මැවුම්කාරයා ඇදහිල්ල හෙවත් නිර්මාණවාදය දඹදිව උපන්නකි. මෙය ලෝකය පුරා පැතිරුණේ ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයට එක්වූ බ්‍රාහ්මණ පොත්වලින් විය හැකිය.

ඉරාන ඊශ්‍රායල් යුද්ධයෙන් මෙන්ම බයිබලය හා කුරානය ගැන ලියැවී ඇති පොතපතින්ද පැහැදිලි වන්නේ මනුෂ්‍යයින් ජාතිකත්වයට සහ ආගමට දක්වන ඇල්මයි. ආගමාලය හා ජාතිකාලය වරදක් නොවේ. මහානාම හිමියන් මහාවංශය ලියන්නට හේතුවත් එයමයි. ජාතිකත්වය නැතිනම් යුදෙව්වන්ට ඊශ්‍රායලය අහිමි වේ. නැවතත් ෂා රජුගේ පාලන කාලයට සමාන කාලයක් ඉරානයේ බිහි කිරීමට සූදානම් ඉරාන ජාතිකයන් අතිවිශාල පිරිසක් සිටිති. ‘අපි අපේ කාර්යය ඉටුකළ පසුව ඉරාන ජනතාවට ඔවුන්ගේ කාර්යය සම්පූර්ණ කරගන්නට හැකියැ’යි ඊශ්‍රායල් අගමැති නෙතිනියාහුගේ ප්‍රකාශයේ අර්ථය එයයි.

ඉතිහාසය මුළුල්ලේ ලංකාව නිදහස් රටක් වශයෙන් පවත්වා ගැනීමට සිංහල බෞද්ධයින් අප්‍රමාණ දුක් පීඩා විඳ තිබේ. ඔවුන් රට බෙදීමට යුද්ධ කළ කොටි හමුදාව පරාජය කළේද ජාතික හැඟීමෙනි. කොටි හමුදාව පරාජය කළ නිසා ලංකාවේ හමුදාව සහ ඊට සම්බන්ධ දේශපාලන නායකයින් සමග දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව කෝපයෙන් හැසිරේ. ඇතැම් මාලිමා නායකයින් පසුපස කොටි හස්තය තිබෙන බව සමහරුන්ගේ මතයයි. ‘ජාතිවාදයට හිස එසවීමට යළි ඉඩක් දෙන්නේ නැතැ’යි ජනාධිපතිවරයා මෑතක දී කළ ප්‍රකාශයේ හරය ඔහු සිංහල ජාතිකත්වයට දක්වන අකමැත්ත විය යුතුය. ජනාධිපතිවරයාගේ ඒ අකමැත්ත ජයගත හොත් රටට සිදු වන්නේ කුමක්දැයි සිතීමේ අයිතිය හැම රටවැසියෙකුටම තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top