Last Updated on 5 months by admin
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD
Credit: diwapinawanarasa.food.blog
දෙමළ මිනිස්සුන් කෙසේ වෙතත් සිංහල මිනිසුන් නම් වසර ගණනාවක් තිස්සේ සමරලා තියෙන්නේ අලුත් අවුරුද්දක් නොවෙයි පරණ අවුරුදු.
වචනයේ පරිසමාප්තියෙන්ම අවුරුද්ද අලුත් නම්, අපේ සිතුම් පැතුම්වලත් නැවුම් බවක් තිබිය යුතුයි.
මෑත ඉතිහාසයේ පළ කළ බොහෝ ලිත්වල සඳහන් වූයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කියා. ඒකත් බලන විට වැරදියි. සිංහල යනු ජනවර්ගයක් පමණක් නොව ඉතිහාසයකට හිමිකම් කියන ජාතියක්. හින්දු යනු ආගමක්. ජාතියක් හා ආගමක් යනු සම්පූර්ණයෙන්ම වෙනස් ප්රපංචයන් දෙකක්.
විදේශ ආක්රමණවලට ගොදුරු වෙන්න කලින් හෙළ දිවයිනේ වැසියන්ගෙන් 99%ක්ම පාහේ වාසය කළේ සිංහල බෞද්ධයින්.
චෝල මාඝ ආක්රමණවලින් පසුව හෙළ වැසියන් අතරට දෙමළ හින්දු ජනතාවත් එක්වුණා.
ඒ කියන ඉතිහාසය තුළ සිංහල ක්‍රිස්තියානි මෙන්ම දෙමළ ක්‍රිස්තියානි කියා පිරිසක්ද මේ රටේ සිටියේ නෑ.
මේ අවුරුදු චාරිත්‍ර ප්‍රධාන ජනකොටස් දෙක වූ සිංහල හා දෙමළ ජන කොටස් සම සේ බෙදාගත් අපටම ආවේණික සංස්කෘතික අංගවලින් සමන්විත වුණා.
උතුරු හා නැගෙනහිර පළාත්වල වාසය කරන දෙමළ ජනතාව පැවතගෙන එන්නේ චෝල මාඝ ආක්‍රමණිකයන්ගෙන් කියා සිංහල බෞද්ධයින් දෙමළ හින්දු ජනයාව කොන් කළේ නෑ.
2×1=2 ගණිත ක්‍රමයට දුරාතීතයේදී සහජීවනයෙන් ජීවත් වූ මෙම ජන කොටස් දෙකට කනකොකා හඩලන්නේ විෂ්ණු, ස්කන්ධ, සමන්, නාථ හා ශිව දෙවියන් අතරට ක්‍රිස්තියානි ‘දෙවිවරුත්’, ඉස්ලාම් ‘දෙවියාත්’ හෙළදිවයිනේ පැළපදියම් වූ දා සිට යයි යමෙක් තර්ක කළොත්, එය එසේ නොවේ යැයි කීමද එතරම් පහසු කාර්යයක් නොවෙයි. වර්තමානයේ ජනගහනයේ බෙදීම 2×1=2 නොව 2×2=4 යන ජ්‍යාමිතික මූලධර්මය පදනම් කරගෙන සිදු වී ඇත. අප බෙදී විනාශ වෙමින් සිටිනවා. එහි ප්‍රමාණාත්මක බවක් මිස ගුණාත්මක බවක් රැඳී නෑ.
අලුත් අවුරුදු චාරිත්‍ර අතරට බෞද්ධ මෙන්ම හින්දු ආගමික වතාවත්ද ඇතුළත් වී තිබීම නිසාත්, ස්කන්ධ නොහොත් කතරගම දෙවියන් සෑම බෞද්ධයෙක්ම පාහේ අදහන නිසාත් සිංහල හා දෙමළ ජන කොටස් අතර ශ්‍රී ලංකාව තුළ ආගමික වශයෙන් ගැටුම් ඇතිවීමට ඉඩක් තිබුණේ නෑ.
මුග්ධ සිංහලයින් දෙමළ ජනතාව ජාතියක් ලෙස හඳුන්වා දෙන්න පටන් ගත්දා සිට වාර්ගික අර්බුදයක් මෙන්ම ආතතියක්ද ක්‍රම ක්‍රමයෙන් මෝදු වීම ඇරඹුණා.
1505 න් ඇරඹුණු යුරෝපීය ආක්‍රමණ යටත් විජිත පාලනයකින් කෙළවර වුණත්, ක්‍රිස්තියානි සම්භවයකින් යුත් යටත් විජිත පාලකයන් ප්‍රධාන ජන කොටස් වන සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව ඉතාමත් සූක්ෂම අන්දමින් බෙදා වෙන් කොට පාලනය කළා. ඒ තුළින් විශේෂයෙන්ම සිංහල බෞද්ධ හා දෙමළ හින්දු ජනතාවට ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන්ට හානිවන අන්දමින් බොහෝ දේ සිදුවුණා.
සුදු අධිරාජ්‍යවාදීන් යටත් විජිත අත්හැරියත්, යටත් විජිතවල මිනිසුන්ගේ සියලුම අන්දමේ සමාජ ක්‍රියාකාරකම්වලට අදටත් බාධා පැමිණවීම අත්හැර නෑ.
සිංහල දෙමළ මුස්ලිම් ජන කොටස්වල සාම්ප්‍රදායික කෘෂි ආර්ථිකය වෙනුවට ධනවාදය වේවා මාක්ස්වාදය වේවා යුරෝපීය ආර්ථික ක්‍රමවේද හඳුන්වාදී ජනතාව දැඩි ලෙස අසරණ කරනු ලැබුවා. අප ආයාත මත රඳාපවතින ජාතියක් බවට පත්වී තිබෙනවා.
අවුරුදු ජයට කෑ මිනිසුන් සිටියේ පරම්පරා දෙක තුනකට කලින්. කඩා වැටී ඇත්තේ ආර්ථිකය පමණක් නොව සර්ව සුබවාදීත්වය මත පදනම් වුණු මිනිසුන්ගේ සිතුම් පැතුම් හා අපේක්ෂාවන්ද බොහෝ දුරට භංග වී තිබෙනවා. අවුරුදු කනවා කිව්වට කනවා මිස, ආර්ථික අහේනියේ පතුලටම කිඳා බැස ඇති මොහොතක, මිනිස්කමටද බරපතළ ලෙස හානි පැමිණවී තිබෙනවා.
අවුරුද්ද අලුත් පරම්පරාවලට බොහෝ දුරට දින දර්ශනයේ දින කිහිපයක් පමණක් වනු ඇති. සිංහල බෞද්ධ පැරැන්නන්ට අතීත වැරදි අකාමකා දමා නැවුම් වසරකට මුල පුරන්න හොඳ අවස්ථාවක් අවුරුදු චාරිත්‍රවලින් ලැබුණා. අද ඒවා සිදු කෙරෙන්නේ නමට පමණයි.
නත්තල සියලුම කිතුනුවන්ට පොදු දිනයක් වශයෙන් මිස, කතෝලික, රෙපරමාදු, පෙන්තකොස්ත, මෙතෝදිස්ත කියා වෙන වෙනම නත්තල් සැමරීමක් නැත.
ශ්‍රී ලංකාවේ අලුත් අවුරුද්දට සිංහල හෝ දෙමළ එසේත් නැතිනම් බෞද්ධ හෝ හින්දු කියා ලේබල් ඇලවීමක් අවශ්‍ය නැත. එකම උත්සවය වාර්ගික වෙනස්කමකින් යුතුව සැමරීම තුළින් ප්‍රධාන ජන කොටස් දෙක සෑමදාම වාර්ගිය හා ආගමික වශයෙන් බෙදී වෙන්වීමෙන්, අවුරුදු පමණක් නොව සෑම දෙයක්ම වෙන් වෙන්වම පවත්වාගෙන යනු ඇති. එය රටේ ආර්ථිකයට මෙන්ම සාමයටත් සෘජුවම බලපානවා.
ශ්‍රී ලංකාවේ සෑම දෙයක්ම දේශපාලනීකරණය වී අවසන්. මහාමැතිවරණ ළං වන විට ජනතාවගේ අනන්‍යතාවයන් පවා දුර්වල කරන අන්දමේ අලුත් සංකල්ප කරළියට එනවා.
හින්දු අලුත් අවුරුද්ද වෙනුවට දෙමළ අලුත් අවුරුද්ද කියා හැඳින්වීම සම්පූර්ණයෙන්ම සමාජ විරෝධීයි. මන්ද, හින්දු නොවන දෙමළ අයද මේ අය අතර සිටින නිසා, පොදුවේ එයට දෙමළ යන යෙදුම භාවිතා කළ නොහැකියි.
එය සිංහල ජන සමූහය කෙරෙහිත් බලපානවා. සිංහල කතෝලික ක්‍රිස්තියානි ජන කොටස්වලට අවුරුදු ආගමික වතාවත්වල යෙදීමට ඔවුන් අදහන ආගම්වලින් අනුබලයක් ලැබෙන්නේ නෑ.
මෙයට විසඳුමක් ලෙස අපට පහත සඳහන් යෝජනාව ඉදිරිපත් කළ හැකියි.
ශ්‍රී ලංකාව සාම්ප්‍රදායිකව හෙළබිම නිසා, මේ භූමියේ බහුතරය විසින් පිළිපදින චාරිත්‍ර වාරිත්‍ර “හෙළ නව වසර” යනුවෙන් හැඳින්විය හැක.
එහෙත් ඒ තුළින් අනවශ්‍ය ආතතියක් හට ගැනීමට ඉඩක් ඇත්නම් නව වසර “සිංහල බෞද්ධ -දෙමළ හින්දු අලුත් අවුරුද්ද” කියා සියලු දෙනාගේම එකඟත්වයෙන් සම්මත කරගත හැකියි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජනතාව ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කරගන්නා තුරු, සංකල්පමය වශයෙන් ඇති කරන වෙනස්කම්වලින් රටට සෙතක් වේ යයි සිතීම උගහටයි.