අනුර මේ කරන්නේ බැනියමෙන් අමුඩෙ ගහනවා වගේ වැඩක්

Last Updated on 1 month by admin

අනුර කුමාර සිංහලෙන් කතා කරන විට ලංකාවේ නැති ජාතිවාදයක් ගැන නිතර දොඩවනවා.

ඉංග්‍රීසි භාෂාවේ ‘racism’ වචනයේ සිංහල අරුත ‘වර්ගවාදය’ යි.

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අනුර කුමාරට ඉංග්‍රීසි බෑ කියා සිනාසුනත්, භාෂාවක් බැහැ කියා සිනාසෙන්න කාටවත් අයිතියක් නෑ. අනුර කුමාරට සිංහලත් බැහැ කියා ඈ කීවා නම්, මම අත් දෙකම ඔසවා එය අනුමත කරනවා.

සිංහල භාෂාවේ “වර්ගවාදය” යනු කුමක්ද කියා පැහැදිලිවම නිර්වචනය වී තිබියදී අනුර කුමාර එයට ජාතිවාදය කියන්නේ
එක්කෝ ඔහුට සිංහල බැහැ. එසේත් නොමැති නම් මෝඩකම. කපටිකමට වෙන්නත් පුළුවන්.

“No room for racism” කියන උධෘතය ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරියට දමාගෙන මේ කරන දේ, “තැලෙන යකඩය දුටු විට කම්මලේ ආචාරියා උඩ පැන පැන තලනවා” කියා කීවා සේ සිංහලයාට තලන්න යොදාගත් අළුත්ම උපක්‍රමයක් ලෙසයි අපට හැඟෙන්නේ.

ඉංග්‍රීසි භාෂාවේ “racism” කියන යෙදුම භාවිතයට එන්නේ “race” කියන වචනය පදනම් කරගෙනයි.

ලෝකය පුරාම විසිරී සිටින ජනතාව ජීව විද්‍යාත්මක වශයෙන් (race) වර්ගීකරණය කරනු ලබන්නේ Australoid, Negroid, Caucasoid, Mongoloid වශයෙන්. තව දුරටත් පැහැදිලි කරන්නේනම් මුළු ලෝකයටම සිටින්නේ පළල් වර්ගීකරණයක් යටතේ එන ජන වර්ග (races) හතරක් පමණයි. ඒවා තවදුරටත් අනුවර්ගවලට බෙදී එම අනු කොටස් නැවත රාජ්‍යයන් යටතේ හඳුන්වනු ලබන විවිධ ජාතීන් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලියාපදිංචි වී තිබෙනවා.

නැපෝලියන් බොනපාට් එංගලන්තේ නෙල්සන් සාමිවරයාට යුද්ධයකදී පැරදීම නිසා ප්‍රංශ ජාතිකයින් අදටත් බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙස බලන්නේ වපරැසින්. එපමණක් නොවෙයි ප්‍රංශ ජාතිකයින් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ඇති අකමැත්තත් යුද්ධය පරාජය වීම නිසා ඇතිවුණු පරාජිත මානසික තත්ත්වය පිළිබඳ ඓතිහාසික සාධකයන් සමග සම්බන්ධ වී තිබෙනවා.

ඇමරිකාවට වහලුන් ලෙස ගෙනා අප්‍රිකානු සම්භවයක් ඇති කළු මිනිසුන්ට සුදු ඇමරිකානුවන් වෙනස්කම් කළේ හම කළු වීම නිසාම පමණක් නොවේ. එයට මිනිස් චර්යාව, ඇවතුම් පැවතුම් ද බලපානවා.

Caucasian සම්භවයක් ඇති ඇමෙරිකානුවන් අප්‍රිකානු Negroid සම්භවයක් ඇති මිනිසුන්ට පහත් කොට සැලකීම, ඒ වගේම දකුණු අප්‍රිකාව පාලනය කළ බ්‍රිතාන්‍ය සුදු ජාතිකයින් ස්වදේශික කළු අප්‍රිකානුවන්ට ම්ලේච්ඡ අන්දමින් සැළකීම මුළු ලොවම හෙළා දැකි යුගයක්ද තිබුණා.

වර්ගවාදය කියන පළල් අර්ථයෙන් හා ඊට වඩා පටු අර්ථයෙන් යුත් ජාතිය මුල්කරගෙන පහත් අන්දමින් හෝ අමානුෂිකව සැලකීම නිල නොලත් අන්දමකින් අදටත් ලෝකයේ පවතිනවා.

බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය ශ්‍රී ලංකාව වැනි පෙරදිග සමාජයකට හඳුන්වා දෙන විට, සියලු සතුන් ජීවීන් සේ සලකන බෞද්ධ ශිෂ්ටාචාරය පහත් කොට සැලකීම එදාටත් වඩා අද තීව්‍ර වී පවතිනවා.

එදා තුවක්කුවෙන් හා බයිනෙත්තුවෙන් කරගැනීමට නොහැකිවූ දේ අද දවසේ බයිබලය, තෑගිබෝග හා රාජ්‍ය බලය යොදා කිරීමට ඔවුන් උත්සාහ ගන්නවා. ‘ලංකාවෙන් වර්ගවාදය තුරන් කරමු’ කියන සටන් පාඨය කෘතිම අන්දමින් සමාජයට හඳුන්වාදීමට අලුත් ආණ්ඩුව ගන්නා උත්සාහයේ රහස එයයි.

බුදු දහමින් පෝෂණය වූ සිංහල බෞද්ධයින් අන්‍යාගමිකයන්ට හා අන්‍ය ජන වර්ගවලට හතුරුකම් කරන පිරිසක් නෙවෙයි. සිංහලයින් දෙමළ ජනතාවට හතුරුකම් කරනවා නම්, උතුරේ කලබල ඇතිවෙද්දී දෙමළ ජනතාව ආරක්ෂාව පතා දකුණට යනවාදැයි අසමින් අරැන් සිද්ධාර්ථන් පැහැදිලි කළේ ඒ යථාර්ථයයි. සිංහලයින් මුස්ලිම් ජනයාට හතුරු නම් රට හැම තැනම ගම්මැදි ගානේ මුස්ලිම් ගම්මාන බිහි වේවිද? දෙමළ හා මුස්ලිම් ප්‍රජාව සිංහලයින්ගෙන් බේරා ගැනීමට අලුතින් පත් වූ ආණ්ඩුව ගන්නා බොරැ උත්සාහය උඩුකය වැසූ බැනියමෙන් විලි වසා ගැනීමට අමුඩයක් සකස් කරගත්තා වැනි වැඩක්.

ධර්මසේන හිමියන් වසර 650කට පමණ ඉහතදී සද්ධර්මරත්නාවලිය නමැති ග්‍රන්ථයේ එක සරල උපමාවකින් පොදු මිනිස් දුර්වලතාවයක් පැහැදිලි කර දී ඇත.

උන්වහන්සේ පෙන්වා දී ඇති පරිදි, අද දිනයේත් බොහෝ උගතුන්, බලවතුන් හා රාජ්‍ය පාලකයින් පවා කරන්නේ “පයේ බරවාවට පිටිකර බෙහෙත් බැඳීමයි.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link