Last Updated on 7 hours by admin
රුසියාවේදී කොහු මිටි තුවක්කුවෙන් විප්ලවය ඇරඹූ විජේවීර මානසික රෝහල හරහා ලංකාවට
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

Pic. Credit: Wikimedia common
මන්තරයක් මැතිරීමට හෝ ජප කිරීමට හෝ පුළුවන. එහෙත් එහි ක්‍රියාකාරිත්වය වචනයෙන් තේරුම් කිරීමට නොපුළුවන. ඕනෑම මන්තරයක අඩංගුව ඇත්තේ අක්ෂර, වචන හා ශබ්ද සමූහයකි. එහි විස්මිත කොටස ගූඨ බවයි.
රුසියාවේ සාර් රජ මාලිගාවේ විසූවන් ඇසුරු කළ රස්පුටින් අද්භූත ක්‍රියාවන්හි නියැළුන පුද්ගලයෙකි. බොහෝ දෙනාගේ අදහස ඔහු ක්‍රිස්තියානි පූජකයකු බවයි. රස්පුටින් මන්ත්‍රයානිකයෙකු බව වටහා ගැනීම සඳහා ලාමාවරුන් රුසියාවේ පැතිරවූ බුදුදහම පිළිබඳව දැනගත යුතුමය. ඒ පිළිබඳ තොරතුරු රැස්කරන්නෙකුට රස්පුටින් ඝාතනය සාර් රජ පවුලට සම්බන්ධ අඥානයින් පිරිසකගේ ක්‍රියාවක් බව වැටහේ. ඝාතනයේ ප්‍රතිඵලය වූයේ කොමියුනිස්ට්වාදින් අතින් සාර් රජ පවුලේ සියලූ දෙනා විනාශ වීමයි.
There lived a certain man in Russia long ago
He was big and strong, in his eyes, a flaming glow
Most people look at him with terror and with fear…..
Then one night, some men of higher standing
Set a trap, they’re not to blame
‘Come to visit us’ they kept demanding
And he really came
Ra-Ra-Rasputin, lover of the Russian Queen
They put some poison into his wine
Ra-Ra-Rasputin, Russia’s greatest love machine
He drank it all, and said, ‘I feel fine’
Ra-Ra-Rasputin, lover of the Russian Queen
They didn’t quit, they wanted his head
Ra-Ra-Rasputin, Russia’s greatest love machine
And so they shot him ’til he was dead
(Bonny M)
රස්පුටින් ඝාතනය කරන ලද පසු, කාල් මාක්ස් ලෝකයේ වැඩිම අවධානය දිනාගත් පුද්ගලයා වූයේය. මිනිස් ඉතිහාසය වෙනස් වූ ආකාරය පැහැදිලි කිරීමට මාක්ස් ඉදිරිපත් කළ මන්තරය අදටත් ලෝකයට ප්‍රහේලිකාවකි. ලෙනින් ඒ මන්තරය රුසියානු කම්කරුවන්ගේ සභාවලට පැහැදිලි කිරීමට වෙහෙසුණි. මන්තරය වටහාගත් කෙනෙකුට, එදා ලෙනින් කළ ප්‍රෝඩාව තේරුම් ගැනීමට පුළුවන. රුසියාවේ ලෙනින් සිටි කාලය වැඩවසම් යුගයකි. රටවැසියන් ජීවත් වූයේ ක්‍රිස්තියානි ආගමික පුද පූජාවල නියැළෙමින් ශිෂ්ට ජන සමාජයකට නොගැලපෙන සිතුවිලි හිස දරාගෙනය.
එකල උලිනොව් නම් උගතෙක්, ලෙනින් නමින් පෙනී සිටිමින් පීඩිතයන්ගේ ගැළවීම ගැන කිී දේවපුත්‍රයෙකු ගැන උගන්වන්නට වූයේය. ඔහු සිය ගෝලයින් සමඟ සභාවක් පිහිටුවා ගෙන තමන් දෙවියන්ගේ පුත්‍රයා බව රටවැසියන්ට ඇඟෙව්වේය. යෙසුස් වහන්සේ සහ ගෝලයින් දොළොස් දෙනාත් ඊට සමාන මධ්‍යම කාරක සභාවකි.
මේ කාලයේ ක්‍රිස්තියානි පූජකයෙකු වීමේ ආසාවෙන් බයිබලය හදාරමින් සිටි ජෝරජියානු ජාතික ජෝසප් ස්ටාලින් නමැත්තා ලෙනින් සොයා පැමිණියේය. ඔහු, මවගේ බලපෑම නිසා දැඩි ක්‍රිස්තියානි සේවකයෙක් වූවෙකි. ලෙනින් පිහිටුවූ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූ ඔහු එහි මධ්‍ය කාරක සභාවේ සාමාජිකත්වය ලැබුවේය. එහි හැම සාමාජිකයෙක්ම ස්ටාලින්ට වඩා දැනුම හා නුවණ ඇත්තෝ වූහ. දෙදෙනා අතර ඇති වූ බැඳීම හේතුවෙන්, ස්ටාලින් සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වශයෙන් නම් කිරීමට ලෙනින්ට සිදු විය.
දේශපාලන බලය ලැබීමට සමාන වෙනත් ලොකු බලයක් ජීවිත කාලය තුළ හිමි කරගැනීමට, රටවැසියෙකුට නොපුළුවන. එම බලය හිමි කරගන්නා ඕනෑම පුද්ගලයෙකුගේ හැසීරීම් රටාවේ වෙනසක් සිදු වේ. ස්ටාලින්ගේ ජීවිතයද එසේ වෙනස් විය. රුසියාව පාලනය කිරීමේ බලය සියතට ගත් ඔහු යේසුස් වහන්සේ අනුව යමින් ලෙනින් පිහිටුවූ මධ්‍යම කාරක සභාව තමා යටතට ගත්තේය.
ස්ටාලින් රුසියාවේ නායකයා වූ පිළිවෙළ සහ ආර්. ප්‍රේමදාස ලංකාවේ ජනාධිපතිකම ලබාගත් පිළිවෙළ අතර සමානකමක් තිබේ. ස්ටාලින් රුසියානු කො.ප.යේ මධ්‍ය කාරක සභාව ‘පිරිසිදු’ කළේය. මෙවැනි දෙයක් ලංකාවේත් සිදු විය. රට පාලනය කළ ජේ. ආර්. උපන්ගෙයි බයගුල්ලෙකි. ඔහු ප්‍රේමදාස කෙරෙහි බියෙන් කටයුතු කළේය. ප්‍රේමදාස ජයවර්ධනගේ ආරක්ෂකයින් තමන් වෙතට නම්මාගෙන ඔහුගේ බිය තවත් වැඩි කෙළේය. එහි ක්‍රියාකාරීන් අතර පොලිස් පරීක්ෂක ජයසිංහ (බේරුවල) සහ එදිරිසිංහ (කැලණිය) කැපී පෙනෙති.
වස පෙවී කෙලින් සිටින්නට බැරිව සිටි ලෙනින්ව ආරෝග්‍ය ශාලාවකට යැවීමට තරම් ස්ටාලින් කාරණික විය. ලෙනින් එහි සයනයක් මත වැතිරී මොහොතින් මොහොත දුර්වල වූයේය. මේ සිදුවීම් ගැන ඇසූ ට්‍රොට්ස්කි මහත් සේ බියට පත් වූයේය. පාක්ෂිකයන් ට්‍රොට්ස්කිව දැන සිටියේ පක්ෂයේ මහමොළකරු වශයෙනි. ලෙනින් මිය ගිය විට රාජ්‍යයේ බලය ට්‍රොට්ස්කිට හිමි වෙතැයි ඔවුහු සිතූහ. එහෙත් ඒ එසේ නොවීය. ඉදිරි දිනයක ස්ටාලින් තමන්ව මරාදමන බව ට්‍රොට්ස්කිට වැටහුණි. කමෙනෙව්, ෂිනොවිව්, බුකාරින්, ප්‍රඕබෙෂෙන්ස්කි, රඩෙක්, රිආෂනොව් ආදී මධ්‍යම කාරක සභාව බැබළවු ප්‍රාඥයින් ද්‍රෝහීන් බවට පත් වූ හැටි ඔහු දුටුවේය. ඒ අතරින් සමහරෙක් ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමන ලදහ. වසංවීම හැර ගත හැකි වෙනත් පියවරක් ට්‍රොට්ස්කිගේ ඔළුවට නොආවේය. ඔහු බිරිඳටත් හොරා රටින් පිට විය.
රුසියාවේ විසූ නඩෙෂඩා ක්රූප්ෂ්කයා නම් පෝලන්ත තරුණිය ලෙනින්ගේ භාර්යාව වූවාය. ඇයට රෝහලේ පණ අදින ලෙනින්ව බැලීමට ස්ටාලින්ගේ අනුමැතිය ලබා ගැනීමට සිදු විය. මේ තීරණාත්මක අවස්ථාවේ විප්ලවය, රට සහ රටේ නායකයා රැකගැනීමේ වගකීම තමන්ට පැවරී ඇති බව පක්ෂයේ සාමාජිකයන්ට පැහැදිලි කළ ස්ටාලින්, නඩෙෂඩාට සැමියා හමුවීමට තිබුණු හැම ඉඩකඩක්ම වසා දමුවේය.
‘විප්ලවවාදියෙකුට ප්‍රේමය විනාශයකි’ යන්න ස්ටාලින්ගේ සංකල්පයකි. සිංහල දැනුම ඊට ප්‍රතිවිරුද්ධය. නිදසුනක් දක්වතොත් සර් ජෝන් කොතලාවල අගමැති ලංකාව පාලනය කළේය. කතානායක මොළමුරේ ඔහුගේ කලණ මිතුරා වූයේය. සර් ජෝන් සහ මොළමුරේ භාර්යාව අතර සබඳතාවයක් තිබුණි. මෙය රටම දැන සිටි සිද්ධියකි.
දිනක් මඟුල් උත්සවයකට සහභාගි වූ සර් ජෝන් සහ මොළමුරේ නිවසේ ආලින්දයේ පුටු දෙකක වාඩිවී සිටියහ. ‘උඹ නිදාගත්ත ගෑණියක් ගෙට එද්දි බස්තමෙන් බිමට තට්ටුවක් දාපන්. මම නිදාගත්ත ගෑණියක් එද්දි මමත් තට්ටුවක් දානව’ මොළමුරේ, සර් ජෝන්ට යෝජනාවක් කළේය. දෙදෙනා එතැන් සිට එහි කාන්තාවන් දෙස බලමින් තට්ටු දමන්නට වුහ. එක වරම මොළමුරේගේ භාර්යාව දුවද සමග ඔවුන් දෙසට පැමිණියහ. මොළමුරේ සිනා සී තට්ටුවක් දැම්මේය. සර් ජෝන් ඔහු දෙස බලා තට්ටු දෙකක් දැම්මේය.
රුසියාවේ සිටි විජේවීර ලංකාවට ආවේ නිවාඩුවකටද අසනීපයක් නිසාද යන්න පැහැදිලි නැත. විජේවීරගේ ශිෂ්‍ය විසාව අවලංගු කිරීම ගැන කතා කිහිපයක් තිබේ. ජවිපෙ පැවසූ පරිදි එය දේශපාලන කුමන්ත්‍රණයකි. ලූමුම්බා විශ්වවිද්‍යාලයේ විජේවීරගේ ඇතැම් සමකාලීනයන් කියන ආකාරයට විජේවීර රෝගී වූයේය. විප්ලවය ඔහුගේ ඔළුවට ගැහුවේය. චීන-රුසියන් ගැටුම අවස්ථාවේ ඔහු කොහු මිටක් වැනි දේ රුසියන් නායකයින්ගේ පිළිරූවලට එල්ල කර, ‘ඩෝං ඩෝං’ යනුවෙන් කටින් වෙඩි ශබ්ද නැංවූයේය. පාලකයෝ විජේවීරව මානසික රෝහලකට දමා පසුව ලංකාවට එවූහ.
රුසියාවට යාමට වීසා නොලැබුණ විජේවීර කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලට එක් විය. කලකට පසු, ඔහු එහි සාමාජිකයන් කිහිප දෙනෙකු සමඟ ජනතා විමුක්ති පෙරමුණ ඇරඹුවේය. එහි උප නායකයෙකු වූ අම්බලංගොඩ සිසිල්චන්ද්‍ර නමැත්තාගේ ගෙදරට යාම් ඊම් කළ විජේවීර සිසිල්චන්ද්‍රගේ නැගණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත්තේය. මෙය දැනගත් ජවිපෙ සාමාජිකයන් කිහිප දෙනෙක් වියරු වූහ. ‘කිසිවකු ප්‍රේම සම්බන්ධතා ඇතිකර නොගත යුතුය’ යන ගිවිසුමට ඔවුහු බැඳී සිටියහ.
මතු සම්බන්ධයි.
