Last Updated on 2 months by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
ලංකාව වැනි රටවල ජනප‍්‍රිය ආත්මාරක්ෂක සටන් ශිල්පයේ තිඹිරිගෙය චීනයේ ෂවුලින් විහාරය යැයි සිතන විශාල පිරිසක් සිටිති. මෙම ආරාමය සංකීර්ණයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ආරාමයේ වැඩ විසූ බෝධිධර්ම හිමියෝ ෂවුලින් ශිල්පයේ ප‍්‍රාරම්භකයා යන්න ආරාම ඉතිහාසයට අයත් කතාවකි. පුරාවෘත්ත සොයන්නන් පැහැදිලි කරන ලෙසට උන්වහන්සේ මහණ වීමට පෙර දකුණු ඉන්දියාවේ පල්ලව රටේ කුමාරයෙකි.
බෝධිධර්ම හිමියෝ ‘චේර’ රටේ භික්ෂුවක බව කියවෙන කතාන්දර ද ඇත. පසු කලෙක චේර නමින් ප‍්‍රසිද්ධ වූයේ අශෝක රාජ සමයේ ‘කේරළපුත්ත’ නමින් පැවති රාජධානියයි. මෙහි ‘පුත්ත’ නමින් ප‍්‍රකාශ වන්නේ බෞද්ධ අනන්‍යතාවයයි. (පාටලීපුත්ත, කේරළපුත්ත සත්‍යපුත්ත ආදි වශයෙනි) අපගේ ‘බෞද්ධ සංස්කෘතික මංකොල්ලය’ පොතේ මේ ගැන වැඩි විස්තර ඇත.
දෙදෙනෙකු අතර සිදු වන සටන් (ද්වන්ද සටන්) ආත්මාරක්ෂක සටන් කලාවේ ප‍්‍රධාන අංගයකි. අනුරාධපුර රාජධානි සමයේ සිංහලයන්ගේ ද්වන්ද සටන් ශිල්පය ඉන්දියාවේ රටවල පවා ජනප‍්‍රිය වූයේය. කේරළය සහ ඒ අවට තිබූ බෞද්ධ රාජධානි කිහිපයකටම ද්වන්ද සටන් ශිල්පය ඉගැන්වීම පිණිස සිංහල ශිල්පීන් ගොස් තිබේ.
යුද්ධයේ ඉතා තීරණාත්මක අවස්ථාවක දී ද්වන්ද සටනකින් ජයපරාජය විසඳා ගනිමු යැයි ප‍්‍රතිවාදියා කැඳවූ සේනාධිපතියකු වශයෙන් දුටුගැමුණු නාමය ලෝක ඉතිහාසයේ සඳහන් වේ. අනුරාධපුරය පාලනය කළ එළාර සේනාධිනායකයා ඒ අභියෝගය භාරගත්තේය. මීට තරමක් සමාන ද්වන්ද සටනකට සහභාගි වූ චිංගිස් ඛාන් ඉන් ජයගෙන මොංගෝල අධිරාජ්‍ය ගොඩනැගුවේය. පෙරදිගට එල්ල වූ ඉස්ලාම් ආක‍්‍රමණවලට පෙර ‘ඛාන්’ බෞද්ධ රාජකීයයන් භාවිත කළ වාසගමකි.
මවුබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට ‘මා සමග වාදයකට එන්නැයි’ අභියෝග කර ඇත්තේය. මේ ද, ද්වන්ද සටනකට කැඳවීමකි. රට භාර ගැනීමට සිතන අනුර දිසානායක, දිලිත්ගේ අභියෝගය භාර නොගෙන, ‘ගම් සභාවකට වත් තරග කර නැති දිලිත් ජයවීර සමඟ මොන වාදයක් දැ’යි කියා ලිස්සා ගොස් තිබේ.
22 දා රාත‍්රියේ දෙරණ 360 ට සහභාගි වූ දිලිත් ජයවීර නැවතත් එම අභියෝගය කළේය. එහෙත් ඔහු එවන් අභියෝගයක් කළ බව බොහෝ දෙනා නොදනිති. ඊට හේතුව, අදහස් ප‍්‍රකාශ කිරීමේ දී, දිලිත්, අසා සිටින මහජනතාව කෙරෙහි නොව ආචාර්ය ධර්ම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීමයි. ඔහු ගම් සභාවකට වත් තරග කර දේශපාලන අත්දැකීම් ලබා සිටියේ නම් එවැනි සංවාදයක දී කතා කරන්නේ මේ ආකාරයෙන් නොවීමට ද ඉඩ තිබුණි. කුජීත දේශපාලකයන් බඩපිණුම් ගහන ලාංකීය දේශපාලනයට ආචාර්ය ධර්ම අගයන්නන් අවශ්‍යම යුගයකි මේ. ආචාර්ය ධර්ම රැකීම මෙන්ම මහජනයාට තමා කියන දේ වටහා ගැනීමට සැලැස්වීම ද අත්‍යවශ්‍යය.