උගතුන් සේ වැජඹෙන නූගත්තු

Last Updated on 3 months by admin

ඉන්දියාව බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි ආචාර්ය අම්බෙඞ්කාර්, තමන් දැරූ නායකත්වය ගාන්ධිට පවරා දේශපාලන ජීවිතයෙන් ඈත් වන්නට හේතුව පැහැදිලි කරන රාජනීස් භගවාන් ( ඕෂෝ), එවැන්නක් සිදුනොවී ඔහු රටේ නායකත්වය ලබා ගැනීමට උත්සාහ දැරුවා නම්, දලිතයන් දහස් සංඛ්‍යාවක් බ‍්‍රාහ්මණයන් අතින් ඝාතනය වීමට ඉඩ තිබුණ බව පවසයි. ඔහු වැඩිදුරටත් පැහැදිලි කරන ලෙසට, ගාන්ධි උපතින් හින්දු ආගමිකයෙකි. නීතිඥයෙකු වශයෙන් කටයුතු කරන කාලයේදී කිතුණු බැතිමතෙකු වීමට අදහස් කළේය. නමුත් නිදහස් සටන් ව්‍යාපාරයේ නායකත්වය හිමි වූ පසු දැඩි හින්දු ආගමිකයෙක් වූයේය.

නරේන්ද්‍ර මෝදිගේ බීජේපීය හින්දු ජාතිකත්වය ඉන්දියාවේ ජාතික බලවේගය බවට පත් කරගෙන ඇත. හින්දු මූලධර්මය මහා බ‍්‍රහ්මයාගේ මැවීම පිළිගනී. මහාබ‍්‍රහ්ම සියලූම මනුෂ්‍යයින් ශරීරයේ එකම ස්ථානයෙන් මවා නැත. එනිසා දලිතයන් සහ බ‍්‍රාහ්මණයින් එකම මනුෂ්‍ය පිරිසක් යයි හින්දු බ‍්‍රාහ්මණයින්ට නොසිතේ.

දලිතයෙකු වූ අම්බෙඞ්කර් ලක්ෂයක් දලිතයන් සමඟ බුදුන් සරණ ගියේය. මෙයින් පැහැදිලි වන්නේ ඔහු දලිතයන් මහ පිරිසක් හින්දු ආගමින් ඉවත් කරගෙන ගාන්ධිගේ කුල ව්‍යාපාරයට පිළිතුරු දුන් බවයි. වර්තමාන ඉන්දියාවේ දලිත් බුදුසසුනක් ගොඩනැගෙමින් පවතී. එය හින්දු ආගමේ කොටසක් යයි හින්දු නායකයෝ කියති. ඒ මතය පිළිගන්නා හින්දු ආගමිකයෝ, ලංකාවේ බුද්ධාගම හින්දු ආගමේ කොටසක් යයි සිතති.

කුලවතෙකු හෝ ධනවතෙකු නොවූ ආර්. පේ‍්‍රමදාසට රටේ ජනාධිපති වීමට සමාජීය බාධාවක් නොපැමිණියේය. ඔහු, සිරිමාවෝ බණ්ඩාරනායක කාන්තාවක නිසා රට පාලනයට නුසුදුසු යයි කීවේය. සමසමාජ නායකයින්, කුලවතෙකු ධනවතෙකු වශයෙන් ජනතාව හමුවේ විවේචනය කළ ඩඞ්ලි සේනානායක, පේ‍්‍රමදාස දේශපාලන ලෝකයේ ඉහළට ගෙන ඒමට පුරෝගාමි වූ දේශපාලනඥයෙකි.

රටේ ජනාධිපති වූ පේ‍්‍රමදාස ආචාර්ය අම්බෙඞ්කාර්ට සමාන ගති පැවතුම්වලින් යුතු අයකු නොවීය. ‘මව්ගම’, ‘පියගම’ ඊට උදාහරණ දෙකකි. තමා අධ්‍යාපනය ලැබූ පාසල කොළඹ ශාන්ත ජෝසප් විදුහල බව කියන්නට වීම තව නිදසුනකි. ඔහුගේ කතාවට පොහොර දැමූ කතෝලික දේවස්ථානය, ජෝසප් විදුහල දියුණු කිරීමට ඔහුගේ ආධාරය ලබාගත්තේය. මෙවැනි ක‍්‍රියා නිදසුනට දක්වන ඇතැම්හු, තමන්ගේ බාල විය හා පරපුර රටේ ජනතාවගෙන් සැඟවීමට පේ‍්‍රමදාස උත්සාහ දැරූවේ යයි කියති.

එජාපයේ නායකයෙකුව සිටි සිරිල් මැතිව්ට කුලය නිසා ඇති වූ හීනමානයක් නොවීය. ඔහු බුදුසසුනට සිදු වන අතවරය පැහැදිලි කරමින් ග‍්‍රන්ථ කිහිපයක් ප‍්‍රකාශයට පත් කළේය. ඒ සියල්ලකම කලූවාදේවගේ සිරිල් මැතිව් යනුවෙන් පෙළපත් නම සමඟ නම ඉදිරිපත් කර ඇත. මේ ආකාරයටම තමන්ගේ පෙළපත් නම් නොසඟවා ඉදිරිපත් කළ සිංහලයන් විශාල පිරිසක් සිටිති. වලිසිංහ හරිශ්චන්ද්‍ර වීරයා නිදසුනකි.

‘කෙහෙල්වත්තේ ලැවරිය වික්ක කොල්ලා ජනාධිපතිවිමේ රහස’ උද්ධෘතයෙන් පළ කෙරුණු ලිපිය පේ‍්‍රමදාසට නින්දා කිරීමක් නොවේ. එයින් පැහැදිලි කෙරෙන්නේ, ‘සිංහල බෞද්ධයන්ට ඇත්තේ පංති කුල භේද නොසලකන සමාජයක් බවයි. සිරිමාවෝ බණ්ඩාරනායක ලෝකයේ පළමු වැනි කාන්තා අගමැතිවරිය ලෙස පත් කරගැනීමෙන් පැහැදිලි වන්නේ, සිංහල බෞද්ධ සමාජය නායකයින් තෝරා ගැනීමේ දී ලිංග භේදය ද නොසැලකූ බවයි.

සමාජයේ උගතුන් වශයෙන් පෙනී සිටින ඇතැමුන් අපගේ ලිපිය තේරුම් ගෙන නැත. එක්තරා පුද්ගලයකු, ‘බෝධි සභාව’ මුහුණු පොතට දැමූ පහත සටහන නිදසුනකි.

“ලැවරියා වික්ක හින්න කුලයේ ප්‍රේමදාස ජනාධිපති වීම නරකයි, ඒත් බොහෝ අයට ඉන්දියාවේ අම්බෙඩ්කාර් වීරයෙක්. අම්බෙඩ්කාර් වීරත්වයට ඔසවන කොට ඔහුත් අන්ත පීඩිත කුලයක බව සිතට ගත යුතුයි. අනික අම්බෙඩ්කාර් නැත්නන් අද ඉන්දියාවේ ඔය ඉන්න බෞද්ධයෝ ටිකත් නෑ. ප්‍රේමදාස සසුන් කෙතට බොහෝ සේවයක් කළා, ජාතික හැඟිම් තිබ්බ අය නිසා පහුගිය කාලේ අපි විඳපු දුක් මතකයි, ඩොලර් ටිකට විදලා පැය 12ක් විදුලිය නෑ, ගෑස් නෑ, පෙට්‍රල් ඩීසල් නෑ. කූරගලට ලයිට් දෙන්න ඕනෑ ඊට පෙර ආර්ථිකය දුවවන තැන් වලට ලයිට් දෙන්න ඕනෑ.”

මේ, ලිපිය නොකියවා උද්ධෘතය බලා අදහස් ඉදිරිපත් කිරීමකි. මෙය බොහෝ සිංහලයින්ගේ පොදු දුර්වලකමකි. ඔවුන් දේශපාලනඥයින්ට රැවටෙන්නේද, ජාතික ප‍්‍රශ්න ගැන උඩින් පල්ලෙන් මිස ගැඹුරින් නොසැලකීම හේතුවෙනි. නිදසුනක් ගනිතොත් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය ඉංග‍්‍රීසියට පැවරීම යහපත් දෙයක් යයි ඔවුන්ට සිතේ. එයින් අනාගතයේ ජාතියට සිදු වන විපත ඔවුන්ට නොපෙනේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link