Last Updated on 2 weeks by admin
සෑම් සෙනෙවිරත්න
Pic. credit: forbiddenstories.org
අනුර සහෝදරයා ජනාධිපති පදවි ප්‍රාප්තව දින 32කි. ඊයේ වෙන්දේසි කළ රු. බිලියන 125 බැඳුම්කරත් එකතු වූ විට මේ වන විට ඔහුගේ රජය වෙන්දේසි කර ඇති බැඳුම්කරවල වටිනාකම රු. බිලියන 664.5 කි. ජනතාවට හෝ දේශපාලන වහලුන්ට මේවා ගැන අවබෝධයක් නැත. ඔවුහු විශ්‍රාම වැටුප්, සහනාධාර, බිත්තර, හාල්, පොල්, ළුෑණු පරිප්පු, ඉන්ධන ආදි ආර්ථික භාණ්ඩ ගැන කියමින් සිටිති. දැන් ඒ සියල්ල යටකර අලුත් මාතෘකාවක් සභාවට දමා තිබේ. ඒ පාස්කු ප්‍රහාරයයි.
උදය ගම්මන්පිල ආණ්ඩුවේ මැර තර්ජනවලට නොබියව, නොසැලී රනිල් වික්‍රමසිංහ ජනපති කාලයේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට පත් කළ කොමිසම් වාර්තාවල ඉතා වැදගත් කරුණු කීපයක් එළියට දැම්මේය. ඒ නිමේෂයකින් කාදිනල් මැල්කම් රන්ජිත්, සහෝදර ජනපති අනුර, සහෝදර විජිත හේරත් ඇමති ප්‍රධාන පිරිසක්ම කළුගලේ පැහැරූ බළලුන්ගේ තත්වයට පත් වූහ. පැහැරූ අශුචි පාදයකින් පස්ටිකක් හාරා වැසීම බළලා කැලෑවෙන් ගෙනා සිරිතකි. තට්ටු නිවාසවල අතැ දැඩි කෙරෙන බළල්ලුත් ඒ සිරිත කරන්නට වෙහෙසෙති.
කිතුනු ජනතාව තුෂ්ණිම්භූතය. මාලිමාවේ මානසික මැරයෝ සමාජ මාධ්‍යයන්හි අඩව් අල්ලති. ජවිපෙ හිතවාදී නීතිඥයෝ අසිපත් වනමින් කෙහෙල් ගස් පෙරළති.
විදේශ බුද්ධි සේවා විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශයට දැනුම් දෙන ලද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ එවකට රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා වූ වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්නගේ දුර්වලකම නිසාය. කාදිනල් මැල්කම් රංජිත් කියන්නේ එම කොමිෂන් වාර්තා වර්තමාන රජය පත් කළ නිලධාරීන් දෙදෙනෙකු වන රවි සෙනෙවිරත්න හා ෂානි අබේසේකර අමාරුවේ දැමීමට ක්‍රියාත්මක කොන්ත්‍රාත්තුවක් මිස, පිළිගත හැකි විමර්ශනයක් නොවන බවයි. සහෝදර විජිත හේරත් එම නිලධාරීන් පාස්කු ප්‍රහාරය විමර්ශනයට ඉතා සුදුසු බවත් ඔවුන් දිගටම ඒ තනතුරුවල සිටිනු ඇති බවත් තරයේ කියයි. ඒ අසන බුද්ධිමතුන්ට සහෝදර ඇමති නීතිය පමණක් නොව ප්රජාතන්ත්රවාදී සමාජයක් ගරු කරන සාදාචාරය ගැන ද වැටහීමක් නැත්තෙකු යයි සිතේ.
ඊට අමතරව පුදුම විය යුතු තවත් කරුණක් තිබේ. ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ සහෝදර විජිත හේරත් ඇමතිවරයා, පාස්කු කොමිසමේ සභාපති ධුරය දැරූ ගරු විනිශ්චයකාරතුමියගේ නමේ මුලට ඇති ‘ආඩම්බරගේ’ නමැති වාසගම කියවීය. ඒ ඇයි? පෘතුගීසි පූජකවරු සිංහල පාරම්පරික වාසගම්වලට පහර ගැසීම ඇරඹූහ. සිරිල් මැතිව් ඇමතිවරයා ප්‍රකාශයට පත් කළ හැම පොතකම සිය පෙළපත් නම සඳහන් කළේ සිංහල උරුමය ප්‍රකාශ කරමින් ජනතාවට උරුමය ගැන කතා කිරීමට ආත්ම ශක්තිය ලබාදීමටයි. කුලහීනයන් බිලී බාමින් පක්ෂය ඇරඹූ ජවිපෙ නායකයින් එදා ලංකාවේ සිටි පෘතුගීසි පූජකයින්ගේ තත්වයට පත් වූයේ කෙසේද?
සහෝදර අනුර ජනාධිපති ධුරයට පත්වූ අලුතම එනම් ඔක්. 1 වැනිදා සිරිල් ගාමිණී පූජකතුමා, ලෝක ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ සිය මහා දැනුම ප්‍රසිද්ධ කරමින්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පොතක් එළිදැක්වූ ප්‍රසිද්ධ සභාවකදී, රටම පුල පුලා බලා සිටින පාස්කු ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා ගැන මහා හෙළිදරව්වක් කළේය. ඔහු පැවසූ පරිදි මේ ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ සහරාන්ට ඉහළින් සිටි අබු හින්ද් නම් තැනැත්තෙකි. එහිදී ඔහු මෙසේද කීවේය.
“සහරාන්ට කාලෙක ඉඳන් ටෙලිෆෝන් එකෙන් කතා කරපු පුද්ගලයෙක් හිටියා. මේ පුද්ගලයා පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙදි හෙළිදරව් වෙනවා. ඒ හෙළිදරව් කිරීම කරන්නෙ එවකට සීඅයිඩී එක භාරව ඉඳපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා රවී සෙනවිරත්න මහත්මයා, අද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා.
ඔහු සාක්ෂි දෙමින් කියනවා අපි මේ අබු හින්ද් කියන්නේ කවුද කියන එක හෙව්වා කියලා. ඒ විනිශ්චයකාරතුමෙක් කොළයක නමක් ලියලා රවී සෙනවිරත්න මහත්තයාට එවනවා. සෙනවිරත්න මහත්මයා මේක කියෙව්වාට පස්සෙ ඒ විනිශ්චයකාරතුමා අහනවා කොළේ තියෙන නම තියෙන කෙනාද පුද්ගලයා කියලා. එතකොට රවී සෙනවිරත්න මහත්මයා කියනවා ඔව් කියලා. දැන් මේ සිද්ධිය තියෙනවා විමර්ශන කොමිෂන් සභාවෙ වාර්තාවෙ.
හැබැයි අර නම ලියපු කොළේ ඒ වාර්තාවෙ නෑ. වාර්තාවක් නම් ඒක තියෙන්නම ඕනානෙ ඒකෙ? මේ අබුහින්ද් කියන පුද්ගලයා තමයි මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සෙ හිටපු මහමොළකරු. මේ අබුහින්ද් කියන්නෙ කවුද කියලා හරියට හොයන එක අමාරු දෙයක් නෙවෙයි, ඒක දන්න දෙයක්. ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම හොයන්න වුවමනාවක් නැතිකම. මොකද හේතුව, එහෙම හෙව්වොත් මේ රටේ දේශපාලනඥයින්ගෙන් බොහෝ සංඛ්‍යාවක් එක්කො හිරේ ඉන්න ඕනෙ, එහෙම නැත්නම් ගෙදරම යන්න ඕනෙ ආපහු නොඑන්න.”
සිරිල් ගාමිණී පූජකතුමාගේ මේ ප්‍රකාශයෙන් අදහස් කෙරෙන්නේ, අබු හින්ද් යනු එතුමාත් දන්නා කිසියම් පුද්ගලයකු බවයි. අබු හින්ද්ගේ නම ලියූ කොළය ඉවත් කර ඇති බව කීම නිසා, නිසා අබු හින්ද් යනු ශ්‍රී ලංකාවේ යම් පිරිසක් පවා දන්නා තැනැත්තකු යැයි හැඟීමක් ඇති වේ.
ලෝක ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පොත් 20ක් පළ කර ඇති, සිංගප්පූරුවේ නැන්යංග් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව පිළිබඳ අධ්‍යයන අංශයේ මහාචාර්ය, රොහාන් ගුණරත්න මහතා පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොතක් පළ කළේය.
Sri Lanka’s Easter Sunday Massacre – Lessons for the International Community (ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සංහාරය – ජාත්‍යන්තර ජනතාවට පණිවිඩයක්) නම් වන එය ‘පෙන්ගුයින්’ ප්රකාශනයකි. ඒ කාලයේම ඔහු අබු හින්ද් කවුරුන් දැයි පැහැදිලි කිරීමට යූටියුබ් වීඩියෝවක්ද ප්‍රසිද්ධ කළේය.
අබු හින්ද් කවුරුන්ද යන්න පැහැදිලි කරන මහාචාර්යවරයා, පාස්කු ප්‍රහාරය නවතාලීමට නොහැකි වූයේ, ආණ්ඩුවේ හා රජයේ නිලධාරීන්ගේ දුර්වලකම නිසා බවද පැහැදිලි කරයි. ඔහු රවී සෙනෙවිරත්න පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවේ දුන් සාක්කිය පරීක්ෂා කර බැලූ අයෙකි. ඔහු පෙන්වන ලෙසට නම් කොමිසම හමුවේ සාක්කි දුන් රවි සෙනෙවිරත්න, සහරාන්ට ඉහළින් සිටියේ කවුරුන්ද යන්න විනිශ්චකාරවරයා ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ, අබු හින්ද්ගේ නම කොළයක සටහන් කර ඔහුට ලබාදී ඇත.
මහාචාර්ය රොහාන් පෙන්වාදෙන පරිදි අබු හින්ද් යනු, ඉන්දියානු උපමහාද්වීපයේ ජීවත් වූ ඉන්දියානු රහස් ඔත්තු සේවාවක් වෙනුවෙන් රාජකාරි කළ ‘පුද්ගලයෙකි’. රහස් ඔත්තු සේවා අබු හින්ද් යොදවා තිබුණේ ඉස්ලාම් රාජ්‍යයේ ශ්‍රී ලංකා ශාඛාවේ ඔත්තු බැලීම පිණිසය. සහරාන්ගේ විශ්වාසය වූයේ අබු හින්ද් යනු, ඉස්ලාම් රාජ්‍යයේ කොරසාන් කලාපය (ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය ඇතුළත් දකුණු හා මධ්‍යම ආසියා කලාපය) නියෝජනය කරන්නකු බවත් ඔහු සහරාන් සමග සම්බන්ධතා පවත්වන බවත්ය.
අබු හින්ද් ගැන විස්තර කිරීමේදී මහාචාර්යවරයා Vertual Persona යනුවෙන් වචනයක් පාවිච්චි කරයි. ‘වර්චුවල් පර්සෝනා’ යනු පරිගණක ආධාරයෙන් (AI) ක්‍රියාත්මක රොබෝවරයකු බඳු මෙවළමකි. එය සැබෑ මිනිසකුගේ රූපය හා කඩහඬ සහිතව හෝ කල්පිත රූපයක් හා කටහඬක් සහිතව පරිගණක ආධාරයෙන් නිර්මාණය කෙරේ. එවන් රොබෝවකුට අවශ්‍ය දත්ත කවා මනුෂ්‍යයකු සමඟ කිසියම් කාරණයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ඒ මනුෂ්‍යයා අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට තරම් හැකියාවක් තිබේ.
‘වර්චුවල් පර්සෝනා‘ යනු දුරකථන, පරිගණක ආදිය මගින් මිනිසුන් සමඟ සම්බන්ධතා පවත්වන ‘පරිගණක වැඩසටහනක්’ මිස පුද්ගලයෙකු නොවේ. ලෝකයේ බොහෝ ඔත්තු සේවා ත්රස්තවාදීන්ගේ තොරතුරු ලබාගැනීමට මේ ක්‍රමවේදය පාවිච්චි කරති. මහාචාර්යවරයා පැහැදිලි කරන්නේ, අබු හින්ද් යනු එවැනි පරිගණක රොබෝවකු බවයි.
අබු හින්ද් මාර්ගයෙන් සහරාන්ව මුළා කළ ඉන්දියානු රාජ්‍ය ඔත්තු සේවා, ඔහුගෙන් ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු සහ ඊට සම්බන්ධ වන පුද්ගලයින්ගේ තොරතුරු ලබාගත්හ. ඔවුන් රවී සෙනෙවිරත්න වෙත එව්වේ එම තොරතුරුයි. නමුත් රවී සෙනෙවිරත්න විදේශගතව සිටි නිසාත් ඔහු නැති අවස්ථාවල ලැබෙන රහස්‍ය ලිපි විවෘත නොකරන්නැයි පහළ සේවකයන්ට තගේ දමා තිබුණු නිසාත් සහරාන් ඇතුළු පිරිස කොටු කරගෙන ප්‍රහාරය නැවැත්වීමට තිබුණු අවස්ථාව අහිමි විය.
ඉන්දියානු තානාපති කාර්යාලයෙන් මේ තොරතුර කාදිනල්තුමා වෙත ලැබනේනට ඇති ඉඩකඩ බොහෝය. මේ පිළිබඳව පසුගිය කාලයේ සංවාදයක්ද තිබුණි. ප්‍රහාරය දින උදේ යාඥාවන්ට සහභාගි වීමට පූජකයින් දේවස්ථානවලට නොගියේ කාදිනල්තුමාගේ දැනුම්දීම නිසා බවට සැකයක් උපදී. කාදිනල්තුමා හෝ එතුමාගේ කණිෂ්ඨ පූජකවරුන් හෝ මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙනු ඇතැයි සිතිය නොහැක.
ගම්මන්පිලට බැට දෙමින් අලුත් කොමිසමක් ඉල්ලන සියලු දෙනාම පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් බව දැන් පැහැදිලි වේ.
රවී සෙනෙවිරත්නගේ දුර්වලකම නිසා ප්‍රහාරය වළක්වාගන්නට තිබුණු අවස්ථාව අහිමි විය.
කාදිනල්තුමාගේ දුර්වලකම නිසා අඩුම තරමින් කිතුනු ජනතාවවත් බෝම්බවලට බිළිවීමෙන් වළක්වා ගන්නට තිබුණු අවස්ථාව අහිමි විය.
සිය පක්ෂය සහරාන්ගේ පියා සමග තිබුණු සම්බන්ධය යටගසා ගැනීම අනුර ජනාධිපති සහෝදරයාගේ එක් බලාපොරොත්තුවකි. වරදකාරයකු උසස් තනතුරකට පත් කළ විට ඔහු ලවා ඕනෑම බලු වැඩක් කරවාගන්නටද පුළුවන.
මේ තරම් විස්තර ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වාගන්නට අසමත් වූ චූදිතයා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලොක්කා කිරීම නීති විරෝධි ක්‍රියාවකි. සදාචාරයට පටහැණි වැඩකි. අනෙක් අතින් සහරාන් බඳු අන්තවාදයෙන් උමතු වූවකු අබු හින්ද් වැනි මෙවළමකට අසුවීම පුදුමයක් නොවේ. නමුත් 21 වන සියවසේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියකු ‘අබු හින්ද්ට’ කොටුවීම නම් ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ තබා මොනම අමාත්‍යංශයක වත් ලේකම් තනතුරකට නුදුසුදු බවට සාක්කියකි.
සිරිල් ගාමිණී පියතුමා ඇඟවූ පරිදි, රවී සෙනෙවිරත්න අබු හින්ද් කන්ගැටයෙන් ඇඳගෙන විත් ඔහු හා සම්බන්ධකම් පැවැත්වූ දේශපාලකයින් -බොහෝවිට ගෝඨාභය ඇතුළු සිංහල බෞද්ධයින් පිරිසක් – හිරේ දමන තුරු සමහරු පුල පුලා බලා සිටිති. ආණ්ඩුව රනිල් නතර කළ තැනින් පටන්ගෙන ණය පිට ණය ගනිමින් ජනතාවට ඡන්ද ගුණ්ඩු ගිල්ලවමින් සිටී.
‘ඉස්සා ඔළුව උඩ අශූචි තියාගෙන මං සුදනා මං සුදනා කියනවා’ යන්න ධීවරයින්ගේ උපමාවකි. සහෝදර අනුර ජනාධිපති ‘ක්ලීන් ශ්‍රී ලංකාවක් හදන බවට’ පෙරේදා කටුනායක රැස්වීමක දී ප්‍රකාශ කළේය.