කියුබානුවන් කබලෙන් ලිපට

Last Updated on 7 months by admin

ලබන වසරේදී ඉන්ධන, ජලය, විදුලිය, ප‍්‍රවාහනය සහ තවත් සේවාවන්හි මිල ඉහළ දැමීමටත්, සහනාධාර කප්පාදු කිරීමටත් දියුණු වෙමින් පවතින පුද්ගලික අංශයට තහංචි පැනවීමටත් කියුබානු රජය තීරණය කර ඇත. මේ නිසා සාමාන්‍ය ජනයාගේ ජනජීවිතය ඉතා අසීරු තත්වයකට පත් වනු ඇතැයි කියුබානු ආර්ථික විශේෂඥයෝ පවසති.


වැඩි විදුලි පරිභෝජනයක් ඇති නිවාසයන්හි විදුලි බිල 25%කින් පමණද ඇතැම් නිවාසයන්හි ජල බිල 75%කින් පමණද වැඩි වීමට නියමිතය. මෙය නිවාස කේන්ද්‍රකරගෙන සුළු ව්‍යාපාර පවත්වාගෙන යන ජනයා දැඩි අපහසුතාවකට පත්වන තත්වයකි.
කියුාබවේ ඉන්ධන පෝලිම් ඉතා දිගය. වාහනයකට තෙල් සපයාගැනීමට පැය 4-5 පෝලිමේ සිටීමට සිදුවීම සාමාන්‍ය තත්වයකි. ඉන්ධන මිල ඉහළ දමන නමුදු පෝලිම් නැති කිරීමට පාලකයන් කිසිදු පියවරක් නොගන්නා බවට පාරිභෝගිකයෝ මැසිලිවි නගන කියුාබනුවෝ, නව මිල ගණන් නිසා බොහෝ දෙනෙකුට ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි පෙන්වා දෙති. වඩාත් නරක තත්වය වන්නේ, මේ තත්වය නිසා සෑම අංශයකම පාහේ මිල නිතැතින්ම ඉහළ ගොස් උද්ධමනය අධික වීමයි.


නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ යටතේ සලාක දීමනා දැඩි ලෙස කපා හැරෙනු ඇත. 1959 කියුබානු විප්ලවයෙන් අනතුරුව සියලූ කියුබානුවන්ට සලාක පොතක් හිමිවුණි. ඒ යටතේ හාල්, බිත්තර, සීනි, කෝපි වැනි අත්‍යවශ්‍ය භාන්ඩ ඔවුන්ට ලැබුණි. ඒ සලාක භාණ්ඩ මාසයක් පාවිච්චියට තරම් ප‍්‍රමාණවත් නොවුණත්, ඇමරිකන් ඩොලර් 17ක පමණ අඩු මාසික වැටුපක් ලැබූ ජනයාට ඒ විශාල සහනයක් වූයේය. නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ සලාක පොත හිමිවනුයේ අන්ත දුගී ජනයාට පමණි.
‘‘කස්ත්‍රෝගෙ ප‍්‍රතිපත්තිය වුණේ, සියල්ලේ අයිතිකාරයා මම වෙමි. නමුත් මම හැම දෙනාටම අවශ්‍ය සියල්ල සපයමි’’ (I am the owner of everything, but I also provide for everyone) කියන එකයි. ඒත් දැන්, ආණ්ඩුව, කියාබානුවන්ට තම ආදායම ස්ථිරසාර කරගැනීම සඳහා අවශ්‍ය සියලූ දේ කරන්නට ඉඩ දෙනවාද? නෑ. මොකද පුද්ගලික අංශයේ වර්ධනය වළක්වන්න ආණ්ඩුව විශාල වශයෙන් තහංචි දමා තියෙනවා.’’ කියුබානු ආර්ථික විශේෂඥයකු වන රිකාර්ඩෝ ටොරෙස් පවසයි.


ඔහු පවසන පරිදි මේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ මඟින් අධික උද්ධමනය පාලනය කිරීම කියුබානු රජයේ බලාපොරොත්තුවයි. වියදම් පියවාගැනීමට මුදල් මුද්‍රණය කිරීමේ කියුබානු රාජ්‍ය පිළිවෙත නිසාද උද්ධමනය ඉහළ ගොස් තිබේ.
2021 දී කියුබාව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වාරණ පැනවූවාය. ආණ්ඩුවට මුලදී ප‍්‍රමාද දෝෂයක් සිදුවූ බව පවසන අගමැති මරේරෝ, තව දුරටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පාලනය කිරීමට පියවර ගන්නා බව පවසා තිබේ.
කියුබානු ආර්ථික විශේෂඥයකු වන ඔමාර් එවලනි පවසන්නේ කියුබාව මුහුණපා සිටින සංකීර්ණ ගැටලූ වසරකින් විසඳිය නොහැකි බවයි. ඔහු පැහැදිලි කරන පරිදි කියුබාව මුුහණපා සිටින්නේ හුදු ආර්ථික පසුබැස්මකට නොවේ. එය ඉතා දරුණු ආර්ථික විපතකට මුහුණපා සිටී. ‘‘එය නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ ප‍්‍රශ්නයක්. නිෂ්පාදනය ඉලක්ක කරගත් නිසි සංවර්ධන සැලැස්මක් සකසා ඇති බවක් මට නම් පෙනෙන්නෙ නැහැ.’’ එවලනි අවධාරණය කරයි.


ආර්ථික කටයුතු ආමත්‍ය අලෙජන්ද්‍රෝ ජිල් පසුගියදා පෙන්වා දුන් පරිදි මේ වසරේ එහි ආර්ථිකය 1%-2% අතර ප‍්‍රමාණයකින් පහත වැටී තිබේ. 2020 කොවිඞ් වසංගත සමයේ මේ අගය 11%ක් විණි.


‘‘2023 කියුබානු සැබෑ දල දේශීය නිෂ්පාදනය 2013 පැවති තත්වයට සමානයි. කියුබාවට දශකයක ආර්ථික වර්ධනය අහිමි වෙලා’’ ටොරෙස් පෙන්වා දෙයි.


පසුගිය වසර කිහිපය මුළුල්ලේම කියුබාව ආහාර, ඖෂධ, ඉන්ධන සහ බලශක්තිය යන ක්ෂේත‍්‍රවල උග‍්‍ර හිඟයකට මුහුණපා සිටී. උද්ධමනය මේ වන විට 30% තෙක් ඉහළ ගොස් තිබේ.


මේ ආර්ථික අර්බුදය නිසා, කිසිදා බලාපොරොත්තු නොවූ පරිදි 2021 ජුලි මාසයේ ජනයා රජයට එරෙහිව වීදි බැස විරෝධතා පැවැත්වූහ. කියුබානු සාමාන්‍ය ජනයා පවසන්නේ, ජනතාව පාරට බැස්සේ හුදු අධික ජීවන වියදම නිසා විඳි පීඩාව නිසාම නොව කොමියුනිස්ට් පාලනය නිසා මූලික අයිතිවාසිකම් අහිමිවීමෙන් විඳින පීඩාවද ප‍්‍රකාශ කිරීම සඳහා බවයි. මේ තත්වය නිසා කියුබානුවන් විදේශගත වීම අධික ලෙස ඉහළ ගොස් කියුබානු ඉතිහාසයේ ඉහළම විදේශගත වීම් වාර්තා විණි. පසුගිය වසර දෙක තුළ කියුබානු ජනගහනයෙන් 4%කට ආසන්න සංඛ්‍යාවක් හෙවත් 425,000ක් කියුබානුවන් ඇමරිකා-මැක්සිකෝ දේශසීමා තරණය කර තිබේ.


මේ බුද්ධි ගලනය නිසා සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත‍්‍ර බරපතල අර්බුදයකට මුහුණපා සිටී. එහෙත් ජීවන බර අධික වීම හා සොච්චම් වැටුපක් වෙනුවෙන් විශාල වශයෙන් වෙහෙසවී සේවය කිරීමට සිදුවීම නිසා සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන්හි නිරතවූවෝ අධික ලෙස කියුබාව හැර යමින් සිටිති.


‘‘අපි දැනටමත් මේ ගැන කියා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ නිසා ජනතාවට කිසිදු අගතියක් සිදුවන්නේ නැහැ. අපේ ප‍්‍රධාන අරමුණ ආර්ථිකය ගොඩගැනීමයි. නව ප‍්‍රතිසංස්කරණ මඟින් අපි අවශ්‍යව ඇති පිම්ම ආර්ථිකයට ලබාදෙමු. අපි තව තවත් විප්ලව කරමු. වැඩි වැඩියෙන් සමාජවාදය පතුරුවමු.’’ කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනල් පසුගියදා නිවේදනය කළේය.

(The Guardian, Reuters, NBC සහ පුද්ගල සම්මුඛ සාකච්ඡුා ඇසුරිනි).

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link