Last Updated on 5 hours by admin
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

පාප්තුමාට අදට වඩා ඍජු බලයක් පැවති යුගයේ ඉතාලිය බඳු යුරෝපයේ පොහොසත් රටක වෙසෙමින් පෘථිවිය ගෝලාකාර වස්තුවකැයි කී උගතා මරණ දඬුවමට ලක් විණි. බෲනෝ පූජකවරයා ලී කණුවකට තබා බැඳ දර දමා පිළිස්සීමේ පුවතින් පැවසෙන්නේ එම සිද්ධියයි. තවමත් ඉස්ලාම් පාලනයක් පවතින ඉරානයේ වැරදි කාම සේවනයේ යෙදුන බවට පිළිගැනෙන ගැහැණුන් හිස පමණක් උඩට සිටින පරිදි වළක බස්සවා ගල්ගසා මැරීම සාමාන්‍ය දඬුවමකි. මේ ආගමික පාලනයන් යටතේ සිදු වූ හා සිදු වන දඬුවම් දෙකකි.
සුල්තාන් පාලනය ඇරඹෙන තෙක් ජම්බුද්වීපයේ වැසියන් එවැනි අත්දැකීම් ලැබුවේ නැත. ජෛනයෝ ගම් නගරයන්හි නිරුවතින් ගමන් කළහ. සිංහලයෝ විශ්වය ගැන සිතූ ජනතාවකි. ඔවුන් ‘භුගෝල’ යන වචනය භාවිත කරන්නේ පෘථිවිය ගෝලාකාර වස්තුවක්ය යන අරුතිනි. එය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ පදයකි. භූගෝලය, මහාවිහාර වැනි ධර්මායතනයන්හි අධ්‍යාපනයට අදාළ විෂයකි. සිංහලයන්ගේ වැව් හා වාරිකර්මාන්තයන්හි පදනම සොයන්නෙකුට භූගෝලය පිළිබඳව ඔවුන් සතු වූ දැනුම දැනගන්නට පුළුවන.
එංගලන්තයට ගොස් වෛද්‍ය විද්‍යාව හැදෑරු එස්. ඒ. වික්‍රමසිංහ, භූගෝලය පිළිබඳ සම්ප්‍රදායික දැනුමෙන් කටයුතු කළ අයෙකි. ඔහු එංගලන්තයේ තියෝසොපිකල් සොසයිටියට සම්බන්ධ වීම හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ වීම ස්වයං තීරණ දෙකකි. ලංකාවේ භූගෝලය සම්බන්ධයෙන් රටේ විසූ ඉංග්‍රීසි ජාතිකයන්ට සහ ඔවුන්ගේ දැනුම අනුව අදහස් දැක්වූ උගතුන්ට නොතිබූ දැනුමක් වික්‍රමසිංහට තිබුණි. ඔහු, ඩී. එස්. සේනානායක ඇරඹූ ගල්ඔය යෝජනා ක්‍රමයේ අඩුපාඩු පැහැදිලි කළේ ඒ දැනුමෙනි.
මැදපෙරදිග රටවල් කාන්තාරයන්හි දිව්‍යලෝක බඳු නගර ඉදිකිරීම ඔවුන්ගේම දැනුමෙන් කරන ලද දෙයක් නොවේ. එහි පදනම කරදිය හා අපිරිසිදු වතුර භාවිත කර මිරිදිය නිපදවීමයි. වර්තමාන යුද්ධයේ දී ඒ කටයුතු විනාශ වී යළිත් අරාබිය කාන්තාරයක් වේදෝයි බියක් මැදපෙරදිග ඇතැම් වැසියන් තුළ පහළ වී තිබේ. පිරමීඩ ඉතිරි කරමින් පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය නැතිවී යෑමට හේතුව යුද්ධයක් දැයි ඇතැම් විද්වත්තු සැක කරති.
හොලිවුඩ් චිත්‍රපට නිපදවූවන්ට කිතු වසින් අවුරුදු තුන්හාරදකට පෙර මිසරයේ පිරමිඩ ඉදිකරන ලද්දේ යුදෙව් වහලුන් විසින්ය යන බොරුව ලෝකයට පිළිගන්වන්නට හැකි විය. ඒ කාලයේ ඇතැම් උගතුන් ලංකාවේ වහලුන් විසූ බව කියන්නට ගත්තේ වැව් හැදුවේ වහලුක් යැයි කීමටය. වහලුන්ට පිරමිඩ වැනි මහා නිර්මාණ කරන්නට නොහැකිය. ඒවා ගොඩනගන ලද්දේ ඉතා දියුණු විද්‍යාවක් හා තාක්ෂණයක් සහිත මනුෂ්‍යයින් විසිනි. එම වැඩවලට ඥානවන්ත පාලකයින්ගේ සිට අතිදක්ෂ කලාකරුවන් දක්වා විශාල පිරිසක් සම්බන්ධ වී ඇත්තාහ.
සිංහලයන් ලොකු කුඩා වැව් දහස් ගණනක් ගොඩනගන්නට හේතුව භූගෝලය පිළිබඳ ඔවුන් තුළ පැවති පුළුල් දැනුමයි. සිංහලයන්ට තුන් බිය ඇති කරන්නට කිසිම සතුරු ආක්‍රමණිකයෙකුට නොහැකි වූයේ වැව් ශිෂ්ටාචාරය හේතුවෙනි. ඒ තරම් දියුණු ජල සංස්කෘතික ඉතිහාසයක් ඇති රටක පාලකයින් පිටරටුන්ගේ වැරදි ඉගැන්වීම් පිළිගෙන ගංගා හරස් කරමින් වේලි බැඳීම අපරාධයක් බව එස්. ඒ. වික්‍රමසිංහගේ අදහස විය.
විජේවීර නායකත්වය දුන් ජවිපෙ, වාරිමාර්ග පිළිබඳව වික්‍රමසිංහ ඉදිරිපත් කළ අදහස් පිළිගත් දේශපාලන පක්ෂයකි. ඔවුන්ගේ පන්ති පහෙන් පළමු වැන්න ඊට සාක්කියයි. රට රැකීමේ අදහසින් ජවිපෙට හිතවත් වූ සිංහල තරුණ තරුණියන් දහස් ගණනකට දිවි අහිමි කරගැනීමට සිදු විය. 1817-18 කැරැල්ලෙන් අනතුරුව ලංකාවේ සිදු වූ ලොකුම සිංහල ඝාතනය ජවිපෙ මැඬීමට කළ මිනිස් සංහාරයයි. මෙවැනි විශාල මිනිස් බිලි පූජාවකින් බලයට පත් වූ මාලිමාවට ජාතික මනසක් නැත. නිදසුනක් දක්වතොත් සංචාරක ව්‍යාපාරය ජවි පෙරමුණේ දැඩි විවේචනයට ලක් වූ ක්‍රියාවකි. විදේශ සංචාරකයින්ගේ විනෝදයට බෝට්ටු පැදීම සඳහා ලංකාවේ වැව් යොදාගත යුතු යැයි මාලිමා ප්‍රබලයෙකු පසුගිය කාලයේ කියා තිබුණි. චන්ද්‍රසිරි විජේවික්‍රම වැනි උගතෙකු අවුරුදු ගණනක් තිස්සේ නොයෙක් ලිපි ලේඛන මගින් පැහැදිලි කරන ලංකාවේ ගංගා ද්‍රෝණි ගැන අබමල් රේණුවක හෝ දැනුමක් මොවුන්ට නැත.
රටේ දේශප්‍රේමීන් විශ්මයට පත් කළ ජවිපෙ පළමු වැනි පන්තියෙන් ලංකාවේ විභූතිමත්ව පැවති ආර්ථිකය විනාශ කිරීම හා එය යළි ගොඩනැංවිය හැකි ක්‍රමය පැහැදිලි කරන ලදි. මාලිමාවුන්ට ඒ ගැන මෙලෝ හසරක් නැත. ඉන්දියානු ව්‍යාප්තවාදය තුන් වැනි පන්තියයි. ‘ගත යුතු මග’ පස් වැනි පන්තියෙන් පැහැදිලි කරන ලද්දේ ලංකාවේ අරගලය සිදු විය යුතු පිළිවෙළයි. මාලිමාවුන් වැඩි පිරිස මේ කිසිවක් නමින් හෝ නොදනිති. ඒ සියලු දෙනාම පන්ති පහ ‘ෆේල්’ය. දහස් ගණනක් තරුණ තරුණියන්ට වුවමනා වූයේ පන්තිවලින් ඉගැන්වූ දේ ඉටුකර ගැනීමටය. ඔවුන් මිය ගියේ ඒ වෙනුවෙනි.
