Last Updated on 2 months by admin
සෑම් සෙනෙවිරත්න
Pic. credit: Sunday Observer
ලංකාවේ බොහෝ රටවැසියන්ගේ අදහස, දේශපාලකයන්ගේ හොරාකෑම නිසා රට බංකොළොත් වූ බවයි. එහි එක්තරා ඇත්තක් තිබේ. සම්පූර්ණ ඇත්ත එය නොවේ. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා බොහෝ දේශපාලකයන්ට හොරාකෑමේ චෝදනා ඇත. ඉහළ දේශපාලකයන් විශාල ව්‍යාපෘති මගින් අධික ලෙස කොමිස් ගැසු බව පැවසේ. සමහර පහළ දේශපාලකයින් ගමේ වැව ගැඹුරු කිරීමෙන් හා මාර්ග තැනීම ආදියෙන්ද සල්ලි උපයා තිබේ. ඇතැම් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලිංගික අල්ලස් චෝදනාද තිබේ.
සියලු දේශපාලකයින් මකුණෝ නොවෙති. ජරාවට සම්බන්ධ නැති යම් දේශපාලකයන් පිරිසක් සිටිති. නමුත් 225ම හොරු යැයි සම්මතයක් ඇත. එය සිය දේශපාලන වාසිය පිණිස කිසියම් පිරිසක් විසින් සමාජයේ පතුරුවා හරින ලද පට්ට බොරුවකි. කතාව ඇත්තක් නම් ඒ 225 තුළ මහා ඇමතියෙකුව සිටි අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසද සිටිය යුතුයි.
රටේ ණය බර අතරින් වැඩි වශයෙන්ම කතාබහට ලක්වූයේ රාජපක්ෂ ණය හා යහපාලන ණය පිළිබඳවයි. රට බංකොළොත් වූයේ රාජපක්ෂ ණය නිසා බව රාජපක්ෂ විරෝධී සියලු බලවේගවල අදහසයි. රට බංකොළොත් වූයේ යහපාලන ණය නිසා බව යහපාලන විරෝධියෝ කීහ. දැන් ඒ කතා ගැන බොහෝ දෙනාට මතක නැත.
මහින්ද රාජපක්ෂ රට පාලනය කළ වසර 10 තුළ රාජ්‍ය ණය රුපියල් බිලියන 5343කින් ඉහළ ගොස් ඇත.
යහපාලන ආණ්ඩුව පැවති අවු. 4 තුළ ගත් අලුත් ණය රු. බිලියන 5545කි.
රාජපක්ෂගේ අවු. 10 තුළ ගත් ණයට වඩා යහපාලන අවු. 4 තුළ ගත් ණය ප්‍රමාණ වැඩිය යන ප්‍රසිද්ධ කතාවේ ගණන්හිලවු එසේය.
ඇත්තටම මේ ණය මොනවාද? මේ දැවැන්ත ණය බරෙහි වැඩි වශයෙන්ම ඇත්තේ පරණ ණයවලට පොලී එකතු වීමෙන් හා මුදලේ අගය වෙනස්වීමෙන් එක්වූ මුදල් ප්‍රමාණයයි. රුපියල බාල්දු වන විට ගෙවන්නට ඇති ඩොලර් ප්‍රමාණය ඉහළ යයි.
රාජපක්ෂ කාලයේ ගත් අලුත් ණය රු. බිලියන 995කි. පරණ ණය පොලීය සහ මුදලේ අගය වෙනස්වීම නිසා එකතු වූ මුදල බිලියන 4348කි.
යහපාලන සමයේ ගත් අලුත් ණය බිලියන 371. ඉතිරි මුදල ණයවල පොලී හා අගය වෙනස්වීමේ ප්‍රතිඵලය.
මේ පරණ ණය යනු කුමන ණයද? නිදහසින් පසු වසර හතරක් (1953, 54, 2017, 18) හැර අනෙක් සියලු වසරවල ගත් ණය මුදල්ය.
අතීතය ගැන කල්පනා කළහොත් අපේ මුදල් ඇමතිවරුන් හැමදාමත් ගරුගාම්භීර ලෙස අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී අයවැය හිගයක් ගැන සඳහන් කළ මතක් වනවා ඇති. මේ අය වැය හිගය යනු රටේ වියදම ආදායමට වඩා වැඩි නිසා ඇති වන හිගයයි. හැමදාමත් මේ හිගය පියවා ගත්තේ ණය ගැනීමෙනි.
දීර්ඝ කාලයක් තිස්සේ අපේ රට කා ඇත්තේ ණයටය. එනම් රටේ ආදායමට වැඩිය රට වියදම් කර ඇත. බොහෝ රටවැසියන්ගේ වියදමද ආදායමට වඩා වැඩිය. එහි සැබෑ අරුත ඇතැම් රටවැසියන් සුදි කර ඇත්තේ ණයට ගත් මුදලින් බවයි.
රෑපසටහන 1960 මහබැංකු වාර්තාවෙනි
ආදායම අඩුවීමට හේතුව රටේ නිෂ්පාදනය අඩු වීමයි. මීට විසඳුම් වශයෙන් ක්‍රියාත්මක කළ නිෂ්පාදනය ඉහළ දැමීමේ යහපත් ආර්ථික ක්‍රමෝපායන් පවා අවමානයට ලක්කිරීම රට අගාධයට ගෙනගිය පිරිසගේ ක්‍රියාවකි. එය ඉතා පළල් මාතෘකාවකි. උදාහරණයක් මෙසේය.
1970 සිරිමා බණ්ඩාරනායක අගමැතිවරියගේ සමගි පෙරමුණු ආණ්ඩුව දේශීය නිෂ්පාදනය වැඩිකිරීමට උත්සාහය ගත්තේය. වානේ, ටයර්, සිමෙන්ති, රෙදිපිළි, හණ ආදී විවිධ සංස්ථා ඇරඹිණි. පරිභෝජනය සීමා කිරීමේ උපක්‍රම ඉදිරිපත් විය . මේ දියුණුවට අකමැති වු ආණ්ඩුවේම ඇතැම් බලධාරීන් ඇති කළ හාල් පොලු, මිරිස් පොලු, පෝළිම් ආදිය නිසා මුළු ආණ්ඩුවම ජනතාවට එපා විය. එහි ප්‍රතිඵලය වූයේ 1977 දී ජේආර් ජයවර්ධන බලය ලබාගැනීමයි. ඔහු විවෘත ආර්ථිකය හඳුන්වා දී රටේ නිෂ්පාදන ආර්ථිකය කෑවේය.
රටේ නිෂ්පාදනය අඩාල වී ආදායම් අඩුවීමට විශාල වශයෙන් බලපෑ තවත් හේතු තිබේ. ජවිපෙරමුණේ ප්‍රධාන වරදක් වන්නේ හිතාමතාම මේ ඇත්ත ජනතාවට සැඟවීමයි.
වමේ පක්ෂ දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජන රටේ නිෂ්පාදනය අඩාළ වීමට තදින් බලපෑ කරුණකි. නිදසුනක් දක්වතොත් ලංකාවේ ලොකුම ඇඟලුම් කර්මාන්තශාලව වශයෙන් පැවති වැල්ලවත්ත රෙදි මෝල වසරකට ආසන්න කාලයක් වර්ජනයක යෙදුණි. එය මෙහෙයවූ වමේ වෘත්තීය සමිති නායක කෝස්තා මාක්ස්වාදියෙකි. මේ වර්ජන නිසා වැල්වත්ත රෙදිමෝල සදහටම වැසුණි. හාබර් සහ ඩොක් කම්කරු සමිති නායක පිලිප්ගේ මඑපෙ හිතවාදී ඩී. ඒ. පියදාස අප දැන සිටි අඥානයෙකි. ඔහු වරාය වර්ජනය එක දිගට අවුරුද්දක්ම ඇද්දේය. ලිප්ටන් හැම වසරේම වර්ජන පැවති කර්මාන්ත ශාලාවකි.
එයින් පසු කාලයේ ජවිපෙ සංවිධාන කළ වැඩවර්ජන උද්ඝෝෂණ නිමක් නැත. ඒවා ගැන කියන්නට පොතක් ලිවිය යුතුය.
මෙවැනි වර්ජන නිසා රටට සිදුවූ හානිය ගණන් බලා නැත. වර්ජන විරෝධතා ආදියේ අරමුණ වුයේ පවතින ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම මිස සේවකයින්ගේ හෝ ජනතාවගේ යහපත නොවේ. හැම වර්ජනයක්ම පාහේ මාක්ස්වාදීන්ගේ ක්‍රියාවකි.
කොවිඩ් වසංගතය කාලයේ පැවති ගුරු වර්ජනයක් අතරතුර ජවිපෙ ගුරු සංගම් නායකයකු වන මහින්ද ජයසිංහ තම කේඩරුන් හා හුවමාරු කරගත් පණිවිඩවලින් උපුටා ගත් පහත දැක්වෙන රෑපය අධ්‍යයනය කිරීමෙන් ඒ ගැන යම් අවබෝධයක් ලැබිය හැකිය. ඊයේ (සැප්. 5) රැ. කෝටි ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් නිකුත් කෙරිණි.
පසුගිය කාලයේ අඩුම වර්ජන සංඛ්‍යාවක් ක්‍රියාත්මක වූ දශකයේ රටට අහිමිව ඇති මිනිස් ශ්‍රම දින සංඛ්‍යාව ලක්ෂ 56කි. මොරගහකන්ද ජලාශය සැදීමට වැයවී ඇත්තේ මිනිස් ශ්‍රම දින ලක්ෂ 2.24කි. ඒ උදාහරණයෙන් ඔබට වර්ජන නිසා රටට සිදුව ඇති විපත ගැන යම් අවබෝධයක් ලැබිය හැකිය.
1953දී ලංකාවේ දියුණුව දැකීමට නැවකින් මෙහි පැමිණි සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූට වරාය වැඩ වර්ජනය නිසා නැවෙන් බහින්නට නොහැකි විය. වැඩ වර්ජන නිසා රටක් දියුණු කළ නොහැකි තත්වයක් උදාවන බව ඔහු අවබෝධ කරගත්තේ එදාය. ආපසු ගිය යූ, සිංගප්පූරු වරාය දියුණු කර රට ගොඩගත්තේය. 1977 ජේආර් උදම්ඇනුවේ ලංකාව සිංගප්පූරුවක් කරන බවටයි.
රාජ්‍ය සේවකයන්ගේ සොරාකෑම්, අතිකාල වංචා සහ සේවක අතිරික්තය රට වැටීමට තවත් හේතුවකි. රේගු නිලධාරීන් දිවෙස් පැය 24 බැගින් අවුරැද්දේ 365 දවසේම වැඩ කර ඇති බව පෙන්වා මාසයකට පැය 600 බැගින් පවා අතිකාල වැඩ කළ බව හොරට දක්වා අතිකාල දීමනා ලබාගෙන ඇති බව පසුගිය කාලයේ විගණනවලදී අනාවරණය විණි. ඇතැම් වෛද්‍යවරැන් පවා දවසේ පැය 24ටම අතිකාල දීමනා ලබාගන්නා බවට තොතරතුරු තිබේ.
71 කැරුල්ල, 87-88 ජවිපෙ භීෂණය සහ කොටි ත්‍රස්තවාදය රට ණය කන්දක හිර කිරීමට බලපෑවේය. ජවිපෙ හා කොටි යුද්ධ නිසා රටට අහිමි වූ මුදල ඩොලර් බිලියන 200ක් පමණ වේ යැයි ජවිපෙ බෝම්බ නිශ්පාදන අංශයේ නායකයාව සිටි වික්ටර් අයිවන් කියා තිබුණි. ජවිපෙ අතින් විනාශ වුණු විදුලි ට්‍රාන්ස්පෝමර, බස්, රාජ්‍ය හා පුද්ගලික අංශයේ ගොඩනැගිලි ආදියේ වටිනාකම බිලියන ගණනකි.
මෑත යුගයේ ජනතාව බොහෝ සෙයින් ණය ගැනීම්වලට හුරු විය. එය හුරුවීමකටත් වඩා හුරුකරවීමකි. රජය පරිද්දෙන්ම ආදායම ඉක්මවා වියදම් කිරීමට ජනතාව පෙළඹුණි. සෝබනය, අනෙකාට ඉහළින් ජීවත්වීමේ පුරුද්ද රටේ ප්‍රචලිත විය. සැලකිය යුතු වැටුපක් ගන්නා රාජ්‍ය සේවකයන් දෙදෙනෙකු සිටින පවුල්වලටත් නිවාස ණය, වාහන ණය, විදුලි හා විද්‍යුත් උපකරණ ණය ආදිය ගෙවූ පසු කාබී ඇඳ පැළඳ සිටින්නට ඉතිරි වූයේ සුළු මුදලකි.
විපතින් මිදීමට ඇති එකම ක්‍රමය රජය වගේම ජනතාව වියදම පාලනය කිරීම හා ආදායම් වැඩිකිරීමයි. රාජ්‍ය අය වැය හිගය අඩුකරගෙන අඩුකරගෙන ගොස් ආදායම් අතිරික්තයක් දක්වා ආර්ථිකය ගෙනයෑමයි. එය පහසු කටයුත්තක් නොවේ. කාලයක් ගතවන වැඩපිළිවෙළකි. සෝබන ජීවිතයෙන් නොමිදී නිවැරදි මගට පිවිසිය නොහැක. නමුත් බොහෝ දේශපාලනඥයෝ ජනතාවට වැරදි ආදර්ශ දෙති
ටී. බී. තෙන්නකෝන් සරල ජීවිතයක් ගෙවූ ඇමතිවරයෙකි. මුලදී ඔහු දඹුල්ල බස් නැවතුමේ කවිකොල විකුණා ජීවිකාව සපයාගත්තෙකි. ඔහුගේ දරුවෝ තාත්තාගේ දේශපාලන හයියෙන් උසස් පාසල් ලබා බටහිර අනුකාරකයෝ වුහ. ටීබී ගේ මුණුබුරා ප්‍රමිත තෙන්නකෝන් සූට් එක නැතුව එළියේ දකින්නට පුළුවන් කාටද?
රිචිඩ් පතිරණ සරල දිවියක් ගෙවූ ඇමතිවරයෙකි. පතිරණ ඇමතියෙකු වූ නිසා රට ගොස් ඉගෙනීමට වාසනාව ලැබු ඔහු පුත් රමේෂ් ඉඳහිට ජාතික ඇඳුමෙන් එළියට බසින්නෙකි.
විජේවීරලා ජවිපෙ හැදීමට කාපු කට්ට වචනයෙන් විස්තර කිරීමට නොහැක. අනුර දිසානයක බ්‍රැන්ඩඩ් ඇඳුම් නැතිව එළියට බසින්නෙක් නොවේ. ඉස්සර වෑන්වල, කැබ්වල ගිය ඔහු දැන්නේ යන්නේ V8 වාහනවලයි.
මාලිමාව දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යහගුණ කියයි. තමන්ට මැජික් පෙන්නන්නට බැරි බව පවසයි.
ජනතාවට නම් මැජික් පෙන්නන්නට පුළුවන්කම තිබේ. අත්‍යවශ්‍ය දේ බවට පත්කරගෙන ඇති අනවශ්‍ය දේ හැකිතාක් දුරට ජීවිතයෙන් ඈත් කරන්නේ නම් ඔවුන්ට නිවැරදි සිහිය ලැබේ. එවිට හිමිහිට උගුලෙන් ගොඩට එන්නට පුළුවන.
මේ මරඋගුලෙන් ගැලවීම පිණිස ජනතාවට තවත් මැජික් එකක් පෙන්විය හැකිය.
තමා හැර ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාම දිවුරුම් සහතික මගින් රටට දී ඇත්තේ බොරු ආදායම් විස්තර බව දිලිත් ජයවීර පැහැදිලි කරයි. රටේ නායකත්වය ඉල්ලන පුද්ගලයන් හිතාමතා බොරු ආදායම් ඉදිරිපත් කරන්නේ විහිළුවට නොවේ.
මේ අවස්ථාවේ හොඳ සිහියෙන් කල්පනා කර බොරැකාරයින්ට ඡන්දය දීමෙන් වැළකීම ඉහත කී අනික් මැජික් එකයි.