ජාතකකතා, ඊසොප්ගේ කතා වූ හැටි

Last Updated on 5 months by admin

Pic by Arthur Rakham 1920

ඊසොප් වනාහි ලෝකයේ වඩාත් ප‍්‍රසිද්ධ උපමා කතාකරුවා බවට වාදයක් නැත. ඔහු ග‍්‍රීකයන්ට අයිතිව තිබූ සෙමෝස් නමැති දිවයිනේ විසූ වහලෙකු බව කියවෙන නමුදු ඒ හැඳුනුම්පත ව්‍යාජ එකකි. ඊසොප්ට ඒ බොරු හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ, ලෝකයේ දැනුම උල්පත බටහිර බව පෙන්වා දීමේ වුවමනාව ඇති පිරිසක් විසිනි. එසේ බොරු හැඳුනුම්පතක් නිකුත් කරනු ලැබීමට පෙර, ඊසොප් කවුරුන්ද යන දෙගිඩියාව බටහිර උගතුන්ට පැවතුන බව, සංස්කෘත පොත් ඉංග‍්‍රීසියට පරිවර්තනය කළ මැක්ස් ම්‍යුලර්ගේ ප‍්‍රකාශයකින් තහවුරු වේ.

‘ඊසොප් ෆේබල්ස්’ නමැති පොත ගැන අදහස් දක්වන ඔහු මෙසේ සඳහන් කරයි. ‘‘එංගලන්තය නමැති මෙම ක‍්‍රිස්තියානි රටේ 19 වෙනි සියවසේ ජීවත් වන අප අපේ ළමා ළපටියන්ට ජීවිතය පිළිබඳව කියාදෙන ඉතාම වටිනා ප‍්‍රාථමික පාඩම්, මිථ්‍යා දෘෂ්ටික යැයි දේවරූප අදහන්නන් යැයි කියන බෞද්ධ හා බ‍්‍රාහ්මණ ලබ්ධිකයන්ගෙන් ලැබුණු පොත්වලින් ගත් ඒවා යැයි විශ්වාස කළ හැකිද? මේ කතාකරුවා කවරෙකුදැයි අපි නොදනිමු. ඔහුගේ නාම මාත‍්‍රය පවා අපි නොදනිමු. ඔහු ඉන්දියානු ජාතිකයෙකු වූ බවද සමහරුන් පවසන්නාක් මෙන් කල්ලෙකු වූ බවද යටත් පිරිසෙයින් අවුරුදු දෙදහසකට පෙර ඔහු විසූ බවද අපි පිළිගනිමු.’’

ලංකාවේ වහල් සමාජයක් පැවතුන බව කීම මාක්ස්වාදී න්‍යාය ඔප්පු කිරීමේ වුවමනාව ඇත්තන්ගේ අමන අදහසකි. වහල්ලු, ග‍්‍රීක රෝම රාජ්‍යයන්හි විසූහ. ඔවුන් අතර බුද්ධිමතුන් සහ නිර්භීත පුද්ගලයින් සිටි බවට කිසිම සැකයක් නැත. නමුත් රාජසභාවල කතාන්දර කියමින් කාලය ගෙවූ වහලුන් සිටියේය යන්න පල් බොරුවකි. නමුත් අපේ සමහර උගත්තු යුරෝපීය පඬියන් කියා තියෙන පල් බොරු පවා ඇත්ත සේ සලකති. ඒ මදිවාට ඔවුන් ඒ බොරු, ‘දැනුම’ සේ රටට ඉදිරිපත් කරමින් පණ්ඩිතකම පෙන්වති. මෙය චීනය ජපානය වැනි රටක දක්නා නොලැබෙන ඉන්දියාවේ සහ ලංකාවේ පවතින තත්වයකි. ලංකාවේ විශේෂත්වය, කොතරම් උගතුන් සිටියද අදීනව සිතීමේ හැකියාව ඇති උගතුන්ගේ ලොකු හිඟයක් පැවතීමයි.

සතුට ඇති කිරීම සඳහා කතාන්දර කීම බොහෝ පැරණි කාලයක පටන් ඉන්දියාවේ පැවති සිරිතකි. බටහිරුන්ට නැති ගුරුකුලය සහ පරම්පරා දැනුම ඒ බව සනාථ කෙරෙන එක් සාක්කියකිි. ත‍්‍රිපිටකය ලියවෙන තෙක්ම බුද්ධ දේශනා පරපුරෙන් පරපුරට ආවේ මේ ක‍්‍රමයටය. කතාන්දර කීම සමාජයේ බෙහෙවින් ජනප‍්‍රිය ක‍්‍රියාවක් බව දුටු බුදුරජාණන් වහන්සේ ධර්මය තේරුම් කර දීම සඳහා කතාන්දර ප‍්‍රයෝජනයට ගත් බව පැහැදිලි වන එක් සාක්ෂ්‍යයක් වන්නේ ත‍්‍රිපිටක පොත්වල කතාන්දර අඩංගු වීමයි. ජාතකට්ඨ කතාවන්හි බෝධිසත්ව කතා නමින් කතාන්දර විශේෂයක් තිබේ. ජාතක පොත් වහන්සේ නිර්මාණය වන්නේ පාලි ජාතකට්ඨ කතා සිංහලට පෙරළා ගැනීමෙනි. බුදුරජාණන් වහන්සේ කතාන්දර කියා නැත. උන්වහන්සේ බණ අසන්නාට ධර්මය වටහාදීමට ඔවුන්ගේ ප‍්‍රියතම විෂයක් වූ කතාන්දර ප‍්‍රයෝජනයට ගත්හ. ඉන්දියානු උපදේශාත්මක කතාව ඇරඹෙන්නේ බුද්ධ දේශනා පැහැදිලි කිරීමට ඉදිරිපත් කළ කතාන්දරවලිනි. මේ කතාන්දරවල මූලික ලක්ෂණය උපදේශ සැපයීමයි.

ඉන්දියානු උපදේශ කතාව ලෝකයේ පැතිරෙන්නට ප‍්‍රධාන හේතුව වන්නේද බුදු සසුනයි. තුන්වැනි ධර්ම සංඝායනාවෙන් පසු බෞද්ධ ධර්ම දූතයන් රට රටවලට පිටත්ව ගිය හැටි මහාවංශයේ සඳහන් වේ. එම රටවල්වලින් සමහරක් වර්තමාන ඉන්දියාව තුළම පවතී. තවත් රටවල් ඇත්තේ ඉන්දියාවෙන් පිටය. වයඹදිග ඉන්දියාවේ බෞද්ධ රාජධානි බිහි වූ පසු බුදුදහම පැතිරීම වඩාත් වේගවත් විය. නමුත් මේ ඇත්ත ඇසීමට අකමැත්තෝ සිටිති. ඔවුන් කියන අන්දමට ඉන්දියානු උපදේශ කතාව ලෝක ව්‍යාප්ත වූයේ ඉන්දියාවට එල්ල වූ මුස්ලිම් ආක‍්‍රමණවලින් පසුවයි. ඒ තර්කයට අනුව විදේශීය ආක‍්‍රමණ රටවල් දියුණුවීමට හේතුවකි. එසේනම් එංගලන්තය, ප‍්‍රංශය වැනි රටවල් දියුණු වූයේ කෙසේද?

වියට්නාම් යුද්ධ කාලයේදී ඇමෙරිකානු හමුදාව වියට්නාමයට නාපාම් බෝම්බ අති විශාල සංඛ්‍යාවක් හෙලූ බව ප‍්‍රසිද්ධය. බෝම්බ දැමීම අපරාධයක් බව නොකියා නාපාම් වැටුණු වියට්නාම් පොළොවේ හොඳින් මඤ්ඤොක්කා වැවුණු බව කියූ පඬියෝ සිටිති. පෘතුගීසි ආක‍්‍රමණ නිසා සිංහලයින් ශීලාචාර වූ බව කීමද එවැනි කතාවකි.

ලන්ඩන් පාලි පොත් සමිතිය පිහිටුවා පාලි පොත් ඉංග‍්‍රීසියට පෙරළුෑ රිස් ඩේවිඩ්ස් ඊසොප්ගේ උපමා කතා සහ බෞද්ධ ජාතක කතා අතර සමානකමක් දුටුවේය. මේ ඔහු සමාන යැයි පෙන්වූ කතාවකි.

එක්තරා දඩයක්කාරයෙක් සිංහ හමක් වේළා ගැනීමට අව්වේ දැම්මේය. එතනින් ගිය බූරුවෙක් සිංහ හම පොරවා ගත්තේය. කැලේ සිටි සත්තු බූරුවා දැක සිංහයෙකු යයි බියවී මර බියේ දිවූහ. නරියාට සැකයක් හිතී සිංහයා අසලට ගියේය. එවිට බූරුවා නරියාට ගෙරෙව්වේය. ‘‘යාළුවා කට අරිනකන් උඹ සිංහයෙක් ද කියල මටත් බයක් තිබුණා’’ කියමින් නරියා සිනාසෙන්ට ගත්තේය.

ඉහත ඊසොප්ගේ කතාවට සමාන සීහචම්ම ජාතක කතාව ඉතා ලුහුඬින් මෙසේය. එක්තරා වෙළෙන්දෙකු බඩු ගෙනයන්නේ කොටළුවෙකු පිටිනි. වෙළෙඳපොළට ගොස් කොටළුවාට සිංහ හමක් පොරවන ඔහු ඌ කුඹුරු දෙසට දක්කයි. සිංහයෙකු කුඹුරට ඇවිත් යයි රැවටෙන මිනිස්සු ඒ දෙසට නොයති. කොටළුවා ඇති තරම් තණ කා වෙළෙන්දා වෙත එයි. දිනක් එක ගමකදී වෙනස් දෙයක් සිදුවිය. සිංහයෙකු ගමට ආවේ යයි කෑගසන්නට වූ ගම්මු කොටළුවා වටකර පහරදී ඌ මරා දැමූහ.

බෝධිසත්ව යන සංස්කෘත වහර ග‍්‍රීක භාෂාවට සකස්කර ගෙන ඇත්තේ ඊසොප් යනුවෙන් යයි රාජනීස් භගවාන් ඇමරිකාවේදී කළ දේශනයක දී පැහැදිලි කළේය. රාජනීස් කීවේ බටහිරුන් දැනසිටි කාරණයක් මිස ඔහු අලුතින් සොයාගත් දෙයක් නොවේ.රීස් ඩේවිඩ්ස් පෙන්වා දුන් නමුත් ඊසොප්ගේ උපමා සහ බෞද්ධ ජාතක කතා අතර සමානතා ගැන සෙවීමේ වුවමනාවක් ඇමෙරිකාවේ හෝ යුරෝපයේ විශ්වවිද්‍යාලයන්ට සම්බන්ධ ආසියානු අධ්‍යයන පීඨයන්ට ඇති නොවීය. ඊට හේතුව ඊසොප් කවුරුන්දැයි ඔවුන් නිවැරදිව දැන සිටීමයි.

ඉන්දියාවේ දැනුම එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් ලබාගත් බව ලෝකයාට දැන්වීමේ වුවමණාවක් ඔවුන්ට නොවීය.

ඇමෙරිකාවේ සහ යුරෝපයේ විශ්වවිද්‍යාලයන්ට පශ්චාත් උපාධි නිබන්ධන වශයෙන් ඉදිරිපත් කරන ලද, ඊසොප් ගැන ලියවුණ නිබන්ධන ගණනාවකි. නිබන්ධන ඉදිරිපත් කරන ගවේෂකයින් ඊසොප්ගේ උපමා කතාවලට ඉතා සමාන උපමා කතා, කොරියාව චීනය, ජපානය වැනි රටවල ඇත්තේ මන්දැයි පැහැදිලි කර නැත.

පුරාන ඉන්දියාව ලෝකයට දැනුම සැපයූ මූලස්ථානයකි. ඉස්ලාම් ආක‍්‍රමණිකයින් එහි පැවති තක්ෂිලා, නාලන්දා, වික‍්‍රමශීලා ආදී විශ්වවිද්‍යාල විනාශ කළද මෙම අධ්‍යාපන ආයතන පිළිබඳ යම් යම් තොරතුරු ඉතිරි වී පවතී. ඉන්දියාව ආක‍්‍රමණය කිරීමට පැමිණි ඇලෙක්සැන්දර්, තක්ෂිලා විශ්වවිද්‍යාලය නැරඹීමට ගොස් එහි විසූ ආචාර්යවරුන් සමග සංවාදයක යෙදුන බව කියවේ. ඇලෙක්සැන්දර්ගේ සෙනවියන් කිහිපදෙනෙක් ඔහු අල්ලාගත් ප‍්‍රදේශ බෙදාගෙන ග‍්‍රීක රාජධානි බිහි කළ බවට තොරතුරු පවතී. දැනුම පිපාසය ඇති ග‍්‍රීක රෝම වැසියෝ ඉන්දියාවට පැමිණියහ යන්න ප‍්‍රබන්ධයක් නොවේ. බෞද්ධයන් අතර ඉතා ප‍්‍රසිද්ධ මිලින්ද ප‍්‍රශ්නය නමැති බණපොතේ සඳහන් වන්නේ මිලින්ද නම් ග‍්‍රීක රජු සහ නාගසේන හිමියන් අතර ඇතිවූ වාදයයි. මිලිඳු රජු සඟ සසුනට ඇතුළු වූ බව කියවෙන ප‍්‍රවාදයක්ද පවතී.

අප අනාවරණය කරගත් පරිදි, ඉන්දියාවට පැමිණි එක්තරා ග‍්‍රීක ආචාර්යවරයෙක් බුදුදහම ඉගෙන ගෙන පෙරළා සිය රටට ගොස් ස්වකීය ශිෂ්‍යයන්ට ඒ දහම පැහැදිලි කළේය. ඔහු බෝධිසත්වවරයකු වශයෙන් ප‍්‍රසිද්ධ වූයේය. ඊසොප් ඔහුයි. සැබෑ ඊසොප් කවුරුන්ද යන කතාව අපි ලබන සතියේ ඔබ හමුවේ තබමු.

2018 ඔක්තෝබර් 14 සතිඅග අරුණ පුවත්පත

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link