ජාතිකවාදීන්ගේ නාසිවාදී වෙස්මූණු

Last Updated on 5 hours by admin

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

(චිත්‍රය: ChatGPT නිර්මාණයකි)

කුබ්ලායි ඛාන් චීන අධිරාජයා වෙත පැමිණි මාළිගාවේ සේවකයෙක් ‘බටහිර රටක සිට අධිරාජයා හමුවීමට වඳුරෙකුගේ පෙනුම ඇති වෙළෙඳ නායකයෙක් පැමිණ සිටින බව’ දැන්වීය. අධිරාජයා ආගන්තුකයා තමා වෙත කැඳවීය. ඉතාලි ජාතික මාර්කෝ පෝලෝ, කුබ්ලායි ඛාන් අධිරාජයා හමු වූයේ ඒ අයුරිනි. එදා චීන ජාතිකයන් මාර්කෝ පෝලෝ වඳුරෙකු ලෙස දුටුවේ සංස්කෘතික මෙහෙයවීමක ප්‍රතිඵලයක් වශයෙනි.

ඉතාලි ජාතිකයන්ට සමාන දිගු නාසා චීනුන්ට නැත. චීන නාසයේ ලස්සනට පුරුදු වී සිටි චීන ජාතිකයින්ට දිගු නාසා ඇති ඉතාලිකාරයින්ව පෙනුණේ ලස්සන මනුෂ්‍යයින් ලෙස නොවේ. මධ්‍යතන සමයේ අරාබි ජාතිකයින් අප්‍රිකානුවන්ව ‘නිග්‍රෝ’ යනුවෙන් හැඳින්වීමට හේතුව ඔවුන් කළු හම පහත් කොට සැලකීමයි. ‘අප්‍රිකානුවා සුද්දන්ට වාල්කම් කිරීමට මැවූ අර්ධ මනුෂ්‍යයෙකු යැයි’ ඒ යුගයේ ක්‍රිස්තියානි පූජකවරුන් අර්ථ දක්වා තිබේ. යට දැක්වෙන සිංහල දරු නැළවිල්ල, ලෝකය ඒ අයුරින් සිතන කාලයේ සිංහල චින්තනය පැහැදිලි කරයි.

උඹෙ අප්පත් ඉතා කළුයි
උඹෙ අම්මත් ඉතා කළුයි
උඹ නළවන මාත් කළුයි
උඹ විතරක් තල එළළුයි

අයර්ලන්ත ජාතික ජේම්ස් උස්ෂෙර් ආච් බිෂොප්වරයා (1581 – 1656), යුදෙව් බයිබලයේ සඳහන් දින වකවානු පදනම් කරගෙන ‘ක්‍රි. පූ. 4004 ඔක්තෝබර් 23 වෙනි දා මැවුම්කාරයා විසින් පෘථිවිය මවන ලද බව’ කීවේය. මෙවැනි අදහස් පිළිගත් සමහර කිතුණු දෙමව්පියෝ චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදය පාසලට නුසුදුසු ඉගැන්වීමක් යැයි සිතති. අවුරුදු මිලියන ගණන් පැරණි මනුෂ්‍ය ජනාවාස ගැන තොරතුරු පෘථිවියේ සමහර තැන්වලින් හමු වී ඇති නමුදු වඳුරන් මිනිසුන් බවට පත් වූ පුවතක් ලෝකයේ කිසිම තැනකින් වාර්තා නොවීම ඔවුන්ගේ අවධානයට යොමු වූ කරුණකි.

මනුෂ්‍යයින් ආර්ය, අනාර්ය ලෙසින් බෙදීම යුරෝපීය මානව විද්‍යාඥයින්ගේ ඉතා පහත් ක්‍රියාවකි. මෙය මැවුම්වාදයට එකග වුවත් බුදුන් ප්‍රතික්ෂේප කළ මිථ්‍යා අදහසකි. බුදු දහම පවසන්නේ කිසිවෙක් උපතින් කුලයකට, වර්ණයකට අයත් නොවන බවයි. උපතින් කිසිවකු අනෙකාට වඩා උසස් හෝ පහත් නොවන බවයි.

යුරෝපා මානව විද්‍යාඥයින් ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ඉරාන හා උතුරු ඉන්දියානු මනුෂ්‍යයින් ආර්යයන්ගේ ගොඩට දැමීමට එක් හේතුවක් වූයේ ඒ ජන කණ්ඩායම්වල නාසා අතර සමානකමයි. දකුණු ඉන්දියාවේ ආගම පැතිරවූ ක්‍රිස්තියානි දේවගැතිවරුන් එහි වෙසෙන කළු හම ඇති මනුෂ්‍යයින්ව අනාර්යයන් ලෙස හැඳින්වූයේ උතුරේ වෙසෙන රටවැසියන් කෙරහි දකුණේ වැසියන්ගේ සිත්හි වෛරයක් ඇති කිරීමේ අදහසිනි. ඒ වෛරය ලංකාව තුළ පැතිරවූයේ ඉන්දියානු ඉතිහාසයේ කොටසක් ලෙස ඔවුන් ගෙතූ ‘සිලොන් හිස්ටරි’ කතාව මගිනි. එමගින් සිංහලයන් නාසිවාදීන්ගේ ගොඩට දැමීම ඔවුන් කළ ලොකුම අපරාධයයි.

බටහිර මානව විද්‍යාඥයින් කී ලෙසට දීර්ඝ කාලයක් මධ්‍ය ආසියාවේ තණබිම්වල කණ්ඩායම් වශයෙන් ඇවිදිමින් සිටි ආර්යයන්, ජනගහණය වැඩිවීම හෝ ආහාර හිඟය හෝ ඒ දෙකම හේතුවෙන් හෝ ඔවුන්ගේ බිම්වලින් පිට වූහ. මේ අදහස් පැවසූ සියල්ලෝම ළමා කාලයේ බයිබලය උගත් අයයි. මිසරයේ විසූ ඊශ්‍රායල්වරුන්ගේ ‘පිටවීම’ ඔවුන්ගේ සිත්වල සටහන් වී තිබුණි. නාසි ආචාර්යවරුන් ජර්මානුවන් සුපිරි ආර්යයන් බව කීමෙන් මේ අදහස වඩාත් තහවුරු වේ. නාසීන් ජර්මනියේ ජීවත් වූ ජර්මන් නොවන සියලුම ජන කණ්ඩායම් ඝාතනය කළේ සුපිරි ආර්යයන්ගේ රටක් ගොඩනැගීමේ අදහසිනි.

මධ්‍ය ආසියාවෙන් පිට වී වයඹදිග දුර්ග මාර්ග ඔස්සේ ආර්යන් ඉන්දියාවට එන විට, අනාර්යයින් ඉන්දු ගංගාව කේන්ද්‍ර කරගෙන ඉතා දියුණු ශිෂ්ටාචාරයක් පිහිටුවා ගෙන සිටියේය යන්න මුල් කාලයේ විසූ යුරෝපීය මානව විද්‍යාඥයින්ගේ අදහසකි. කණ්ඩායම් සැදී අශ්වයින් පිට පැමිණි ආර්යයින් අනාර්යයින්ව පහළට පන්නමින් පරාජිතයන්ගේ ගම් බිම් ගවයින් හා රාජධානි අල්ලාගත් බව ඔවුන්ගේ අදහස වූයේය.

ජාතිකවාදී දේශපාලනඥයෙකු වශයෙන් ප්‍රසිද්ධ දොස්තර චන්න ජයසුමන යුරෝපීය මානව විද්‍යාඥයින් පැවසූ ආර්ය සංක්‍රමණ කතාව ඩැහැගැනීම සමහරුන්ට ප්‍රශ්නයකි. ආර්යයන් වින්ධ්‍යා කඳුවැටියෙන් එහායිනුත් ද්‍රවිඩයින් ඉන් මෙහාත් විසූ බව ඔහු කියයි. ඔහු පස්සෙන් එන සමහර අනුගාමිකයෝ මෙවැනි අශාස්ත්‍රීය ප්‍රකාශ ගිලිති. එයින් රටට සිදු වන්නේ අනර්ථයකි. නාසිවාදී වෙස්මූණු පැලඳගැනීම බෙදුම්වාදීන්ට උඩගෙඩි දීමක් බව ජාතිකවාදීන් අවබෝධ කරගත යුතුය.

වඳුරා රංචු වශයෙන් ජීවත් වන සතෙකි. වඳුරු සමාජයේ ප්‍රධාන ලකුණ නායකයාගේ අඹු වැදිරියන්ගේ පටන් වඳුරන්, පැටවුන් දක්වා සියලු වඳුරන් නායකයා දෙන සංඥා අනුව කටයුතු කිරීමයි. මනුෂ්‍යයින් වඳුරන් මෙන් හැසිරිය යුතු නැත. ජවිපෙ වඳුරන්ගේ ක්‍රමයට හැසිරුන පක්ෂයකි. නායකයා මධ්‍යම කාරක සභාවට අණ කරයි. මධ්‍යම කාරක සභාව සාමාජිකත්වයට අණ කරයි. ආණ්ඩුව බාල ගල් අඟුරු ගෙන්වා කර ඇති වංචාව මාලිමාවුන් බොහෝ දෙනෙකුට තවමත් නොවැටහෙන්නේ ඔවුන් රැලේ යන්නන් නිසාය.

රැලේ යාම දේශපාලනයට සීමා වූ දෙයක් නොවේ. හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේශ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන සිරිල් ගාමිණී පියතුමා ප්‍රීතියට පත්ව සිටින හැටි ඔහුගේ ප්‍රකාශවලින් හෙළි වේ. එය සමස්ත කතෝලික සභාවේ අදහස යැයි කෙනෙකුට සිතෙන්නේ, වෙනත් කිසිම පියතුමෙකු එතුමාගේ අදහසට විරුද්ධව අදහස් නොදක්වන හේතුවෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top