ජෙනින්ග්ස්ගේ සිපොයි හමුදාව

Last Updated on 4 months by admin

පාර්ලිමේන්තුවට උසස් අධ්‍යාපන සහතික නැත්තන් පත්වීම රට මේ තරම් පිරිහීයාමට මූලික හේතුව යයි කියන්නෝ සිටිති. ඒ අවම සුදුසුකම කුමක්ද යන්න ගැන නිශ්චිත අදහසක් ප්‍රකාශ නොවේ. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවට පත් වන මහජන නියෝජිතයින්ට අවම අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතු බව පමණි. මේ සම්බන්ධයෙන් අනාගතයේ කුමක් සිදුවිය හැකිද යන්න ගැන යමක් දැන්ම කීමට නොහැකි නමුදු, වර්තමානයේ දැකිය හැකි ගැටලුවක් නම් පෙන්වා දිය හැකිය. එනම්, රට බෙදන ව්‍යවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන සියලු දෙනාටම පාහේ උසස් අධ්‍යාපන සහතික තිබේ. සහතික නැත්තන් කළ යුත්තේ, සහතික ඇත්තන් හදන ව්‍යවස්ථාවට කැමැත්ත ප්‍රකාශ කිරීම පමණි. එබැවින් වර්තමානයේ සිදු වන ආකාරයට නම්, පාර්ලිමේන්තුවට පත්වන්නන්ට සහතික ඇතත් නැතත් සිදුවන්නේ එකම ක්‍රියාවකි.

‘සහතිකය’ පුද්ගලයාගේ වටිනාකම ප්‍රකාශ කෙරෙන මිනුම බවට පත්කිරීම, යටත් විජිත ආණ්ඩුව විසින් සිංහල ජාතියේ ශක්තිය නැසීමට යෙදූ උපායකි. ආණ්ඩුවේ හෝ ආණ්ඩුවේ ආධාර ලබන පාසලක අධ්‍යාපනය ලබා අවශ්‍ය විභාග සමත්වීමෙන් අධ්‍යාපන සහතිකයක් ලබා ගැනීමේ ක්‍රමයක් යටත් විජිත ආණ්ඩුව විසින් හඳුන්වා දෙනු ලැබුවේය. මෙය ඊට පෙර ඉන්දියාවේ අත්හදා බලන ලද්දකි. බ්‍රිතාන්‍ය හමුදාවටත් වඩා විශාල වූ ඉන්දියා ‘සිපොයි’ හමුදාව ගොඩනංවන ලද්දේ ඒ අත්හදා බැලීම්වලින් පසුවය.

‘සිපොයි’ සංකල්පයේ මුල, ඉන්දියාව යටත් කරගත් බ්‍රිතාන්‍යයින් ස්වදේශීය අධ්‍යාපනය ගැන විමසිල්මත් වූ අවස්ථාවයි. පෙරදිග ශාස්ත්‍රඥයින් (ඔරියන්ටලිස්ට්) නමින් පිරිසක් මේ සඳහා උපකාරි වූහ. ඉන්දියාවේ පළමුවෙනි ආණ්ඩුකාරයා වොරන් හේස්ටිංස් (1773-1785) ගේ කාලයේ විසූ ඉංග්‍රීසි නිලධාරීන්, සංස්කෘත, පර්සි ආදී ස්වදේශීය භාෂා ඉගෙනීමට උනන්දුවක් දැක්වූයේ ඒ හේතුවෙනි. මොවුන්ගේ ලැයිස්තුවට, විලියම් ජෝන්ස්, ජේම්ස් ප්‍රින්සෙප්, ඇලෙක්සැන්දර් ජොන්ස්ටන් ආදී වශයෙන් දිග නාමාවලියක් ඇතුළත්ය.

ඔරියන්ටලිස්ට්ලාගේ වැඩපිළිවෙළ පිළිබඳව ඇංග්ලිකන් දේවගැතිවරු සතුටු නොවූහ. ඔරියන්ටලිස්ට්ලාගේ ක්‍රියා නිසා ස්වදේශිකයින් තුළ අභිමානයක් ඇතිවී ජාතික පිබිදීමක් දක්වා වර්ධනය විය හැකි යැයි ඇංග්ලිකන් පාර්ශ්වයෙන් ප්‍රකාශ වුණි. ඔවුන් පාලකයන්ට උපදෙස් දුන්නේ, දේශීය උරුමයන් ගැන දෙඩවීම නවත්වා, ඉංග්‍රීසි භාෂාව හා සංස්කෘතිය අගය කිරීමට ස්වදේශිකයින් පුහුණු කළ යුතු බවයි. මේ නිසා ඉංග්‍රීසි නිලධාරීන් අතර රට පාලනය කළ යුතු පිළිවෙළ ගැන මතභේදයක් ඇති විය. ඉන්දියාවට පැමිණි තෝමස් මැකෝලි (1800-1859) නමැති පරිපාලන නිලධාරියාගේ ප්‍රධාන කටයුත්ත වූයේ මතභේදයට තුඩුදුන් කාරණය පිළිබඳව විමර්ශනයක යෙදීමයි. ඉන්දියානුවන් බ්‍රිතාන්‍ය රජයට පක්ෂ කිරීමට යෝග්‍ය ක්‍රමය පිළිබඳව සෙවූ ඔහුට, හොල්ට් මැකෙන්සි සහ චාල්ස් ටේ‍රවිලියන් නමැති නිලධාරීන් දෙදෙනාගේ සහය ලැබුණි. ඔවුන් දැඩි ඉවැන්ජලික මතධාරීන් වූ අතර ටේ‍රවොලියන්, මැකෝලිගේ සොහොයුරිය විවාහ කරගෙන සිටියේය.

මැකෝලි සාමි ඉන්දියාවේ බ්‍රිතාන්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් විය යුතු පිළිවෙළ අඩංගු ‘ඉන්දියානුවන්ට සුදුසු අධ්‍යාපනය’ මැයෙන් වූ වාර්තාවක් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ඉදිරිපත් කළේය. පසුකලෙක ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු සියල්ල සිදුවූයේ මැකෝලිගේ වාර්තාව පදනම් කරගනිමිනි. ඔහු තම වාර්තාව මගින් පැහැදිලි කළේ, කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනව ඉන්දියාව බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පවත්වා ගැනීම උදෙසා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළයි. ස්වදේශීය භාෂා වෙනුවට ඉංග්‍රීසි කතාකරන, ඉන්දියානු හමක් ඇති නමුත් ඉංග්‍රීසි චින්තනය ඇති ස්වදේශිකයන් බිහිකිරීම, අධ්‍යාපනයේ අරමුණ විය යුතු බව ඔහු පෙන්වා දී තිබේ. ඉන්දියාවට සුදුසු යැයි මැකෝලි සාමි යෝජනා කළ අධ්‍යාපන ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කල්කටාවේ යටත් විජිත කාර්යාලයෙන් ලංකාවේ පාලකයින්ටද උපදෙස් ලැබුණි.

බ්‍රිතාන්‍ය පාලකයින් ලංකාවේදී අනුගමනය කළ විශේෂ අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැත. ‘සිපොයි සිංහලයන්’ බෝකිරීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය වූයේය. මෙම කටයුත්තේදී ඔවුන්ට මතුවූ ලොකුම ගැටලුව, සිංහල බෞද්ධයන්, ජාතියක් වශයෙන් ඉංග්‍රීසින්ගේ අධ්‍යාපනය නොපිළිගැනීමයි. පොහොසතුන් හැර, මිෂනාරි පාසල්වලට ළමයින් එවීමට සාමාන්‍ය වැසියන් කැමති වූයේ නැත. මීට වගකිවයුත්තන් පිරිස ඔවුන් මෙහෙයවන භික්ෂුන් වහන්සේ බව ඉංග්‍රීසි නිලධාරින්ගෙන් යටත් විජිත කාර්යාලයට දැනගන්නට ලැබුණි.

බ්‍රිතාන්‍ය පාලකයන්, සිංහලයන්ට ‘සිපොයියන් බෝ කිරීමේ අධ්‍යාපනය’ ලබාදීමේ කටයුත්තට ඇමරිකන් ජාතික හෙන්රි ඕල්කොට් සම්බන්ධ කරගත් බව ඔප්පු කිරීමට සාක්කි නැතත්, ඔහු ලංකාවට පැමිණ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ඉංග්‍රීසි පාසල් ආරම්භ කිරීමෙන් පසු, ඉංග්‍රීසි ආණ්ඩුවේ වුවමනාව හිතුවාටත් වඩා හොඳින් සඵල වුණි. ආණ්ඩුව පරම විඥානාර්ථ සමාගමේ පාසල්වලට මුදල් ආධාර සමගින් භික්ෂූන් වහන්සේ විශාල පිරිසක්, විහාරස්ථානවල ආණ්ඩුවේ ආධාර ලබන සිංහල බෞද්ධ පාසල් ඇරඹීම නමැති අධ්‍යාපන ව්‍යාපාරයට පිවිසුනහ. සිංහල බෞද්ධ ඉස්කෝලවලට සහතික ලැබූ ගුරුවරුන් පත්කිරීම මගින් ගැමියන්ගේ ස්වදේශිකත්වය නැති කිරීමට බ්‍රිතාන්‍ය පාලකයින්ට හැකි විය.

ඉංග්‍රීසිය පුදන සිංහල ජාතික උරුමය ඝාතනය කරන ස්වදේශිකයන් පිරිසක් බිහිකිරීමේ වැඩපිළිවෙළේ මීළඟ කොටස සර් අයිවර් ජෙනින්ග්ස් යොදවා පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීමයි. ඊට ඇතුළත් වන ස්වදේශික තරුණ තරුණියන්ගේ මොළ වෙනස්කර සිංහල බෞද්ධ ජාතිකත්වයට විරුද්ධව කටයුතු කරන මානසික ‘සිපොයි හමුදාවක්’ හදා රට පුරා යැවීමට බ්‍රිතාන්‍ය පාලකයින්ට හැකිවිය.

මැකෝලි සාමිවරයා ඉන්දියාවේ හින්දු සහ ඉස්ලාම් අධ්‍යාපන ක්‍රම ගැන සොයා බලා හොඳ අවබෝධයක් ඇතිකර ගත් අයෙකි. විලියම් ජෝන්ස් හින්දු නීතිය ගැන තොරතුරු සෙවූ ආකාරයටම, ඔහු ඉංග්‍රීසි නිලධාරීන් කිහිප දෙනෙකු යොදවා ඉස්ලාම් මද්රසා අධ්‍යාපනය සහ හින්දු අධ්‍යාපනය පිළිබඳව පරීක්ෂා කරවා වාර්තා ලබාගෙන තිබේ. හින්දු සහ ඉස්ලාම් අධ්‍යාපන ක්‍රම මගින්, පුද්ගලයා ආගමට බැඳ තැබීමට භාවිත කරන උපක්‍රම මෙම නිලධාරීන්ගේ අවධානයට යොමු වුණි. ඒ කවරේදැයි දැනගැනීමට ඉංග්‍රීසි වාර්තා කියවිය යුතුය. පැරණි බෞද්ධ පොත්වල සඳහන් බ්‍රාහ්මණ අධ්‍යාපන ක්‍රමය විවේචනයට ලක්කෙරෙන කතා කෙරෙහි සැලකිලිමත් වීමෙන් ආයතනික අධ්‍යාපන ක්‍රමය මගින් පුද්ගලයාගේ මොළය කෙලෙසන හැටි පැහැදිලි කර ගැනීමට පුළුවන.

අංගුලිමාල කතාව නිදසුනකි. මොහු ගුරුකුලයක ශාස්ත්‍ර හැදෑරු දීප්තිමත් ශිෂ්‍යයෙකි. මොහු කෙරේ වෛරයක් ඇතිකරගත් ආචාර්යවරයා මිනිස් ඇඟිලි දහසක් කපා ගුරු පූජාවක් කරන්නැයි ශිෂ්‍යයාට කීවේය. ‘උපාධි සහතිකය’ වෙනුවෙන් ඒ පර්යේෂණය කිරීමට ඔහු ඉදිරිපත් වුණි. ඉහත සඳහන් කළ මැකෝලිට තොරතුරු සැපයූවෝ, මද්රසා සහ හින්දු පාසල්වල බිලි පූජා සඳහා සතුන් මැරීමට ශිෂ්‍යයන් පුහුණු කරවන හැටි සඳහන් කරති. එයින් ඔප්පු වන්නේ, විද්‍යාර්ථියා මනුෂ්‍ය ඝාතකයෙකු කිරීමට වුව අධ්‍යාපනික ආයතනයකට හැකි බවයි.

මනමේ කතාවෙන් කියවෙන බමුණු මානවකයා ගුරු කුලයක අධ්‍යාපනය ලැබූවෙකි. ඔහු ආයතනයේ දක්ෂතම ශිෂ්‍යයා වශයෙන් උපාධිය ලැබූ බැවින් ගුරුකුල සම්ප්‍රදාය පරිදි ආචාර්යවරයාගේ දියණිය හිමිවිය. ඔහු ඈ සමග දුන්න සහ ඊතල සියයක්ද ඇතිව තම රට බලා පිටත්ව ගියේය. අතරමගදී මෙම යුවළට සතෙකු මරා මස් පුලුස්සා කමින් සිටි වනවාසීන් පිරිසක් දක්නා ලැබුණි. තමා පාවාගත් සියුමැලි යුවතියට ගරු නොකළ තරුණ උගතා වනවාසීන් වෙත ගොස් කෑමට මස් ඉල්ලාගෙන එන්නැයි ඇය පිටත් කළේය. ඔහු වනාවාසීන් කෙරෙහි ගෞරවයක් දැක්වූයේ ද නැත. ආයතනික දැනුම සහ ‘උපාධිය’ නිසා ඇතිකරගත් මානය ඇති හෙතෙම, වනවාසීන් හොඳින් පිලිස්සුන මස් නොඑවුවේ යැයි කෝප වී වනවාසීන් සමග ගැටුමක් ඇති කරගත්තේය.

උම්මග්ග ජාතකයේ සිරිකාලණ්ණි ප්‍රශ්නයේ පිංගුත්තර නමැත්තා බ්‍රාහ්මණ අධ්‍යාපන ආයතනයක උගත්තෙකි. ආයතනයේ දක්ෂතම ශිෂ්‍යයා වූ ඔහු චාරිත්‍රය පරිදි ඇදුරාගේ දියණිය පාවා ගත්තේය. බිරිය ස්පර්ශ වනවාටවත් අකමැති මානසික රෝගයකින් පෙළුණු පිංගුත්තර, ආයතනයෙන් සමුගෙන මියුලු නුවර බලා යන අතර මග දී දිඹුල් ගසකින් දිඹුල් කඩාගෙන කන්නට වූයේය. කුසගින්නේ පසුවූ තරුණිය මටත් ගෙඩියක් කඩා දෙන්නැයි කීවිට, “උඹෙත් අත්පා නැත්ද? ගහට නැගල කඩාගනින්” කියා පිංගුත්තර කීවේය. යුවතිය දිඹුල් කඩා ගැනීමට ගසට බඩ ගෑ පසු ගස වටා කටු ගැසූ පිංගුත්තර එතැනින් පැන ගියේය. දිඹුල් ගසේ යුවතියක සිටින බව දැනගත් රජු ඇය කැඳවා තොරතුරු විමසුවේය. “දෙවඟනක සම රූ ඇති මැය ගහේ නංවා කටු ගසා පලා ගියේ මොන මෝඩයා දැ”යි පැවසූ රජු, ඇය උදුම්බරා යැයි නම් කර සරණපාවා ගත්තේය.

මේ කතා තුනෙන්ම කියවෙන්නේ ගුරුකුල අධ්‍යාපනය ලබා අග්‍රගණ්‍ය උගතුන් බවට පත් වූ තරුණයින් තිදෙනෙකු පිළිබඳවය. බ්‍රාහ්මණ අධ්‍යාපන පීඨවලින් උසස්ම උපාධි දිනූ නමුදු, මොවුන් තිදෙනාම මොළයට ලොකු අලාභයක් කරගත්තවුන් බව පැහැදිලිය. මෙවැනි කතා රාශියක් බෞද්ධ සාහිත්‍යයේ අඩංගු වේ.

මෙබදු කතා මගින් පැහැදිලි වන්නේ ගුරුකුල අධ්‍යාපන ක්‍රමය මගින් ශිෂ්‍යයාට කෙරෙන විපතයි. මිහිඳු තෙරුන් වහන්සේ මහාවිහාරය පිහිටුවීම මගින් ලංකාවේ ගුරුකුල අධ්‍යාපන ක්‍රමය සමග තරග කිරීමට ධර්මශාලා අධ්‍යාපන ක්‍රමය ඇරඹුණි. පරවිද්‍යා සහ අපර විද්‍යා යනුවෙන් ධර්මශාලා අධ්‍යාපන ක්‍රමයේ මූලික අංග දෙකක් තිබුණි. අපර විද්‍යාව මගින් අප ජීවත් වන ලෝකයට ප්‍රයෝජනවත් විෂයන් ඉගැන්වීම සිදුවිය. පර විද්‍යාව යනු අධ්‍යාත්මික ගවේෂණයයි. අපර විද්‍යා අධ්‍යාපනය ලබන්නන්ට පර විද්‍යා දැනුමක් ලබාගැනීමට සිදුවිය. එමගින් සිදුවූයේ ලෝකය ගැන ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට නිවැරදි සිහිය ලබාදීමයි.

මැකෝලිගේ අධ්‍යාපන යෝජනා මගින් සිදුකරන්නේ සිපොයි ඉන්දියානුවන් බිහිකිරීමයි. ජෙනිංග්ස් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් බලාපොරොත්තු වූයේ සිපොයි උගතුන් බෝ කිරීමයි. එයි බිහිවූ සිපොයියන් රටට කළ විපත අද අපි අත්දකිමින් සිටිමු.

‘සහතිකය’ පුද්ගලයාගේ වටිනාකම ප්‍රකාශ කෙරෙන මිනුම බවට පත්කිරීම, යටත් විජිත ආණ්ඩුව විසින් සිංහල ජාතියේ ශක්තිය නැසීමට යෙදූ උපායකි. ආණ්ඩුවේ හෝ ආණ්ඩුවේ ආධාර ලබන පාසලක අධ්‍යාපනය ලබා අවශ්‍ය විභාග සමත්වීමෙන් අධ්‍යාපන සහතිකයක් ලබා ගැනීමේ ක්‍රමයක් යටත් විජිත ආණ්ඩුව විසින් හඳුන්වා දෙනු ලැබුවේය. මෙය ඊට පෙර ඉන්දියාවේ අත්හදා බලන ලද්දකි. බ්‍රිතාන්‍ය හමුදාවටත් වඩා විශාල වූ ඉන්දියා ‘සිපොයි’ හමුදාව ගොඩනංවන ලද්දේ ඒ අත්හදා බැලීම්වලින් පසුවය.

(2019 පෙබරවාරි 19 ඉරිදා අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link