ටජ්මහලට බිලි වුණේ බුද්ධ භූමියක් ද?

Last Updated on 7 hours by admin

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

Pic. credit: The Guardian

ඉන්දියාවේ යමුනා ගං තීරයේ පිහිටි ටජ්මහල් ප්‍රාසාදය ගැන බොහෝ ලාංකිකයන් තුළ ඇත්තේ කලා නිර්මාණ හා ලිපි ලේඛන ඇසුරින් ලද දැනුමකි. ආචාර්ය අජන්තා රණසිංහ රචනා කළ ටජ්මහල සම්බන්ධ ගීය ඒ අතරින් එකකි. ඉන්දියාවට ගොස් සංගීතය හැදැරූ සනත් නන්දසිරි එහි ගායකයා වූයේය. එහි ආරම්භක කොටස මෙසේය:

“ආදර සැමරුම් කැටිවූ
නෙතු කඳුලින් මුතු පබුලින්
නිමා කළෙමි සිහි වටනය
යමුනා තීරේ”

දිල්ලියේ විසූ මෝගල් රජු – සාජහන් – අවංක පෙම්වතෙකු බවට කෙරෙන වර්ණනා සත්‍යයෙන් තොරය. ඔහු කාන්තාවන් සිය ගණනකගෙන් සමන්විත අන්තහ්පුරයක් හිමිව සිටි කෲර ඉස්ලාම් පාලකයෙකි. ඔහුගේ සිරකාරියන් වූ කාන්තාවන් අතර වැඩිවියට පත් නොවූ ගැහුණු දරුවෝ ද සිටියහ. සාජහන් මියගිය ප්‍රේමවන්ත බිරිය සිහි වන්නට ටජ්මහල් ප්‍රසාදය ඉදි කළේය යන්න කතාන්දරයකි.

මේ ප්‍රාසාදය අතීතයෙහි හින්දු කෝවිලක් වූ බව හින්දූන්ගේ මතයයි. සෙසු විහාර ඉස්ලාම් ගොඩනැගිලි බවට පත් කළ ලෙසටම මෙයද ඉස්ලාමිකයන් විසින් වෙනස් කරන ලද විහාරයක් බව බෞද්ධයන්ගේ අදහසයි.

ඉරානය බවට පත්වූ පර්සියාව බෞද්ධ රටක් වශයෙන් පැවතියේද යන්න ඉතිහාසඥයින් විසඳිය යුතු කරුණකි. මෙම කලාපය පුරා බුදුසසුන පැතිර පැවති බවට සාක්කි තිබේ. හතර වැනි ධර්ම සංඝායනාව පැවැති වර්තමාන පකිස්ථානයේ පෙෂාවෝර්හි විසූ කනිෂ්ක රජු තුර්කි ජාතිකයෙකු වූ බව ඉතිහාසකරුවන්ගේ අදහසයි. බෞද්ධ සාහිත්‍යයේ ’ශක්‍රයා’ පර්සියානු අධිරාජයා යැයි සිතන පිරිසක් සිටිති. ඇතැමුන්ගේ අදහස ’ශක්‍ර’ පර්සියානු අධිරාජ්‍යයේ ප්‍රාන්ත රජෙකු බවයි.

අඟපසඟ හෝ ඇතැම් ගතිගුණවලින් මනුෂ්‍යයින්ට සමාන සත්ව වර්ග පිළිබඳ කතා ආසියාවේ පැරණි රාජ්‍යයන් සියල්ලකම පාහේ ඇත. සඳකිඳුරන් නිදසුනකි. දඩයමේ ගිය බ්‍රහ්මදත්ත රජතුමා කිඳුරියක අල්ලා ගැනීමට ඇගේ පෙම්වතා මැරූ හැටි විස්තර කෙරෙන සඳකිඳුරු ජාතකය සිංහල සාහිත්‍ය වංශයේ ශ්‍රේෂඨ කාව්‍යයකි. චීන මුහුදේ වෙසෙන මකරුන් ගැන චීන සාහිත්‍යයේ විස්තර කෙරේ. පර්සියාව, ඇෆ්ගනිස්ථානය, පකිස්තානය වැනි රටවල ජනශ්‍රැති විභාග කරන්නෙකුට ඉංග්‍රීසි සාහිත්‍යයේ ෆෙ(ය)රි fairy යනුවෙන් හැඳින්වෙන සත්ව විශේෂය වාසය කර ඇත්තේ එම භුමිකලාපයේ යැයි සිතේ.

ඉංග්‍රීසි සාහිත්‍යයේ ‘ෆෙයරි කතා’ නමින් ළමා කතා විශේෂයක් ඇත. මේ කතා පිළිගන්නා බටහිර රටවල දරුවන්ගේ හැඟීම, ෆෙයරින් පෘථිවියෙන් එපිට වෙනම ලෝකයක වෙසෙන බවයි. ඔවුන්ගේ කතාන්දර අධ්‍යයනය කළවුන් පවසන පරිදි, ෆෙයරින්ට විශාල ශරිර නොතිබුණි. පියාඹන්නට අත්තටු දෙකක් තිබුණි. ඔවුන් ‘දෙව්ලොවේ’ සිට පෘථිවියට එන්නේ ඒ අත්තටුවල ආධාරයෙනි.

නිශ්ශංකමල්ල රජුගේ මාළිගාව සමීපයේ තිබූ මල් උයනින් යමෙකු හොරෙන් මල් කඩන බව එහි මුරකරුවාට වැටහුණි. ඔහු මිටි ශරීරයකින් යුතු අයෙකි. මල් හොරා ගැන විපරමින් පඳුරක් අස්සේ සැඟවී සිටි ඔහුට දිනක් මැදියම් රෑ සුරංගනාවන් පිරිසක උයනට බැස මල් නෙළනු පෙනුණි. හෙතෙහ සුරංගනාවියක අල්ලා ගැනීමට උත්සාහ කරද්දී ඇගේ සළුව පමණක් අතට අසු වුණි. පියාඹා යෑමට නොහැකි වූ ඇය තමන් පැමිණියේ සොරකමට නොව බුදුන්ගේ ශ්‍රී පාදයට පුජා කිරීමට මල් නෙළීමට බව කියමින් සළුව ඉල්ලා සිටියාය. මුරකාරයා සළුව ආපසු දුන්නේ, ශ්‍රී පාදය පිහිටි තැන දක්වා මල් හලමින් යන බවට ඇය පෙරොන්දු වූ පසුවයි. පසුදින රජතුමා හමුවු ඔහු සිද්ධිය පැවසූ පසුව, රජුගේ අණ පරිදි ගිට සෙනවි පිරිසක් මල් වැටී තිබූ පාර ඔස්සේ ගොස් ශ්‍රී පාදස්ථානය සොයාගත්හ.

ඉරානය හා ඒ අවට කලාපයේ කාන්තාවන් අලංකාරය හා සිරුරේ රශ්නය රඳවා ගැනීම සඳහා භාවිත කළ සළුව, ඉස්ලාම් ආගමික සංස්කෘතිය යටතේ කාන්තාවන්ගේ හිස වසන හිජාබය බවට පත්වූයේ යැයි අනුමාන කිරීමට බොහෝ කරුණු තිබේ. මේ කලාපයේ මස්ජිඩ බොහොමයක් ගොඩනංවා ඇත්තේ බෞද්ධ ස්තූප වෙනස් කිරීමෙනි. මස්ජිඩ වටා ඇති මිනරත් (minaret) සහ මස්ජිඩ මත ඇති ගෝලාර්ධය (dome) ස්තූපාංග ඇසුරින් නිර්මාණය කරගත් ඒවාය. ටජ්මහල මත ඇති ගෝලාර්ධ, ස්තූප සිහිගන්වයි. ඉහත ශ්‍රීපාද කතාවට සම්බන්ධ නිශ්ශංකමල්ල රජු ලංකාවට පැමිණියේ කාලිංගයෙනි. එය වර්තමාන උතුරු ඉන්දියාවේ ප්‍රදේශයක් යැයි අනුමාන කිරීමට හේතු තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top