Last Updated on 10 months by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
(හරිති හා දරුවා – පකිස්ථානයේ පෙෂාවෝර් කෞතුකාගාරය)
හෙන්රි ජයසේනගේ, ‘හුණුවටයේ කතාව’ ජනප‍්‍රිය කරවීමට හවුල් වූවන් විශාල පිරිසකි. ඊට නැගෙනහිර ජර්මන් තානාපති කාර්යාලයේද සහාය ලැබුණි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව ජයසේනගේ හුණුවටයේ කතාව උසස් පෙළ පංතිවලට නිර්දිෂ්ඨ පොතක් කළේය. ලංකාවේ සෝවියට් තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය ඉදිරිපත් වී බ්‍රෙෂ්ට් ලෝකයේ හොඳම සමාජවාදී නාට්‍යකරුවා යැයි රටට ඒත්තු ගැන්වීය.
හුණුවටයේ කතාව, යුරෝපයේ ජනප‍්‍රිය වූ, ජර්මන් ජාතික බර්ටෝල්ඞ් බ්‍රෙෂ්ට්ගේ ‘ද කොකේෂියන් චෝක් සර්කල්’ නාට්‍යය අනුව නිපදවන ලද්දකි. ජර්මන් නාට්‍යයට පදනම් වූ කතාවට මුල් වූයේ ජාතක කතාවකි. (විස්තර සඳහා අප විසින් රචිත ‘බෞද්ධ නාට්‍ය ශාස්ත‍්‍රය’ බලන්න* දරුවන් කන යක්ෂණියක විසින් පැහැර ගන්නා ලද සිය දරුවා ලබාගැනීමට වෙහෙසුන මවක සහ ඔවුන් දෙදෙනාව විනිශ්චයට ලක් කළ විනිසුරුවරයෙකු ගැන ජාතක කතාවෙන් කියවේ.
යක්ෂයින් ලංකාවට සීමාකර බොරු ඉතිහාස කතාන්දර ගෙතීම කාලයක සිට ලංකාවේ සිදුවන ක‍්‍රියාවකි. එහි මූලික පරමාර්ථය මහාවංශය සහ ථෙරවාදි බුදු සසුන පිළිබඳ වැරදි සිතුවිලි බෞද්ධයන් තුළ පහළ කිරීමයි. හුණුවටයේ කතාව බුදු සසුන පිළිගත් යක්ෂයින්ගේ ආගමික කතාවකි. යක්ෂ දේවතාවෙකු වූ ආලවක ගැන ලංකාවේ ලියවුන බෞද්ධ පොතපතේ සඳහන් වේ. ලංකාවේ යක්ෂ ජනයා ආලවක දේවතාවා පි¥ බව ඔප්පු කිරීමට සාක්ෂ්‍ය නැත. කුවේණිය මනුෂ්‍යයින් පැහැරගත් යක්ෂ කුමරියකි. දරුවන් පැහැරගත් යක්ෂ දේවතාවියක ගැන කියවෙන කතාවක් පැරණි සිංහල පොතක නැත.
බෞද්ධ මූලස්ථානයක්ව පැවති ගාන්ධාරයේ පුරාවස්තු අතර දරුවන් බිල්ලට ගත් යක්ෂ දේ්වතාවියක පිළිබඳ තොරතුරු තිබේ. ඇය ‘හරිති යක්ෂණිය’ යැයි ඇතැම් ඉතිහාසකරුවෝ සඳහන් කරති.
ගාන්ධාර ශිල්පියෝ, බුදුන් සරණ ගිය හරිති යක්ෂ දෙව්දුව දැක්වෙන කැටයම් නිර්මාණය කළහ. ගාන්ධාර පුරාණයට අනුව, හරිති බුදුසසුනේ උපාසිකාවක වූ පසු ළමයින් රකින හා පෝෂණය කරන දේවතාවියක වූවාය. ඇය සරම්ප රෝගයෙන් දරුවන් බේරාගත්තාය. බෞද්ධ විහාරයන්හි හරිති ප‍්‍රතිමා තිබුණි. ගාන්ධාරයට පැමිණි ‘ඉත්සිං’ චීන භික්ෂුව මේ බව සඳහන් කරයි. මහායාන බුදුසසුනත් සමඟ ටිබෙටය, චීනය, ජපානය ආදී රටවල විහාරයන්හි හරිති දෙවඟන වන්දනාව ප‍්‍රචලිත විය. දරුවා ඇකයට ගත් දෙවඟනක මිසරය, ග‍්‍රීසිය, ඉතාලිය වැනි රටවල බෞද්ධයන් අතරද ජනප‍්‍රිය විය. මෙය දරුවකු වඩාගත් මරියා වන්දනාවට වඩා පැරණි වන්දනාවකි.