දිලිත්ලගේ සන්ධානයේ රැජින කවුද

Last Updated on 2 months by admin

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, යුතුකම ජාතික සංවිධානය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය එකතුවී අලූත් සන්ධානයක් පිහිටුවාගෙන තිබෙනවා.

ජාතිකත්වය ගැන උනන්දු පිරිස් මේ විදියට එකමුතු වීම හොඳ දෙයක්. නමුත් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ බලා මිස මේ එකමුතුව ගැන පැහැදිලි යමක් කියන්න බැහැ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ජාතිකවාදීද නැද්ද යන්න ගැන මට යමක් ස්ථිරව කියන්න බැහැ. නමුත් ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමීන් වගේ රට අගාධයට ඇද දමන විදියේ තක්කඩි දේශපාලනයක් කරන බවක් පෙනෙන්නට නැති නිසා ඔවුන් මේ සන්ධානයට එක් වීමේ වරදක් දැනට මම නම් දකින්නේ නැහැ.

මේ පාර්ශව සියල්ලම වාගේ එකට ඉඳලා විසිරිලා ගිය කණ්ඩායම්. අරගල කානිවල් එකේ රස්නයට විසිරුණු මේ පිරිස්, සිංහල අවුරුද්ද පහුවෙද්දි මේ එකමුතු වෙන්න තීරණය කළ එක හොඳ දෙයක් විදියටයි මා නම් දකින්නෙ.

සිංහල අවුරුද්දේ විශේෂත්වය තමයි පරණ තරහා මරහා අමතක කරලා කළ වරදට සමාව ඉල්ලලා සමාව දීලා නෑදෑකම් අලූත් කරගන්න එක. පෘතග්ජනයින් හැටියට අපි කවුරුත් වැරදි කරනවා කියන පදනමේ ඉඳගෙන තමයි බෞද්ධ අපි මේ වගේ සිරිත් ආරම්භ කරලා තියෙන්නෙ. එය දියුණු ශිෂ්ටාචරයක ගති ලක්ෂණයක්.

ඊයේ රාත්‍රියේ පැවති දෙරණ 360 ට සහභාගි වූ විමල් විරවංශ කී ලෙසට සමාන අදහස් ඇති වාම ලිබරල්වාදීන්ට (මාලිමාව) සහ දක්ෂිණාංශික ලිබරල්වාදීන්ට (රනිල් එජාප සහ පොහොට්ටුව) එරෙහිව රට ජාතිය ආගම රැකගත යුතු සියලූ රට වැසියා වාද භේද හැරදමා එකට එකතු විය යුතුයි. ඒක හරි. ජාතක පොත කියවන අපට සාමූහිකව දැල උස්සන්නේ නැතිව වාදකරමින් සිටි වටුවන්ට අත්වූ ඉරණම ගැන දැනුම තියෙනව.

මේ සන්ධානයේ හැමෝම සම්බන්ධයෙන් අපටත් යම් යම් ගැටලූ නැතිවා නොවෙයි. හැට නව ලක්ෂයක්, බෞද්ධයන් බහුතරයක් ඡන්දය දීලා පත් කරගත්ත ආණ්ඩුව කඩාවැටෙන තැනට පත් කරන්න විමල්, ගම්මන්පිල වගේ අය මූලික වුණා. මොන තරම් පීඩන ඇතුලෙන් ආවත් ඒවා ඉවසිල්ලෙන් විසඳගෙන ඉදිරියට යාමේ වගකීමක් ඔවුන්ට තිබුණා. විමල් ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත්වීම නිසයි ගෝඨාභයට තනතුර දාලා යන්න සිදුවීම දක්වා ප්‍රශ්නය දුරදිග ගියේ. මේ බව ගෝඨාභය ලියපු පොතේත් සඳහන් වෙනව.

ඔවුන්ගේ ක්‍රියාව නිසා 69 ලක්ෂයක් ඡන්දය දුන්න ජනතාව අනාථ වුණා. ඒ වරද ස්වයං විවේචනයට ලක්කරමින් නිවැරදි වීමයි විමල් ඇතුළු පිරිස කළ යුත්තේ. අලූත් සන්ධානය දිහා මා බලන්නේ එතන ඉඳගෙනයි. වැරදි කිරීම පෘතග්ජන ගතියක්. ඒක නිවැරදි කරගැනීමට අවස්ථාවක් දීම බෞද්ධයාගේ ගතියක්. බුදුන් වහන්සේ කළේම, මිනිස්සුන්ට නිවැරදි වෙන්නට අවස්ථාව දීමයි. අංගුලිමාලලා, ආලවකලා නිවැරදි මගට ආවේ එහෙමයි.

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැයි කිව්වේ ගාමිණි දිසානායක. ඔහු එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිහින් ලලිත් ඇතුලත්මුදලි හා එක්ක ප්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටෙව්වා. කෙටි කලකට පසු ගාමිණී, නැවත එක්සත් ජාතික පක්ෂයට පැමිණ ජනාධිපති අපේක්ෂකයා බවටත් පත්වුණා. චන්ද්‍රිකා බන්ඩාරනායක, අම්මාටත් සහෝදරයාටත් විරුද්ධව පක්ෂය කඩාගෙන ගියා. ගිහින් පක්ෂ ගණනාවක් හදලා අතරමං වෙලා අවසානයේ නැවත ශ්‍රීලනිපයට ඇවිත් ජනාධිපති වුනා.

දේශපාලනය කියන්නේම බලය සොයා යෑමක්. ඒක එහෙම නෙවෙයි කියා දේශපාලනයේ නිරතව සිටින කවුරු හෝ කියනවා නම් එය අවංක කතාවක් විදියට පිළිගන්න අමාරුයි. මෙන්න මෙතනින් තමයි සැබෑ ගැටලූ ඇතිවෙන්නේ.

දේශපාලන සන්ධාන, අසමගිකම් වගේ දේශපාලනයේ හැම දේකටම පොදුවේ බලපාන්නෙ ‘බලය’ කියන පොදු සාධකය. ඒ පස්සෙන් තමයි හැමෝම යන්නෙ. ගමේ ඡන්දදායකයාගේ පවා මනස හැසිරෙන්නෙ බලය ඉලක්ක කරගෙන. ඒ නිසයි සමහරු දිනයි කියලා හිතෙන, නැතිනම් වැඩිපුර පෝස්ටර් ගහන අපේක්ෂකයන්ට ඡන්දය පාවිච්චි කරන්නෙ. මැතිවරණයකදි යහපත් පුද්ගලයා පරදවා අන්ත තක්කඩියා දිනන්න එක හේතුවක් ඒක.

මේ සන්ධානයට ඉදිරියේදි මූණදෙන්න සිද්ධ වෙන එක ප්‍රශ්නයක් ඒක. දැන් සන්ධානයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ කවුද?

දිලිත් ජයවීර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව පැහැදිලිව ප්‍රකාශ කළ කෙනෙක්. විමල්, ගම්මන්පිල වගේ අයගෙ හිතෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න තමන්ට සුදුසුකම් තියෙනවා කියන අදහස තියෙන්න පුළුවන්. පරණ පක්ෂ කීපයක දශක ගණන් දේශපාලන කරල පුරුදු අය දිලිත් ජයවීරට පුටුව දෙන්න කැමති වෙයිද?

දිලිත්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දෙන්න අනික් පිරිස කැමති වුනත් දිලිත්ට ජනාධිපතිවරණයක් ජයග්රහණය කරන්න පුළුවන් වෙයිද? ඒ තරම් ජනතා කැමැත්තක් දිලිත් ජයවීරට තියෙනවාද? අනික් පිරිසට එකතු වෙලා දිලිත්ට ජනතාව අතර ලොකු පිළිගැනීමක් අරන් දෙන්න පුළුවන් වෙයිද? එහෙම දෙයක් කරන්න ඒ අයට ලොකු පිළිගැනීමක් ජනතාව අතර තියෙනවාද? මෙන්න මේ කාරණා සලකා බැලූවාම, මට නම් එහෙම තත්වයක් පෙනෙන්න නැහැ. මේ හැම දේශපාලන පක්ෂයක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, පොහොට්ටුවේ එල්ලිලා රැකුණ ඒවා මිස විශාල ජන බලයක් තියෙන පක්ෂ නෙවෙයි. ඔය වගේ සිද්ධියක් වුණා, ජවිපෙ, පොදුජන එක්සත් පෙරමුණ එක්ක හවුලේ (ජවිපෙ-චන්ද්රිකා හවුල) ඡන්දයට ආව වෙලාවෙ. විමල් ඇතුළු ජවිපෙ අපේක්ෂකයන් ඡන්ද විශාල තොගයක් ගත්තා. හැබැයි හවුල කැඩුණට පස්සෙ ඒ ඡන්ද නැවත ලැබුණෙ නෑ.

අලූත් සන්ධානයේ අරමුණ විසිරී සිටින 69 ලක්ෂයේ ඡන්දයි. දිලිත් ජයවීර එය පැහැදිලිව කියලත් තියෙනවා. ‘පොහොට්ටුව ලාංඡනේ නිර්මාණය කළෙත් මමයි. පොහොට්ටුවේ ඡන්දදායකයින්ට මා ඉන්නවා’ කියල. විමල්, ගම්මන්පිල, ඡන්න, වැනි අයත් හිතනවා ඇති 69 ලක්ෂය තමන්ට ඡන්දය දෙයි කියල. නමුත් ඡන්දදායකයො එහෙම හිතයිද? ඒ 69 ලක්ෂය කෙසේ වෙතත් එයින් වැඩි පිරිසක් වත් අලූත් සන්ධානය වටා එකතු වෙයිද?

දේශපාලනයේදි ඡන්ද ප්රතිඵල නිකුත් වෙනකල් බොහෝ දෙනා ඉන්නෙ දිනලා. සිහිය එන්නෙ ප්‍රතිඵල නිකුත් වුණාට පසුවයි. ඒ නිසා සිහිකල්පනාවෙන් වැඩ නොකළොත්, මේ සන්ධානය ඡන්ද කඩන මැෂිමක් වෙලා රටට හානිකර බලවේගයක් බලයට ගෙන එන්න පාර කපාවි. 1988 ජනාධිපතිවරණයෙදි එහෙම දෙයක් වුණා. ආර්. ප්‍රේමදාස ඡන්ද 2,569,199ක් ගනිද්දි සිරිමා බණ්ඩාරනායක ඡන්ද 2,289,860ක් ගත්තා. වෙනස ඡන්ද 279,339යි. ඔසී අබේගුණසේකරට ඡන්ද 235,719ක් ලැබිලා තිබුණා. ඔසී මැතිවරණයට ඉදිරිපත් නොවුණා නම් සිරිමා දිනලා රටේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණා. මේ කාරණය අලූත් සන්ධානය බරපතල විදියට හිතන්න ඕන දෙයක්.

මීමැස්සන් එකතු වෙන්නෙ රැජින වටායි. රැජිනව අතට ගත්තාම මීමැසි රංචුව ඇවිත් අත වහගන්නව. ජනතාවත් එහෙමයි. තමන්ගෙ හිතේ ඉන්න නායකයා වටේ තමයි එකතු වෙන්නෙ.

මට හිතෙන හැටියට නම් මේ සන්ධානය දැන් කළ යුත්තේ ‘රැජින’ සොයාගැනීමයි. එහෙම කරන්න පුළුවන් වුනොත්, ඒ අවබෝධය ඔවුන්ට ලැබුණොත්, ඔවුන්ටත් රටටත් යහපතක් වේවි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link