නන්දසේන දියසේන කරමු

Last Updated on 2 months by admin

මං හිතන්නේ ‘සර්ව ජන බලය’ සන්ධානයේ ‘රැජින’ විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂයි. දැන් සමහරු අහයි, ‘දිලිත් වගේ ළගින් ඉදගෙන උදව් කරපු අයව පැත්තකට දාලා, රට විනාශ කරලා පැරදිලා පැනලා ගිය මිනිහාට නැවත බලය දෙන්න උදව් කරන්න කියලද දිලිත්ලට කියන්නෙ කියන්නෙ?’ කියල.

‘එකම පුද්ගලයාට එකම දිය පහරකට දෙවරක් අත දැමිය නොහැකියි’ කියා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා. වරක් දියට අත දමා ඉවත ගෙන දෙවැනි පාරට අද දානකොට ඒ පුද්ගලයාගේ සිත වෙනස් වෙලා. දිය පහරේ එතැන තිබුණු වතුර ගලාගොස් වෙනත් වතුර එතැනට ඇවිත්. ඒ තමයි අනිත්‍යය. මිනිස්සු වෙනස් වෙනව.

මිනී මර මරා ඇඟිලි කප කප හිටිය අංගුලිමාල වෙනස් වුණා. ඒ කොහොමද? බුදුන් වහන්සේගෙ බුද්ධිමත් මගපෙන්වීම නිසා. මම කලින් ලිපියෙන් කිව්වා, වෙනස් වෙන්නට ඉඩ දීම තමයි බුදු දහමේ විශේෂත්වය කියල.

රට බේරගත්ත දුටුගැමුණු, විජයබාහු, වළගම්බා, ධාතුසේන වගේ රජවරු රට ගොඩනැගුවේ පසුබැහැලා නැතිනම් හැංගිලා ඉඳලා ඉතා අසීරුවෙන් ජයග‍්‍රහණය කරලයි.

ඒ හැම සටනක්ම කාලයක් පුරා සංවිධානය වෙමින් කළ සාමූහික වැඩපිළිවෙළක ප‍්‍රතිඵලයක්. මෙන්න මේක තමයි මේ වෙලාවෙ හිතට ගන්න ඕන වැදගත්ම දේ. මමයි රජා කියලා හිතුවට වැඩක් නෑ. තනියම රජ වෙන්න බෑ. ඒ ගැන හීන දකින්න නම් පුළුවන්.

ඇත්තටම රට විනාශ කළේ ගෝඨාභයද? නෑ… මං ඒ ගැන වෙනම ලිපියකින් කරුණු පෙන්නන්නම්. රනිල් ජනාධිපති වුනාට පස්සෙ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් ලස්සන කතාවක් කිව්වා. ‘රට එක සතයක් ණය නොකළ මිනිහාව පන්නලා රට ණය කන්දකට යට කළ මිනිහාව ජනාධිපති කළා’ කියල.

2019 වෙනකොට ලංකාව ආර්ථික වශයෙන් වැටිලා ඉවරයි. අපිට පිටිපස්සෙන් හිටියෙ ඇෆ්ගනිස්ථානය විතරයි. නමුත් කිසි කෙනෙක් මේක දුටුවේ නැහැ. පාස්කු බෝම්බය නිසා සංචාරක කර්මාන්තය වැටිලා විශාල ආදායමක් අහිමි වුණා. ගෝඨාභයට කරගහන්න වුණේ මේ කඩාවැටෙන්න ඔන්න මෙන්න තිබුණ රටට. ඒ එක්කම කොවිඞ් වසංගතය ආවා. රට අකර්මණ්‍ය වුණා. ආදායම් අහිමි වුණා.

නමුත් කොවිඞ් වසංගතයේ මුල් කාලයේ ගෝඨාභයට පුළුවන් වුණා විදේශවල අතරමංව සිටි පිරිස් ගෙන්වා නිරෝධායනය කිරීම, එන්නත් ලබාදීම වගේ වැඩ ටික සාර්ථකව කරන්න. ඔහු තමන්ගෙ කාර්ය මණ්ඩලය අඩු කළා. වියදම් අඩු කළා. ඔහු අනතුරු ඇෙඟව්වා, ‘ඉදිරියේදි ආර්ථිකය දුර්වල වෙනවා. අපි කාටත් කැපකිරීම් කරන්න වෙයි’ කියල. නමුත් කිසි කෙනෙක් මේක ගණන් ගත්තෙ නැහැ. අන්තර්ජාතික සඟරා ආදියේ ලිපි පළ වෙනවා ලංකාවේ ආර්ථිකය කඩාවැටෙමින් තියෙන බව 2020 වෙනකල් රටට අඳුනගත්තේ නැහැ කියල.

ගෝඨාභය එක පැත්තකින් වරද්ද ගත්තේ ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලංකාවෙ අත්හදා බලන්න ගිහින්. වර්ජන, විරෝධතා කරන අයට ජනාධිපති ලේකම් කාර්යාලය කිට්ටුව ඉඩක් වෙන් කළා. ගෝඨාභය හිතුවා එතකොට ඇමරිකාවේ වගේ, ලංකාවේ කට්ටිය ‘අපි වර්ජනයේ’ කියලා බෝඞ් උස්සගෙන අර වෙන්කරපු බිම් කොටසට වෙලා ඉඳීවි කියල.

නිල නිවාසය පැත්තකට දාලා, ගෙදරට වෙලා ඉන්න එකේ අනතුර දකින්න ගෝඨාභයට බැරිවුණා. ගේ වටකරන්න විරෝධතාකරුවන්ට ඉඩ ලැබුණේ ඒකෙන්්. ගෝඨාභය උත්සාහ කළේ සරල, චාම්, වියදම් අඩු නායකයෙක් වෙලා රටට යම් ආදර්ශයක් දෙන්න. නමුත් ලංකාවෙ සමාජය, දේශපාලන සංස්කෘතිය එච්චර දියුණු නෑ.

ගෝඨාභය අනුවණ වැඩ කළා. බදු අඩුකිරීම, රසායනික පොහොර එකවර නවතාදැමීම වගේ අනුවණ වැඩ. ඔහුව අන්දපු එක තමයි ඇත්තටම වුණේ. පොහොර වැඬේ. බදු අඩු කිරීම උදාහරණයි. දැන් කෙනෙක් අහන්න පුළුවන්, ‘ඒ වගේ ලණු කන නායකයෙකුට ආයෙත් රට භාර දෙනවද?’ කියා. ඒක වැරදි තර්කයක්. නායකයෙක් කියන්නෙ සියල්ල දත් කෙනෙක් නෙවෙයි. ඒකට තමයි උපදේශකලා ඉන්නෙ.

මහෞෂධ ප`ඩිතුමා නිදසුනකට ගන්න. කාවින්ද, දේවින්ද, පුක්කුස, කේවට්ට මේ හැමෝගෙම පී. බී. ජයසුන්දරට සමාන කම් තියෙනව. ජයසුන්දර ජනාධිපති ලේකම්, කාගෙ හරි වුවමනාවට ඒ තනතුරට පත්වුණ කෙනෙක්.

අනික් පැත්තෙන්, විශ්වාසයි කියලා ළං කරගත්ත සමහරුත් පිටිපස්සෙන් පිහියෙන් අනින ජාතියෙ අය. මම දන්නා විදියට දිලිත් ජයවීර ගෝඨාභයට යුද්ද කාලෙ පටන් උපකාර කළ කෙනෙක්. ඔහු ගෝඨාභයව බලයට ගේන්න ලොකු වැඩ කොටසක් කළා. නමුත් අවසානයේ දෙන්නා විරසක වුණා. දිලිත් වගේ දිගු කාලයක් මාධ්‍යවලට සම්බන්ධ කෙනෙක් ඉන්න අතරෙ, මහාරාජා පුහුණු කරපු මිනිස්සු ගෝඨාභයගෙ මාධ්‍ය ලොක්කො බවට පත් වුණා. රට බේරගන්න දායක වුණ මනුස්සයාගෙ, සිංහල බෞද්ධ බහුතරයකගේ චන්දයෙන් බලයට ආව මනුස්සයාගෙ මාධ්‍ය වැඩකටයුතු, රට කඩන්න දරදිය ඇද්ද මහාරාජාගෙ ගෝලයො අතට ගියා. පුදුමයි නේ? මට ලැබුණු තොරතුරුවලට අනුව මේක කළේ නිශ්ශංක සේනාධිපති.

ගෝඨාභය නෙළුම් පොහොට්ටුවේ හිරවෙලා ඉන්න බව මුලින්ම දැක්කේ ආචාර්ය නලින් ද සිල්වා. ඔහු කිව්වා ගෝඨාභයට පොහොට්ටුවේ නායකත්වය දිය යුතුයි කියල. ඊළඟට ඒ ගැන කතා කළා විමල් වීරවංශ. එතැන් පටන් විමල්ට පොහොට්ටුවෙන් එල්ල වුන පහරදීම් වැඩි වුණා.

කෙටියෙන් කිව්වොත්, විධායක ජනාධිපති තනතුර දැරුවත් ගෝඨාභයට නිදහසේ අතදිග ඇරලා වැඩ කරන්න ඇතුළේ කට්ටිය ඉඩ දුන්නේ නැහැ. හතර වටින් වටකරගෙන පහරදෙද්දි, ලණු දෙද්දි, කකුලෙන් අදිද්දි විධායක ජනාධිපති තනතුර තිබුණට වැඩක් නෑ. ඉතිහාසයේ මේ වගේ උදාහරණ ඕන තරම් තියෙනව.

ගෝඨාභයට තනතුර දාලා යන්න වුණේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් වශයෙන් කියන එක දැන් පැහැදිලියි. මිලේනියම් සිටි පාවාදීමෙන් දුර්වල වුණ බුද්ධි අංශය ශක්තිමත් කරලා, විදේශ ඔත්තු සේවාවල සහයෝගය අරන් ජාත්‍යන්තර මුහුදේ කොටි නැව් විනාශ කරන්න සම්බන්ධ වුන මනුස්සයාට, තමන්ව මරන්න කොළඹට එන පිරිස ගැන හරි තොරතුරු ආවෙ නැහැ කියන්නෙ විශාල අර්බුදයක සලකුණක්.

අන්තිමේ, සේරම කුණු බේරුවල බොක්කට කියලා හැමෝම වරද ගෝඨාභයගෙ කරට පටවලා තමන් සුදනෝ වෙන්න උත්සාහ කළා. මේකෙන් තමයි ගෝඨාභයට විශාලම හානිය වුණේ. ගෝඨාභයට වරද පටවන වැඩිදෙනාගෙ හෘදයසාක්කිය එළියට ගන්න විදියක් තියේ නම් මේ බව පෙනේවි.

දැන් කෙරෙන්න ඕන, අපි ආපහු ඒ ජයග‍්‍රාහී යුගයට යන එක. ගෝඨාභය, ෆොන්සේකා, වීරසේකර, දිලිත්, විමල්, ගම්මන්පිල, ජාතික සංවිධාන එකමුතුව, මේ සේරම එකතුවෙලා තමයි යුද්දය ඉවර කළෙත්. ඇයි අපිට එතෙන්ට යන්න බැරි?

මෛත‍්‍රීපාල සිරිසේනට අන්ත දරුණු විදියට වේදිකාවලදි ඇමතුව විමල් වීරවංශ පසුව සිරිසේන එක්ක එකට වැඩ කළා නම්, ගෝඨාභයට පොහොට්ටුවේ බලය දිය යුතුයි කිව්ව විමල්ට ගෝඨාභය එක්ක වැඩ කරන්න බැරිවෙන්න බෑ. යුද්ධ කාලෙ ඉඳලා එකට වැඩ කළ දිලිත්ට ගෝඨාභය එක්ක නැවත වැඩ කරන්න බැරි වෙන්න බෑ.

ඒ වගේම දිනන්න බෑයි කියලා බොහෝ දෙනා කියපු, ලෝකෙ දරුණුම ත‍්‍රස්තවාදි සංවිධානය පරාජය කරන්න නායකත්වය දුන්න, ගෝඨාභයට, ෆොන්සේකාට, වීරසේකරට නැවත එකට වැඩ කරන්න බැරි වෙන්න බෑ.

රට තියෙන්නෙ අවදානම් තැනක. සහරාන්ලා මැරුණාට ඉස්ලාම් අන්තවාදය මැරිලා නෑ. රට බෙදීමේ ඊළාම් සිහිනය බොඳවෙලා නෑ. මේවාට මූණ දෙන්න ශක්තිමත් දේශපාලන, ආරක්ෂක නායකත්වයක් අවශ්‍යයි. ගෝඨාභය ජනාධිපති වෙලා, ෆොන්සේකාට ජාතික ආරක්ෂක ඇමතිකම දුන්නොත් ඔය වැඬේ කෙරෙන්නෙ නැද්ද? ඒ දෙන්නාට අවශ්‍ය ශක්තිය සපයන්න සෙසු පිරිසට බැරිද? ඒ වගේම දෙවැනි, තුන්වැනි පෙළ නායකත්වයට ගැලපෙන රටට ආදරය කරන පිරිසක් නිර්මාණය කරගන්න මේ අවස්ථාව පාවිච්චි කරන්න බැරිද? විජේවීරගේ පුතා උවිඳු, යාපනේ අරුන් සිද්ධාර්ථන්, දැනට ආණ්ඩුවේ ඇමති තනතුරක් දරන අලි සබි‍්‍ර වගේ අයත් මේ පිරිසට එක්වෙන්න ඕන. එතකොට තමයි ජාතික සමගිය ඇති ශක්තිමත් ආණඩුවක් පිහිටුවන්න පුළුවන් වෙන්නෙ.

හැබැයි ගෝඨාභය තමන්ගෙන් වුන වැරදි පිළිගන්න තරම් නම්‍යශීලී වෙන්න ඕන. ඔහුට විශාල වගකීමක් තියෙනවා, අපේක්ෂා භංගත්වයට පත්ව ඉන්න, ඔහු කෙරේ මහා විශ්වාසයකින් හිටිය ජනතාවට යුතුකම ඉටු කරන්න. ඔවුන්ට වැරදුනේ නෑ, ඔවුන් පැරදුනේ නෑ කියල ඔප්පු කරලා පෙන්නන්න. මේක පුද්ගලික සටනක් නෙවෙයි. දිලිත්, විමල් ඇතුළු අනික් පාර්ශවත් නම්‍යශීලී වෙන්න ඕන. කැත්තට පොල්ල වගේ ඉඳලා රට ජාතිය බේරගන්න බෑ.

පොහොට්ටුවෙ ගමන පොහොට්ටුව ගියාවෙ. මහින්ද බැසිල් එතන හිටියාවෙ. එක පවුලේ අය විවිධ දේශපාලන පක්ෂවල ඉන්න එක අලූත් දෙයක් නෙවෙයි. සිරිමාවෝ, අනුර, චන්ද්‍රිකා විවිධ පක්ෂවල හිටියා මතකද?

බිම් මට්ටමේ චන්දදායකයන්ගෙන් බහුතරයක් තවමත් ගෝඨාභය එක්ක හදවතින් ඉන්නව. කිසි දේශපාලනයක් නොකර මිනිස්සුන්ගෙ හිත් මේ තරම් දිනාගත් නායකයෙක් රටේ හිටියෙ නෑ. සිංහල බෞද්ධ බහුතරයකින් ජනාධිපතිවරණයක් දිනුව වෙනත් නායකයෙක් නෑ. විදේශවල හිටිය මිනිස්සු පවා ලංකාවට ඇවිත් නායකයෙකුව පත් කරගන්න උනන්දු වුන වෙනත් අවස්ථාවක් රටේ තිබුණෙ නෑ. ජනතාව ඉස්සරහට ඇවිල්ල කතා නොකරන්න එක හේතුවක් ගෝඨාභයගෙ නිහ`ඩබව. ඔහු නැවත දේශපාලනයට නොඑයි කියල ජනතාව හිතනව. අනික ඔහුට විරුද්ධව කරපු ප‍්‍රචාරය. සතුරු බලවේග සියල්ල දැන හිටියා ගෝඨාභයව ජනතාව අතර අප‍්‍රසාදයට ලක් නොකළොත් ඔවුන්ගේ අනාගතය අඳුරු බව. සමාජ ජාලා වගේ තැන්වල ගෝඨාභයට පක්ෂව කතාකරන අයට පන්න පන්න ගහන්න කුලී හමුදා අදටත් ඉන්නවා.

මහබැංකුව කඩපු රස්නෙ ගියේ නෑ තවම. ඒත් රනිල් ජනාධිපති. මෛත‍්‍රීපාල සුදනෙක්ද? අනුරලා විජිතලා සුදනොද? ගෝඨාභය තරම් පීඩා, කුමන්ත‍්‍රණ යටතේ කටයුතු කළ වෙනත් නායකයෙක් රටේ හිටියෙ නෑ.

ඒ වගේම මම දිනුවේ සිංහල බෞද්ධයන්ගේ චන්දවලින් කියල රට හමුවේ කෙලින් කියපු වෙනත් නායකයෙක් නෑ. රුවන්වැලි මහා සෑය ළඟ දිවුරුම් දීපු නායකයෙක් රටේ හිටියෙ නෑ. ‘ඔබලාගෙ බලපෑම්වලට අපි යටවෙන්නෙ නෑ’ කියල විදේශ තානාපතිවරුන්ගෙ මූණට කියපු නායකයො තව ඉන්නවද රටේ, මහින්ද ගෝඨාභය ඇරුණාම? දැන් කෑගහනව විදේශ තානාපතින්ගෙන් බේරෙන්ඩ බැරියෝ කියල නම්.

මේ සේරම වෙනස් වුණේ සිංහල බෞද්ධ විරෝධීන්ගේ හා බලලෝභීන්ගේ කුමන්ත‍්‍රණ නිසයි. මේ යථාර්ථය අවබෝධ කර නොගන්නා තාක් සිංහල බෞද්ධයාට නැගිටින්න බෑ.

එකිනෙකාට ඇඟිල්ල දික්කරමින් තමන් නිෙදාස් වීම නෙවෙයි දැන් අවශ්‍ය. රටට ආදරේ අය වහාම ක‍්‍රියාත්මක වෙලා අනික් පාර්ශව එක්ක සාකච්ඡුා කරලා ඉදිරියට යා යුතුයි. තවමත් ප‍්‍රමාද නෑ මේ ඓතිහාසික තීරණය ගන්න.

මේක දේශපාලන අත්හදාබැලීම් කරන වෙලාවක් නෙවෙයි. චන්දෙට යන්න ඕන දිනන්න බලාගෙන. මොකද වෙන්නෙ කියල අත්හදා බලන්න නෙවෙයි.

‘වැටුණට පරදින්නෙ නෑ. පරදින්නේ නැගිට්ටෙ නැත්තං’ කියල කිව්වෙ බොක්සිං සූර කැසියස් ක්ලේ.

ක‍්‍රිකට් මැච් එකක් පරදින කොට අඩු ලකුණුවලට දැවී යන තමන්ගේ කී‍්‍රඩකයන්ට නින්දා කරන පේ‍්‍රක්ෂකයො, කවුරු හරි දෙන්නෙක් එකතුවෙලා ගහන්ඩ ගත්තාම ඔල්වරසන් දෙන්න ගන්නවා.

දේශපාලනයෙත් එහෙම තමයි. පරාජය වුණාම කවුරුවත් කැමති නෑ. නමුත් හරි සැලසුමක් ඇතිව නැගිටලා තමන් ශක්තිමත් කියලා පෙන්නන්න ගත්තාම අහක බලාගෙන හිටිය අය පවා ළඟට එනව.

ඒ තමයි මිනිස්සුන්ගෙ මනස වැඩ කරන හැටි. ඒ නිසා අවශ්‍ය කට්ටිය එකට එකතු වුනා නම් නැගිටින්න පුළුවන්. දිනන්න පුළුවන්.

මේක සිංහලයින්ගෙ තීරණාත්මක අවස්ථාවක්. තැන තැන පොඩි පොඩි කණ්ඩායම් වශයෙන් ඉන්න සියලූ ජාතිකවාදී කොටස් එකතු කරලා රට, දැය, සමය බේරාගැනීමටයි මේ අවස්ථාවේ කවුරුත් සිතිය යුත්තෙ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link