බෞද්ධ සාහිත්‍යකරුවන්ට නොපෙනෙන නිධානය

Last Updated on 3 months by admin

‘බුදුදහම’ පිළිබඳ අපගේ කියවීම්, නිරීක්ෂණ, නිගමන තිතට-නූලට නිවැරදි යැයි සහතික වන්නට නොහැකි ය. එහෙත් බුදුදහම හා සොබාදහම යනු දෙකක් නොව එකක් ම යැයි අපට සිතෙන්නේ පතපොතින් පරිබාහිරව සිදුකෙරුණ හුදෙකලා නිරීක්ෂණ ගණනාවක් ද පාදක කොට ය.

සමහර දේවල් අපට බෙදා වෙන් කරන්නට, කොටස් කරන්නට සිදුවන්නේ සංඛ්‍යාත්මක හා ගුණාත්මක ලෙස ය. සංඛ්‍යාත්මකව ගත් කල අප උපන් දේශයේ – ලංකාවේ අතිමහත් බහුතරය වන්නේ බෞද්ධයෝ ය. එහෙත් ගුණාත්මකව, ධර්මානුකූලව (සැබෑ බුදුදහමට අනුව) එය එසේ වන්නේ ද?

කෙසේ වුව ද බුදුදහමේ මුල් පාඩම හෝ කියවා ගන්නා තුරු ‘බෞද්ධයා’ පිළිබඳ ප‍්‍රශ්නය කරළියට නැගීම අනුචිත යැයි හැෙඟයි. බෞද්ධයා ගැන කතා කරන්නට පෙර බුදුදහම පිළිබඳ යම් වැටහීමක් වගාදිගා කරගෙන තිබීම අත්‍යවශ්‍ය ය. බුදුදහම හා සොබාදහම යනු එකක් ම යැයි අප කියන්නේ ස්වභාව ධර්මයේ රිද්මය ද චක‍්‍රාකාරයෙන් අඛණ්ඩව ගලා යන්නක් වන නිසා ය. මහගම සේකරයන්ගේ (උපාධි නිබන්ධනය වන) ‘සිංහල ගද්‍යපද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ’ නම් වූ කෘතියේ එය සඳහන් වන්නේ මෙසේ ය.

“රෑ දවාල
ඍතු භේදය
වඩදිය බාදිය
වර්ෂාව!

වලාකුඵ සිහිල් වී වැසි වසී. වැසි දිය ගං හෝ දිගේ ගලා ගොස් වැව් හා මුහුදුවල පිරෙයි. ඒ දිය වාෂ්ප වී අහසට නැග වලාකුඵ සේ කැටි ගැසෙයි. වලාකුඵ සිහිල් වී යළිත් වැසි වසී. මුහුදු රැල්ල වෙරළට ගලා එන්නේ වක‍්‍රාකාරව ය. ග‍්‍රහලෝකවල ගමන් මාර්ග වක‍්‍රාකාර ය.

අෂ්ටලෝක ධර්ම චක‍්‍රය”

මේ චක‍්‍රීය ස්වභාවය සාහිත්‍යකරුවාට බොහෝ වැදගත් ය. ඒ ආකල්පමය පෙරළියක් ඇතිකිරීමේ, ජීවිත වෙනස් කිරීමේ ශක්‍යතාව වැඩියෙන්ම පවතින්නේ සාහිත්‍යය තුළ වන නිසා ය. එහෙත් මේ නිධානය හාරා-පාදා ගැනීමට මේ රටේ බෞද්ධ සාහිත්‍යකරුවන් කොතරම් දුරට අවධානය යොමු කර ඇත්තේ දැයි හරියටම කියන්නට බැරි ය. එය නිධානයක් මත වාඩිවී සිටීමක් වැනි ය. එහෙත් ලෝක සාහිත්‍යයෙන් අපට ඒ බෞද්ධකම මුණගස්වා ඇති, අබෞද්ධ ලේඛක ලේඛිකාවෝ සැලකිය යුතු සංඛ්‍යාවක් සිටිති. උප්පැන්න සහතිකයෙන් බෞද්ධ නොවන ඔවුන්ගේ ඇතැම් විශිෂ්ට කෘති අපට විටින් විට කියවන්නට ලැබෙයි. එවැනි විශේෂිත නිර්මාණ අතරේ ද ප‍්‍රමුඛත්වයේ ලා සැලකෙන The House of the Spirits ( සිංහල පරිවර්තනය - මායාවාස) නවකතාව ලියා ඇත්තේ බෞද්ධකම නොහඳුනන, ඉසබෙල් අය්යන්දේ නම් වූ ලතින් අමෙරිකානු ලේඛිකාව ය. මේ නවකතාව මෙසේ සාරාංශගත කළ හැකි ය.

එස්තබාන් තෘවෙබා නම් වූ පාරම්පරික ඉඩම් හිමියා තුළ සරාගී හැගුම් අවුඵවන්නේ තුන්මරියාව ගම්මානයේ වෙසෙන දුප්පත් ගැමි කෙල්ලකි. ඇය පන්චා ගාර්සියා නම් වෙයි. එස්තබාන් තෘවෙබා අසුපිට නැගී ඇය සොයා යන එක් සිහිකටයුතු සන්ධ්‍යාවක පන්චා ගාර්සියා කටුවැරැල්ල මිටියක් හිසින් ගෙන ඔහු ඉදිරියෙන් ගමන් කරමින් සිටියි. හෙමිහිට අසු පන්නමින් ඇයට කිට්ටු කරන ඔහු, දරමිටිය අල්ලා ඔසවා ඈතට වීසිකර ඇගේ ඉණ වටා අතක් යවා කපුරු කොළ ගොඩක් මැදට ඇද වැටෙන්නේ මුරුග සෙය්‍යාවෙනි; ප‍්‍රචණ්ඩ ලෙසිනි.

කාලය ගෙවී යයි. පන්චා ගාර්සියා මවක බවටත් මිත්තණියක බවටත් පත් වෙයි. එස්තබාන් තෘවෙබා ද ක්ලාරා නම් වූ පෙළපතට සරිලන තරුණියක සමග විවාහ වී දරු මුණුබුරන් ලබයි. එස්තබාන් තෘවෙබාගේ වඩාත් සමීප, ආදරණීය හා අහිංසක මිනිබිරිය වන්නේ ‘ඇල්බා’ ය. සරසවි සිසුවියක වන ඇල්බා හමුදාව විසින් රැගෙන යනු ලබන්නේ රටේ උද්ගතව පවතින අස්ථාවර වාතාවරණය තුළදී ය. හමුදා බැරැක්කයේ බලූ කූඩුවක් වැනි අඳුරු අහමුල්ලකදී ගාර්සියා නම් වූ හමුදා නිලධාරියා රුදුරු ලෙස ඇයට විධානයන් පනවන්නේ අවුරුදු පනහකට පෙර එස්තබාන් තෘවෙබා, පන්චා ගාර්සියා නම් වූ ගැමි කෙල්ලට අණ දුන් හඬින්ම ය. හමුදාවට බැඳී සිටින මේ ගාර්සියා, පන්චා ගාර්සියා නම් වූ ඒ ගැමි කෙල්ලගේම මුණුබුරා ය.

හමුදාවේ ග‍්‍රහණයෙන් මිදී නිවෙසට පැමිණෙන ඇල්බා, පසුදිනෙක ලියා තබන ආත්ම ප‍්‍රකාශනය බණකතාවක් වැනි ය. තමාගේ අත්දැකීම් හා අදාළ සියලූ සිදුවීම් තමාගේ උත්පත්තියට ද පෙර අධිනිශ්චය කෙරුණ සැලසුමක අනිවාර්ය පෙළගැසීමක් නොවන්නේ දැයි ඇය විමසා සිටියි. හමුදාවේදී රුදුරු ලෙස තමා දූෂණය කළ ගාර්සියා ද ඒ සැලැස්මේම එක් පුරුකක් ලෙසිනි, ඇය හඳුනාගන්නේ. තමාගේ සීයා, එස්තබාන් තෘවෙබා ලඳුකැලේදී පෙරළා ගත්තේ, දූෂණය කළේ හමුදා නිලධාරියාගේ ආච්චි වූ පන්චා ගාර්සියා ය. දූෂණයට ලක් වූ ගැහැනියගේ මුණුබුරා විසින් දූෂණය කරනු ලැබුණේ දූෂකයාගේ මිණිබිරියයි. තවත් දශක තුනහතරකට පසු තමාගේ මුණුබුරා විසින් හමුදා නිලධාරියාගේ මිණිබිරිය දූෂණය කරනු ලබන්නට ඉඩ ඇතැයි ඇල්බාට සිතෙන්නේ හේතුව පලය වෙමින්, පලය හේතුව වෙමින් අඛණ්ඩව ඇදී යන ප‍්‍රවාහයට අනුකූලව ය. ලේඛනය අවසානයේ ඇය මෙවැනි සටහනක් ද තබයි.

මම දැන් මගේ වෛරය සොයමි. එහෙත් එය සොයා ගන්නට නැත. කර්නල් ගාර්සියා සහ එ වැනි වෙනත් අයගේ පැවැත්මේ අරුත වැටහෙත් ම මගේ වෛරයේ ගිනිසිළු නිවී යයි. මගේ සීයා ගැන, ක්ලාරා ආච්චි ගේ සටහන් සහ අම්මා ගේ ලියුම් ගැන, ‘තුන් මරියාවේ’ ගණන් පොත් සහ දැන් මේ මේසය මත ඇති තවත් බොහෝ ලියවිලි ගැන වැටහෙන විට, වෛරයකට ඉඩක් ඉතිරි නොවේ. පළිගත යුතු හැම දෙනෙකු ගෙන් පළිගැනීම ඉතා දුෂ්කර ය. හේතුව, මගේ පළිගැනීමත්, එක ම නිර්දය අභිචාරයේ තවත් කොටසක් විය හැකි බැවිනි.

ඒ රුදුරු දම්වැල මා කැඩිය යුතු ව තිබේ.”
(මායාවාස – පරිවර්තනය: ගාමිණී වියන්ගොඩ)

ක‍්‍රියා – ප‍්‍රතික‍්‍රියා බවට පත්වන ආකාරය මෙතරම් සුපැහැදිලි ලෙස නිරූපණය කළ බෞද්ධ නිර්මාණකරුවකුගේ නිර්මාණ කෘතියක් ගැන මතක් කර ගැනීම එතරම් පහසු නැත. ‘සිද්ධාර්ථ’ නවකතාව ලියූ ජර්මානු ජාතික හර්මන් හෙසට හෝ ‘මායාවාස’ ලියූ අමෙරිකානු ලේඛිකා ඉසබෙල් අය්යන්දේට හෝ ‘බෞද්ධ’ ලේබලයක් ඇලවී ඇත්තේ ද නැත.

මේ කෘති ද්වයම බිහි වූයේ ලේඛකයා හා ලේඛිකාව (පතපොතට අමතරව) සොබාදහම අධ්‍යයනය කිරීමේ ප‍්‍රතිඵල වශයෙන් යැයි නිගමනය කිරීම අසාධාරණ ද? බුදුදහම හා සොබාදහම යනු දෙකක් නොව එකක්ම වන බවට මේ සාහිත්‍ය නිර්මාණ ඉ`ගි නොකරන්නේ ද?

උදේ පිපෙන මල් හවසට පරවෙන බව හා උදේට පායන හිරු හවසට බැස යන බව අපට පෙන්වා දෙන ලද්දේ බුදුවරයකු විසින් නොවේ. ලෝකාරම්භයේ පටන් ම මල් පිබිදෙයි; පරවී යයි; හිරු නැගෙයි; බැස යයි. බුදුවරුන් බිහිවුණ ද, නොවුණ ද එය එසේ ම සිදු වෙයි. මල් පිපෙන පරවෙන අයුරු, හිරු පායා බැස යන අයුරු අප කොතෙක් වරක් දුටුව ද ඒ ගැන අපට වැටහීමක් නැත. අප ඒවා අවශෝෂණය කරගන්නේ දර්ශන මාත‍්‍රයෙනි. පිපෙන මල් පරවෙන බව ඉඳහිට හෝ අපට සිහිකැඳවනු ලබන්නේ බුදුන් වහන්සේට මල් පූජා කිරීමේදී කටපාඩමින් කියන ‘පූජේමි බුද්ධං කුසුමෙන නේන…’ යන ගාථාව විසිනි. ඒ ද එහි සිංහල අරුත දැන සිටින්නේ නම් පමණි.

බුදුදහම හා සොබාදහම අතර වන සහසබඳතාව හඳුනාගැනීමට නම් අවශ්‍ය වන්නේ චින්තනයේ ප‍්‍රසාරණයකි. ‘බුද්ධ’ යනු අවබෝධ කළ බව ය; අවදිවීම ය.

‘බෞද්ධයා යනු කවරෙක් ද?’ යන ප‍්‍රශ්නයට, ඒ මාතෘකාවට අත තබන්නට පෙර බුදුදහම විනිවිද යමින් නව සිතුවිල්ලක් සඳහා, නව පර්යාලෝකයක් සපයාගත යුතුව ඇත්තේ ඒ අනුව ය. මේ සොයායාම බෙහෙවින්ම අනුකූල වන්නේ බුදුන්වහන්සේ දෙසූ ‘කාලාම සූත‍්‍රය’ට ය.

printgraphic2@gmail.com  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link