Last Updated on 3 weeks by admin
සෑම් සෙනෙවිරත්න

Pic. credit: divaina.lk
පාස්කු ප්‍රහාරයට වසර 6ක් පිරෙන්නට ආසන්නය. එහෙත්, ‘මහමොළකාරයා’ ගැන වාද කරනවා මිස, ඒ කවුරුන්දැයි හෙළිදරවු කෙරෙන පාටක් නැත. ප්‍රහාරයෙන් මිය ගියවුන්ගේ ඥාතීහුද තුවාල ලැබුවෝද පොදු ජනතාවද සිදු වන්නේ කුමක් දැයි බලා සිටිති.
බන්ධනාගාරයෙන් ඇප ලැබී එළියට පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමි, පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා තමන් දන්නා බවත් එය ජනාධිපතිවරයාට හා ඉහළ ආරක්ෂක අංශවලටත් දැනුම් දෙන බව පවසා තිබේ.
පසුගියදා මීගමුව කුරණ දේවස්ථානයක ගොඩනැගිල්ලක් විවෘත කරන අවස්ථාවක කාදිනල්තුමා දේශනයක් පවත්වා මෙවැනි අදහස් කීපයක් පළ කර තිබේ.
”පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍ය තොරතුරු තව නොබෝ දිනකින් හෙළිදරව් වන බව සහතිකයි.
තම අවංකකම හා වගකීම අමතක කර තමන්ට බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යෑම සඳහා නායකයන් කොයිතරම් දූෂිත, අප්‍රසන්න හා විනාශකාරී දේවල් සිදු කළාද කියා දැන් හෙළිදරව් වෙමින් තිබෙනවා. පාස්කු ප්‍රහාරය ද එවැනි විනාශකාරී ක්‍රියාවක්.
ඒ ගොල්ලන් සත්‍යය කොතරම් සඟවන්නට යට ගහන්නට උත්සාහ කළත් පාස්කු ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍යය තව ටික කලකින් හෙළිදරව් වෙනවා සිකුරුයි.’’
චැනල් 4 නාළිකාවෙන් විකාශය වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ චිත්‍රපටියට තොරතුරු සැපයූ, පිල්ලෙයාන්ගේ මාධ්‍ය ලේකම්වරයකු වූ හන්සීර් අසාද් මවුලානා නමැත්තා ශ්‍රී ලංකාවට ගෙන ඒමේ සූදානමක් ඇති බවටත්, එහි අරමුණ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු ගෝඨාභය හා සුරේෂ් සලේ වෙත හැරවීම බවටත් සති කීපයකට පෙර මාධ්‍ය වාර්තා විය.
මවුලානා පවසා ඇති තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවල පළ වූ තොරතුරුවලට සහ චැනල් 4 නාළිකාව චිත්‍රපටිය සම්බන්ධයෙන් විකාශය කළ විනාඩි 5ක පමණ හඳුන්වා දීමේ වැඩසටහනට අනුව, සිදු වූයේ යැයි කියන කරුණු මෙසේ සංක්ෂිප්ත කළ හැකිය. (චිත්‍රපටිය නැරඹීමට උත්සාහ කළද, එය නැරඹිය හැක්කේ බ්‍රිතාන්‍ය වාසීන්ට පමණක් බව නිවේදනය කෙරිණි.)
බැසිල් රාජපක්ෂ විසින් 2008 වසරේ අගෝස්තු මාසයේදී සුරේෂ් සලේට ඉන්දියානු රහස් ඔත්තු සේවයේ නිලධාරියකු මුණගස්වා ඇත. පිල්ලෙයාන් සමගද රෝ ඔත්තු සේවය සබඳතා පවත්වා තිබේ. 2018 ජනවාරියේ එවකට බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන්, සුරේෂ් සලේ හා සහරාන් ඇතුළු අන්තවාදීන් කණ්ඩායම අතර හමුවක් සංවිධාන කරන ලෙසට මවුලානාට උපදෙස් ලැබී ඇත.
ඒ අනුව පුත්තලම ප්‍රදේශයේ පැවති බව කියන සාකච්ඡාවකට සහරාන් ඇතුළු 6 දෙනෙකු පැමිණි බව මවුලානා කියයි. ඔවුන් සලේට හඳුන්වාදී ඇත්තේ මවුලානා විසිනි. මවුලානාට සාකච්ඡාව පැවති නිවසෙන් එළියට වී සිටින්නැයි පැවසූ ඔවුන් පැය කීපයක් සාකච්ඡාවේ යෙදී ඇත. අනතුරුව ‘රටේ අනාරක්ෂිත තත්වයක් ඇති කරන්න රාජපක්ෂලාට අවශ්‍යයි. ඒක තමයි ගෝඨාභයට බලයට එන්න තියෙන එකම ක්‍රමය’ යැයි සුරේෂ් සලේ තමා සමග පැවසූ බව, මවුලානා චැනල් 4 නාළිකාවට කියා තිබේ.
චිත්‍රපටියෙන් ඇඟවෙන්නේ, ගෝඨාභය බලයට ගෙන ඒම සඳහා සුරේෂ් සලේ සහ සහරාන් ඇතුළු පිරිස එක්වී පාස්කු ප්‍රහාරය එල්ල කළ බවයි.
අනුර දිසානායක ජනපති පදවියට පත්ව, රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර ආරක්ෂක අංශවල ඉහළ තනතුරුවලට පත් කළ නුදුරු දිනෙක, සුනන්ද දේශප්‍රියගේ පොතක් එළිදැක්වීමේ උළෙලකදී, සිරිල් ගාමිණී පියතුමා පාස්කු බෝම්බයේ මහමොළකරු ගැන ප්‍රකාශයක් කළේය. එතුමා පැවසූ පරිදි, පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අබු හින්ද් යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි තැනැත්තෙකි. ඔහු කාලයක් මුළුල්ලේ සහරාන් සමග දුරකථනයෙන් කතාබහ කරමින් සිට ඇත. ඒ කාලයේ මේ පුද්ගලයා ගැන සෙවූ රවි සෙනෙවිරත්න, ඔහු කවුරුන්ද යන්න අනාවරණය කරගෙන තිබේ. මේ පිළිබඳව ඔහු අධිකරණයේදීද විනිශ්චයකාරයරයෙකුට හෙළිදරව් කර ඇත. අබු හින්ද් යනු කවුරුන්දැයි පියතුමා පවා දන්නා බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට පැවති රජයයන්වලට ඕනෑකමක් නොතිබුණු බවත් එතුමන් දේශනයේදී කියා තිබුණි.
යූටියුබ් සාකච්ඡාවකට සහභාගි වෙමින්, රාසික් මොහොමඩ් කදීර් ඛාන් පවසන්නේ, ප්‍රහාරය රෝ සංවිධානය විසින් සැලසුම් කරන ලද අතර කාදිනල්තුමා මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් ඒ බව දැන සිටි බවයි. ඔහු පවසන ආකාරයට, මෝදිගේ ජයග්‍රහණය සඳහා ඉන්දියාවේ හින්දූන්ගේ ඡන්ද අපේක්ෂාවෙන් පාස්කු ප්‍රහාරය සැලසුම් කර තිබේ. සහරාන් ඇතුළු තරුණයින් ත්‍රස්තයින් බවට පත් කර ඇත්තේ රෝ සංවිධානය විසින් වන අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව මෙහෙයවා ඇත්තේ ඉන්දියානු ආරක්ෂක හමුදා බුද්ධි අංශය විසිනි. කාදිනල්තුමා ඉන්දියාව පිළිබඳව කිසිවක් නොකියන්නේ එතුමාත් මීට සම්බන්ධ නිසා යැයිද සිරිසේන ජනාධිපතිවරයා සිංගප්පූරුවට ගියේ ප්‍රහාරයට ඉඩ සැලසීමට යැයිද ඛාන් පවසයි.
තවත් මුස්ලිම් කණ්ඩායමක් නියෝජනය කරන මිෆ්ලාල් මව්ලවිවරයා යූටියුබ් සාකච්ඡාවකදී අඟවන්නේ, මෙය රෝ සංවිධානය සහ ලංකාවේ වෙනත් මුස්ලිම් පාර්ශ්ව එක්ව එල්ල කළ ප්‍රහාරයක් බවයි. ඒ, ලංකාවේ මුස්ලිම්වරුන් අපකීර්තියට පත් කිරීමේ අරමුණ ඇතිවය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු සමාලෝචනය කරන විට ඒවායේ අඩංගු කරුණු එකිනෙකට පරස්පර විරෝධී බව ඔප්පු වේ. එම නිසා මේ ප්‍රචාරය වන්නේ බොරු වැලක් මිස පිරිසිදු ඇත්ත නොවේ.
පාස්කු ප්‍රහාරය ගැන නිවැරදි අවබෝධයක් ලැබීමට නම්, ඒ සම්බන්ධ දේශීය, විදේශීය විමර්ශන හා අධිකරණ ක්‍රියාකාරකම්, තත් කාලීන අයිසිස් (ඉස්ලාම් රාජ්‍යය) ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකරකම් හා ඊට එරෙහිව කලාපීය වශයෙන් ක්‍රියාත්මක වූ ප්‍රතිත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු දැනගැනීම අවශ්‍යය.
2017 වන විට අයිසිස් [අයිඑස්අයිඑස් ISIS – Islamic State of Iraq and Ash-Sham (Syria)] ත්‍රස්ත සංවිධානයේ පාලනය යටතේ තිබුණු භූමියෙන් 95%ක් ඔවුන්ට අහිමි විය. 2019 දී මොවුන් සතුව තිබුණු අවසන් බලකොටුව වූ සිරියාවේ බඝුස් ප්‍රදේශයද අයිසිස් පාලනයෙන් ගිලිහිණි. මේ නිසා අයිසිස් සංවිධානයට එක්ව සිටි විදේශිකයෝ සිය දහස් ගණනක් තම රටවලට හෝ අයිසිස් සංවිධානයට සහාය දෙමින් සිටි වෙනත් රටවලට හෝ සංක්‍රමණය වන්නට වූහ.
ශ්‍රී ලංකාවෙන් 41 දෙනෙකු අයිසිස් සංවිධානයට එක් වන්නට සිරියාවට ගිය බවට තොරතුරු වර්තා වූ අතර ඉන්දියාවෙන් 100කට ආසන්න පිරිසක්ද, බංගාලි දේශයෙන් 90 දෙනෙකු පමණද මාල දිවයිනෙන් 200 දෙනෙකු පමණද සිරියාවට ගිය බවට වාර්තා වී තිබේ. පකිස්තාන තලිබාන් සාමාජිකයන් 5000ක් පමණ අයිසිස් සංවිධානය වෙනුවෙන් සටන් බිමට ගොස් ඇත.
ඉන්දියාවෙන් අයිසිස් සබඳතා සහිත ප්‍රහාරයක් එල්ල නොවුනද, සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරකම් රැසක් පිළිබඳව වාර්තා විණි. අයිසිස් සංවිධානයට එක් වන්නට උත්සාහ ගන්නා ඉන්දියානුවන් පිළිබඳව ඉන්දියාවේ ජාතික විමර්ශන කාර්යාංශයට (එන්අයිඒ නැෂනල් ඉන්වෙස්ටිගේෂන් ඒජන්සි) පළමු වරට වාර්තා වී ඇත්තේ 2014 දීය. 2015 වසරේ සිට ඉන්දියාව අයිසිස් ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඬලීමේ උපායමාර්ග සම්පාදනයට යොමු වූවේය.
ඉන්දියානු මුජහිදීන් (අයිඑම්), අයිසිස් සබඳතා තිබුණු ප්‍රධානතම කණ්ඩායම ලෙස සැලකේ. එහි හිටපු නායකයකු වූ ෂාෆි අර්මර්, සිරියාවේ අයිසිස් මාධ්‍ය ප්‍රධානියකු වශයෙන් කටයුතු කළේය. මොහු ඊට පෙර අයිසිස් සංවිධානයට අනුබද්ධ අන්සාර් උට් තවුඩිඩ් ෆි බිලාඩ් අල් හින්ද් නම් සංවිධානයක් පිහිටුවාගෙන සිටි අයෙකි. අයිසිස් සංවිධානයට පක්ෂපාතව, ඉන්දියාවේ ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළ ජුනූඩ් උල් කලීෆා ෆිල් හින්ද් නමැති සංවිධානයට සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයින් 17 දෙනෙකු බඳවාදීමටද ඔහු කටයුතු කර ඇත.
මෙහ්දි මස්රූර් බිස්වාස්, වසර ගණනාවක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ අයිසිස් සංවිධානයේ ප්‍රධාන ‘ට්විටර්’ සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙකි. ඔහු බෙංගලුරු හිදී ඉන්දියානු ඔත්තු සේවා අත්අඩංගුවට පත් විය.
කාශ්මීර ප්‍රදේශයේ 2019ට පෙර වසර ගණනාවක් පුරා අයිසිස් බලය පැවතියේය. 2018 ජුනි 22 වැනිදා ජම්මු කාශ්මීර ඉස්ලාම් රාජ්‍යයේ ප්‍රධානියා වූ, ඩාවුඩ් ෆසාල් හක් කුරේෂි, ආරක්ෂක අංශ විසින් ඝාතනය කෙරිණි.
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් සුළු කලකට පසු 2019 මැයි දෙවැනි සති අන්තයේ අයිසිස් සංවිධානය, ඉන්දියාවේ කාශ්මීර් නිම්නයෙහි ‘විලායාත් අල් හින්ද්’ නමින් අයිසිස් කලාපයක් ප්‍රකාශයට පත් කළේය. ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අදහස වූයේ පාස්කු ප්‍රහාරයෙන් පසුව අයිසිස් සංවිධානයේ ඉලක්කය ඉන්දියාව දෙසට හැරෙමින් ඇති බවයි.
පකිස්ථානයෙන් හා ඇෆ්ගනිස්ථානයෙන් බැහැරව, දකුණු ආසියා කලාපයේ අයිසිස් සංවිධානයේ පළමු ප්‍රධාන පෙලේ ප්‍රහාරයක් එල්ල වූයේ බංගාලි දේශයේය. ඒ, 2016 ජුලි මාසයේ ඩකාහි හොලේ ආර්ටිසාන් බේකරියේදී Holey Artisan Bakery පුද්ගලයන් 22 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ප්‍රහාරයයි. ප්‍රධාන වශයෙන් විදේශිකයන් ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ල කරන ලද්දේ, අයිසිස් අනුබද්ධ දවුලාතුල් ඉස්ලාම් බෙංගාල් සංවිධානය විසිනි. එසේ වුවද, ප්‍රහාරයට අයිසිස් සබඳතාවක් ඇතැයි යන්න බංගලා දේශ ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය.
අයිසිස් සංවිධානයට එක් වීමට ලංකාවෙන් කණ්ඩායම් පිටව ඇත්තේ, 2015 ජනවාරියේ පටන් අවස්ථා 3කදීය. මේ කාලයේදී, ව්‍යාපාරික අල්හාජ් මොහොමඩ් යුසුෆ් ඊබ්‍රාහිම්ගේ (ජවිපෙ ඊබ්‍රාහිම් නානා) පුතුන්ගේ ‘ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම්’ සංවිධානය සහ ‘සේව් ද පර්ල්’ නම් රාජ්‍ය නොවන සංවිධානයත් ඇරඹිණි.
අයිසිස් ත්‍රස්ත මතවාදය ශ්‍රී ලංකාවේ පැතිරවීමේ නායකත්වය ගන්නා ලද්දේ, ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවිවරයාය. නවුෆර් මවුලවි අන්තවාදයට නැඹුරු වී ඇත්තේ 1997 වසරේ ඔහු කටාරයේ රැකියාවකට ගිය පසුවය. ඔහු එහිදී අන්තවාදී දේශන පවා පවත්වා තිබේ. 2006 වසරේ ආපසු ලංකාවට පැමිණි ඔහු සහරාන් සමග එක්ව ‘දරුල් අදර් අල් දාසියා’ නමින් සංවිධානයක් ඇරඹීය. සිය බිරියගේ සහෝදරිය සහරාන්ට විවාහ කර දුන් නවුෆර් මවුලවි, සහරාන් සිය සමීප ඥාතියකු බවට පත් කරගත්තේය. 2011 දී දරුල් අදර් අල් දාසියා සංවිධානයෙන් ඉවත් වූ සහරාන් ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඇරඹීය.
අයිසිස් සංවිධානය ඉස්ලාම් රාජ්‍යය ප්‍රකාශයට පත් කළ පසු නවුෆර්, කීප වරක්ම දේශන පැවැත්වීම සඳහා කටාරයට ගොස් තිබේ. නවුෆර් කටාර්හි ස්ථානගත වී සහරාන් ඇතුළු පිරිස මෙහෙයවමින් සිට, 2017 පෙරළා ශ්‍රී ලංකාවට පැමිණ තවත් මවුලවිවරුන් කීප දෙනෙකු සමග එක්වී සිය මතවාදය ප්‍රචාරය කරන්නට විය. ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීම පිණිස ප්‍රහාර සැලසුම් කරන්නේ ඒ අනුවය.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්කි දෙමින් හිටපු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පවසා තිබුණු පරිදි, ඔහුට මුල් වරට ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලැබී ඇත්තේ 2014 දීය. මාලිගාවත්ත ප්‍රදේශයේ විසූ අබ්දුල් රාසික් නමැත්තෙකු සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට එරෙහිව වෙනස් ආකාරයකින් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී තිබේ. කාත්තන්තුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි සහරාන් හෂීම්ද, අබ්දුල් රාසික්ගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට 2014 දී රාජ්‍ය බුද්ධි සේවයට වාර්තා වී ඇත. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පළමු වරට තොරතුරු ලැබී ඇත්තේ 2015 වසරේදීය. ඔහු පිළිබඳව තමන් ලිපිගොනු 14ක් පවත්වාගෙන ගිය බව, නාලක ද සිල්වා පවසයි.
2017 වසරේ කාත්තන්කුඩියේ වලිඋල්ලා සංවිධානය, ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රචණ්ඩත්වය පිළිබඳව එවක පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කර ඇති අතර පොලිස්පතිවරයා එම සංවිධානයේ නියෝජිතයින් නාලක ද සිල්වා වෙත යොමු කර ඇත. ඒ අනුව සහරාන් පිළිබඳ විමර්ශනයක් අරඹා තිබේ.
2017 මාර්තු මාසයේ සහරාන්, කාත්තන්කුඩියේ අල්ලියාර් හන්දියේදී තවත් සංවිධානයක් සමග ගැටුමක් ඇති කරගත්තේය. එයින් පසු ඔහු අතුරුදහන් විය. සහරාන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව වටහාගත් නාලක ද සිල්වා අධිකරණයට කරුණු වාර්තා කර, සහරාන් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් ලබාගත්තද, ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ නැත.
මේ කාලය වන විට, යහපාලන ආණ්ඩුව, බෙදුම්වාදීන්ගේ හා අන්තවාදීන්ගේ මනfදාල සපුරමින් බුද්ධි අංශ දුර්වල කිරීමේ කාරියට අතගසා තිබුණි. සහරාන්ට හා නවුෆර් මවුලවිට සිතැඟි පරිදි කටයුතු කරන්නට අවස්ථාව පෑදුණේ ඒ නිසාය. එවක හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුරේෂ් සලේ, අයිසිස් මතවාදය පතුරුවමින් සිටි නවුෆර් මවුලවි ඇතුළු සියයකට අධික පිරිසකගේ ලැයිස්තුවක් සාක්කිද සහිතව ජාතික ආරක්ෂක කවුන්සලයටත් ආණ්ඩුවටත් ලබා දුන්නද එම වාර්තාව කිසිදු සැලකිල්ලකට බඳුන් නොකෙරිණි. ඊට හේතුව අන්තවාදීන් ගැන සෙවීම, ආණ්ඩුවේ ඡන්ද පදනමට බාධාවක් විය හැකිය යන මතය නිසා බවට තොරතුරු වාර්තා විය. එයින් නොනැවතුණු ආණ්ඩුව සුරේෂ් සලේ මැලේසියාවට යැවීය.
දළදා පෙරහැරට පහර දී ප්‍රහාර ඇරඹීමට නවුෆර් උපදෙස් දුන් නමුත් සහරාන්ගේ අරමුණ වූයේ ඉක්මන් ප්‍රහාරයක් එල්ල කිරීමයි. ඊට හේතු දෙකක් විය. එකක් ඊට නොබෝ කලකට පෙර නවසීලන්තයේ මස්ජිඩයකට කතෝලිකයකු ප්‍රහාරයක් එල්ල කිරීමේ පළිය ගැනීමයි. අනෙක් හේතුව, මැදපෙරදිග කලාපයේ අයිසිස් සංවිධානය ලබමින් සිටි පරාජයේ කැළල මකා, සංවිධානයට යම් ජීවයක් ලබාදීමයි.
පාස්කු ප්‍රහාරයෙන් ප්‍රකට වූ, දකුණු ආසියාවේ නව අයිසිස් උපායමාර්ග 3 ක් පිළිබඳව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
1) සිරියාවට ගොස් අයිසිස් සංවිධානයට එක්ව සිටි පිරිස් ආපසු සිය රටවලට යෑම.
2) අයියිස් මතවාදයෙන් ආස්වාදයට පත් කලාපීය ත්‍රස්ත කණ්ඩායම්, අයිසිස් නම පාවිච්චි කරමින් ප්‍රහාර එල්ල කිරීම.
3) අයිසිස් සංවිධානය, සිය දකුණු හා මධ්‍යම ආසියානු කලාපීය (ISIS-KP/ISIS-K) අයිසිස් කොරාසන් කලාපය) ශාඛාව වැනි ශාඛා මාර්ගයෙන් දකුණු ආසියානු භූමියේ ක්‍රියාත්මක වීම. (ලෝකයේ අලුත්ම ත්‍රස්ත තර්ජනය අයිසිස් කොරාසන් කලාපය බවට පත්වෙමින් තිබේ. පසුගිය වසරේ රුසියාවේත්, ඉරානයේ සහ තුර්කියේත් ප්‍රහාර එල්ල කරන ලද්දේ කොරාසන් අයිසිස් ශාඛාව විසිනි. ජර්මනියේ, ස්වීඩනයේ සහ තවත් ස්ථාන කීපයක ඔවුන් සැලසුම් කළ ප්‍රහාර ව්‍යර්ථ කෙරිණි.)
රෝ සංවිධානය යනු ඉන්දියාවේ එකම බුද්ධි අංශය නොවේ. ඉන්දියානු බුද්ධි අංශය ව්‍යූහ 14කින් සමන්විත පළල් ජාලයකි. එහි ඉහළම ආයතනය දේශපාලන කටයුතු පිළිබඳ කැබිනට් කමිටුවයි. ඊටද රෝ සංවිධානයේ උසස් නිලධාරීන්ගේ සහයෝගය ලැබේ.
රෝ යනු පර්යේෂණ හා විශ්ලේෂණ ඒකකයි. (Research and Analysis Wing (R&AW/RAW) 1968 දී රෝ සංවිධානය පිහිටුවන ලද්දේ ඉන්දිරා ගාන්ධි විසිනි. ඒ විදේශ බුද්ධි තොරතුරු සඳහාම වෙන් වූ ඒකකයක් වශයෙනි. එය විශේෂයෙන්ම සලකා බලන්නේ විදේශ දේශපාලනය ඉන්දියාවේ ආරක්ෂාවට බලපාන්නේ කෙසේද යන කාරණයයි.
විදේශ බුද්ධි තොරතුරු එක්රැස් කිරීම, ත්‍රස්තවාදය මර්දනය කිරීම, සංහාරාත්මක අවි හා ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පාලනය, ඉන්දියානු ප්‍රතිපත්ති සම්පාදකයන්ට සහාය වීම, ඉන්දියාවේ උපායමාර්ගික අවශ්‍යතා ඉදිරියට ගෙනයෑම යන ඉතා සංකීර්ණ හා වැදගත් කාර්යභාරයක් ඒ මගින් ආවරණය කෙරේ. එය, පාර්ලිමේන්තුවේ පාලනයෙන් තොරව, ඍජුවම අගමැතිවරයා යටතේ, කැබිනට් ලේකම් කාර්යාලයේ කොටසක් වශයෙන් පවතී. සංවිධානයේ ලේකම්වරයා දිනපතා ජාතික ආරක්ෂක උපදේශකවරයාට වර්තා කළ යුතුය.
මේ නිසා රෝ සංවිධානය සහ අගමැතිවරයා අතර ඇත්තේ දැඩි සබඳතාවකි. මොරාජි දේසායි, ඉන්ද්‍ර කුමාර් ගුජරාල්, මන්මෝහන් සිං වැනි මෘදු අගමැතිවරුන් යටතේ රෝ සංවිධානය නිහඬ තත්වයක පසුවුවද, ඉන්දිරා ගාන්ධි, රජීව් ගාන්ධි සහ නරේන්ද්‍ර මෝදි යටතේ එය ඉතා ක්‍රියාකාරී බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
2019 මාර්තු මස ජාතික විමර්ශන කාර්යාංශය විසින් අයිසිස් සංවිධානය පිළිබඳ පර්යේෂණ ඒකකයක් පිහිටුවන ලදි.
ඉන්දියානු හමුදා බුද්ධි අංශයේ කාර්යභාරය, විදේශීය ආරක්ෂක අංශවලින් ඍජුව හෝ වක්‍රව ඉන්දියාවට එල්ල විය හැකි අනතුරු පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමයි. මේ නිසා ඉන්දියාවේ බුද්ධි අංශය රෝ සංවිධානයට ලඝු කළ නොහැකිය.
2019 කාලය වන විට, දකුණු ආසියාවේ ප්‍රධානතම සංවිධානය වූ සාර්ක් සංවිධානය, මේ පිළිබඳව දැක්වූයේ නිද්‍රාශීලී පිළිවෙතකි. මීට හේතුව, පකිස්ථානය කේන්ද්‍ර කරගත් ත්‍රස්තවාදීන්ගෙන් ඉන්දියාවට එල්ල වූ දේශසීමා තර්ජන පිළිබඳව ඉන්දියාව උනන්දු වීමයි. මේ නිසා කලාපීය ත්‍රස්ත මර්ධන කටයුතු සඳහා උපයෝගී කරගත හැකි වූයේ ඉන්දියාව, ශ්‍රී ලංකාව හා මාල දිවයින් යන රටවල ජාතික ආරක්ෂක උපදේශකයින්ගේ රැස්වීම් සහ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංගලා දේශය නියෝජනය කරන, බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවේ Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation රැස්වීම්ය.
මීට අමතරව සහයෝගය බලාපොරොත්තු විය හැකි වූයේ කලාපයේ ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් නිරන්තර විපරමින් සිටින ඇමරිකාවෙන් පමණි. ඇමරිකාව, දශක ගණනාවකට පෙර සිට ලෝක ත්‍රස්තවාදය මර්දනය කිරීමට පිණිස සිය නියෝජිතයින් ලෝකයේ හැම ප්‍රදේශයකම පාහේ ස්ථානගත කර විමර්ශන පවත්වමින් සිටී.
(මතු සම්බන්ධයි)