බුදුන් ජීවමාන කාලෙත් ලංකාවේ හිටියේ සිංහලයො

Last Updated on 4 weeks by admin

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

සෝලියස් මැන්දිස්ගේ සිතුවමකි. (කැලණිය රාජමහා විහාරය)

ඇමරිකාවේ සහ යුරෝපයේ උගතුන් චීනයට ගොස් චීනය හා චීන වැසියන් පිළිබඳව කරන ඕනෑම ශාස්ත්‍රීය පර්යේෂණයක් කෙරෙන්නේ චීන රජයේ අවසරය ඇතිවය. මේ නිසා චීනය ගැන පර්යේෂණ වාර්තාවක් හෝ ශාස්ත්‍රීය පොතක් ලියන බටහිර උගතුන්ට තමන්ට හිතෙන හිතෙන මතවාද ඉදිරිපත් කිරීමට අපහසුය. චීන වැසියන්ගේ මොළ කෙලෙසිය නොහැකි අයුරින් බටහිර උගතුන් පාලනය කිරීමට චීනයට හැකිවීම ගැන එරට වැසියෝ සතුටු වෙති. කොතරම් හපනුන් සිටියද ඉන්දියානුවන්ට එසේ ආඩම්බර වන්නට නොපුළුවන. නරේන්ද්‍ර මෝදි අගමැතිවීමෙන් පසු හින්දු ජාතිකත්වයේ ප්‍රගතියක් සිදුවී ඇතත් අදටත් ඉන්දියාව පිළිබඳ සියලුම අධ්‍යයනයන් පාලනය වන්නේ බටහිර අධ්‍යාපනික ආයතනයන්ට අවශ්‍ය ආකාරයෙනි.

ලංකාවේ උගතුන් අති බහුතරය හැමදාමත් කරන්නේ රට හා රටවැසියා ගැන යුරෝපා ජාතිකයින් ඉදිරිපත් කරන මතවාදයන් ඔසවාගෙන යාමයි. සිංහලයන්ට සහ සිංහල උරුමයන්ට අගෞරව කරමින් බටහිරුන් ඉදිරිපත් කර ඇති දහජරා මතවාදයන් පවා ඔවුන් දකින්නේ වටිනා අදහස් ලෙසිනි. ‘රත්තරන් මුද්දක් දමපු අතකින් ටොක්කක් කෑවත් හොඳයි’ යන්න කලකට පෙර මිෂනාරි පාසල්හි ඉගැන්වූ ආප්තෝපදේශයකි. දැන් එය භාවිතයේ නැතත් ලංකාවේ පවතින්නේ සුළු වෙනස්කම් කරන ලද ඒ යටත් විජිත අධ්‍යාපන ක්‍රමයමය.

ඉංග්‍රීසින්ගේ කාලයේ පටන් වර්තමානය දක්වාම ලංකාවේ උගතුන් වශයෙන් සැලකෙන බොහෝ දෙනාගේ පොදු සිරිත සිංහල භාෂාව, සාහිත්‍යය, වංශකතා වැනි සිංහල උරුමයක් ගැන අදහස් දැක්වීමට පවා, යුරෝපීන්ගේ නම් සඳහන් කරමින් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමයි. තමන් ලෝකය ගැන දන්නා පණ්ඩිතයින් බව පෙන්වීම ඒ ක්‍රියාවේ නියැළෙන වැඩිදෙනාගේ වුවමනාවකි. වරද, ඔවුන් එතැනින් නොනැවතී ජාතික උරුමයන් හෑල්ලු කිරීමට පටන් ගැනීමයි.

ඉතිහාසය ගැන ලියන සමහරුන් මහාවංශයේ අඩංගු තොරතුරු විශ්වාස කළ නොහැකි බව සඳහන් කරන්නේ අධ්‍යාපන සම්ප්‍රදායක් ලෙසිනි. මේ ගතිය අද ඊයේ ඇතිවූ දෙයක් නොවේ. බුදුරජාණන් වහන්සේ ගංගානම් ගඟෙන් මෙගොඩට වැඩිය බවට සාක්ෂ්‍ය නැතැයි යටත් විජිත කාලයේ යුරෝපීයයෙක් ප්‍රකාශ කළේය. ‘බුදුන් ලංකාවට වැඩියේ නැතැ’ යි මහාචාර්ය සෙනරත් පරණවිතාන පත්තරවලට ප්‍රකාශ නිකුත් කළේ මින් පසුවයි.

ථෙරවාදී බුදුසසුන නිසා ලංකාවේ උසස් නාට්‍ය කලාවක් හෝ සංගීත ශාස්ත්‍රයක් බිහිනොවූ බව එදිරිවීර සරච්චන්ද්‍ර සිය ආචාර්ය උපාධි නිබන්ධනයේ සඳහන් කරන්නේ ද ණයට ගත් අදහසක් වශයෙනි. ඔහුගේ ගෝලයෙකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් ලංකාව කොදෙව්වක් බව කියමින් ලංකාවේ රජවරුන් ග්‍රාමසේවකවරුන් හැටියට හඳුන්වන්නට ගත්තේ තමා සුපිරි මාක්ස්වාදියකු බව පෙන්වීමටයි.

කිහිප විටකදීම ඔහුගේ බාල ක්‍රියා විවේචනයට කිරීමට අපට සිදු විය. ‘දෙන්නම් බැටේ’ විචාර ක්‍රමයෙන් ඊට පිළිතුරු සැපයීමට ඉදිරිපත් වූ ඔහු, පසු ඔහු මෙල්ල විය. ’සෞන්දර්ය විනිශ්චයට හේතු දැක්වීම’ නමින් ප්‍රකාශයට පත් කළ පොත අපට එවා තිබුණි. එය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරිපත් කළ කුණු මත ගණනාවක් විවේචනයට ලක්වූ විචාර පොතකි. පහත ඇත්තේ එම පොතින් උපුටාගත් කොටස් දෙකකි.

1. “දුටුගැමුණු කුමරු සාමණේර නමකට ජාතක වූ අවජාතකයෙකැයි ද, විහාරමහා දේවිය පතිවත බිඳගත් වසභිචාරිණියකැයි ද, වෙස්සන්තර රජු දන්නොදුන් වංචනිකයෙකැයි ද යනුවෙන් අත්තනායක එම්. හේරත් කියන විට ඔහුගේ අනුභූතිය බැවිනි”.

2. “මා මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසගෙන් ඇසූ ප්‍රශ්නය මෙයයි. ඔබ සේවය කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙහි සිංහල අංශයෙහි උගන්වන ඔබගේම ගෝලබාලයින් වන කථිකාචාර්යවරුන් පවසා ඇති පහත දැක්වෙන ප්‍රලාප ඔබ අනුමත කරන්නෙහිද?” ‘දුටුගැමුණු රජ අවජාතකයෙකි. වෙස්සන්තර වංචනිකයෙකි’. (පිටුව 155)

සිංහල බෞද්ධ ඉතිහාසය පිළිබඳව ඉදිරිපත් වී ඇති බටහිර මතවාදයන් උසස් යයි සැලකීම නිසා ලංකාවේ උගතුන් කර ඇති වැරදි ප්‍රමාණය සුළුපටු නොවේ. වර්තමානයේ රට පත්ව තිබෙන බුද්ධි පරිහානියට සහ පරගැති භාවයට එක් ප්‍රධාන හේතුවක් සිංහල බෞද්ධයන්ට විරුද්ධව කාලයක් මුළුල්ලේ ඔවුන් පැතිරවූ වැරදි සිතුවිලි සමූහයයි. එයින් විශ්වවිද්‍යාල සහ පාසල් හරහා රටේ ජනගහනයෙන් අති විශාල පිරිසකගේ මොළ දූෂණය වීම සිදුවිය.

මීට සමාන ස්වභාවයක් ඉන්දියාවේ පවතින නමුදු නරේන්ද්‍ර මෝදි යටතේ ඉන්දියාවේ සිදුවූ දේශපාලන විපර්යාසය නිසා හින්දු ජාතික චින්තනයේ විශාල පිබිදීමක් සිදුවෙමින් පවතී. ඒ සඳහා, බටහිරුන් ඉදිරිපත් කළ සාවද්‍ය හින්දු ඉතිහාසය නිවැරදි කිරීමට වෙහෙසුන උගතුන්ගෙන් සිදුවූ සේවය ලංකාවට ආදර්ශයකි.

ලංකාවෙ බුදුසසුන පිහිටුවීම පිළිබඳව අශෝක රජතුමා සිංහල බෞද්ධයාගේ ගෞරවය ලබන්නෙකි. කාශ්මීරය මීට සමාන තත්වයක් පැවති රටකි. අශෝක රජතුමා බුදුසසුන පිහිටුවීම නිසා බෞද්ධ කාශ්මීරයක් බිහිවිය. පසු කලෙක හින්දු රජවරුන්ගේ පාලනයට කාශ්මීරය නතුවුවත් ඉස්ලාම් ආක්‍රමණ එල්ලවන තුරුම කාශ්මීරයේ බුදුසසුන සහ බෞද්ධ ගුරුකුල පැවතුණි. කාශ්මීරය ප්‍රඥාවන්තයින් දහස් ගණනක් බිහි වූ භූමි කලාපයකි. මේ ස්වභාවය වෙනස්කර බෞද්ධ හා හින්දු වැසියන් ඉතාම වැඩි සංඛ්‍යාවක් ඉස්ලාම් ආගමිකයන් බවට පත් කිරීමට සුල්තාන්වරුන්ට හැකිවුණි. මෙය කඩුව හා නීතිය භාවිත කරමින් කළ දරුණු ත්‍රස්ත ක්‍රියාවකි.

විනාශ නොවී ඉතිරි වූ කාශ්මීර පොත් පත් කිහිපයේ පවා බෞද්ධ ඉතිහාස තොරතුරු තිබේ. ඒ අතර සිංහල භාරත සම්බන්ධකම් විස්තර වන ස්ථානද වෙයි. ක්ෂේමේන්ද්‍ර පඬිවරයා ලියූ ‘අවදාන කල්පලතා’ නමැති සංස්කෘත ග්‍රන්ථය නිදසුනකි. එහි එන කතාවකින් ශ්‍රාවස්ති නුවර සිට වෙළඳාම සඳහා සිංහල දේශයට ගිය බෞද්ධ වෙළෙඳුන් සමූහයක් පිළිබඳව කියවේ.

දේවානම්පිය තිස්ස රජ දින මිහිඳු හිමියන් ප්‍රධාන ධර්ම දූතයාණන් වහන්සේලා පැමිණ ලංකාවේ බුදුසසුන පිහිටුවූ විස්තරය මහාවංශයේ අඩංගුව ඇත්තකි. යුරෝපීන් කිහිප දෙනෙකු මිහිඳු හිමියන්ට පෙර ලංකාවේ බෞද්ධයන් ඉන්නට ඇතැයි අදහස් දක්වන්නට ගත්තේ මහාවංශය වැරදි බව පෙන්වීමේ පරමාර්ථයෙනි. මහාවංශ කතුවරයා භික්ෂුවක වශයෙන් මිහිඳු හිමියන්ගේ ප්‍රවෘත්තිය ඉස්මතු කිරීමේ පරමාර්ථය ඇතිව ඇත්ත සඟවා ඇතැයි ඔවුහු පැවසූහ.

ඇතැම් උගතුන් මෙම කතාව ඩැහැගත්තේ යුරෝපීන්ගේ වුවමනා ගැන සැලකිල්ලක් නොදක්වමිනි. මිහිඳු හිමියන් බුදුසසුන පිහිටුවීම මහාවංශය කියන තරම් ලොකු සිද්ධියක් නොවන බව සමහරු පැහැදිලි කළහ. සිදුවී ඇත්තේ අශෝක අධිරාජයා මිහිඳු හිමියන් යොදවා හෙළ සංස්කෘතිය ආක්‍රමණය කිරීමක් යයි තව සමහරු කීහ. මෙවැනි දුර්මත අඩංගු ලිපි වෙබ් අඩවිවල නිතර දක්නා ලැබේ. මහාවංශයේ අඩංගු වන්නේ සසුන පිහිටුවීමේ ප්‍රවෘත්තියයි. අශෝක රජුගේ දූත පිරිස එනවිට රටේ බෞද්ධයන් සිටියාද නැද්ද යන්න වෙනම කතාවකි. ඒ විස්තර අඩංගු සිංහල පොත පත තිබුණේ නැතැයි කිසිවකුට පැවසිය නොහැක. ඉන්දියාවේ පවා එවන් පොතපත තිබුණි. ක්ෂේමේන්ද්‍ර පඬිවරයා අවදාන කල්පලතා ලියා ඇත්තේ කාශ්මීරයේ පොත්ගුල්වල සුරක්ෂිත එවැනි ඉතිහාස තොරතුරු ආශ්‍රයෙනි.

ක්ෂේමේන්ද්‍ර පඬිවරයා, වසුගුප්ත සෝමානන්ද බිල්හාන කල්හාන දෙමෝදර ගුප්ත ආදී ප්‍රසිද්ධ හින්දු බ්‍රාහ්මණ පඬිවරයන් අතරේ ගෞරව ලබන්නෙකි. ඔහු ලියූ පොත් අතර ‘අවදාන කල්පලතා’ බෞද්ධ කතා සංග්‍රහයකි. එහි සඳහන් වන ශ්‍රාවස්ති පුරය, බුදුරජාණන් වහන්සේ නිතර චාරිකාවේ යෙදුන කොසොල් රටේ අගනුවරයි. ශ්‍රාවස්ති අචිරවතී (රප්ති) ගංතෙර පිහිටා තිබුණි. බුදුන් ජීවමාන කාලයේ එහි පාලක ප්‍රසේනජිත් බුදුුන්ට ඉතා හිතවත්ව කටයුතු කළ අයෙකි.

අවදාන කල්පලතාවට අනුව ශ්‍රාවස්තියේ වෙළෙඳ කණ්ඩායමක් සිංහල රටට ගොස් වෙළඳාම පිණිස නැවතී සිටින අතර රාත්‍රි කාලයේ බුදු බැති ගී ගායනා කළහ. සමහරවිට මෙය ඔවුන් නගරයේ පැවැත්වූ සංගීත සංදර්ශනයක් විය හැකිය. සිංහල රජ කුමරියට (බිසවට) මේ මිහිරි ගායනා අසන්නට ලැබුණි. මුක්තලතා නමැති ඇය වෙළෙඳුන් හමුවී ඔවුන්ගේ ගායනා ගැන ප්‍රශ්න කළාය. එවිට ඔවුහු ශ්‍රාවස්ති නුවර වැඩ වසන බුදුරජාණන් වහන්සේ පිළිබඳ තොරතුරු ඇය හා පැවසූහ. මුක්තලතා කුමරිය ලියුමක් ලියා බුදුරජාණන් වහන්සේට දෙන්නැයි වෙළෙඳුන් අතට පත් කළාය. පෙරළා ශ්‍රාවස්ති නුවරට ගිය වෙළෙන්දෝ බුදුරජාණන් වහන්සේ හමුවී නමස්කාර කොට ඒ ලියවිල්ල උන්වහන්සේට පිළිගැන්වූහ. බුදුරජාණන් වහන්සේ ලිපිය පිළිගෙන කියවා මුක්තලතාගේ පෙර භවය මුල්කොට ධර්ම දේශනාවක් කළහ.

මෙම කතාවේ හැටියට බුදුන් ජීවමාන සමයේ ලංකාවේ රටවැසියන් සහ රාජ්‍ය පාලකයින් (යක්ෂයින් වේවා නාගයින් වේවා) හැඳින්වෙන්නේ සිංහලයින් හැටියටයි. ඔවුහු විදේශ රාජ්‍යයන් සමග වෙළෙඳ හා සංස්කෘතික සබඳතා පැවැත්වූහ. ජාත්‍යන්තර භාෂා දැන සිටියහ. එයින් කියවෙන්නේ ඔවුන්ට අධ්‍යාපන ආයතන පවා තිබුණ බවයි.

(2019 ජුනි 30 සතිඅග අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top