බුදුන් ලංකාවට වැඩියේ නැතිලු චේ ගුවේරා නම් ආවාලු!

Last Updated on 2 months by admin

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය.

Photo credit: Lankadeepa.lk

වෙසක් තෙමගුල පසුවී දින දෙකක් වුව ශ්‍රී ලංකාව සිසාරා හමාගිය ඒ දහම් පණිවුඩය සහ සිල් සුවඳ පොසොන්ද පසුවී තවත් කාලයක් පවතිනු ඇත. එබැවින් මේ සටහන තැබීමට මම ප්‍රමාද නැත. මේ අතීත මතකය මම හැදුන  වැඩුන වැලිගම, කුෂ්ඨරාජගල කේන්ද්‍ර කොටගෙන වුවද මේ ඔබ සැමටම පොදු චමත්කාර මතකයක් බැව් දනිමි.

1960-70 දශකයට අදාලව වැලිගම නගරයත් එහි උප නගරය වන් කුෂ්ඨරාජගලත් අතර වූ සැතපුමක දුර ප්‍රමාණයේ විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ වෙසක් තොරණ 8 කට වැඩි ප්‍රමාණයක් ඉදිවීම නව පරම්පරාවේ කෙනෙකුට විශ්මය දනවන පුවතක් විය හැක. කුෂ්ඨරාජගල පිට්ටනිය, කන්දෙවත්ත හන්දිය, මහාවීදියේ වංගුව ළඟ, මහාවීදියේ පොළ ඉදිරිපිට, ලයිට් මෝල ළඟ, පරණ කඩේ හා ගෙවල් හැට ළඟ, පොලිසිය ළඟ සහ වැල්ලක්කේ මෙම තොරණ ඉදිවූයේය. තොරණ සහ දන්සැල් සඳහා ආධාර පත්‍ර ගෙන සංවිධායකයන් පැමිණි කල ගම්මු නොපැකිලව ආධාර දුන්හ. යකඩ බට අට්ටාල තාක්ෂණය නොතිබූ එකල තොරණ සඳහා පුවක් ගස් ඉල්ලුවිට ගමේ මිනිසුන්  නෑ බෑ කිව්වේද නැත.

එකල පුවක් ගස් ඕනා තරම් තිබුණි. ගම්මුන් උසට හැදී ගෙඩි වරන ගස් සහ එක ගොඩේ හැදෙන ගස් තොරණවලට  දුන්නේ කැමැත්තෙනි. වෙසක් කාලයට අධිකව කැපුවත් පුවක් ගස යනු  වරිච්චි බිත්ති සහ වැටවල් බැඳීමට වසරේ හැම කාලයටම කැපූ ගසකි. පුවක් ගස බොහෝ තැන්වලින් වඳවී ගියේ එය කිසිවෙකු හිතා මතා පැල නොකළ ගසක් සහ දිගින් දිගටම කැපූ හෙයිනි. යකඩ බට තාක්ෂණය ඇති මෙකල නම් පුවක් ගස් කැපීම නොකළ යුත්තකි.

කුෂ්ඨරාජගල තොරණට පුවක් ගස් කැපීමට ගිය තරුණ පිරිසේ සිටි “ධර්මසේන” මාමා කැපී වැටෙන පුවක් කඳක් උඩ විසිවී හිසේ වැදීම නිසා මියගියේ වයස විසි ගණන්වල සිටියදීය. එය හතර අත කම්පා කළ මරණයකි. ඉහළ වඩු ගෙවත්තේ “මැන්දිස් ආප්පුහාමි” ඔහුගේ පියාය. පැහැපත්, ප්‍රසන්න, කරුණාවන්ත මිනිසෙකු වූ ඔහු දක්ෂ වඩු බාස් උන්නැහේ කෙනෙකි. අපගේ නිවසට නිතර පාහේ අවුදින් තේ කෝප්පයක් බී යන ඔහු මම ඉපැදුන පසු හදා දුන් තොටිල්ලේ මමත්, මල්ලිලාත්, නංගීත් නැළවුනෙමු. අපේ අම්මාගේ දරුවන් දෙපයින් නැගී සිටීමට වෙර දරණ කාලයට ඔහු, අල්ලා ගෙන යාහැකි රෝද තුනේ කරත්තයක් හදා දුන්නේය. ඉස්සරහ දොර ළඟ පඩිවලින් ඇද නොවැටෙනු පිණිස ලී වැටක් හදා දුන්නේය.

පුතාගේ වියෝව දරාගත නොහැකි වූ මෙම පියා අප නිවසට පැමිණි ගමන්වලදීද පුතා සිහිකොට ඉකි ගසා හඬා වැලපුනේය. එවිට, මිත්තණියන්යන් දෙදෙනෙකු, නැන්දලා තුන් දෙනෙකු, අම්මා සහ ලොකු අම්මා ඇතුළු ගැහැණුන් 7 දෙනෙකු සිටි අපේ ගෙදර ගැහැණුද කඳුළු හෙලනු මා දැක තිබේ. එම මරණයෙන් පසුව කුෂ්ඨරාජගල තොරණ ඉදිවීම නතර විය.

ඉදින් වෙසක් සතියට වැලිගම නගරය සහ  ගාලුපාර සෙනගින් උතුරා යයි. බැලු බැලු අත දිව්‍ය ලෝකයක් මැවී ඇති සෙයකි. වැලිගම තොරණ තොගය බලා හිතට මදි තැන මිනිස්සු (මමද ඇතුළු අපද)  තෙලිජ්ජවිල තොරණ බැලීමට සැතපුම් 7ක් දුර සහ අහංගම තොරණ බැලීමට සැතපුම් 5ක් දුර යන්නෙමු. බොහෝවිට රංචු පිටින් පා ගමනිනි. මහපාරවල විදුලි පහන් නොතිබූ එකල අප ගියේ වෙසක් සඳ එළියේ නැහැවෙමිනි. මග දෙපස වූ අපමණ වෙසක් සැරසිලි නරඹමින් සහ තේ-සරුවත්, බත් දන්සැල්වලටද ගොඩ වදිමිනි.

වැලිගම තොරණ ඉදිවීම එකින් එක නතරව ගියේ කොයි කාලයකදැයි මට මතක නැත. එහෙත් 71 අප්‍රේල් කැරැල්ල එයට මහත් සේ බලපෑවේය. එම වසරේ අප්‍රේල් වන විට තොරණ සඳහා මුදල් එකතුකර බොහෝ දෙය සංවිධානය කොට තිබුණි. එහෙත් කැරැල්ල නිසා ඒ සියලු දෙය අත්හිටුවීමට සිදු විය. තොරණ සංවිධායකයන්ට එයින් ඇතිවූ ප්‍රශ්නවලින් ගොඩ ඒමට පහසු වුයේ නැත.

අද මම මෙම සටහන ලියනුයේ එම අතීත මතකයෙන් වසර 60 ක් තරම් ගෙවී ඇති කාලයකය. වෙසක් තොරණ සහ දන්සැල්, වෙසක් සැරසිලි එදාට වඩා සංඛ්‍යාත්මකව වෙනස්ව ඇතිමුත් ලංකාවේ වෙසක් හෙවත් තෙමගුල සැමරීමේ උත්සවය වෙනස්ව නොතිබීම කුමන නම් ආශ්චර්යයක්ද? බෞද්ධයන්ගේ භක්තිය සහ බෞද්ධකම කුමන කතාවකින් හෝ දෙයකින් වෙනස් කිරීමට නොහැකිව තිබීම කුමන නම් සතුටක්ද?

බෞද්ධයන්ගේ අහිංසක භක්තියට එරෙහි කතා මාලාවේ අලුත්ම කතාව ලෙස බුදුන් වහන්සේ ලංකාවට නොවැඩිය බවක් ගැන කතාවක් මාධ්‍ය මගින් උඩ දමමින් තිබෙයි. මෙම වසරේ ලංකාවේ වෙසක් සැමරුම පමණක් වුව එයට පිළිතුරක් ලෙස හොඳටම  ප්‍රමාණවත් ය.

හොඳයි! බුදුන් වහන්සේ ලංකාවට වැඩියේ නැතැයිම සිතමු. නමුත් ලෝකයේ අංක එකේ විප්ලවවාදියා වන “චේ ගුවේරා” ලංකාවට පැමිණ ගසක්ද රෝපණය කොට ගියේය. ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් යන රතු පක්ෂ දෙකක් ලංකාවේ පැරණිම පක්ෂ ලෙස තිබු අතර ජවිපෙ නම් විප්ප්ලවවාදී පක්ෂයක් 71 සහ 89 දී කැරලි දෙකක්ද ගැසුවේය. එහෙත් ලංකාවෙන් 10% වත් කොමියුනිස්ට්වාදීන් වූයේ නැත. එහෙත් මේ අද දක්වා 70% ටත් වඩා බොදුනුවෝය. බුදුන් වහන්සේගේ පිළිම දුටු දුටු තැන වඳින, බෝ ගස්වලට වඳින බුද්ධ ශ්‍රාවකයෝය. එසේ වී ඇත්තේ කිසිවකු කඩුවක් ගෙලට තබා “බෞද්ධයෙක් වෙයන්” කියා බල කිරීමෙන් හෝ ඩොලර් කුට්ටියක් සාක්කුවට එබීමෙන් නොවේ. හද පතුලෙන්ම, තම ආත්මයෙන්ම බුදුන් වහන්සේට ඇති මහා ගෞරවයෙනි ආදරයෙනි. 

මෙවර වෙසක් උත්සව සැමරුම් ලෝකයට හඬ නගා පවසන්නේ ලංකාව ඉන්න හිතෙන රටක් බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link