බොදු බල සේනා කුමන්ත්‍රණයේ අහුමුලුවල හැංගුන රහස්

Last Updated on 2 months by admin

බොදු බල සේනා සංවිධානයේ නායකයින් වූ ගලගොඩ අත්තේ ඥනසාර හිමි සහ ඩිලන්ත විතානගේ කටයුතු කර ඇති ආකාරයෙන් කුමන්ත‍්‍රණයක සුලමුල පැහැදිලි වන බව පසුගිය ලිපිවලින් පැහැදිලි කෙරිණි. යටත් විජිත වශයෙන් පැවති රටවල් අස්ථාවර කිරීම සඳහා මෙවැනි කුමන්ත‍්‍රණ ලොව පුරා ක්‍රියාත්මක වේ.

නෝර්වේවලින් මුදල් නොලැබුණු බවට ඉහත කී දෙදෙනා සහ සේනාවේ නායකයා වූ කිරම විමලජෝති හිමි කියා තිබුණ නමුත් මහාචාර්ය රජීව විජේසිංහ ඒ ප‍්‍රකාශයන් සත්‍යයෙන් තොර බව ඔප්පු කරයි. ඔහු නෝර්වේ තානාපති කාර්යාලයෙන් ලබාගත් විස්තර සහ මාධ්‍යවේදී සමන් ඉන්ද්‍රජිත්ගෙන් ලැබුණු තොරතුරු පදනම් කරගෙන ඉදිරිපත් කරන්නේ සැඟව තිබු තොරතුරු ගොන්නකි.

ඥනසාර හිමියන් හා ඩිලන්තගේ ප‍්‍රකාශයන්හි සත්‍යවාදී බවක් නොපෙනේ. ඔවුන්ට (බොබසේ) නෝර්වේ මුදල් ලැබුණේ නැති නම්, බැංකු වාර්තා ඉදිරිපත් කිරීම මගින් නිවැරදිභාවය ඔප්පු කිරීමට හැකියාව පැවතුනි. එවැන්නක් සිදු නොවීය.

මහාචාර්ය රජීව කියන කතාවේ පිළිගැනීමට අපහසු ස්ථාන නැතුවා නොවේ. නිදසුනක් දක්වතොත් ඔහු කියන ලෙසට, ආර්න්ගේ මැදිහත්වීම මත නෝර්වේ රජය ‘සිතමු’ ව්‍යාපෘතිය සඳහා ආධාර කරන්නේ දෙමළ ජනයා සමග කටයුතු කිරීමට යොමු කිරීම ඔස්සේ බොබසේ ශීලාචාර කිරීමටයි. එය ඔහුගේ සිතුවිල්ලක් විනා තානාපතිවරයාගෙන් ලැබුණු තොරතුරක් නොවේ.

බොබසේ සහ දෙමළ ජනයා අතර ගැටුමක් නොතිබුණි. මුලදී ගැටුම තිබුණේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් සමගයි. නමුත් බොබසේ කලහකාරී ක‍්‍රියාවල යෙදීම නිසා සාමාන්‍ය මුස්ලිම් ජනයාගෙන් විශාල පිරිසක් බොබසේ කෙරෙහි නොපහන් සිතුවිලි ඇතිකරගත්හ. ඒ නිසා සේනාව දෙමළ ජනයා සමග කටයුතු කිරීමට සැලස්වීමෙන් ලැබිය හැකි ලොකු ප‍්‍රතිඵලයක් නැත. (විවිධ ජනවර්ග, විවිධ ආගම් අදහන්නන් සාමූහික කටයුතුවල යෙදවීමෙන් පොදුවේ කාගේත් සිත්වල අන්‍යාගමිකයන්, අන්‍ය ජනවර්ග කෙරෙහි සුහදතාව වර්ධනය කළ හැකිය බව ඇත්තකි*.

බොබසේ ආරම්භයේ පටන්ම මුස්ලිම්වරුන් පමණක් නොව සවුදි අරාබිය, බංගලා දේශය වැනි මුස්ලිම් රටවල් සමගද ගැටුම්කාරී තත්වයක් වර්ධනය කරගත්තේය. ඒ නිසා බොබසේ පිළිබඳව බොහෝ පාර්ශ්වයන්ගේ තිබුණේ හොඳ චිත‍්‍රයක් නොවේ. එවන් කණ්ඩායමකට අතිවිශාල මුදලකින් ආධාර කරන්නට නෝර්වේ රජය ඉදිරිපත්වී යැයි කීම කොයි තරම් දුරට පිළිගත හැකි එකක්ද? ඩිලන්ත කියන බොබසේ සමග එකතු වීම නිසා ‘සිතමු’ ව්‍යාපෘතියට නෝර්වේවලින් ලැබුණු ආධාර නතර වූ බව කතාවෙන් පැහැදිලි වන්නේ එයයි. නමුත් සමන් ඉන්ද්‍රජිත්ගේ හා තානාපති කාර්යාලයෙන් මහාචාර්ය රජීව දැනගෙන ඇති පරිදි, ‘සිතමු’ බොබසේ සහ ඥනසාර හිමියන්ගේ මැදිහත්වීමෙන් ක‍්‍රියාත්මක වූවක් බව පැහැදිලි වීමෙන් ඩිලන්තගේ කතාව ප‍්‍රතික්ෂේප වේ.

ඩිලන්ත ව්‍යපෘතිය තමන්ගේ එකක් වී යැයි කියන්නේ නොර්වේ කුමන්ත‍්‍රණ චෝදනාව යටගැසීමේ උපක‍්‍රමයක් වශයෙන් විය යුතුය. කලහකාරීන්ට ව්‍යාපෘති පවරා මුදල් ආධාර ලබාදීම පිළිගත හැකි කතාවක් නොවේ. එය ත‍්‍රස්තවාදීන් පුනරුත්ථාපනයට වඩා වෙනස් දෙයකි. ත‍්‍රස්තවාදී කුමන්ත‍්‍රණ නම් ඒ ආකායෙන් ක‍්‍රියාත්මක වේ.

මෙය නෝර්වේ රජය කෙසේ වෙතත් නෝර්වේ ඔත්තු සේවාවල හෝ නෝර්වේ රජයට සම්බන්ධ වෙන යම් කණ්ඩායමක හෝ කුමන්ත‍්‍රණයක් වෙන්නට පුළුවන. එවැනි සැකයක් ඇති වන්නට හේතුවක් තිබේ.

නෝර්වේ රජයට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග විසඳාගත යුතු ගනුදෙනුවක් තිබුණි. වසර ගණනාවක් තිස්සේ, උතුරේ කොටි ත‍්‍රස්තයන් හරහා නෝර්වේ ¥තයින් ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කළ රට බෙදීමේ කුමන්ත‍්‍රණය මහින්ද සහ ගෝඨාභයගේ මැදිහත්වීමෙන් අසාර්ථක වීම ඊට හේතුවයි. මේ නිසා රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමේ චේතනාව නෝර්වේකාරයින්ට තිබුණි. කානිවල් අරගලය එහි උච්ඡු අවස්ථාවකි. කොටි ත‍්‍රස්තවාදය අවසන් වූ පසු අලූත් ත‍්‍රස්තවාදයක් රටේ අවුලූවාලීම ඔවුන්ගේ අභිප‍්‍රායවී යැයි සැක පහළ කළ යුතුයි. ආර්න් එම කුමන්ත‍්‍රණය මෙහෙයවූ සම්බන්ධීකාරකයා විය හැකිය.

අනෙක් අතට මෙවැනි කුමන්ත‍්‍රණයක් මගින්, ශ‍්‍රී ලංකාව අබෞද්ධ පාලනයක් සහිත දේශයක් කිරීමේ ඔවුන්ගේ සැලසුමේ අනාගත පියවර සඳහාද පිටුවහලක් කරගත හැකිය.

මහාචාර්ය රජීව කියන පරිදි ආර්න් මියන්මාරයට ගිය පසු එහිද වාර්ගික ගැටුම් හටගෙන ඇත. එමනිසා ආර්න් සහ මුස්ලිම් අන්තවාදී සංවිධාන අතර සබඳතාවක් පැවතුනේ යයි සැක කිරීමටද පුළුවන. ආර්න් නෝර්වේ ජාතික කිතුණුවකු බව ඇත්තකි. නමුත් මුදල්වලට කෑදරයෙකුට ඉස්ලාම් ආගමේ නාමයෙන් අන්තවාදී ත‍්‍රස්තවාදී වැඩ කරන්නන් හට සේවය කිරීමට පුළුවන. ජාත්‍යන්තර දේශපාලනයේ මෙවැනි ‘ඩබල් ඒජන්ට්ලා’ සිටිති. නැතිනම් එයද නෝර්වේ කුමන්ත‍්‍රණයක් විය හැකිය.

බොබසේ කුමන්ත‍්‍රණය හෙළිදරව් කරගැනීම හිතන තරම් පහසු දෙයක් නොවේ. එහෙත් කුමන්ත‍්‍රණයේ අරමුණ කුමක්දැයි විමසා බැලිය හැකිය.

පසුගිය කාලයේ වැඩි වශයෙන් පැතිර ගිය අදහසක් වූයේ රාජපක්ෂවරුන් බලය ලබාගැනීම සඳහා බොබසේ ආරම්භ කළ බවයි. මෙය පිළිගත හැකි දෙයක් නොව හුදු දේශපාලන මඩ ප‍්‍රහාරයකි. පාස්කු ප‍්‍රහාරය ගෝඨාභය බලයට ගෙන ඒමට එල්ල කළ එකක් යැයි පැතිරුණු ප‍්‍රචාරයට සමාන තවත් පචයකි.

පසුගිය දශක කිහිපය මුළුල්ලේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර අසමගිය ඇති කිරීමේ වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක විය. ඒ මගින් සිංහල හා දෙමළ ජනයා අතර යම් දුරස්ථභාවයක් ඇති කිරීමට කුමන්ත‍්‍රණකරුවන්ට හැකි විය. ඒ කුමන්ත‍්‍රණය බොහෝ විටම ක‍්‍රියාත්මක වූයේ දෙමළ දේශපාලකයින්, එන්ජී ඕ සංවිධාන සහ මාධ්‍යවේදීන් මගිනි.

දකුණේ සිංහලයින් යනු දෙමළ ජනතාව තලාපෙලා දමන ඔවුන්ට අසාධාරණකම් කරන පිරිසක් යැයි උතුරේ ජනතාව අතර යම් දුරකට හෝ මතයක් ඇති කරන්නට ඔවුන්ට හැකි විය. දශක ගණනාවකට පෙර උතුරුකරයේ සිංහලයන් පන්නා දමා එහි බොහෝ ප‍්‍රදේශ දෙමළ ජනයා අල්ලාගෙන තිබුණි. සිය ගම් බිම්වල නැවත පදිංචිය ඉල්ලන සිංහලයන් කෙරෙහි මෙන්ම දකුණු ප‍්‍රදේශවල ජීවත් වන සිංහලයන් කෙරෙහිද දෙමළ ජනයා තුළ වෛරයක් ඇති කිරීමට බෙදුම්වාදීන්ට හැකි විය.

සිංහලයින් දෙමළ ජනතාවගේ මිතුරන් මිස හතුරන් නොවේ යන සත්‍යය පිළිගන්නා අති විශාල දෙමළ ජනතාවක් උතුරේ වෙසෙති. දේශපාලකයින් කරන්නේ ඔවුන්ගේ මැදට පැන ඒ අදහස් යටපත් කිරීමයි. ඒ වැටහීම ඇති අරූන් සිද්ධාර්ථන් අසන්නේ, ‘දකුණේ සිංහලයින් උතුරේ දෙමළුන්ට සතුරුකම් කරනවා නම්, යුද්ධය දරුණු වන විට උතුරේ දෙමළුන් ආරක්ෂාව පතා දකුණට ගියේ ඇයිද?’ යන ප‍්‍රශ්නයයි.

බෙදුම්වාදීන්ට මුස්ලිම් ජනතාව සිංහලයින් සමග විරසක කරවීමට වෙනත් උපක‍්‍රමය අවශ්‍ය විය. හේතුව මුස්ලිම් ජනතාව රටේ කිසියම් ප‍්‍රදේශයකට සීමා නොවී රට පුරාම පාහේ සිංහල ජනතාව සමග කාලාන්තරයක් මුළුල්ලේ ජීවත් වීමයි. අපේ ගම් අවට පිහිටි මුස්ලිම් ගම්මානවල වැසියන් අපත් සමග සුහදව ජීවත් වූ අයුරු අපට හොඳ හැටි මතකය.

එහෙත් දශක කීපයක සිට අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් මේ සාම්ප‍්‍රදායික මුස්ලිම් ජනයාට බලපෑම් කරන්නට පටන්ගත් බව අතීතය විමසන විට පැහැදිලි වෙයි. යම් යම් ප‍්‍රදේශවල මුස්ලිම් ජනයාට ඇතැම් රූපවාහිනී වැඩසටන් නැරඹීමට පවා තහංචි දැමූ අයුරු මාධ්‍ය වාර්තා පළ විය. එසේම සිංහල ජනයා සමීපව ඇසුරු කරන්න මුස්ලිම් ජනයාට අන්තවාදීන් හිංසා පීඩා කරන බවට තොරතුරුද ගම්වලින් වාර්තා විය. එසේ වුවද සාම්ප‍්‍රදායික මුස්ලිම් ජනයා සහ සිංහලයින් අතර සබඳතාව දැඩි ලෙස පළුදු කරන්නට ඒ වැඩපිළිවෙළට නොහැකි විය.

සිංහලයින් අතරින් මුස්ලිම්වරුන්ට එරෙහි ක‍්‍රියාමාර්ග මතුවන ආකාරයේ වැඩපිළිවෙළක අවශ්‍යතාව කුමන්ත‍්‍රණයේ සැලසුම්කරුවන් හඳුනාගන්නේ මේ හේතුවෙනි. බොබසේ ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද සංවිධානයක් යැයි සැකකිරීමට පුළුවන.

බොබසේ ඉහළ නායකයින්ගේ සංයුතිය අමුතු ආකාරයේ එකකි. නායකයා වූ කිරම විමලජෝති හිමි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩපිළිවෙළ නිසා රටේ මහත් ප‍්‍රසිද්ධියට පත් භික්ෂුවකි. උන්වහන්සේ කලහකාරී අයුරින් හැසිරුණු භික්ෂුවක්ද නොවේ. ගලගොඩ අත්තේ ඥනසාර හිමි එහි අනික් පැත්ත බඳුය. උන් වහන්සේට බොබසේ අරඹන කාලයේ ලොකු ප‍්‍රසිද්ධියක් නොතිබුණි. හෙළ උරුමයේ දේශපාලනය, පිරිත් හා බණ දේශනා කිරීම නිසා ලැබුණු සුළු ප‍්‍රසිද්ධියක් තිබුණි.

සංවිධානයේ ඒ දෙදෙනාටම ඉහළ නිලය දැරුවේ ගිහියකු වූ ඩිලන්ත විතානගේය. බෞද්ධ සමිතියක එවන් නිලයක් පිහිටුවා එය ගිහියකු පත්කිරීම අමුතු අත්දැකීමකි. මීට පෙර මීට තරමක් සමාන ක‍්‍රියාවක් කර්නල් ඕල්කොට්ද කර ඇති බව මෙහිදී සිහියට ගැනීම වටී. භික්ෂුන් වහන්සේලාගේ උදව්වෙන් ලංකාවේ වැඩ ඇරඹූ කර්නල් ඕල්කොට් පසුව සිය සංවිධානයේ කටයුතුවලට භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කර නොගත්තේය.

ප‍්‍රසිද්ධ භික්ෂූන් දේශපාලන අතකොළු වශයෙන් පාවිච්චි කිරීම මෑත කාලයේ එළියට ආ දේශපාලන උපක‍්‍රමයකි. සිහළ උරුමයෙන් ගොඩ යන්නට බැරි වුණු චම්පික රණවක ජනප‍්‍රිය භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ඉදිරියට දමා හෙළ උරුමයෙන් පාර්ලිමේන්තුවට ගිය කතාව එක් උදාහරණයකි.

යහපාලන ආණ්ඩුව බිහිකිරීමට මාදුළුවාවේ සෝභිත හිමියන් උගුලට හසුකර ගැනීම තවත් සිද්ධියකි.

බොබසේ නායකත්වය කිරම විමලජෝති හිමියන්ට පැවරුණේ උන්වහන්සේගේ කීර්තිය බොබසේ රකින පළිහක් කරගැනීමට විය යුතුය.

බොබසේ ජනතාව අතර ඉස්ලාම් අන්තවාදය පිළිබඳව කතාබහ කරන්නට පෙර ඒ මාතෘකාව පිළිබඳව අදහස් සමාජයට දුන් ගිහි පැවිදි පිරිසක් රටේ සිටියහ. අප මේ පිළිබඳව දැනුවත් වූයේ කොලට් සේනානායක හා නාරද කරුණාතිලක ලියූ පොත්වලින් බව මෙහිදී සඳහන් කළ යුතුය. ඊට අමතරව තවත් ලේඛකයින් හා විද්වතුන් ගණනාවක්ම මේ පිළිබඳව රටට කරුණු කියමින් සිටියහ. නමුත් ඒ කිසිවෙක් ජන මනස් විකෘති වන විනාශකාරී දේ නොකළහ. කිසිවෙක් සිරගෙට නියම නොවූහ. ඥනසාර හිමි ඇතුළු පිරිසගේ වැඩකටයුතු නිසා ඔවුන් කරමින් සිටි සේවය යටපත් විය. ඥනසාර හිමි හා බොබසේ සිංහල ජාතියත් බුදු සසුනත් බේරාගන්නට ආ විරු පිරිසක් යැයි සිතා ඇතැම්හු නොමඟ ගියහ.

සරල උදාහරණයක් කියන්නේ නම්, ඥනසාර හිමියන් සිරගත වූයේ කුරගල බේරාගන්නට සටන් කිරීම නිසා යැයි පසුගිය කාලයේ මුහුණුපොත ආදි තැන්වල සඳහන් විය. නමුත් කුරගල සටන කළේ ඥනසාර හිමියන් නොවේ. ඒ සටනට දිගු ඉතිහාසයක් තිබේ. මෑතකදී එහි ක‍්‍රියාකාරීන් වූ කොලොන්නේ සිරි සාන්ත විජය හිමි, මතුගම සෙනෙවිරුවන් ඇතුළු පිරිස් කිසි කලෙක අත්අඩංගුවට පත්වූයේ නැත. ඥනසාර හිමියන්ට එල්ල වූ චෝදනාව වුයේ ඉස්ලාම් ආගමට අපහාස කිරීමයි. ඒද කුරගලදී නොවේ. කිරුළපනදීය.

මේ දෙපිරිස සිය කටයුතු කර ඇති ආකාරය දෙස විමසිල්ලෙන් බැලූ විට වෙනස වටහාගත හැකිය.

මඩකලපුවේ මංගලාරාමයේ සුමන හිමියෝ සිය විහාරස්ථානය බෙදුම්වාදීන්ගෙන් බේරාගැනීමට විශාල සටහන් කරති. උන්වහන්සේට කිසිවකුගේ පිළිසරණයක් නැතිව අසරණ වන ඇතැම් අවස්ථාවල පරුෂ වන පවා පාවිච්චි කරති. ඥනසාර හිමියන් ඇතුළු පිරිස ගෙනගිය වැඩපිළිවෙළ කෙරෙහි කළකිරුණු සිංහල බෞද්ධයින්, සුමන හිමියන් දෙස බලන්නේද ඥනසාර හිමියන් දෙස බලන ඇසිනි. ඒ නිසා ඔවුන්ට සුමන හිමියන් පෙනෙන්නේ පිස්සකු, ආගම්වාදියකු ලෙසිනි.

එය බොබසේ කුමන්ත‍්‍රණයේ තවත් ප‍්‍රතිඵලයකි.

අනෙක් ප‍්‍රතිඵලය ඇතැම් සාම්ප‍්‍රදායක මුස්ලිම් ජනයා සිංහලයින් කෙරෙහි කළකිරීමයි. ඥනසාර හිමියන්ගේ චණ්ඩි පාට් මෙන්ම ඒ සමග විවිධාකාර සිංහල සංවිධාන බිහිවී රට පුරා සැඩ සුළඟක් මෙන් ප‍්‍රචාරය වූ මුස්ලිම් වඳ කොත්තු, වඳ බ්‍රෙසියර්, වඳ යටකලිසම් ආදී ප‍්‍රචාරය ඊට හේතු විණි. ෙදාස්තර සාෆිගේ සිද්ධිය හා හලාල් සහතික සිද්ධිය මෙයින් බැහැරව කතා කළ යුතු ඒවාය.

මේ ප‍්‍රචාර සියල්ල කුමන්ත‍්‍රණකරුවන් විසින්ම ගොතා පතුරුවන ලද ඒවා යැයි සැක කිරීම සාධාරණය.

අවසානයේ සිදුවූයේ සිංහලයින් මරිමෝඩයින් පිරිසක් බවට පත්වීම හා සිංහල මුස්ලිම් දෙපිරිස අතර යම් විරසකයක් හටගැනීමයි.

මෙය වහාම නිවැරදි කළ යුතුව ඇති දෙයකි. නැතිනම් මේ විරසකය අවසන් වන්නේ මහා ගැටුමකින් විය හැකිය. අන්තවාදීන්ගේ අවශ්‍යතාව එයයි.

කවුරුන් හෝ ඉදිරිපත් වී මෙය නවතා නොදැමුවහොත් එය 30 වසරක් පැවති කොටි ත‍්‍රස්තවාදයට වඩා අතිශයින් දරුණු ඛේදවාචයක් බවට පත් වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link