බෞද්ධ උරුමය සහ පුරාවස්තු

Last Updated on 10 months by admin

අපේ රටේ පුරාවස්තු යැයි නම් කරන ලද සාතිශය බහුතරයක් උරුමයන් සහ ස්ථාන බෞද්ධ පුදබිම් සහ පූජා වස්තු බව රහසක් නොවේ. එම උරුමයන් වසර දෙදහස් පන්සියයකට වඩා ඉපැරණි යුගයක සිට ගලා එන සිංහල බෞද්ධ සංස්කෘතියේ සජීවී කොටස් බව අප කිසි විටක අමතක කළ යුතු නැත.

බෞද්ධයින් මෙම ශාරීරික, පාරිභෝගික සහ උද්දේශික චෛත්‍ය නිර්මාණය කරන්නේ පිං කුසල් වඩමින් නිර්වාණාවබෝධයෙන් සසර ගමන නිමා කරන්න පහුරක් කරගැනීමේ අරමුණ පෙරදැරිවය.

වසර දහස් ගණනක් තිස්සේ වෙහෙර විහාර ගොඩනඟමින් නඩත්තු කරමින් වැඳුම් පිදුම් කරමින් කුසල් වඩමින් බෞද්ධයෝ අදත් ඒ දුෂ්කර මග ඇදෙති.

එහෙයින් සංචාරක කර්මාන්තය නැංවීමට හෝ හුදු කලාකෘති නිර්මාණය හෝ යන අර්ථයෙන් මේ බෞද්ධ උරුමයන් ගොඩනගා නොමැත. ටජ් මහල් වගේ නිර්මාණ අපේ රටේ ගොඩනොනැගුණේ ඒ නිසායි.

පැරණි සිංහලයා සිය වාසය සඳහා තැනූ පෞද්ගලික ගේ දොර රජ මැදුරු ආදී ලෞකික නිමැවුම් කාලයත් සමග අභාවයට ගියත් සිය සසර ගමන කෙටි කර ගැනීමේ අරමුණ පෙරදැරිව තැනූ වෙහෙර විහාර පරසතුරු ආක්‍රමණ සහ කාලයේ සැඩ පහරට ගොදුරුව නටබුන් වුවත් අදත් ජීවමානය. ඔවුන් තමන්ගේ ශිෂ්ටාචාරය සමග මේ බෞද්ධ උරුමයන් සජීවීව ඉදිරියට පවත්වා ගෙන යාමට මහත් පරිශ්‍රමයක් දරා ඇති බව ඉන් සනාථ වෙයි.

ඒ නිසා ඒ සජීවි බෞද්ධ උරුමයන් පුරාවස්තු ලෙස නම් කළ පමණින් ඒවා හුදු අතීතයට අයිති මළගිය පුරාවස්තු ලෙස සලකා කටයුතු කළ යුතු නැත. ඒවා පුරාවස්තු වන්නේ නම් ඒ සජීවී බෞද්ධ සංස්කෘතියේ කොටසක් වීමට දෙවනුව වන අතර ඒවා පළමුව අපේ සංස්කෘතියේ හුස්ම ගන්නා එහි ඓන්ද්‍රීය කොටස් වෙයි.

අපේ රුවන්මැලි සෑය, සමාධි පිළිමය, අවුකන පිළිමය, සිරිමා බෝධිය ඊජිප්තුවේ පිරමිඩ වැනි අතුරුදන් වූ ශිෂ්ටාචාරයක අතීත මතකයන් වන හුදු පුරා වස්තුවක් නොවන බව අවධාරණය කළ යුතුය. ඒ පිරමිඩ මුස්ලිම් ආක්‍රමණයත් සමග අභාවයට ගිය පරාවෝ ශිෂ්ටාචාරයට අයත් සොහොන් කොත් පමණි. අපේ රටේ පුරාවස්තු යැයි නම් කළ බොහෝ උරුමයන් මේ රටේ අදත් මුල් බැස පවතින සජීවී බෞද්ධ ශිෂ්ටාචාරයේ පණ ගැහෙන අවයව බව අප අවබෝධ කරගත යුතුයි.

ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව 1890 සුද්දා හඳුන්වා දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ එහි නීති රීති අප දැන්වත් යථාර්ථයට ඔබින පරිදි යාවත්කාලීන කළ යුතුය. පුරාවිද්‍යා නීති වනපොත් කළ උගතුන් දැන්වත් මේ පිළිබඳ කල්පනා කළ යුතුය.

අපේ බෞද්ධ උරුමයන් මේ රටේ බෞද්ධ සංස්කෘතියෙන් ගලවා මළ ගිය කෞතුක වස්තු ලෙස සලකා කටයුතු කිරීමට උත්සාහ කිරීම එම උරුමයන්ගේ මළගම සනිටුහන් කිරීමක් බව කිව යුතුමය. එය අපේ පුරාවිද්‍යාඥයින් විශේෂයෙන් අවබෝධ කරගත යුතු බව ඔවුන් කටයුතු කරන ආකාරයෙන් තහවුරු වෙයි.

අනුරාධපුර සමාධි ප්‍රතිමාවට අදත් බෞද්ධයින් මල් පහන් තබා වන්දනාමාන කරමින් මහත් ගෞරවයෙන් වඳිති; පුදති. එය සිය බෞද්ධ සංස්කෘතියේ සජීවී උරුමයක් ලෙස සලකමින් රකිති. එහෙත් එම යුගයටම අයත් තොලුවිල බුද්ධ ප්‍රතිමාව බෞද්ධ පසුබිමෙන් ගලවා කොළඹ කෞතුකාගාරයේ තබා ඇත. කෞතුකාගාරයට යන බෞද්ධයෙකු පවා සමාධි පිළිමයට මෙන් තොලුවිල පිළිමයට මලක් තබා වඳින්නේ නැත. සැබවින් ම මෙමගින් සිදුකර ඇත්තේ බෞද්ධ සංස්කෘතික ජන විඥානය මොට කිරීමය.

එහෙයින් මේ බෞද්ධ උරුමයන් තමන්ගේ සජීවි සංස්කෘතියේ කොටසක් බවට රටේ ජන විඥානයේ පවතින සහජ හැඟීම ආරක්ෂා කර ගැනීමට අප කටයුතු කළ යුතුය. එසේ ම මේ උරුමයන් රැකගත යුතු නම් ඊට පණ දුන් සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගත යුතුය. ඒ උරුමය වසර දහස් ගණනක් රැකගත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය මිස 1890 හදපු පුරාවිද්‍යාව දොපාර්තමේන්තුව නොවේ. අප එසේ කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවප්‍රමාණ කිරීමට නොව මෙම උරුමයන් රැකගැනීම උදෙසා සිංහල බෞද්ධයා වසර දහස් ගණනක් තිස්සේ ඉටු කළ මහාර්ඝ කාර්යභාරයට ප්‍රණාමය පුදකිරීමටය.

මේ බෞද්ධ උරුමයන් ඊනියා පුරා වස්තු යැයි නම් කොට ඒවා සංස්කෘතියෙන් උදුරා ගෙන හෝ සිංහල බෞද්ධ සංස්කෘතිය මරා දමා හෝ රැකගත නොහැකිය. මේ උරුමයන් සඳහා සුරක්ෂිතම තිඹිරිගෙය සිංහල බෞද්ධ සංස්කෘතිය බව බොහෝ දෙනා වටහා ගෙන නොමැත. එය අවාසනාවක් වගේම අනතුරුදායක තත්ත්වයක් බව කිව යුතුය.

බෞද්ධ අවකන් දේශය සහ ඒ බෞද්ධ සංස්කෘතිය නසා ගෙන උපදින ඇෆ්ගනිස්ථානය හෝ ඉස්ලාම් ශිෂ්ටාචාරය හෝ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලාට සුරක්ෂිත තැනක් වූයේ නැත. ඊනියා පුරාවිද්‍යා උරුමයක් ලෙසත් ලෝක උරුමයන් ලෙසත් නම් කළ පමණින් ඒ උරුමයන් රැකගන්නට අවස්ථාවක් ලැබුණේ ද නැත. එම ඉරණමට අපේ උරුමයන් ගොදුරු කරලන්නට ඉඩදිය යුතු නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link