මාලිමා කන්ද විලි ලා වදන්න යන ආර්ථික මී පැටියා

Last Updated on 2 months by admin

පසුගිය දිනක බෝධි සභාවට සම්බන්ධ අයකුගේ මිතුරෙක් කියා තියෙනවා, ‘ජාතික ජන බලවේගයේ ආර්ථික ක්රියාවලිය ඉතා ශක්තිමත් එකක්. එයා ඒ පිළිබඳව පෞද්ගලිකව දන්නවා’ කියා. නමුත් ජාජබ 2019 මැතිවරණය ඉලක්ක කර නිකුත් කළ ආර්ථික දැක්ම, පොත නම් ඒ පුද්ගලයා කියවා නැහැ කියලත් කිව්වාලූ. ඒ විදියට කොහොමද ආර්ථික ක‍්‍රියාවලිය ඉතා ශක්තිමත් එකක් කියා කියන්නෙ? බොහෝ විට ජාජබට සම්බන්ධ කවුරු හෝ කිව්ව දෙයක් අහගෙන ඉඳලා තමයි මේ ‘ශක්තිමත්’ කතාව කියනවා ඇත්තෙ.

එහෙම කතා ජාජබට සම්බන්ධ අය කියනවා විතරක් නෙවෙයි මා කී, ආර්ථික දැක්ම පොතෙත් ඒ වගේ දේ තියෙනවා. උදාහරණ කීපයක් මා මෙහි සඳහන් කරන්නම්.

*2025 වන විට ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 8000ක් බවට පත් කිරීම.
*දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම 20-25% දක්වා මට්ටමට ගෙන ඒම පිණිස විධිමත් සැලැස්මක් සකසා ක්රියාත්මක කිරීම.
*රාජ්‍ය ආයෝජන යොදවා නිෂ්පාදන කර්මාන්ත ශාලා 100ක් ඇරඹීම.
*කොළඹ වරායට මූලිකත්වය දෙමින් සියලූ වරාය නවීකරණය කිරීම.
*නැව් ඉදිකිරීම හා ප්රතිසංස්කරණය සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම.
*ත්රිකුණාමලය තෙල් ටැංකි නවීකරණය කිරීම.
*සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය හා අලූත් පිරිපහදු අංගනයක් ඉදිකිරීම.
*නවීන තාක්ෂණයෙන් කිරි කර්මාන්ත ශාලා 3ක් ඇරඹීම.
*දල දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට 6%ක් සහ සෞඛ්‍යයට 5%ක් අවම වශයෙන් වෙන් කිරීම.
*ආහාර, ඖෂධ, සෞඛ්‍ය සේවා ආදිය වැට් බද්දෙන් නිදහස් කිරීම, භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පුද්ගලික අංශය සහභාගි කරගැනීමට බදු සහන, සියලූ කෘෂි උපකරණ සඳහා බදු නිදහස, වක්ර බදු අඩු කිරීම, විදේශ ශ්රමිකයන්ට බදු සහන සැලසීම.

ඔය වැදගත්ම කීපයක් විතරයි.

දැන් ජාජබ වෙබ් අඩවියේ තියෙනවා අලූත් ප්රතිපත්ති ප්රකාශනය ළඟදීම නිකුත් කරන බවට. ඉදිරියේදි අලූත් ප්රතිපත්ති ප්රකාශනයක් එළියට එන නිසාත්, මේ වන විට 2018 වෙනකොට තිබුණ ආර්ථික තත්වයට වැඩිය තත්වය ගොඩක් වෙනස් නිසා 2019 මැතිවරණය ඉලක්කර කරලා පළ කළ ප්රතිපත්ති ගැන කතාකරලා වැඩක් නැහැ නේදැයි කෙනෙකුට හිතෙන්න පුළුවන්. මම මෙහිදී කරන්නේ, එකල පැවති ආර්ථික වාතාවරණයට අනුව ඔවුන් ඉදිරියේදි කරන්න බලාපොරොත්තු වුන වැඩපිළිවෙළ කොතරම් ප්රායෝගිකද, ජාජබ ආර්ථික විශේෂඥයින් කොතරම් සාර්ථකද කියන කාරණය පැහැදිලි කිරීමයි. එයින් මාලිමාව ආර්ථිකයක් මෙහෙයවීමට කොතරම් සුදුසුද කියන එක තීරණය කරන්න පුළුවන්.

මම මේ ලිපිය ආකෘති දෙකකින් ඉදිරිපත් කරනවා. පළමුවැන්න මේක. කෙටි, සරල ලිපියක්. පසුව මා ඉදිරිපත් කරන්නම්, ටිකක් දීර්ඝව සංඛ්‍යාලේඛන දත්ත වැඩිපුර තියෙන එකක්. වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය අයට ඒක කියවන්න පුළුවන්. මම පළමුව පොඩි කතාවක් ඉදිරිපත් කරලා මාලිමාවේ ආර්ථිකය ගැන පොඩි අවබෝධයක් ලබාදෙන්නම්.

එක්තරා ගමක කාලයක පටන් කරගෙන යන පුංචි කඩයක් තියෙනවා. පවුලේ වියපැහැදම් වැඩි නිසා මේක නිතරම පාඩුවට තමයි දුවන්නෙ. ළඟපාත පිහිටි නගරයේ තොග වෙළෙන්දාගෙන් හැමදාම ණයට බඩු අරගෙන තමයි කඩය පවත්වාගෙන යන්නෙ. පවුලේ ඉන්නෙ අම්මා තාත්තා, ලොකු පුතා, නංගිලා මල්ලිලා කීප දෙනෙක්.

ලොකු පුතා කියන්න පටන්ගත්තා කඬේ පාලනය එයාට දුන්නොත් එයා කඩෙන් හොඳ ලාබයක් අරන් පෙන්නවා කියල.

‘‘මට කඬේ කරන්න දුන්නොත් මම ආදායම දෙගුණයකින් විතර වැඩි කරනවා. කඬේ ලොකු කරලා ලස්සනට හදලා ඞීප්ෆ්රීසර්, අලූත් ෂෝකේස්, මේස පුටු දානවා. කඬේ එහා පැත්තෙන් මිරිස්, හාල්, වගේ දේවල් කොටන්න, පොල්තෙල් හිඳින්න මැෂින් දානවා. අම්මවයි තාත්තවයි ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ ක්ලිනික් එකට නොයවා චැනල් කරලා බේත් අරන් දෙනවා. මල්ලිලා නංගිලාව ඉන්ටර්නැෂනල් ස්කූල් දානවා.’’

දැන් කල්පනා කරලා බලන්න මේ වැඬේ කරන්න පුළුවන්ද? කඬේ ලස්සන කරන්න, මෝල් දාන්න ලොකු වියදමක් යනවා. දෙමාපියන්ට සහෝදර සහෝදරියන් ජාත්‍යන්තර පාසල්වලට දාන්න විශාල වියදමක් යනවා. ඒවාට සල්ලි කෝ? එහෙම නම් බැංකු ණයක් වගේ ගන්න වෙනවා. දිගින් දිගටම පාඩුවට යන ව්‍යාපාරයක් තියෙන කෙනෙකුට බැංකුවකින් සැලකිය යුතු ණයක් දෙයිද? ඒ සේරම කරලත් ඔය කියන විදියට වැඩ කටයුතු කරගෙන යන්න තරම් ආදායම ඉහළා යාවිද පුංචි ගමක තියෙන කඩකෑල්ලක?

ඒ ගැන ටිකක් හිතලා මේ ලිපිය ඉදිරියට කියවාගෙන යන්න.

මාලිමාවෙ මූලික ආර්ථික ඉලක්ක කීපයක් මෙහෙමයි.
*දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම 20-25% දක්වා මට්ටමට ගෙන ඒම පිණිස විධිමත් සැලැස්මක් සකසා ක්රියාත්මක කිරීම.
*අයවැය හිගය ද.දේ.නි. 5% මට්ටමේ පවත්වා ගැනීම.
*2025 වන විට ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 8000ක් කිරීම.

රටක ආර්ථිකයේ වැදගත්ම අංශ කීපයක් තමයි දළ දේශීය නිෂ්පාදිතය, ආදායම, වියදම, ඒක පුද්ගල ආදායම.
අපි දැන් බලමු ජාජබ මේ ප්රතිපත්ති හදන කාලයේ, රටේ ආර්ථිකයේ සංඛ්‍යා ලේඛන ටිකක්. මේවා 2018 අයවැය ලේඛනයේ තොරතුරු. ඔබට අවශ්‍ය නම් අන්තර්ජාලයෙන් අදට අදාළ තොරතුරු බලාගත හැකියි.

ආදායම : 13.4%
වියදම (පොලී නැතිව* : 12.7%
පොලී වියදම : 5.9%
අය වැය ශේෂය : -5.3%
ඒක පුද්ගල ආදායම: ඩොලර් 4102යි.

මේ අනුව මාලිමාවේ ආදායම් ඉලක්කය (20%25%, ඒ කාලෙ තිබුණ තත්වය අනුව, 6.6%-11.6%ක් අතර වැඩි වීමක්. ලංකාව වගේ රටක ආර්ථිකයක් එච්චර පිම්මක් ගහන්න බෑ. දැනට ක්රියාත්මක ජා.මු.අ. ප්රතිසංස්කරණ යටතේ වසර 5කදි ඉලක්ක කරන ආදායම් වැඩිවීම 4.3%ක්. ඒ නිසා මේක නිකං ‘කතාවක්’ විතරයි. ඒ වගේම 6.6%-11.6% තරම් ඉහළ ගුණයකින් ආදායම වැඩි කරගන්නෙ කොහොමද කියන එකට මාලිමාවෙ ආර්ථික දැක්මෙන් නම් සාර්ථක වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා නැහැ.

ජවිපෙ කාලයක් තිස්සේ කතාකළ මාතෘකාවක් තමයි දේශපාලකයො හොරකම් කරලා පිටරට හංගාගෙන ඉන්න කෝටි ප‍්‍රකෝටි ගණනක් වන සල්ලි ගෙනල්ලා රට සංවර්ධනය කරන්න පුළුවන් කියන එක. රටේ ජනතාව අතරින් යම් පිරිසක් ජවිපෙ නැතිනම් මාලිමාව ගැන පැහැදීමක් ඇති කරගන්න මෙන්න මේ කාරණේ තදින් බලපෑවා. නමුත් ඒ ගැන කිසි දෙයක් මේ ආර්ථික ප්රතිපත්ති පොතේ නම් නැහැ. පුදුමයක් නේද? හරි නම් මාලිමාවේ ආර්ථික පොතේ ආදායම් යටතේ උඩින්ම තියෙන්න ඕන මේකයි. එහෙම හංගපු සල්ලි ආපහු ගන්න ක්රමය මම කලින් ලිපියකින් පෙන්නා දුන්නා.

නොගෙවූ බදු අයකර ගැනීම මාලිමාවේ එක් ආදායම් මාර්ගයක්. ඒක හොඳ දෙයක්. ඇත්තටම ලංකාවේ බදු වංචාකාරයො විශාල පිරිසක් ඉන්නවා. ඒ කියන්නෙ නිවැරදිව බදු අයකරනවා නම් දැනට ලැබෙනවාට වැඩිය බදු ආදායම් ලැබිය යුතුයි. වර්තමාන ආණ්ඩුව දැන් ඒ සඳහා යම් වැඩපිළිවෙළක් යොදාගෙන යන බව පෙනෙන්න තියෙනවා. නමුත් මාලිමාවේ ඉලක්කයට යන්න නම් ද.දේ.නි. 10%ක පමණ අලූත් බදු වාර්ෂිකව උපයන්න වෙනවා. ඒක ලඟා විය හැකි ඉලක්කයක් නෙවෙයි. අනික් අතින් ව්‍යාපාරවලට වැඩියෙන් බදු ගැහුවොත් භාණ්ඩ හා සේවා මිල ඉහළ යනව.

ආදායම් වැඩි කරගන්න පුළුවන් එක් විදියක් තමයි රජයේ ආයතනවලින් ලාබ ලැබීම. නමුත් මාලිමාව ප්රතිපත්තිය අනුව රාජ්‍ය ආයතන සුබ සාධනය පිණිස මිස ලාබ ඉපැයීමේ පරමාර්ථයෙන් පවත්වාගෙන යන ඒවා නෙවෙයි. අනික් අතින් ඇතැම් රාජ්‍ය ආයතනවල විශාල සේවක අතිරික්තයක් තියෙනවා. සේවක කප්පාදුවට ජවිපෙ විරුද්ධයි. විදුලිය, ජලය, ඉන්ධන වගේ දේවල මිල ඉහළ දැමීමට ජවිපෙ එදා පටන්ම විරුද්ධයි. ඒ නිසාත් රාජ්‍ය ආයතනවලින් ලාබ ලැබීම පහසු වෙන්නෙ නෑ. නැතිනම් මාලිමාවට සිද්ධ වෙනවා තමන් මෙතෙක් ඉදිරිපත් කළ සටන් පාඨවලින් ඉවත් වෙලා ඒ සංශෝධනවලට යන්න. සේවකයන් අඩු කරන්න. විදුලිය, ඉන්ධන, ජලය වගේ දේවල මිල වැඩි කරන්න.

ඒ වගේම දැනට පුද්ගලික අංශයෙන් කරගෙන යන ව්‍යාපාරවලට රජය මැදිහත් වුනොත් පුද්ගලික අංශය කඩාවැටෙනව. එතකොටත් රජයට ලැබෙන බදු ආදායම අඩු වෙනව.

අනික් පැත්තෙන් මාලිමාව කියනවා බදු සහන සලසන බව. ආහාර, ඖෂධ, සෞඛ්‍ය සේවා ආදිය වැට් බද්දෙන් නිදහස් කිරීම, භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පුද්ගලික අංශය සහභාගි කරගැනීමට බදු සහන, සියලූ කෘෂි උපකරණ සඳහා බදු නිදහස, විදේශ ශ්රමිකයන්ට බදු සහන සැලසීම, වක්ර බදු 40% කිරීම, බදු අනුපාත නොවෙනස්ව තබාගැනීම ආදිය ඉන් කීපයක්. මේ හැම දේකින්ම සිදු වන්නේ රජයේ ආදායම අඩුවීමයි.

මේ විදියට බැලූවාම මාලිමාව ආදායම ද.දේ.නි. 20-25% දක්වා ඉහළ නංවන බව කිව්වාට එයාලගේ ආර්ථික ප්රතිපත්තිවල ඒ ඉලක්කයට යන්නෙ කොහොමද කියන එක පෙනෙන්නෙ නෑ. අමාත්‍ය මණ්ඩලය අඩුකිරීම වගේ ජනප්රිය මාතෘකාවලින් රටක් ගොඩනගන්න තරම් විශාල මුදලක් ඉතිරි කරගන්න බෑ. ඔය වගේ ගොඩක් කතා දේශපාලන සටකපටකම් විතරයි.

ආදායම උපයන්න බැරිනම් ඒ කතාව එතනින්ම අවසන්. නමුත් අපි බලමු මාලිමාවේ ආදායම් හා වියදම් ඉලක්ක ගැන සමලෝචනයක් කරලාම.

රටේ මුල්‍ය හා මුදල් අංශවලට අදාළ ප්රතිපත්ති තීරණය කරන්නේ මහබැංකුව මිස ආණ්ඩුව නෙවෙයි. මේ නිසා ආණ්ඩුවක් වෙනස් වූ පමණින් මූල්‍ය, මුදල්, ජාත්‍යන්තර නැතිනම් විදේශ, මූර්ත අංශවලට දැවැන්ත බලපෑමක් වෙන්නෙ නෑ.

නමුත් රාජ්‍ය මුදල් අංශයේ පාලනය පවතින්නේ ආණ්ඩුව යටතේ. රාජ්‍ය මුල්‍ය ප්රතිපත්තිය කියලා කියන්නේ, රජයේ ආදායම හා වියදම.

ජාජබ ආර්ථික ප්රතිපත්තිය බැලූවම පෙනෙන්නේ රාජ්‍ය වියදම් ඉහළ යන බවයි. දැනට කෙරීගෙන යන ණය ප්රතිව්‍යූහගතකරණය යටතේ රාජ්‍ය වියදම 19% රවුමේ තියාගැනීම තමයි බලාපොරොත්තුව.

නමුත් මාලිමාවේ ආර්ථික දැක්ම පොතේ ඉලක්කය ඊට වැඩි ලොකු වියදමක් කරන්නයි. අධ්‍යාපනයට ද.දේ. නිෂ්පාදිතයෙන් 6%ක් සහ සෞඛ්‍යයට 5%ක් අවම වශයෙන් වෙන් කරන බව කියා තිබෙනවා. එකතුව 11%ක්. මේ පොතේම තියෙන විදියට 2017 වන විට මේ වියදම 2.83%යි. ඒක තමයි මාලිමාව යටතේ 11%ක් දක්වා ඉහළ දමන්න බලාපොරොත්තු වෙන්නෙ. මේක ලොකු වැඩිවීමක්.

අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇරුණාම තවත් ලොකුවට වියදම් කරන්න සිද්ධ වෙන දේවල් මාලිමාව යෝජනා කරලා තියෙනවා. ඒවායින් කීපයක් තමයි මම මේ ලිපියේ මුලින් ස`දහන් කළේ. ඒවා දැවැන්ත වියදම් යන වැඩ. රාජ්‍ය ආදායම 25% ඉලක්කය සම්පූර්ණ කරගත්තත්, අධ්‍යාපනයට හා සෞඛ්‍යයට 11%ක් වෙන් කළාට පස්සේ ඒ කියන අලූත් දේවල් කරන්න බෑ.

අනික් පැත්තෙන් මාලිමාවේ ආර්ථික පොතේ තියෙනවා විශාල වශයෙන් බදු සහන ලබාදෙන යෝජනා. මා එයින් කීපයක් ලිපියේ මුල සඳහන් කළා. එයින් සිදු වන්නේ රාජ්‍ය ආදායම් අඩුවීමයි. ආදායම් අඩුකරගෙන වියදම් වැඩි කරගෙන කොහොමද ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යන්නෙ කියන එකයි ගැටලූව. එයින් සිද්ධ වෙන්නෙ අයවැය හිගය ඉහළ යන එක.

මාලිමාවෙ ඉලක්කය, අය වැය හිගය 5% සීමාවේ පවත්වා ගැනීම. නමුත් මාලිමාවේ වැඩපිළිවෙළ අනුව අයවැය හිගය මීට වැඩිය ඉහළ යනවා.

මෙන්න මේ අය සහ වැය අතර හිගය කියන එක ආර්ථිකයේ තීරණාත්මකම දෙයක්. අපේ රටට දීර්ඝ කාලයක් මුළුල්ලේ බලපෑව අගයක් තමයි මේක. අය වැය ශේෂය ඍණ අගයක් නම්, හිගයක් නම්, එය පියවන්න වෙන්නේ ණය අරගෙනයි. අපි මෙතෙක් කරගෙන ආවේ ඒක තමයි.

2018ට කලින් අය වැය හිගය 5% ආසන්නයේ තමයි (2015 හැර) තිබුණෙ. 2019 පසුව මේක ඉහළ ගියා 2024 අයවැයේ ඇස්තමේන්තුව 9.1%ක්.

කවදත් මේ හිගය පියවන්නෙ ණය අරන්. අර කලින් කිව්ව කතාවෙ මුදලාලි වගේ. මේ ණය තමයි දිගින් දිගටම වැඩිවෙමින් ඇවිත් රටට දරාගන්න බැරි තරමට වැඩිවෙලා අද මේ තත්වයට අද ඇවිත් තියෙන්නෙ.

මේ කරගෙන යන ප‍්‍රතිව්‍යූහගතකරණය යටතේ වුනත් බලාපොරොත්තු වුන ඉලක්කයට කිට්ටු වෙන්න බැරිවෙලා තියෙනවා. 2024 9.1%ක්.

මාලිමාව ආර්ථික පොත ප්රායෝගික වැඩපිළිවෙළක් නෙවෙයි. ඒ කියන පොරොන්දු සුරංගනා කතා විතරයි. කියල තියෙන වැඩ කරන්න ගියොත් අයවැය හිගය 5% මට්ටමේ තියාගන්න බෑ. රටේ ආර්ථික රොකට් එකක් වගේ කඩා වැටෙනවා. ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 8000ක් කිරීම වගේ කතා නිකං විහිළු වගේ.

මාලිමාවෙ ආර්ථික පොත කියවාගෙන යද්දි කෙනෙකුට හරිම ආස්වාදයක් දැනෙන්න පුළුවන්. නැතිනම් පොතේ තියෙන දේවල් කවුරු හරි කිව්වොත් අහගෙන ඉන්න ආසා හිතේවි. ආර්ථික විද්‍යාත්මකව සංඛ්‍යා ලේඛන එක්ක ගලපමින් විශ්ලේෂණය කරලා බලද්දි පේනවා ඒ කියන දේවල් කරන්න බැරි බව.

ඒ කියන්නෙ මාලිමාවේ ආර්ථික විශේෂඥයෝ ෆේල්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link