රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය කාව්‍යයක් හා පද්‍ය කාව්‍යයක් හෙවත් නිවුන්නු දෙදෙනෙක්!

Last Updated on 6 months by admin

“නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද

ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද

කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද

අදහන්නට පුළුවන්ද?

දුඹුළු බැඳී ඉර හඳ දෙක

අකුරු බැරිව රන් තරු කැට

මුළුතැන්ගෙයි ඇවිළුණු දුම් නොනඟින ගින්දර

මෙහෙවු නුඹට වඩා කුමන කවියද සුන්දර?

තබා දෙතොළ ඉඳිකටු තුඬ

මිහිරි සිනා විකසිත කළ

නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල

වාන් දැමූ පට්ටන්දර අද පරසක්වල!”

ගායනය : දීපිකා ප්‍රියදර්ශනී

සංගීතය : රෝහණ වීරසිංහ

ඇය අතිශය රූමත්ය. උද්‍යානයක් බඳුය. ඇය අතිශය සියුමැලිය. මල් පෙත්තක් මය. එසේම සඳ එළිය තරම් ම පැහැපත්ය. ඇය සෞන්දර්යයක් ය. විශ්මයක් ය. එහෙයින් ගුරුළු නම් පඬිවරයා ඈ හඳුන්වා දෙන්නේ, “නිල්මහනෙල් මලකුදු ඉතා බරැයි නො පලඳනා ඉතා සියුමැලි දැරී” යනුවෙනි. 

නිල්මහනෙලක් වුව පැලඳිම බරක් වන සියුම් සරීර ලතාවක් හිමි ඇය වනාහි දිට්ඨමංගලිකාය. ඇය අමාවතුරේ සදාකල්ම ජීවත්වන්නීය.

එම පුරාණෝක්තිය අතිශය පරිස්සමෙන් ගෙන නව මල් පුබුදුවාලීමට විශිෂ්ට කිවියර රත්න ශ්‍රී විජේසිංහයෝ සමත් වෙති. 

එදා දිට්ඨමංගලිකා වනාහි සිටු දියණියකි. එහෙත් මෙදා රත්න ශ්‍රීට හමුවන්නේ වෙනස් දිට්ඨමංගලිකාවකි. 

මෙදා රත්න ශ්‍රීට හමුවන ඇය නමින් නම් මංගලිකාය. දිට්ඨමංගලිකාව සේම දැකීම ම මංගල කරුණකි. එලෙස උත්ප්‍රාසවත් ව ගේය කාව්‍ය ආරම්භ කිරීමට රචකයා සමත් වේ.

රත්න ශ්‍රී දුටු මංගලිකා ද නිල් මහනෙල් පවා බර යැයි නො පැලන්දාය. එමතු නොව ඇල් පවන පවා ඇයට රළු විය. ඇගේ රූප ස්වභාව ප්‍රබල දෘශ්‍ය ගෝචර සංකල්පරූපයක් ඔස්සේ මතු කිරීමට කවියා සමත් වී තිබේ. අතිශයෝක්ත්‍යාලංකාරය කදිමට යෙදී තිබේ. 

එදා දිට්ඨමංගලිකා ඔසවා ගත්තේ මාතංගයන්ගේ සිරුරය. එහෙත් මෙදා මංගලිකාට ඔසවා ගැනීමට සිදු ව ඇත්තේ කුමක් ද? ඒ වනාහී දුප්පත්කමේ බරය. ජීවිතයේ බරය. එය බරක් නොව, “මහා බර කන්දකි”. එම යෙදුම කෙතරම් නම් බරද? සියුමැලි ඒ දැරිවිය කෙසේ නම් මහ බරකන්දක් එසෙව්වා දැයි කවියා (අඳෝනාවකින් තොරව) අසන ප්‍රශ්නය ඔස්සේ තත් දැරිවියගේ ගුණ කදම්භය ප්‍රබල ව මතු වෙයි. ඒ අනුව ඇය වනාහි ආර්ථික අතින් දුප්පත් වන්නී මිස සිරුරෙන් මතු නොව ගුණයෙන්ද පෝසත් වන්නීය. 

පළමු අන්තරා කොටසේ සමාසෝක්තියාලංකාරය ප්‍රභල ලෙස භාවිත කරමින් රත්න ශ්‍රී නිමවන දෘශ්‍යගෝචර සංකල්පරූපය ද, දර්ශනය ද භාවගෝචරය. සියුම් කවීත්වය පෙන්වන සුළුය. ඉර සහ හඳ දුබුළු බැදී ඇත. දුබුළු බැඳුනේ වුව ඒ ඉරය, හඳය. අසරණ මව් පියන්ගේ තත්ත්වය කීමට මීට වඩා හොඳ ගීතෝක්තියක් තිබිය හැකිද? තරු කැටවලට අකුරු බැරිය. අකුරු බැරි වුව ඒ තරුය. ඒ තරුවලට අකුරු දිය යුතුය. ජීවිතය දිය යුතුය. අනාගතය දිය යුතුය.

එමතු නොව, තව ගින්දරක් ද තිබේ. ඒ වනහි දුම් නොනගින ගින්දරකි. මුළුතැන් ගෙයි ඇති දුම් නොනගින ගින්දර කුමක්ද? ඒ වනාහි ලිපෙන් මතුවන්නක් ද? වචන දහස් ගණනකින් නිරූපණය කළ යුතු ආර්ථික පීඩනය හා ඒ ඔස්සේ මතු වන ස්වභාවය කවියා සංක්ෂිප්ත ගුණ රකිමින් ධ්වනිත කිරීමට සමත්වේ. එබඳු ගින්දරක් නිවීමට කොන්දේසි විරහිත ව කැපවීම් කරන කෙනෙක් කෙතරම් නම් සුන්දර විය යුතුද? නිල්මහනෙල් දස දහසකට ඒ සුන්දරත්වය දිය නොහැකි බව කවියා සියුම් ලෙස කියා පායි. 

බෝධිසත්ත්ව මේ මංගලිකාව අසල කවිය යනු පරාද වූ දෙයකි. ඇය කෙරෙහි සහෘද හිත කරුණ රසයෙන් පිරී නොයන්නේද? භාව මණ්ඩලය මතු නොව සහෘද බුද්ධිමණ්ඩලයද එක සේ ස්පර්ශ කිරීම කවියාගේ කවීත්වයේ තරම මොනවට කියාපාන සුළුය.

ඇගේ කැපකිරීම් ප්‍රභල ස්පර්ශගෝචර සංකල්පරූපයක් ද යොදා ගනිමින් නිරූපණය කිරීමට කවියා දෙවන අන්තරාවෙන් සමත් වේ. ඇය මිහිරි සිනා විකසිත කරන්නේ ඉදිකටුතුඩ දෙතොල තබාය. නූල්පොට යනු අතිශය සියුම්, ශක්තිමත් නොවන දෙයකි. එබඳු නූලෙන් ඇය විශ්වකර්ම වැඩක් කිරීමට සමත් වෙයි. ඒ නූල්පොට ඇය ශක්තිමත් අත්වැලක් කරයි. සිරුරෙන් කෙට්ටු ඇයගේ හිතේ සවිශක්තිය ගැන කීමට යෙදුනු කදිම ගීතෝක්තියක් නොවන්නේද එය? 

“පට්ටන්දර”, “පරසක්වළ” වැනි යෙදුම් ගේය කාව්‍ය පරිසරය තුළ රත්න ශ්‍රී විසින් හික්මවා ගන්නා ආකාරය කදිමය. වපර ඇහින් බලනා මිනිසුන්ගේ හිස් කතා ඇය වනසා දමයි. පරසක්වළ ගසයි. අභීත ව දෙපයින් නැගී සිටියි. එහෙත් ඇගේ වීර්ය පාරමිතාව ගාමන්ට් ලේබලය යට සැඟවී තිබෙයි. එය එසේ වියයුතු දැයි ප්‍රතිභාන්විත කවියා සංයමයෙන් යුක්ත ව අසයි. 

ඉදින් සැබවින්ම මංගලිකාවක් වන ඇයද ඇය බඳු තවත් තරුණියන්ද මේ දැනුත් ඇඟුලුම්කර්මාන්තශාලාවල සැඟවී, නිදි නැති ව සංසාරය මහනවා විය යුතුය. කුටුම්භය කර මත තබාගෙන කටුක ජීවිත සාගරය පිහිනනවා විය යුතුය. පවුලේ සතුට වෙනුවෙන් මහගිරිදඹ තනි ව නගිනවා විය යුතුය. බුදු නොවන්නට මුත් පාරමිතා පුරනවා විය යුතුය. සැබෑ ම මංගලිකාවන් යනු ඔවුහු නොවෙත් ද? 

“බුදු වෙන්ට ඕන නුඹලා – මට නිවන් මග කියල්ලා” යනු රත්න ශ්‍රීගේ ම කාව්‍යෝක්තියකි.

මානව දයාව වෑහෙන මෙම ගේය කව්‍යය ද එබඳු ලියන් සේ ම ටකරං, අඳෝනා ගීත (ගීත යැයි කිව නොහැක) අස්සේ සැඟවී යාම කෙතරම් අපරාදයක් ද?

බෝධිසත්ත්ව ගුණයෙන් යුත් ඒ මංගලිකා නම් දුව සේම බෝධිසත්ත්ව ගුණයෙන් යුත් පුතෙකු ද රත්න ශ්‍රීගේ පද්‍ය කාව්‍යයකින් හමුවේ. (ඔහුගේ නිර්මාණ අතර මෙබඳු චරිත ඕනෑ තරම් හමුවේ)

”හොරු අරගත් පහන

අල්ලට සිඟා ගත් සිල්පය රස නොවුණූ

හොර හතුරන් නොගත්තා යැයි නැත කරුණූ

කල්ගිය රෙදි වැරලි මේ කාගෙද කියනූ

ඇල්මෙන් අකුරු කළ නුඹ කොහි දැයි පුතණූ

හුඟක් වින්ද දුක් මූණේ තවරාන

අරන් ලේන්සුව සඟවා පිසදාන

ඉතින් …. කියා ඇසු නුඹ සිසු දරුවාන

හඳක්ය දුන් අවඅටවක හඳපාන 

දෑත් කුඩා මුත් වීරිය ඇති බැවිනේ

තාත්තා වෙමැයි ගෙදරට සිතු පුතුනේ

රෑත් උණා යන්නම් කී විට සෙමිනේ

මාත් හිතුවෙ, ඇයි නුඹ මට ගුරු නොවුණේ

කණාමැදිරියකු වාගේ දිදුලූ දෙන

නුඹේ ඇස පෙනේ කළුවර සියලූ තැන

සිනා හඬෙක හැම තැන වැගරී වැටෙන 

නුඹේ කඳුළු පිරි කටහඬ මට ඇසෙන

අනේ සර් ළඟදි ම බැරි වෙයි එන්ට

මගේ පොත් දෙක ම පොඩි මල්ලිට දෙන්ට

දෙමාසයක් ඇති නුඹ ඇවිදින් යන්ට

දෙමාසයක් මොකට ද මල් පරවෙන්ට?”

(විජේසිංහ, රත්න ශ‍්‍රී. 1996 සල් ගහ යට, පිටුව 74)

දුප්පත්කම හේතුවෙන් අතර මග දී සිල්ප සෑදීම නතර කරන්නට සිදු වූ, පවුලේ බර කොන්දේසි විරහිත ව තම කර මතට ගැනීමට සිතූ ආදරණීය සිසුවෙකු (පුතෙකු) හා ඔහුට සංවේදී වූ ආදරණීය ගුරුවරයෙකු අතර ඇති වුණා වූ බැඳීමත් අවසන සිසුවා අබිරහස් ලෙස අතුරුදහන් වීමෙන් (කෲර ලෙස ඝාතනයට පත් වීමෙන්) ගුරුවරයා තුළ උපන් කම්පනයත් මනා ලෙස ”කරුණ රසයෙන්” පුරවා අනුවේදනීය ව ඉදිරිපත් කිරීම හේතුවෙන් උක්ත දැක්වූ ”හොරු අරගත් පහන” නමැති පද්‍යය සිංහල පද්‍යාවලියේ අමරණීය ම නිර්මාණයක් බවට පත් ව ඇත. රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ කලාත්මක නිරූපණ ශක්‍යතාව කෙතරම් දැයි පෙන්වන නිර්මාණයක් ද වී ඇත. 

”පහන” හොරු අරගෙන ඇත. එහෙයින් ”එළියක්” කොයින් ද? යන අදහස මාතෘකාවෙන් ම ධ්වනිත කරමින් කවියා කවිය සහෘදයා වෙත පමුණුවයි. 

ගුරුවරයාගේ සිත් බිතෙහි සිසුවාගේ සිතුවම ඇඳී ඇති ආකාරය කවියා ඉදිරිපත් කර ඇත්තේ නිර්ව්‍යාජවය. අනුවේදනීයවය. ප‍්‍රබල ව ම චිත්තරූප නංවමිනි. 

ඔහු හුඟක් ම විඳින්නේ දුක්ය. අඳින්නේ කල් ගිය වැරලිය. ඔහු ගෙදරට ”තාත්තා” වීම සඳහා සියල්ල කරමින්, බොහෝ දේවල් කැප කරමින් සිටියි. පාසල් ජීවිතයට ඔහු සමුදෙන්නේත් එහෙයිනි. එය ලෙහෙසි පහසු කටයුත්තක් නො වේ. මක් නිසා ද යත් ඔහු අකුරු කළේ (සිල්පය රස නොවුණත් රටට නොගැළපෙන එකක් වුණත්) ඇල්මෙනි. 

පවුලේ ම බර ස්වකැමැත්තෙන් ඔහු ඔසවයි. සැබවි, ඔහුගේ දෑත් කුඩාය. එහෙත් ඒ කුඩා අතින් ඔසවන්නේ පවුලේ අනාගතයය. සහෝදරයින්ගේ ඉදිරි අධ්‍යාපනයය. එහෙයින් ඔහු අසීමිත ව වෙහෙසෙයි. මුහුණ ම ඩහදියෙන් තෙත් ව යයි. ඔහු ලේන්සුවෙන් ඒ සියල්ල පිසදා ගෙන ගුරුවරයාට සිනාසෙයි. ඒ සිනාවේ ඩහදිය නැත. එහි ඇත්තේ පිරිසිදු බව මය. මින් සංකේතවත් වන්නේ සිසුවාගේ නිර්ව්‍යාජ බවය. එහෙයින් ඔහුට සඳක් යනුවෙන් කට පුරා ඇමතිය හැක. 

කෙතරම් වැඩ රාජකාරී බහුල වුව ගුරුවරයාගේ සුවදුක් අසා, ඔහු අසල මඳ වේලාවක් හෝ නතර ව කතාබහ කරමින් සිටීමට තරම් සිසුවාගේ නහර සියුම්ය. සංවේදීය. කළගුණ සැලකීමෙහි සැලකිලිමත්ය. 

ඔහු දුර ඈත වංකගිරියේ රැකියාවකට යාමට ද සුදානම්ය. ගුරුවරයා හා සතුටු සාමීචියේ යෙදී සිටින විට ද ඔහු පැවසුවේ තම පවුලේ සතුට, අනාගතය පිළිබඳ වය. එහෙයිනි ඔහු ගුරුවරයාට කියන්නේ,

”මගේ පොත් දෙක ම පොඩි මල්ලිට දෙන්ට” යනුවෙනි. 

මේ වනාහි කෙතරම් සංවේදී ප‍්‍රකාශයක් ද? ඔහු අධ්‍යාපනයට කෙතරම් ළැදි කෙනෙකු වුව ඔහුට තිබී ඇත්තේ පොත් දෙකකි. ඒ දෙක ද පොඩි මල්ලීට දෙන්න යැයි ඔහු කියා සිටියි. පරාර්ථකාමීත්වයක් පිළිබඳ හැඟීමක් සහෘදයාට මේ තරම් දැනෙන සේ රත්න ශ‍්‍රීට ඉදිරිපත් කිරීමට හැකි වූයේ ඔහු සතු කවීත්වය හේතුවෙන් නො වේ ද?

අවසන් වතාවට ගුරුවරයාට නැමද ”ළඟදි ම එන්ට බැරිවෙයි” යනුවෙන් පවසා දුර ඈත රක්‍ෂාවට ගිය සිසුවා යළි කිසිදා එන්නේ නැත…

දේශපාලන හේතුවක් නිසා හෝ වෙන අන් හේතුවක් නිසා හෝ ඔහු ඝාතනයට ලක් වී තිබේ. (88/89 අඳුරු සමය තුළ ලද අත්දැකීමක් ප්‍රස්තුත වූ නිර්මාණයකි)

අවසන හමුවන්නේ සිසුවාගේ ගල් ගැහුණ මෘත ශරීරයවත් නොව ඔහු ඇන්ද කල් ගිය රෙදි වැරලිය. 

සැබවින් ම සිසුවා ඝාතනය කළේ කුමක් පැහැර ගැනීමට ද? කවියා වක‍්‍ර ව ප‍්‍රශ්න කරයි. ඔහු ඝාතනය කළේ ඔහුගේ හදවත නම් මාණික්‍යය පැහැර ගැනීමට ද? (මෙබඳු දරුවන් ඝාතනය කොට හෝ එබඳු දරුවන්ගේ කර මත නැග, ඔවුන් බිල්ලට දී අරමුණු ඉටු කර ගැනීමට තැත් කළෝ කවුරුහුද?)

එදා සිට ගුරුවරයාට ඇසෙන්නේ, පෙනෙන්නේ ඔහුය. දයාබර සිසු දරුවාය. 

ගුරුවරයාගේ සිතෙහි උපන් මානව දයාව, සිසුවා වෙනුවෙන් හටගත් පැහැදීම, භක්තිය, තෙත යනාදිය පිටාර යන්නේ පහත ප‍්‍රකාශයෙනි. සැබවින් ම මෙම සිසුවාට එම ප‍්‍රකාශය නොගැළපේ ද? එපමණක් නොව එම ප‍්‍රකාශයෙන් ගුරුවරයාගේ දයාව ද සැබෑ ගුරුවරයෙකුගේ භූමිකාව පිළිබඳ ව ද කියැවේ. සහෘද හිත තුළ පහන් සංවේගය ඇති කර වීමට ද කවියා මෙහි දී සමත් ව ඇත. 

”මාත් හිතුවෙ, ඇයි නුඹ මට ගුරු නොවුණේ”

පහත දැක්වෙන කාව්‍යෝක්තිය ද අතිශය ප‍්‍රබලය. ”කණාමැදිරියෙකු වාගේ දිදුලූ දෙන –  නුඹේ ඇස පෙනේ කළුවර සියලූ තැන”.

කණාමැදිරියෙකුට කළුවර නැති කළ නොහැක. මේ ”කළුවර” වනාහි ප‍්‍රබල සමාසෝක්තියකි. ආර්ථික, දේශපාලන හා සමාජ පීඩනය මින් කියැවේ. 

සම්ප‍්‍රදායෙන් ද සම්පත් ලබමින් රත්න ශ‍්‍රී මෙහි දී ප‍්‍රකට කරන සියුම් පරිකල්පන ශක්තිය අගය කළ යුතු මය.

මැණික් වළලා තිරිවානා මැණික් කරන සමයක මෙබඳු වටිනා නිර්මාණ ගොඩ ගැනීම කළ යුතු මය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link