රතු හමුදාව පුහුණු කිරීමට හිටපු හමුදා නිලධාරීන්

Last Updated on 3 months by admin

‘දේශපාලන බලය ගොඩනැගෙන්නේ තුවක්කු කඳ තුලිනි’ යන්න මා ඕ සේතුංගේ ‘රතු පොතේ’ වැකියකි. ජවිපෙ පැවැත්වූ පංති හා කඳවුරුවලදී මා ඕගේ රතු පොතේ කරුණු ඉදිරිපත් විය. ‘චීනයේ රතු හමුදාවට මා ඕ කී දේ අපට කුමට දැ’යි මේවාට සහභාගි වූවන්ට නොසිතුණි. පොලිසි හා ආරක්ෂක හමුදාවලට එල්ල කරන හදිසි ප‍්‍රහාරයකින් රාජ්‍ය බලය ලබාගත හැකිය යන සිතුවිල්ල ඒ බොහෝ දෙනෙකුට ඇති විය.

ඒ, ගමන් බලපත‍්‍රයක් ලබාගන්නට ආදායම් බදු ගෙවන ඇපකරුවකු වුවමනාවූ යුගයකි. පංතිවලට සහභාගි වූ තරුණයන් අතරින්, රුසියාව තබා, ඉන්දියාව ගැන හෝ දැනුමක් තිබුණේ කලාතුරකින් අයකුටය. මේ නිසා රුසියාවේ අධ්‍යාපනය ලැබූ විජේවීර ලෝකය ගැන බොහෝ දේ දන්නා තැනැත්තකු සේ බොහෝ දෙනෙකුට පෙනුණි. විජේවීර මුල්කාලවල කඳවුරුවට සහභාගි වන තරුණයින්ට රුසියානු විප්ලවය ගැන කියා දුන්නේය. සාර් හමුදා නායකයින්ගේ නියෝග නොතකමින් විප්ලවවාදීන් වෙනුවෙන් තුවක්කු එසවූ රුසියානු හමුදා භටයන් ගැන ඔහු කියන විට අසා සිටි සමහරුන්ගේ ඇස්වලින් කදුළු කඩා වැටුණි.

පංතිවලට ගිය තරුණයෝ කැසට් රේඩියෝ අසලට රොක් වී නන්දා මාලනීගේ ගී ඇසූහ. සාධාරණ සමාජයක් උදෙසා ආයුධ අතට ගත යුතු බව ඈ පැවසුවාය. එහිදී හමු වන සිරගෙවල් විප්ලවවාදීන්ට දිව්‍ය මාළිගා වන බව ඈ ගැයුවාය.

සීතල පොළවම සිරි යහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පළසක් වේවා
ජේලර් මහතුන් නෑදැයෝ වේවා
තැටියේ බත්පත දිව බොජුනක් වේවා (පවන)

කිසිම තරුණයෙක්, ‘සුනිල් ආරියරත්න සිරබත් කා තිබේද?’, ‘නන්දා මාලිනීට සිරගේ අත්දැකීම් ඇත්ද’? වැනි ප‍්‍රශ්න මතු නොකළේය. එවැනි දෙයක් ඇසූ තරුණයා ජවිපෙ තරුණයින් අතර අමු ප‍්‍රතිගාමියෙකු වශයෙන් අවමානයට ලක් විය.

1971 කරැල්ලට හසුවූ හෝ 89 පේ‍්‍රමදාස පාලන යුගයේදී භීෂණයට ගොදුරු වූ කිසිවෙකුට ආරක්ෂක හමුදාවලින්, පොලිසියෙන් හෝ බන්ධනාගාර නිලධරයන්ගෙන් අනුකම්පාවක් ලැබුණේ නම් ඒ ඉතා කලාතුරකිනි. ජවිපෙ සාමාජිකයන් පමණක් නොව ඔවුන්ගේ දෙමව්පියන් පවුල්වල අය සහ හිතමිතුරන් පවා ද`ඩුවමට ගොදුරු වූහ. බොහෝ ග‍්‍රාමසේවක නිලධරයන් පවා ඔවුන් දෙස බැලූවේ සමාජ සතුරන්ය යන හැඟුම ඇතිවය.

අද පවතින්නේ ජවිපෙ ගොඩනැගුන සමයේ ලංකාව හා ලෝකය නොවේ. වර්තමාන ලංකාව ලෝකය සමඟ කටයුතු කරයි. ‘පිරිමි පාලනය නිසා විනාශ වූ රට කාන්තාවන්ට ගොඩනැගිය හැකිය’ යන අදහස පතුරුවන්නේ බටහිර කාන්තා ව්‍යාපාරවල අදහස් රටට දමන කාන්තාවන් කිහිප දෙනෙකි. ඒ කාරියේ පුරෝගාමිත්වය දැරූ ආචාර්ය කුමාරි ජයවර්ධන දැන් මහලූය. ආචාර්ය හරිනි අමරසූරිය වැන්නන් එංගන්තයෙන් උපාධි ලබා පැමිණ ඒ වැඩ කොටස ඉදිරියට ගෙන යති.

කාන්තාව සිංහල බෞද්ධ සමාජය සතු ශක්තියේ පදනමයි. 71 කැරැල්ල හා පේ‍්‍රමදාස යුගයේ භීෂණය නිසා වඳ විය හැකිව තිබුණ සිංහල බෞද්ධ සමාජය බේරෙන්නට හේතුව කාන්තාවගේ ශක්තියයි. ‘රට ගොඩගැනීමට නුඹලා දේශපාලන බලය අත්පත් කරගත යුතුයි’ යන්න ඔවුන් නොමග යවන භයානක අදහසකි. මෙය විශාල සමාජ සංස්කෘතික පරිහානියකට පාර කැපීමක් වනු ඇත.

කාන්තාවන්ගේ නොදැනුවත්කම් නිසා රුසියාවේ මහා විනාශයක් සිදු විය. වියට්නාමය, කාම්බෝජය වැනි රටවලද ඒ එසේම සිදු විය. ඉරානයේ ආගමික විප්ලවයට සහභාගි වූ කාන්තාවන් විශාල පිරිසක් තමන් කළ වරද ගැන ප‍්‍රකාශ නිකුත් කර තිබේ. ඔවුහු ඉරාන ජනතාවගෙන් යළි යළි සමාව ඉල්ලති. දරුවන්ට දැඩි ආගමික නීතිවලට හිරවී ජීවත්වීමට සිදුව ඇත්තේ තමන්ගේ වරද නිසා බව ඔවුන් ප‍්‍රයෝගිකව වටහා ගැනීම ඊට හේතුවයි.

කාන්තාවන් එසවීමට වෙහෙසෙන ආචාර්ය හරිනි අමරසූරිය, අනුර දිසානායක ආදින්ගේ ජවිපෙ බලවේගය, විශ‍්‍රාමික සෙබළුන් රැස් කිරීමේ වැඩපිළිවෙළක් අරඹා තිබේ. ත‍්‍රස්තවාදී සංවිධානයක්ව සිට හමුදාවෙන් හොඳට බැට කෑ, පාරේ පෙළපාළිවලදී අදටත් හමුදාව සමඟ ගැටෙන මොවුන්ගේ ක‍්‍රියාවේ සැබෑ අරමුණ රටවාසීන් දැනගත යුතුව තිබේ.

ඊට එක් හේතුවක් ‘රතු හමුදාවක්‘ සැදීම ජවිපෙ අරමුණක් බැවිනි. හමුදාව සහ පොලිසිය ධනපති ආණ්ඩු ආරක්ෂා කරන ආයතන බව ජවිපෙ මතයයි. බලය ලැබූ පසු හමුදාව හා පොලිසියි විසුරුවාහර තම පාක්ෂිකයන්ගෙන් සැදුම්ලත් රතු හමුදාවට රට භාර දෙන බව ජවිපෙ කියා තිබේ. එනිසා ඔවුන්ගේ රතු හමුදාව පුහුණු කරන්නේ ධනපති ආණ්ඩු වෙනුවෙන් අවි දැරූ හමුදා නායකයින් විසින්දැයි මහජනයා දැනගත යුතුය. වියට්නාමය, කාම්බෝජය, චීනය වැනි රටවල හැම දේශපාලන අපරාධයක්ම සිදුකර ඇත්තේ රතු හමුදා ආධාරයෙනි.

ආර්. පේ‍්‍රමදාස පාලන සමය තරම් බිහිසුණු කාලයක් ලංකා ඉතිහාසයේ පැවති බවට සාක්කි නැත. ඒ කාලයේ සිංහල බෞද්ධ තරුණ තරුණියන් දහස් ගණනක් මිය ගිය හැටි දුටු සාක්ෂ්‍යකරුවෝ සිටිති. මහ මඟ දෙපස බාගෙට පිළිස්සු මිනී තිබුණු, ගංගාවන්හි මිනී පාවුන කාලයකි, ඒ. එනිසා සජිත් හමුදා නිලධරයන් එකතු කිරීමද සැකයට ලක් කළ යුතු කාරණයකි. තමා පියාගේ අඩිපාරේ යන්නෙකු බව ඔහු නිතර කියයි. ඒ අඩිපාර භීෂණයද?

විශ‍්‍රාමික හමුදා නායකයින් රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගැනීම ගෝඨාභය රාජපක්ෂ සමයේ සිදු විය. ඔහු එමගින් විනයක් ඇති සමාජයක් සැදීමට අපේක්ෂා කළ බව පොහොට්ටුවාදියෝ කීහ. එය සාර්ථක නොවීය. සිවිල් නිලධරයන් සතු දැනුම අත්දැකීම් හා මහජනයාට ඇහුම්කන් දෙන ගතිය ඔහුගේ සමයේ පත්වීම් ලැබූ හමුදා නිලධරයන් වැඩි දෙනෙකුට නොතිබුණි. හමුදා විනය හා සිවිල් සමාජ විනය අතර විශාල වෙනසක් තිබේ. අනුර හා සජිත් දෙදෙනාම ගෝඨාභය රාජපක්ෂ විවේචනය කරමින් ඔහුගේ පාලනයේ දොස් දකිති. එසේ නම් විශ‍්‍රාමික හමුදා නිලධාරින් රැස් කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link