රුබයියට්: තාරා බෝසත් වන්දනා ස්තෝත්‍ර සංග්‍රහය

Last Updated on 5 months by admin

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

Picture credit: kobo.com

බෞද්ධ උපාසකයෙකු වූ අශෝක අධිරාජයා බුදුදහම ජම්බුද්වීපයෙන් පිට දේශයන්හිද පැතිරවූ බවට සාක්ෂ්‍ය රාශියකි. ඒ ගැන විස්තර මහාවංශයේද අන්තර්ගතය. ලෝක ධර්මය පරිදි අශෝක අධිරාජයා ගොඩනැගු මහා මෞර්ය අධිරාජ්‍යය ඔහුගේ අභාවයෙන් කාලයකට පසුව කඩා වැටුණි. මගධය, නිර්මාණවාදය පිළිගත් පාලකයින් පිරිසකට හිමි විය. නිර්මාණවාදයෙන් ප්‍රකාශ කරන්නේ පෘථිවිය සහ එහි සත්වයාගේ උපත ලෝක ධර්මයට යටත් නොවන, මැවුම්කරුවකුගේ ක්‍රියාවක් බවයි. එය විද්‍යාවට, තර්කයට හෝ දර්ශනයට ගෝචර නොවන අදහසකි. පැරණි ලෝකයේ සිදු වූයේ ඒ ඇදහීම දරන්නන් වියරු වී මැවුම්කරුවෙකු නැතැයි උගන්වන ආගම්, දර්ශන විනාශ කිරීමයි.

මැවුම්වාදය හිස් ප්‍රලාපයක් යයි ඉගැන්වු බුදුදහම මැවුම්වාදින්ගේ උදහසට ලක් විය. ඔවුහු බුද්ධ දේශනා ලියවුන පත පොත විනාශ කළහ. නාලාන්දාව වැනි මහා පුස්තකාල විනාශකරන්ට හේතුව එයයි. සිංහල බෞද්ධයෝ එම නාස්තික දර්ශනය භාර නොගත්හ. ඒ නිසා මිහිඳු හිමියන් ගෙනා පිරිසිදු බුද්ධ දේශනා අඩංගු සූත්‍ර සිංහල දේශයේ ආරක්ෂා වුනි. චෝල දේශයේ මෙන්ම චීනයේ භික්ෂුන් වහන්සේ පිරිසිදු බුද්ධ දේශනා දැන ගැනීමේ පරමාර්ථයෙන් මෙහි පැමිණි බවට ලිඛිත සාක්ෂ්‍ය පවතී.

කලින් කල, බුදුදහම රාජ්‍ය ආගම කරගත් වෙනත් රාජ්‍යයන් දඹදිව පැවතුණි. කුෂාණ රාජ වංශය නිදසුනකි. එම වංශයේ කනිෂ්ක රජුගේ සමයේ ‘පුරුෂ පුර’ (පෙෂාවර්) නමැති අගනගරයෙහි ධර්ම සංගායනාවක් පැවැත්වුණි. රටක් පිරිහෙන විට බුදුසසුන පිරිහේ. දැහැමි ශ්‍රද්ධාවන්ත පාලකයෙකු බිහිවුනොත් සංගායනාවක් පැවැත්වෙයි. ධර්ම සංගායනා යන නම යෙදෙන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව උගත් බුද්ධිමත් ශිල්වත් භික්ෂුන් වහන්සේ එක්වී කරන ධර්ම සංවාදයටයි.

කනිෂ්ක රජදින පැවැති හතර වැනි ධර්ම සංගායනාවට පසුව ඊට සහභාගි වූ භික්ෂූන් පිළිගත් නිවැරදි බුදුදහම කුෂාන අධිරාජ්‍යයේ ශක්තිය නිසා වෙන රටවලටත් පැතිරිණි. කුෂාන ධර්ම සංගායනාව බෝධිසත්ව වන්දනාව බුදුදහමට අයත් බව පිළිගෙන ඇත. එනිසා කුෂාන සංස්කෘතිය පැතිරි රටවල බෝධිසත්ව වන්දනාව පැතිරිණි. අවලෝකිතේශ්වර බෝසතුන් සහ තාරා බෝසත්වරිය වන්දනාව ලංකාවේත් පැතිරුන බවට සාක්ෂ්‍ය තිබේ.

පර්සියාව, කුෂාන රාජ්‍යයට යාබද රටකි. එය පසු කලෙක තුර්කි ඉස්ලාම් ආක්‍රමණවලට හසු විය. ඉන් පසුව ෂියා මුස්ලිම් ආක්‍රමණයට හසු විය. පර්සියාවේ බුදුදහම, ෂියා ඉස්ලාම් පාලනය සමයේ නැත්තටම නැති විය. මේ සමයේ ‘සූෆී’ නමින් විශේෂ ඉස්ලාම් ආගමික කණ්ඩායමක් බිහි විය.

යටත් විජිත සමයේ බටහිර ලෝකයේ උගතුන් පිරිසක් සුෆීන් ගැන උනන්දු වීමට ‘රුබයියට්’ නමැති කාව්‍ය සංග්‍රහය හේතු විය. ඔමාර් ඛයියාම්ගේ නිර්මාණයක් වූ එය බටහිර සමාජයට ඉදිරිපත් කරන ලද්දේ, පර්සියානු භාෂා සමතෙකු වී පර්සියාවේ තොරතුරු සෙවූ එඞ්වඞ් ෆිට්ස්ජෙරල්ඞ් නමැති ඉංග්‍රීසි ජාතිකයා විසිනි. රුබයියට් කියවූ උගත්තු, ඔමාර් කවි ලියූ දර්ශනවාදියෙකැයි සිතූහ. ‘ජීවිතය පිනවිය යුතු දෙයකි. ඊට මග දුක් කරදර අමතක කර වයින් බොමින් කටගැසුම් හපමින් මිහිර ගීතවලට සවන් දෙමින් ස්ත්‍රීන් සමග විනෝද වීමයි’ යන පණිවිඩය රුබයියට් පද්‍ය සංග්‍රහයේ ඇතැයි ඔවුන්ට සිතුණි.

රාජනීස් භගවාන් (ඕෂෝ) නමැති දාර්ශනිකයා ඔමාර් ගැන වටිනා පැහැදිලි කිරීමක් කළේය. ‘ඔමාර් ගණිතඥයෙකු මිස කවියෙකු නොවන බව’ පෙන්වා දුන් ඔහු ඔමාර් සුෆියෙකු බව පිළිගනිමින් මෙසේ සඳහන් කළේය.

“සුෆීන්ගේ දෙවියා කාන්තාවක් වූවාය. ඔමාර් අචල විශ්වාසයෙන් එතුමියට ආදරය බැතිමතෙකි. ඔමාර් දේවතාවියට දක්වන භක්තිය ප්‍රකාශ කරමින් ස්තෝත්‍ර ලිව්වේය. ෆිට්ස්ජෙරල්ඞ්ට එය වැටහුනේ නැත. ඔහු ඔමාර්ගේ ස්තෝත්‍ර කවි සේ ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කළේය. ශාංගාර කවියා ෆිට්ස්ජෙරල්ඞ් මිස ඔමාර් නොවේ.”

පර්සියාවේ බුදුසසුන ඉස්ලාම් ආගමට ගොදුරු වූ පසු සුෆි නමින් විශේෂ ඉස්ලාම් අැදහීමක් බිහි වීමට සමාන දෙයක් පෘතුගීසින්ට යටත් වූ බස්නාහිර වෙරළ ප්‍රදේශයේ සිදු විය. මරියා වන්දනාව නිදසුනයි. කතෝලිකයන් මිස රෙපරමාදු ආගමිකයෝ හෝ යාඥාකාරයෝ මරියා වන්දනාව නොකරති. කතෝලිකයන් වන්දනා කරන මරියාගේ බෞද්ධ ස්වරූපයක් තිබේ.

පාප්තුමා ලංකාවට පැමිණි අවස්ථාවේ මඩු දේවස්ථානය නැරඹීමට ගියේය. මඩු දේවස්ථානය අතීතයේ බෝසත්වරිය වන්දනා කළ විහාරයකි. පසුව එය පත්තිනි දේවාලයක් බවට පත් විය. පාප්තුමාගේ මඩු ගමන නිමිත්තෙන් ඇමරිකාවේ වෙසෙන සුප්‍රකට සමාජ විද්‍යාඥ ගනනාථ ඔබේසේකර ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට ලිපියක් සපයමින් සඳහන් කරන්නේ, මඩු දේවස්ථානය පැරණි පත්තිනි දේවාලයක් බව දැනගැනීම පාප්තුමාගේ සොම්නසට කාරණයක් විය හැකි පුවතක් බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link