ලංකාවට නෑසුන මෝදිගේ infiltrator කතාව

Last Updated on 3 months by admin

අශෝක අධිරාජයාගේ ධර්ම ලිපිවලින් පැහැදිලි වන්නේ බුදුදහම පැතිර පැවති සමයේ කරුණාව දයාව මෛත‍්‍රිය ආදී ගුණධර්මයන් ඉන්දියාවේ ජාතික උරුමයන් වශයෙන් පැවති බවයි. රට රටවලට ගිය අශෝක ධර්මදූතයෝ ගුණධර්ම පිළිබඳ බෞද්ධ චින්තනය ඔවුන් ගිය හැම රටකදීම ඉදිරිපත් කළහ. යේසුස් වහන්සේද ඒ ගුණධර්මයන් පලස්තීනයේදී ඉදිරිපත් කළහයි මතයක් පවතී.  

යටත් විජිත සමයේදී ක‍්‍රිස්තියානි ආගම නිසා ඉන්දියානු චින්තනයේ විශාල වෙනසක් සිදු විය. භෞතික සම්පත් වඩා වැදගත් යයි සැලකීමේ එහි ප‍්‍රතිඵලයකි. බි‍්‍රතාන්‍ය සමයේ මාක්ස්වාදය පැතිර ගියේය. මෙයත් ක‍්‍රිස්තියානි චින්තනයේම උප නිර්මාණයකි. ‘ධනපති පංතිය සතු කරගෙන ඇති ජාතික සම්පත් නිර්ධන පංතිය අතට පත්විය යුතු බව’ මාක්ස්වාදීන්ගේ අදහස විය.

කොංග‍්‍රස් පක්ෂය බලයේ සිටි කාලයේ ඉන්දියාවේ අගමැතිවරයකු වූ මන්මෝහන් සිං 2006 වසරේදී ඉන්දියාවේ ජාතික සම්පත් බෙදී යායුතු පිළිවෙළ පිළිබඳව කළ අර්ථ දැක්වීම ස්වදේශීයකරණයට ලක් වූ මාක්ස්වාදී අදහසකි. කුලහීනයන්, සුළුආගමිකයන්, කාන්තාවන් වශයෙන් සම්පත් හිමිවිය යුතු පිරිස් නම්කළ ඔහු මුසල්මානුවන්ට වැඩියෙන් සම්පත් හිමිවිය යුතු යයි කීවේය.

මෙවර මැතිවරණයට දින කිහිපයකට පෙර රාජස්ථානයේ පැවති රැලියක් ඇමතූ අගමැති නරේන්ද්‍ර මෝදි කළ කතාව මන්මෝහන් සිංගේ එදා කතාවට පමණක් නොව කොංග‍්‍රස් චින්තනයටම එල්ල කළ ප‍්‍රහාරයකි. ඉන්දියාවේ සම්පත් හිමිවිය යුතු ප‍්‍රධාන කොටස ඉන්දියාවේ ජාතිකත්වය රකින ඉන්දියානුවන් බව ඔහුගේ අදහස වූයේය.

”කොංග‍්‍රස් පක්ෂය බලයට පත්වූවොත් රටේ සම්පත්, වැඩි වැඩියෙන් දරුවන් සිටින ඉස්ලාම් පවුල්වලට ලැබේවි. දේශපේ‍්‍රමීන් අතරට රිංගාගෙන ව්‍යාජ ජීවිත ගතකරන  දේශද්‍රෝහීන්ට හිමිවේවි.” ඔහු කීවේය.

අගමැතිවරයා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් වෛරී ප‍්‍රකාශයක් කළ බව බීජේපී විරෝධීන්ගේ අදහසයි. ඔවුන් කිහිප දෙනෙකු මැතිවරණ කොමිසමට මෝදිට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර ඇත. මෝදිගේ කතාවට ‘නිව්යෝක් ටයිම්ස්’ වැනි බටහිර රටවල පුවත්පත්වලින් විශාල ප‍්‍රචාරයක් ලැබුණි. ‘අල් ජසිරා’ වැනි ඉස්ලාම් රුපවාහිනී නාළිකාවන්ටද එය වැදගත් වූයේය. ඔහු පාවා දෙන්නන් නැතිනම් ව්‍යාජ දේශපේ‍්‍රමීන්  හැඳින්වීම සඳහා භාවිත කළ හින්දි වචනය බීජේපී විරෝධී භාෂා පරිවර්තකයින් ‘infiltrator’ යනුවෙන් ඉංග‍්‍රීසියට පෙරළා තිබුණි.

මෝදිගේ ඓතිහාසික කතාව ගැන ලංකාවේ මාධ්‍යකරුවන් දක්වා ඇත්තේ ඉතා අඩු උනන්දුවකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link