වඳුරන්ගෙන් ග්‍රාම නිලධාරී සංගණනයක්!

Last Updated on 3 weeks by admin

Pic. credit: susangabriel.com

ලෝක නායක නායිකයින් අළලා කතා ගෙතීම අතීතයේ සිට සිදුවන්නකි. මෙවැනි කතා බොහෝමයක් මගින් කෙරෙන්නේ ප්‍රසිද්ධ නමුත් මහජනයාට දුරින් සිටින ප්‍රභූන් සිනාවට ලක් කිරීමයි. යුක්රේනයේ ජනාධිපති සෙලෙන්සිකි පිළිබඳ යට දැක්වෙන කතාව එවැන්නකි.

දේශපාලනයට පිවිසීමට පෙර නළුවෙකු වූ සෙලෙන්ස්කි සුරතලයට වඳුරෙකු හදාගත්තේය. සෙලෙන්ස්කි කවටයෙකි. සමහර සාකච්ඡාවලට නොයන සෙලෙන්ස්කි තමන් වෙනුවට වඳුරාව ඉදිරිපත් කළේය. අනුරාධපුරයේ විසූ ශුභ රජතුමාද පෙනුමෙන් තමාට සමාන දොරටුපාලයා සිහසුනේ හිඳුවා සිනාසුන කතා සිංහලයේ තිබේ.

රුසියාවේ ආරක්ෂක අංශය විසින් සෙලෙන්ස්කිගේ ක්‍රියාව පුටින්ට දැනුම් දෙන ලදි. සෙලෙන්ස්කිගේ සහ වඳුරාගේ ඡායාරූප ගෙන්වා ගෙන පරීක්ෂා කළ පුටින්, ‘මේ දෙන්නෙක් නෙමේ, එකෙක්’ කියා තීරණය කළේය.

වදූරන් සහ මිනිසුන් අතර සමානකම් පවතී. නමුත් වඳුරන්ට රටවල් පාලනය කිරීමට නුපුළුවන. වඳුරෙකු රටක් පාලනය කරන්නට ගියහොත් සිදු වන විපත වචනයට නැගිය නොහැක. රාමායන කාව්‍යයේ සඳහන් වන හනුමන්, වඳුරෙකි. රාම, රාවණට විරුද්ධ යුද්ධයට ඌ යෙදවූයේය. හනුමන්, තෙල් පෙඟවූ දිග රෙදි පාන්කඩයක් වල්ගයේ බන්දවාගෙන ඊට ගිනි තියාගෙන ලංකාපුරය හැම තැනම දුවන්නට විය. දිව්‍ය ලෝකයක් වූ ලංකාපුරයේ විසූ බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ මනුෂ්‍යයෝ ඔවුන්ගේ සියලු සම්පත් සමග ගින්නට ගොදුරු විය. මෙය හිරෝෂිමාවට පරමාණුව දැමීම හා සමාන සිද්ධියකි.

සෙලෙන්ස්කිගේ හා වඳුරාගේ රූප අධ්‍යයනය කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මේ වඳුරු සෙල්ලම නිසා ලෝක යුද්ධයක් සිදු වන බව වටහා ගෙන යුක්රේනයට දෙන ඇමරිකානු යුද ආධාර නවත්වා දැමීමට තීරණය කළේය. එම නිසා තුන්වන ලෝක යුද්ධයක් ඇති වේය යන බිය ලෝකයෙන් පහවෙමින් පවතී.

මාලිමා රජය ඒමත් සමග රටේ ඇති වූ වඳුරු අර්බුදය තවම පවතී. ඉදිරි සතියේ මිනිත්තු කිහිපයක් ඇතුළත රට පුරා සියලු වඳුරන්ගේ සංගණනයක් කිරීමට කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා සැරසේ. ඒ සඳහා තමන් යොදවනවාට බොහෝ ග්‍රාම නිලධාරීන් කැමති නැත. ඔවුන්ගේ කතාවේ ඇත්තක් තිබේ. වඳුරු සංගණනයෙන් පසුව ග්‍රාම නිලධාරීන් යොදවා මීමින්නන්, ඉබ්බන්, තලගොයින්, මොනරුන්, මීයන්, වල් ඌරන් ආදී වෙනත් සතුන්ගේ සංගණන කටයුතු සිදු කිරීමටත් කෘෂි උපඇමතිවරයාට අදහස් ඇති වීමට පුළුවන. අනිත් අතට වඳුරන්ද, ග්‍රාම නිලධාරින් ගැන සංගණනයයක් කිරීමට අවකාශ තිබේ.

තිත්තර ජාතකයට අනුව වනාන්තරයේ විශාල ගසක් ආශ්‍රය කරගෙන අලියෙක්, වඳුරෙක් සහ තිත්වටුවෙක් විසූහ. එක් දිනක් ඔවුන් අතර තමන් අතරින් වැඩිමහලු තැනැත්තා තෝරා ඔහුට ගරු කරමින් ජීවත් විය යුතුය යන්න ගැන සංවාදයක් ඇති විය. ‘මං මේ ගහේ දලුවල මගේ බඩ අතුල්ලාගෙන ගිය හැටි මතකයි’ අලියා කීවේය. ‘මේ ගහේ කොළ දලු කාපු හැටි මතකයි’ වඳුරා කීවේය. ‘මට මතක විදිහට මේ ගහේ පැලය හැදුනේ මං ඔය කැලෙන් කාල ඇවිත් දාපු මළපහවලින්’ තිත්වටුවා කීවේය.

අලියාත්, වඳුරාත් ඉතා නිහතමානීව තිත්වටුවාගේ කතාව අනුමත කරමින් අසාගෙන සිටියහ. ඔවුහු දිවි ඇති තෙක් තිත්වටුවාට ගරු කරමින් ජීවත් වූහ.

දැන් පාසල්වල ජාතක කතා උගන්වන්නේ නැත. ජාතක කතාවලින් හැදූ මනස රටේ උගතුන් බහුතරයකට නැත. ජාතක කතා ගැන මූලික දැනුමක් හෝ ලැබීම ලංකාවේ අධ්‍යාපන ඇමතිකම දැරීමේ මූලික සුදුසුකමක් විය යුතුය.

රට හැදෙන්නට නම් රටවැසියා බුද්ධිමත් විය යුතුමය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top