අතනින් වැද්දො කවුද?

Last Updated on 3 months by admin

පියසේන කහඳගමගේ බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය සමග හිතවත්කම් පැවැත්වූ ලේඛකයෙකි. වරෙක අපට ඔහුගෙන් ‘සිංහල ගොවිතැන’ මැයෙන් ලිපි සංග‍්‍රහයක් ලැබුණි. එය ‘කෙම්පහන්’ නමින් 1993 අවුරුද්දේ මුද්‍රණය කෙරිණි. ප‍්‍රකාශයේ අගට එකතුකර තිබූ සටහන කියවූ කහඳගමගේ කලබල විය. එහි නම් සඳහන් පිරිස තමා සමග අමනාප වේ යැයි ඔහු දැන්වූයේය.

පසුසටහනට නිමිත්ත වූයේ කෙම්පහන් මුද්‍රණය කළ වසරේ ජුලි 10 වැනි දින ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් දඹානේ සිට විසුරුවා හරින ලද වැද්දන් පිළිබඳ සජීව වැඩසටහනකි. අප සමග හිඳගෙන එය නැරඹූ ජර්මන් ජාතිකයින් පිරිස අතර වැඩිදෙනා ඉංග‍්‍රීසි භාෂාව නොදත්තෝ වූහ. ඔවුන් අතර සිටි ජර්මන් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්, ‘අතනින් වැද්දො කවුදැ’යි ප‍්‍රශ්නයක් ඇසුවාය.

‘‘වැද්දො තමයි කොණ්ඩ රැවුල් වවාගෙන අඹු`ඩ ගහගෙන ඉන්නෙ’’ අර්නස්ට් අබේසිංහ පිළිතුරු දුන්නේය.

‘‘එතකොට තණකොළ පාත්ති කපනව වාගෙ කොණ්ඩ කපාගෙන කලිසම් සපත්තු දමාගෙන ඉංග‍්‍රීසි කතා කරන අය?’’

‘‘ඒ සිංහලයො’’ අබේසිංහ එම ප‍්‍රශ්නයටත් පිළිතුරු දුන්නේය.

‘‘ලංකාවෙ ඉතා කුඩා වනාන්තරවල ඉතාම අමාරුවෙන් ජීවත් වෙමින් තමන්ගේ අනන්‍යතාව රැකගන්න වැද්දන් දරන උත්සාහය මේ වැඩසටහනින් පැහැදිලියි. සංස්කෘතිකව දූෂණය වෙච්ච සිංහලයින් වැද්දන් දූෂණය කරන එකයි මේකෙන් පෙනෙන්නෙ’’ ප‍්‍රශ්නය ඇසූ විශ්වවිද්‍යාල සිසුවියගේ මිතුරිය කීවාය.

අප සමග සිටි බර්ලින් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ ආචාර්යවරියගේ අදහස වූයේ ‘සංස්කෘතික උරුමයක් ගැන ලෝකෙට කියන්නට කැලේට යා යුත්තේ ඒ උරුමය ඇත්තන් මිස මිෂනාරි හම් දමාගත් උගතුන් නොවන බව’යි.

රුපවාහිනී සංස්ථාවේ එච්. එම්. ගුණසේකර, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, මහාචාර්ය මීගස්කුඹුර, විශාරද අමරදේව එදා දඹානට ගොස් සිටි පිරිසයි. ඔවුන්ගේ නම් සමග මේ සිද්ධිය පොතේ පසුසටහනේ සඳහන් කර තිබුණි. ඒ අතරින් ජාතික ඇඳුමින් සැරසී සිටියේ අමරදේව පමණකි.

පසුව, කහඳගමගේ, ‘කෙම්පහන්’ නමින් පොතක් ලියා ලංකාවේ මුද්‍රණය කරවා තමා ප‍්‍රකාශනයේ අඩංගු පසු සටහනට හවුල්කාරයෙකු නොවන බව පැහැදිලි කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link