විපස්සනා භාවනාවේ පේටන්ට් එක නූලෙන් බේරිලා

Last Updated on 4 months by admin

දැනට ලැබී ඇති සාක්ෂිවලට අනුව අවුරුදු පහළොස් දහසකට පෙරදීත් ඇමෙරිකා මහාද්වීපයේ මනුෂ්ය ජනාවාස පැවතුණි. ඇස්ටෙක්, මායා රාජධානිවලට අවුරුදු සිය ගණනක ඉතිහාසයක් තිබුණි. චීන නාවිකයින් මෙම රාජධානි වෙත පැමිණ තිබේ. බෞද්ධ ධර්ම දූතයින් එහි ගිය බවට සාධක ඇත. මෙවැනි තොරතුරු පවතින අතර, ක්රි. ව. 1492 වසරේ ස්පාඤ්ඤ ජාතික කොළොම්බස් ඇමෙරිකාව සොයාගත් බව කියමින් වාර්ෂිකව කොළොම්බස් සැමරුම් උත්සවය පවත්වන පිරිස් ද සිටිති. හොඳම විහිළුව කොළොම්බස් ඇමරිකාව සොයා ගත් බව සඳහන් කරමින් පොත් ලියමින් බාලයන්ගේ මොළ කෙලෙසන උගතුන් මේ යුගයේත් ලංකාවේ වැජඹීමයි.

ක්රි. ව. 1452 ක්රි.ව. 1493 අතර පාප්තුමා නිකුත් කළ ‘බුල්’ (ආඥාවන්) ගණනාවකි. මේ සියල්ල අන්තර්ජාලයේ අඩංගු වේ. රටවල් ඇල්ලීමට ගිය යුරෝපීන් පාප්තුමාගේ ආඥාවලට අනුව කටයුතු කර තිබේ. එබැවින් මායා ඇස්ටෙක් රාජධානි ඇමෙරිකාවෙන් බාහිර ලෝකය සමග සබඳතා පැවැත්වූ බව හෙළිකෙරෙන සාක්ෂ්ය කොතරම් ඉදිරිපත් කළත් ඒවා නීතියට වලංගු නැත. පාප්තුමා විසින් 1494 දී ස්පාඤ්ඤයන් හා පෘතුගීසින් අතර ඇති කළ ටොර්ඩෙසිලාස් ගිවිසුම මගින්, ‘නුඹලා සොයාගන්නා, ක්රිස්තියානි පාලකයෙකු විසින් පාලනය නොකරන හැම භූමියක්ම අයිති නුඹලාටයි. ඒවායේ ජීවත් වන්නන් අර්ධ මනුෂ්යයින් වශයෙන් සැලකිය යුතුයි’ යනුවෙන් ක්රිස්තියානි පාලකයින්ට පැහැදිලි කර දී තිබේ.

මෙම ආඥාව ඇමෙරිකාවේ නීතිය හැටියට ක්රියාත්මක වූ බව පැහැදිලි කෙරෙන නඩු තීන්දු ගණනාවකි. තෝමස් ජොන්සන්, විලියම් මැකින්ටොෂ්ට එරෙහිව පැවරූ නඩුව ඊට සාක්ෂ්යයකි. මොවුන් දෙදෙනාම සුදු ජාතිකයින් වූහ. ජොන්සන් ස්වදේශිකයෙකුගෙන් ඉඩමක් මිලයට ගත්තේය. මැකින්ටොෂ් එම ඉඩම රජයෙන් ගත්තේය. ඉඩමේ අයිතිය බේරා ගැනීමට අධිකරණය හමුවට යාමට දෙදෙනාටම සිදු විය. ස්වදේශිකයින්ට භූමියේ අයිතියක් නැති බව ප්රකාශ කරමින් අග්ර විනිශ්චයකාරවරයා නඩු තීන්දුව දුන්නේය.

ඇමෙරිකාවට ගිය යුරෝපීයයන් ස්වදේශකයින්ගේ ඉඩම් කොල්ලය සඟවා තිබේ. සියටල් නමින් හැඳින්වෙන ස්වදේශීය නායකයකුගේ පෙත්සමක් හෝ ආමන්ත්රණයක් වශයෙන් සැලකෙන ලෝක ප්රසිද්ධ පරිසර ලියවිල්ල උදාහරණයකි. මෙය කියවන්නෝ, ලියවිල්ලේ අඩංගු අලංකාර වචන සහ අදහස්වලට රැවටී ‘ඇමෙරිකාවේ ස්වදේශිකයින් පරිසරයට දැක්වූ ආදරය ගැන’ පුදුමයට පත්වෙති. නමුත් සැබෑවටම මෙවැනි ඓතිහාසික ලියවිල්ලක් නැත. එය පසුකාලීන නිර්මාණයකි. වොෂින්ටන් ප්රාන්තයේ සියටල් නමින් නගරයක් තිබේ. ක්රිස්තියානි දේවස්ථානයක ජීවත් වූු ස්වදේශික නායකයකුගේ නමක් වෙනස් කිරීමෙන් සියටල් නම සකස් වී තිබේ.

ඇමරිකාවේ සහ යුරෝපයේ ප්රාඥයින් සොයාගත් බව කියන නිර්මාණ රාශියකි. ඔවුන් වැඩි දෙනකුට ඒ සඳහා දැනුම ලැබී ඇත්තේ වතිකානු පුස්තකාලයෙනි. ඉස්ලාම් ආක්රමණිකයින් පිලිස්සූ භාරතීය දැනුමෙන් යම්කිසි ප්රමාණයක් එහි පවතී. වතිකානු පුස්තකාලයට එම පොත් ගෙන යන්නේ ඇලෙක්සැන්ද්රියා පුස්තකාලයෙනි. ඇලෙක්සැන්ද්රියා පුස්තකාලයට ලංකාවෙන්ද පොත් සපයා ඇති බව දන්නා සිංහලයින් ඇත්තේ ඉතාම අල්පයකි.

අනුන්ගේ දැනුම උරා බී එය තමන්ගේ දැනුම හැටියට ලෝකයට ඉදිරිපත් කිරීම යුරෝපයේ මෝස්තරයකි. මීට සියයක් සාක්ෂ්ය ඉදිරිපත් කිරීමට පුළුවන. ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් ගණනාවක ඉතා ජනප්රිය ‘මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් ‘Mindfulness Meditation නිදසුනකි. මෙම භාවනා ක්රමයේ ප්රාරම්භකයින් හා පුරෝගාමින් වශයෙන් ගෞරව ලබන මහාචාර්යවරු කිහිප දෙනෙක් සිටිති. ඔවුන’තර ප්රධානියෙකු වූ මහාචාර්ය ජෝන් කබිට් සඳහන් කරන කාරණා සැලකිල්ලට ගන්නා විට ඔහු දැනුමේ මූලිකාංග ඉන්දියාවෙන් ලබාගෙන තිබේ. ‘මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන්’ යනු බෞද්ධයන්ගේ විපස්සනා භාවනාවයි. නමුත් දැන් ඊට නීත්යනුකුල අයිතියක් පවතී. ලංකාවේ රාජ්ය දේපොළ සහ භූමිය විදේශිකයින්ට විකිණීම දිගටම සිදුවූයේ නම් සිංහල බෞද්ධයින්ට මේ බව පිළිගන්නට අවස්ථාවක් උදාවෙන්නට ඉඩ තිබුණි. එසේ වූයේ නම් බලපත්රයක් නැතිව විපස්සනා භාවනාව පුහුණු කරවන භික්ෂුන් වහන්සේලාටත් හිර දඬුවම් ලැබෙන්නට වැඩි ඉඩක් තිබුණි.

පන්සියපනස් ජාතක පොතේ අඩංගු චුල්ල ධනුද්ධර ජාතකය පදනම් කරගෙන ලියවුණ, මනමේ කතාව නමැති සිංහල පද්ය සංග්රහයක් තිබේ. මෙහි කර්තෘ කවුරුන්දැයි හෙළි වී නැත. මෙම පද්ය සංග්රහය දඹදෙණි රාජ්ය සමයේ රචනා වූ එකකැයි ඇතැම් වියත්තු සිතති. කවියා, සංස්කෘත නාට්ය ශාස්ත්රය මෙන්ම නාඩගම් කලාව ගැනද හොඳ දැනුමක් තිබූ අයෙකි. එමනිසා ඔහු ජාතක කතාව, කවි නාඩගමට උචිත සේ සකස් කිරීමට සමත් වූයේය.

මනමේ කතාව පුස්කොළයේ ලියවී පොත් ගුල්වල ආරක්ෂා වූ බෞද්ධ කාව්ය සංග්රහයකි. සඳකිඳුරුදා කව, තුන්සරණේ ආදි පද්ය සංග්රයන් මෙන්ම මෙම පද්ය සංග්රහයද මීට අවුරුදු හැට හැත්තෑවකට ඉහත දී කුඩා කවි පොතක් වශයෙන් මුද්රණය කර පදික වේදිකාවේ විකුණා තිබේ. ලංකාවට පැමිණ සිංහලයින්ගේ පුස්කොළ පොත් ගෙන ගිය විදේශිකයන් කිහිප දෙනකුට මනමේ කවි කතාව හසුවූයෙන් පිටරට ගිය එහි පිටපත් කිහිපයක් ද ඇත.

මනමේ කතාව ලංකාවේ බොහෝ ජනප්රිය නාඩගම් කවි පොතකි. රට පුරාම මනමේ නාඩගම නිෂ්පාදනය වූයේ මේ කවිපොත පදනම් කරගෙනය. මනමේ නාඩගම සඳහාම නිපදවුණු වෙස් මුහුණු තිබූ බවට ප්රමාණවත් සාක්ෂ්ය පවතී. මේ සියලු කාරණා සැලකිල්ලට ගත් විට, මනමේ නාඩගම් කවිපොත ඇසුරෙන් රට පුරා මනමේ කවි නාඩගම් සිය ගණනක් නිෂ්පාදනය වූ බව හා නළු නිළියන් දහස් සංඛ්යාවක් බිහි වූ බව පිළිගන්නට සිදු වේ. මහාචාර්ය සරච්චන්ද්ර, මෙයින් එක මනමේ කවි නාඩගමක් නැරඹූ බවට සාක්ෂ්ය තිබේ. එයින් ලබාගත් දැනුම හා අත්දැකීමට සිය උගත්කම එකතු කළ ඔහු මනමේ නාඩගම නිෂ්පාදනය කළේය.

සරච්චන්ද්රගේ මනමේ නාඩගම අගැයූ විචාරකයින් මහ පිරිසකි. සරච්චන්ද්රට පෙර නිපදවූ එකම මනමේ නාඩගමක් හෝ මොවුන්ගේ අවධානයට ලක් වී නැත. ඊට හේතුව ඒවායේ කලාත්මක වටිනාකමක් නැතිකම විය නොහැකිය. ඒ සියල්ල නිෂ්පාදනය කළේ ගමේ ගුරුන්නාන්සේලා විසිනි. විචාරකයින් පුනා පුනා කියන්නේ සරච්චන්ද්ර ස්ත්රිය කෙරෙහි දැක්වූ සානුකම්පිත දෘෂ්ටිය ඔවුන්ට වැදගත් වූ බවයි. ගුරුන්නාන්සේලාට නොතිබුණ මේ දෘෂ්ටිය කුමක්ද?

විචාරකයින් පෙන්වා දුන් හැටියට ජාතක කතාවෙන් ඉදිරිපත් කළ මනමේ කුමරිය චපල ස්ත්රියකි. ඊට අනුව වැද්දා මෙල්ල කරගත් කුමාරයා ඔහු මරා දැමීමට කුමරියගෙන් කඩුව ඉල්ලූ විට කුමරිය වැද්දාට කඩුව දුන්නාය. සරච්චන්ද්ර සිදුවීම වෙනස් කළේය. වැදි සේනාව පිටත් කර තනිවම සටනට ඉදිරිපත් වූ වැදි නායකයා මරා දැමීමට, තමාගේ ආධාරය ඉල්ලීම හරිදැයි ප්රශ්නයක් කුමරියගේ සිතේ හටගත් බව ඉදිරිපත් කළේය. මේ අවස්ථාවේ වැදි රජු පැන ඇය අතේ තිබුණ කඩුව උදුරාගෙන කුමාරයා මරා දැමුවේය.

සරච්චන්ද්ර මනමේ නාඩගම නිෂ්පාදනය කළ පසුව නාඩගම් ගුරුන්නාන්සේලා මනමේ නාඩගම නිෂ්පාදනය කිරීම අත්හිටු වූහ. ඊට හේතුව සරච්චන්ද්රගේ මනමේ නාඩගම මහත් සේ ජනප්රියවීම සහ නොයෙකුත් විචාරකයින් එය අගය කරමින් පැවසූ කාරණා සමූහයයි. ස්ත්රිය චපල යැයි උගන්වන නාඩගමක් නිපදවීම අයහපත් ක්රියාවකැයි ඔවුන් සිතුවා විය යුතුයි.

ගම්වල රඟදැක්වූ මනමේ නාඩගමට මුල් වූයේ මනමේ කවි පොත බව ඉහතින් සඳහන් කළෙමු. සරච්චන්ද්ර මනමේ නාඩගම නිෂ්පාදය කරන්නේද මනමේ කවිපොත ඇසුරිනි. ඔහු ඊට චුල්ල ධනුද්ධර ජාතක කතාව සම්බන්ධ කරගෙන නැත. ජාතක කතාවට අනුව ගාන්ධාරයේ අගනුවර තක්ෂලා හි දිසාපාමොක් ආචාර්යවරයා ළඟ නැවතී අධ්යාපනය ලැබූ බමුණු තරුණයෙක් දුනු ශාස්ත්රයේද නිපුණත්වය ලබා ආචාර්යතුමාගේ දියණියත් සමග වනාන්තරය මැදින් ගමට එන විට පන්සියයක සොර මුළක් හමුවිය. ඔවුහු මස් පුලුස්සා කමින් සිටියහ. තරුණයාගේ බලපෑම නිසා කෑමට මස් ඉල්ලාගෙන එන්නට සොර මුළ මැදට යන්නට තරුණියට සිදු විය. සොරුන් ඇයට පිලිස්සු මස් නොදී අමුමස් දුන් නිසා කෝප වූ තරුණයා ඊතල යවමින් සොරුන් මරා දැමුවේය. ඊතල පහරින් ගැලවුණු නායක සොරා සහ තරුණයා අතර පොර බැදීමක් සිදු විය. මෙවිට සොරා බිම පෙරළාගත් තරුණයා කඩුව දෙන්නැයි තරුණියගෙන් ඉල්ලා සිටියේය. බිසව සොරාගේ අත දෙසට කඩුවේ මිටත් කුමාරයා දෙසට කඩුවේ කොපුවත් දික්කළාය. කඩුව ගත් සොරා තරුණයාට කඩුවෙන් ඇන ඔහු මරා දැමුවේය. මෙයින් පසු සතුන්ගේ කතාවක්ද එහි අඩංගු වේ.

කවිපොත ඇරඹෙන්නේ මනමේ කුමරා කුමරිය සමග වනාන්තරයට එන ජවනිකාවකිනි.

මනමේ නිරිඳු ස ඳ
බිසවත් සමග දෙදෙන ද
නොරටක යන ලෙස ද
වඩන රඟබල මේ සබේ මැ ද

ඔවුන්ට වැදි රජු හමුවෙයි. ඔහු බිසව කෙරේ ඇල්මක් පෙන්වූ නිසා කුමාරයා සහ වැදි රජු අතර උණුසුම් කතා බහක් ඇති වේ. එවිට වැද්දන් එකින් එකා එතනට පැමිණේ.

බින්න නොව අසන් නරනිඳු කල අටියේ
දුන්න සමග විස ඊ ගෙන අතෙ සිටියේ
පන්න පන්නවා යුද කරනා හැටියේ
දෙන්න ඇවිත් වැද්දෝ සබයේ සිටියේ

මන්තොස වඩන නරනිඳු හට උනු විපතේ
රන්රුව සදිසි බිසවුන්මයි රජුගෙ සිතේ
යන්නට ඉතිනි ගැලවී යමුද කොයි අතේ
තුන්දෙන ඇවිත් වැද්දෝ සබයේ සිටිතේ

චුල්ලධනුද්ධර යනු කුමාරයාට ආචාර්යතුමා පැවරූ නමකි. ජාතක කතාව ඇත්තේ ද මේ නමිනි. එකෙකුට එකෙක් දෙවෙනි නැති දුනුවායන් දෙදෙනෙක් ගැන ජාතක කතාවේ නමෙන් කියවේ. තරුණයා ගාන්ධාරයේ තක්ෂලාහි ඉගෙනුම ලැබුවෙකි. වැද්දා පරම්පරාවෙන් දුනු ශිල්පය උගෙන සිටි අයෙකි. දෙදෙනාම එකෙකුට එකෙක් නොදෙවනි ධනුර්ධරයෝ (විදීමෙහි දක්ෂයෝ) වූහ.
සරච්චන්ද්රගේ මනමේ නාඩගම මගින් ජාතක කතාව වෙනස් කර ස්ත්රිය කෙරේ සානුකම්පිත දෘෂ්ටියකින් බැලුවේය යන්න විචාරකයින්ගේ ප්රබන්ධයකි. මූලාශ්ර පරීක්ෂා නොකර ඔවුන් මෙවැනි කතාවක් ගොතන්නට හේතුව බුදුසසුනට හා බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමේ වුවමනාවයි. දැන හා නොදැන ඔවුන් පස්සේ රැලේ වැටුණු සියල්ලන් කළේ බෞද්ධ සාරධර්මවලට අපහාස කිරීමයි.

ඉස්ලාම් ආක්රමණිකයින් වෙහෙර විහාර, පොත්ගුල් සහ බෞද්ධ විශ්වවිද්යාල පුලුස්සා දැමූ නිසා, ජාතක පොත් වහන්සේ භාරතයේ ඉතිහාසය දැන ගැනීමට මූලාශ්ර සපයන ග්රන්ථයක් වී තිබේ. මෙය අවුරුදු දෙදහසකට වැඩි කාලයක් රැකගත්තේ සිංහල බෞද්ධයන් විසිනි. එය සිංහල බෞද්ධයින්ගෙන් ඉන්දියාවට සිදුවූ සේවයකි.

ඉතිහාස පුවතක් වශයෙන් සලකන කල්හි චුල්ල ධනුද්ධර ජාතකය මගින් භාරතයේ විසූ වනවාසී ජාතීන් පිළිබඳව කියවේ. මස් පුලුස්සාගෙන කමින් සිටි සොරුන් පන්සියයක් යනුවෙන් සඳහන් වන නමුදු මෙයින් ප්රකාශ වන්නේ වනවාසී ජාතියක් පිළිබඳවයි. සොරා දුනුවායෙකු බව කීමෙන් පැහැදිලි වන්නේ මෙම නායකයා පරපුරෙන් දුනු ශිල්පය පිළිබඳව ලබා සිටි ඉගෙනුම, මනමේ කුමාරයා තක්ෂලාවෙන් ලත් ඉගෙනුමට සමාන බවයි.

මනමේ කුමාරයා සහ සොර නායකයා අතර බහින්බස්වීම සිදුවන අතර එක එක සොරා සබයට කැඳවීම මගින් පැහැදිලි වන්නේ, මෙය ගමක සිදුවූ සිද්ධියක් බවයි. යම් කිසි සිදුවීමක් දැකීමට ගම්මුන් එන පිළිවෙළ මෙයයි. අතීතයේ වනවාසී ජාතීන් දහස් ගණනක් භාරතයේ විසූ බවට සාක්ෂ්ය පවතී. චුල්ල ධනුද්ධර ජාතකයෙන් කියැවෙන්නේ විදීමේ ශිල්පය ප්රගුණ කළ ගෝත්රයක් පිළිබඳවය. ලංකාවේ වැද්දන් සඳහා ප්රාචීන භාෂාවලින් ව්යාධ යන වචනය යෙදේ. මෙයින් ද විදින්නන් යන අර්ථය සැපයේ. ලංකාවේ සිදුවූ හැම ජාතික සටනකටම වැද්දන්ගේ සහය ලැබී තිබේ. වැදි වර්ගයාගේ විනාශය සිදුකර ඇත්තේ 1817-18 කැරැල්ල මර්දනය කරන ඉංග්රීසි පාලකයින් විසිනි. සති අග අරුණ ඔක්තෝම්බර් 01 පත්රයට නුවන් ගන්කන්ද විසින් ‘ජිනිවා යෝජනාවල සඳහන් ලංකාවේ මුහුදු වැද්දෝ’ මැයෙන් වටිනා ලිපියක් ඉදිරිපත් කර තිබුණි. මොවුන්ගේ මුල, දෙමළ වාසගම් සහිත නැගෙනහිර පළාතේ සිංහලයන්ගේ මුලටම සමානය.

ජාතීන් අතුරුදන් කිරීමේදී ඉන්දියාවේද මීට සමාන දේ සිදුවුණි. වනවාසී ගෝත්ර සුල්තාන් හමුදා කෲරකම් දරාගත නොහැකිව ඉස්ලාමිකයින් බවට පත් වී අතුරුදන් විය. කොටසක් අනන්යතාව රැකගෙන මහ වනාන්තර මැද ජීවත් වූහ. බ්රිතාන්ය පාලකයන් මොවුන් විනාශ කිරීමට නීති පැනවූ හැටි සහ එය ලංකාවට බලපෑ ආකාරය මීළඟ ලිපියකින් ඉදිරිපත් කරමු.

සරච්චන්ද්ර මනමේ නාඩගම නිෂ්පාදනය කළ පසුව නාඩගම් ගුරුන්නාන්සේලා මනමේ නාඩගම නිෂ්පාදනය කිරීම අත්හිටු වූහ. ඊට හේතුව සරච්චන්ද්රගේ මනමේ නාඩගම මහත් සේ ජනප්රියවීම සහ නොයෙකුත් විචාරකයින් එය අගය කරමින් පැවසූ කාරණා සමූහයයි.

(2018 නොවැම්බර් 18 සති අග අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link