සරදියෙල්ගෙ අය්යලා සහ නංගි බැන්ඩිට් ක්වීන්

Last Updated on 5 months by admin

අරාබීන් රටවල් යටත් කළ ආකාරය නොසලකා හරිමින් යටත්විජිතවාදය ගැන අදහස් දැක්වීම යුරෝපීය උගතුන්ගේ සිරිතක් වී තිබුණි. යුරෝපීය අධ්‍යාපනය විසින් නිර්මාණය කරනු ලබන, ඉන්දියාව, ලංකාව වැනි රටවල උගතුන් ඒ ක්‍රමයෙන් බැහැර යාමට සිතා නැත. රැලේ නොගොස් පිට පැනීම නිසා තමන් ‘නරක ලැයිස්තුවට’ එක් කෙරෙනු ඇතැයි මෙවැනි උගතුන් අතර පොදු බියක් පවතී. එම නිසා ඉන්දියාවට එල්ල වූ අරාබි ආක්‍රමණ ගැන කතා නොකර, යුරෝපයේ විද්‍යා පුනර්ජීවනය පදනම් කරගෙන අරාබින් ගැන අදහස් දැක්වීම ඉන්දියානු උගතුන්ගේ සිරිතයි. මෙය ලංකාවේ උගතුන් ද අනුගමනය කරන ක්‍රමයකි. දර්ශනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ අඩිතාලම ග්‍රීසිය බව පවසමින්, යුරෝපය, ඉලක්කම්, ගණිතය, විද්‍යාව, තාක්ෂණය වැනි දැනුම අරාබියෙන් ලබාගත් හැටි ලංකාවේ උගතුන්ද පුන පුනා විස්තර කර තිබේ.

අරාබිය ගැන සොයා නොබැලීම භාරතීය පාලකයින්ගේ ලොකුම දුර්වලතාවයි. පෙරදිග රටවල් ගැන සෙවීමට යෙදවූ ඔත්තුකරුවන් කාලිෆ්ට සිටියේය. අරාබි හමුදා විසින් යටත් කරගනු ලබන පෙරදිග වැසියන්ගේ ජාතිකත්වය නැති කිරීමේ අරමුණින් කාලිෆ් විසින් පනවන ලද ‘පට්වා’ නීති ගණනාවක් පවතී. මේ පට්වා සහ පාප්තුමාගේ ඇතැම් ආඥා (‘බුල්ස්’) අතර බොහෝ සමානකම් පවතී. ක්‍රිස්තියානි රජවරුන් විසින් පාලනය නොකරන රටක්, බිමක්, ඉඩමක් කොහේ හෝ තිබේ නම් එය තමන් සතු කර ගැනීමේ අයිතිය ක්‍රිස්තියානින්ට ඇති බව පාප්තුමාගේ ‘බුල්’ ආඥාවක් මගින් ප්‍රකාශ කර තිබේ. යටත් කරගනු ලබන රටක මනුෂ්‍යයින් වාසය කරන්නේ නම්, බුල් ආඥාව නිසා මනුෂ්‍යයා අර්ධ මනුෂ්‍යයෙකු බවට පත්වේ. ඔවුන් ක්‍රිස්තියානි කිරීමේ හෝ විනාශ කිරීමේ බලය ක්‍රිස්තියානි රජවරුන්ට තිබුණි. මෙය මුස්ලිම් ආක්‍රමණිකයින් රටවල් යටත් කළ පිළිවෙළමය. සර්ව සාධාරණ යයි ඇතැමුන් බෙරිහන් දෙන ඉංග්‍රීසි නීතිය සකස් වී ඇත්තේ යටත් විජිත ගොඩනැංවිමේදී භාවිත කරන ලද ‘බුල්’ නීති පදනම් කරගනිමිනි.

රටවල් යටත් කිරීමේ ව්‍යාපාරය ඇරඹීම පිණිස කාලිෆ් විසින් කරන ලද පරිදිම, පාප්තුමාද බුද්ධිමතුන්ගේ හමුදාවක් යොදවා ලෝකය ගැන තොරතුරු එක්රැස් කළේය. ස්පාඤ්ඤ පෘතුගීසි නාවික සේනා රටවල් යටත් කිරීමට යන්නේ ලෝකය ගැන හොඳ දැනුමකින් යුතුවය. ‘සුළඟට ගසාගෙන ලංකාවට ආ නැවක සිටි ලොරෙන්සෝ ද අල්මේදා, සිංහල රජු සමග ගිවිසුමක් ඇති කරගෙන ආපසු ගිය බව’ ලියන, කියන, උගන්වන උගත්තු තවමත් හිඟයක් නැතිව ලංකාවේ සිටිති.

යටත් විජිත පිහිටුවූ පසු පාප්තුමාගේ සිරිත අනුගමනය කළ ඉංග්‍රීසි පෙරදිග වෙළෙඳ සමාගම, මැදපෙරදිග සහ ආසියාව ගැන තොරතුරු සෙවීමට, ‘පෙරදිග පිළිබඳ දැනුමැත්තන්’ යන අර්ථය ඇති ’ඔරියන්ටලිස්ට්’ නමින් හැඳින්වෙන උගතුන් පිරිසක් යෙදවූ බව පෙර ලිපිවලින් පැහැදිලි කළෙමු. මොවුන’තරින් ඉන්දියාව ගැන සෙවූ පිරිස ‘ඉන්දියාව පිළිබඳ දැනුමැත්තන්’ යන අරුතැති ‘ඉන්ඩියලොජිස්ට්’ යන විශේෂ නමකින් හඳුන්වා තිබේ. බ්‍රිතාන්‍යයන් යටත් කරගත් ලංකාවේ සිංහලයන් ගැන සෙවීම ද ‘ඉන්ඩියලොජිට්ස්ලා’ සිදු කළ කාර්යයකි. ලංකාවේ ඉතිරි වී පැවති පුස්කොල පොත් විදේශවලට ගෙනයෑමට ප්‍රධාන හේතුව ‘ඉන්ඩියලොජිට්ස්ලාගේ’ අවශ්‍යතාවයි. සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව නමැති විෂයන් පිහිටුවා ගැනීමෙන් පසු ඉන්ඩියලොජිට්ස්ලාගේ ගොඩට එකතු වන්නට, යටත් විජිත වශයෙන් පැවති රටවල ස්වදේශිකයින් කිහිප දෙනෙකුටත් අවකාශ ලැබුණි. එදා, එංගලන්තයේ මූලිකත්වයෙන් සිදුවූ මෙම කටයුත්ත වර්තමානයේ ඇමරිකාව මුල් වී සිදු කෙරෙයි. ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක් වෘත්තීය වශයෙන් මේ කටයුත්තේ යෙදී සිටිති. ඉඳහිට රටට එන මෙවැන්නන්, ‘ශ්‍රේෂ්ඨ ලංකා පුතුන්’ වශයෙන් මාධ්‍ය මගින් වර්ණනා කරනු ලබන අවස්ථා සුලබය.

බටහිරුන් ගැන නොසොයන අප ගැන බටහිරුන් සොයන්නේ, අපේ වටිනාකමක් නිසා යයි සිතන මහ පිරිසක් ලංකාවේ සිටිති. එම නිසා බොහෝ දෙනෙකු ලංකාව ගැන සොයන්නට එන රට්ටුන්ට ආධාරයට ‘පැනලා දෙති’. ඉන්දියාවද මේ රෝගයෙන් පෙළෙන වැසියන් වෙසෙන රටකි. බටහිරුන් අප ගැන සොයන්නේ අපගේ වටිනාකමකට නොව අප පෙළීමට හා පාලනය කිරීමට වුවමනා නිසා බව මොවුන්ට නොවැටහේ. තලිබාන් සංවිධානය සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට පහර දීමෙන් මාසයක් ගත වන්නට පෙර, ඇමෙරිකාවේ සියලු ප්‍රධාන පුවත්පත්වල, විශේෂ දැන්වීම් පළ කෙරිණි. ඒවායේ සඳහන් කෙරුණේ, පෂ්ටුන්, උර්දු ඇතුළු ඇෆ්ගනිස්ථානයේ හා පකිස්තානයේ ප්‍රධාන සහ අප්‍රධාන භාෂා දන්නා උගතුන් සඳහා ඇමරිකාවේ රැකියා ඇබෑර්තු ඇති බවයි. මෙසේ, ඇමරිකාව, එංගලන්තය වැනි රටවලට ප්‍රයෝජනවත් තොරතුරු සපයන, ඉන්දියාව, ලංකාව, ඉරානය, පකිස්තානය ආදි රටවල උගතුන් ඒ රටවලට අවශ්‍ය කෙරේ.

කොකෝස් දූපතේ කැරැල්ල මැයෙන් නුවන් ගන්කන්ද ‘අරුණ’ පත්‍රයට ලියන ලිපි පෙළ මගින් යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයන්ට සේවය කළ ලාංකික රෙජිමේන්තුවක් ගැන විස්තර කෙරෙයි. ඉංග්‍රීසීන්ට ඉන්දියානුවන් යොදවා මෙවැනි රෙජිමේන්තු සියයකට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවීමට හැකිවිය. දෙවන ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍යය වෙනුවෙන් මිය ගිය ඉන්දියානු හේවායන්ගේ සංඛ්‍යාව ඉංග්‍රීසි සොල්දාදුවන්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයකි. ‘බ්රේකින් ඉන්දියා’ කෘතිය ප්‍රකාශයට පත් කළ රජිව් මල්හෝත්‍රා, බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම, සිය බලය තහවුරු කරගැනීම සඳහා දරුණු යුද්ධ කළ බවට සාක්ෂි ඇති බව පවසයි. යුද්ධ සඳහා යෙදවූ හමුදා රෙජිමේන්තුවල භටයින්ගෙන් සියයට අසූවක් අසූපහක්ම ඉන්දියානු කුලී හේවායන්ය. ලංකාවේ තේ වතුවල වැඩට ගෙනා දකුණු ඉන්දියානු වතු කම්කරුවන් හඳුන්වා ඇත්තේ ‘කුලී’ යන පදයෙනි. ඉංග්‍රීසි වෙළෙඳ සමාගම වෙනුවෙන් දිවි දීමට ඉදිරිපත් වූ මෙවැනි සොල්දාදුවන්ද ‘කුලීන් විශේෂයකි. චීනය යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යයන්ට චීන ජාතිකයින් යොදවා එකම කුලී හමුදාවක්වත් හදාගත නොහැකි වූ බව මල්හෝත්‍රා පෙන්වා දෙයි.

මැක්ස් ම්‍යුලර් එංගලන්ත අධිරාජ්‍යයට සේවය කළ ජර්මන් ජාතිකයෙකි. ඔහුට ඒ වෙනුවෙන් එංගලන්තයෙන් යහමින් ගෙවීම් කර තිබේ. ඍග් වේදය ඉංග්‍රීසියට පරිවර්තනය කළ ම්‍යුලර්, ආර්ය න්‍යාය ඉදිරිපත් කරමින් ආර්යයන් නමින් ඉන්දියාවට පැමිණි සංක්‍රමණික ජනවර්ගයක් ගැන තොරතුරු ඉදිරිපත් කළේය. එම න්‍යායට අනුව බ්‍රාහ්මණයින්, හින්දු ආගම හා සංස්කෘත භාෂාව යන සියල්ලම ඉන්දියාවට පිටින් පැමිණ ඇත. ආර්යයන් සහ මෝගල්වරුන් අතර සමානකමක් ඇතැයිද ම්‍යුලර්ගේ පවසා තිබේ. ඒ දෙපිරිසම ඉන්දියාව ආක්‍රමණය කර තිබේ. අපේ උගතුන් පවා සිංහලයන් ආර්යයන් බව කියා ඇත්තේ ම්‍යුලර්ගේ ආර්ය න්‍යාය අනවබෝධයෙන් පිළිගැනීම නිසාය.

ම්‍යුලර්, ඍග් වේදයේ එක් ස්ථානයක, එක් වරක් පමණක් සඳහන් වන ’අනාසා’ යන වචනය අල්ලාගෙන ආර්යයන් විසින් පරාජය කරන ලද ඉන්දියානු ස්වදේශකයින් ආර්යයන්ට බඳු දිග නාසයක් නැත්තවුන් යයි කීවේය. ඔහුගේ හැම කතාවක්ම ද්‍රවිඩ ජනයාට ගැළපූ ක්‍රිස්තියානි බිෂොප්වරු, ද්‍රවිඩයන් සහ ආර්යයන් වශයෙන් ඉන්දියානුවන් කොටස් දෙකකට බෙදූහ. ඉන්දියාවට පැමිණි අතිදක්ෂ සිවිල් සේවකයෙකු වූ රිස්ලි Risley සාමිවරයා, ම්‍යුලර්ගේ සටහන් අල්ලාගෙන ‘නාස් දර්ශකයක්’ Risley’s Nasal Index ඉදිරිපත් කරමින් ඉන්දියාවේ කුලභේදය ඇති කළේය.

රිස්ලි සාමි ඉන්දියාවේ දිගු කාලයක් සේවය කළ අයෙකි. යටත් විජිත ආණ්ඩුවේ ඉන්දියානු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ ඔහු, රාජකීය මානව විද්‍යා ආයතනයේ සභාපති ධුරය දැරුවේය. පෘතුගීසින්ගේ පටන් මැක්ස් ම්‍යුලර් වැනි ඉන්ඩියලොජිට්ස්ලා දක්වා වූ යුරෝපීන්ගේ ලිපි ලේඛන ප්‍රයෝජනයට ගත් ඔහු, තනතුරු සහ බලය ප්‍රයෝජනයට ගෙන ඉන්දියාවේ සියලුම ස්වදේශිකයින් ජාති, කුල, ආගම් වශයෙන් බෙදෙන සේ අවුරුදු ගණනක් තිස්සේ සංඛ්‍යා ලේඛන පිළියෙල කළේය. මේ නිසා කිසිදාක කුලයකට අයත් නොවූ සියලුම ඉන්දියානුවන් කිසියම් කුලයකට වැටුණි. පිරිසක් උසස් කුලවතුන් වශයෙන් ආඩම්බර වූ අතර තවත් ජන කණ්ඩායමක්, කුලහීනයන් වශයෙන් පීඩාවට පත්වෙමින් උසස් කුලවල ජනයාට වෛර කරන්ට වූහ. මේ නිසා පහත් කුලවලට අයත්වූ ජනතාව ක්‍රිස්තියානි කිරීම, ක්‍රිස්තියානි දේවගැතිවරුන්ට ඉතා පහසු ක්‍රියාවක් විය.

රිස්ලි සාමි ජනලේඛන සකස්කරමින් ඉන්දියානුවන් ජනලේඛනවලට ඇතුළත් කිරීමේදී නිලධාරින්ට මතුවූ ප්‍රශ්නයක් වූයේ, වනවාසී ගෝත්‍රික කණ්ඩයම් විශාල සංඛ්‍යාවක් වාසය කිරීමයි. පසුගිය සතියේ අප සාකච්ඡා කළ චුල්ලධනුර්ධර ජාතක කතාවෙන් කියවෙන්නේ මෙවැනි වනවාසී ගෝත්‍රයක් පිළිබඳවයි. ජාතක කතාවට අනුව තක්ෂිලාවේ ශාස්ත්‍රය හදාරා දුනු ශිල්පය පිළිබඳ ආයතනික දැනුමක් ඇති බමුණු තරුණයා සහ වනවාසී ගෝත්‍රික නායකයා අතර දක්ෂතාවයෙන් වෙනසක් නොතිබුණි. දෙදෙනාම එකෙකුට එකෙක් නොපරදින දුනුවායෝ වූහ. වනවාසී නායකයාටත් සමාජ ධර්ම තිබුණි. එම නිසා ඔහු මනමේ කුමරිය දික් කළ කඩුමිට බාරගත් නමුදු, ඇයව බාර නොගත්තේය. එමෙන්ම දිසාපාමොක් ඇදුරිඳු ළඟ හැදුණු කුමරියට තමන් කැඳවාගෙන යන බමුණු තරුණයා ගැන කිසිම පැහැදිමක් නොතිබුණි. ඔහු යහපත් අයෙකු නම් වැද්දන් මස් කකා සිටින තැනට මස් ටිකක් ඉල්ලාගෙන එන්නැයි ඇය පිටත් කරන්නේ නැත.

වයඹ දිග ඉන්දියාවේ අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ ජීවත්වූ මෙවැනි වනවාසී ගෝත්‍ර හුදකලා කණ්ඩායම් නොවේ. ලංකාවේ වැද්දන් මෙන්ම ඔවුහුද රට බේරාගැනීමේ ජාතික සටන්වලට සහභාගි වූහ. වංසකතාවේ සඳහන් මහා පරාක්‍රමබාහු රජතුමාගේ යුද්ධ ව්‍යපාරය ගැන කෙරෙන විස්තරයේද, යුද්ධවලට, ජාතික සටන්වලට සහභාගිවූ මෙවැනි සිංහල ගෝත්‍ර සහ ජන කණ්ඩායම් ගැන සඳහන් වේ. ගාඩි ජනයා භාවිතා කළ ආටි භාෂාව රහස් ඔත්තු සේවය සඳහා භාවිත කරන ලද්දකි.

ඉන්දියාවට කඩාවැදුණු මුස්ලිම් ආක්‍රමණිකයෝ වනවාසී ගෝත්‍ර විනාශ කරමින් ඔවුන්ගේ ගැහැනුන් හා දරුවන් වහලුන් වශයෙන් ප්‍රයෝජනයට ගත්හ. මුස්ලිම් ආක්‍රමණිකයින්ගෙන් ගැලවුණ වනවාසී ගෝත්‍ර සියල්ලක්ම රිස්ලි සාමිගේ ජනලේඛන සකස් කිරීමේ කටයුත්තේදී සොරුන් බවට පත්වූහ. මොවුන් සඳහා ‘බැන්ඩිට්ස්’, ‘තග්ස්’ යන නම් භාවිතා කර තිබේ. ඉංග්‍රීසි පාලනයෙන් මිදුණු පසුවත් ඉන්දියාවේ විසූ වනවාසී ගෝත්‍ර හැඳින්වෙන්නේ ‘බැන්ඩිට්ස්’ නමිනි. ලංකාවේ පවා අතිශයින් ජනප්‍රිය වූ ‘ජිස් දේස් මේන් ගංගා රෙහෙති හේ’ මෙවැනි ‘බැන්ඩිට්ස්’ පවුලක් මුල්කොට නිපදවූ චිත්‍රපටයකි. සොර රැජිණ (බැන්ඩිට් ක්වින්) ලෝකයේම ජනප්‍රිය වූ චිත්‍රපටියකි. මේ සියල්ලකින්ම ලෝකයට පැවසුණේ, යටත් විජිත පාලකයින් කී කතාවමය. එනම්, ඉන්දියාවේ වනවාසී ගෝත්‍ර සොරුන් බවයි.

වර්තමානයේ ඇමරිකාව, ‘ඔරියන්ටලිස්ට්ලා‘ සහ ‘ඉන්ඩියලොජිස්ට්ලා’ තැනීමේ මූලස්ථානය වශයෙන් කටයුතු කරන බව ඉහතින් සඳහන් කළෙමු. අප අපගේ ඉතිහාසය හා සමාජය ගැන අදහස් ප්‍රකාශ කරන්නේ මොවුන් කියන කතාන්දර අනුව මිස අපගේ දැනුමෙන් නොවීම බලවත් පාඩුවකි. ඉන්දියානුවා නිදහස ලැබීමෙන් පසු තම රටේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ජීවත්වූ වනවාසී ගෝත්‍ර බැන්ඩිට්ස් (සොරුන්) වශයෙන් සලකා වඳ කර දමා තිබේ. අපි අපේ වැද්දන්ට ආදිවාසීන් යයි මුද්‍රාවක් තබා ඔවුන් රටට ජාතියට කළ ඓතිහාසික මෙහෙය නොසලකා හරිමු. තවත් මෙවැනි සිද්ධින් ගණනාවකි

උතුවන්කන්දේ සරදියෙල්ගේ චරිත කතාව හැදෙන්නේ ඔහුව එල්ලා මරා දැමූ ඉංග්‍රීසින්ගේ ලේඛන ආධාරයෙනි. ඉංග්‍රීසි පාලකයින් සරදියෙල් ‘තග්’ කෙනෙකු, ‘බැන්ඩිට්’ කෙනෙකු වශයෙන් හඳුන්වා තිබේ. ඔහු උගතෙකු වශයෙන් සලකා ඇත්තේ මොන ලාංකිකයාද? සරදියල්ගේ ගම කිරිමැටියාන මිස හාල්දඬුවන නොවේ. ඔහු තම මාමා කෙනෙකු වූ භික්ෂුන් වහන්සේ නමක යටතේ කාලයක් ඉතා හොඳින් ශිල්ප ශාස්ත්‍ර හැදෑරූ අයෙකි. සරදියෙල් මංකොල්ලකරුවෙකු සහ බූරුකාරයෙකු බව පත්කිරීම ඉංග්‍රීසි පොලිසියේ හපන්කමකි.

උතුවන්කන්දේ සරදියෙල්ගේ චරිත කතාව හැදෙන්නේ ඔහුව එල්ලා මරා දැමූ ඉංග්‍රීසින්ගේ ලේඛන ආධාරයෙනි. ඉංග්‍රීසි පාලකයින් සරදියෙල් ‘තග්’ කෙනෙකු, ‘බැන්ඩිට්’ කෙනෙකු වශයෙන් හඳුන්වා තිබේ. ඔහු උගතෙකු වශයෙන් සලකා ඇත්තේ මොන ලාංකිකයාද? සරදියල්ගේ ගම කිරිමැටියාන මිස හාල්දඬුවන නොවේ. ඔහු තම මාමා කෙනෙකු වූ භික්ෂුන් වහන්සේ නමක යටතේ කාලයක් ඉතා හොඳින් ශිල්ප ශාස්ත්‍ර හැදෑරූ අයෙකි. සරදියෙල් මංකොල්ලකරුවෙකු සහ බූරුකාරයෙකු බව පත්කිරීම ඉංග්‍රීසි පොලිසියේ හපන්කමකි.

(2018 නොවැම්බර් 25 ඉරිදා අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link