සහෝදරවරුනි, දෙපයින් හිටගන්න බලමුද?

Last Updated on 4 months by admin

ජාතික ජන බලවේගය නමින් වෙස් මුහුණක් දමාගත් ජවිපෙ, දැන් දණින් වැටී ඇත. එහි නායක අනුර දිසානායක, කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී ජාජබ බැංකු හා මුල්‍ය සංසදයේ කොළඹ දිස්ත‍්‍රික් සමුළුව අමතමින් කළ කතාව ඊට සාක්ෂ්‍යයි.
පහත දැක්වෙනුයේ, ඔහුගේ කතාවේ කොටසකි.

‘‘…. විවිධ භාෂාවන් කුල බෙදීම් ග‍්‍රාමීය දුක්පත්භාවය විවිධාකාරයෙන් පැතිර තිබුණ ඉන්දියාව 1947 නිදහස ලබන විට නේරු, ගාන්ධි, පාතෙල්, සුභාෂ් චන්ද්‍රබෝස්ලට ඉන්දියානු ජාතික කොඩිය යටතට සියලූම ජනතාව කැඳවන්න හැකියාව ලැබුණා. …ඒ දැක්ම තමයි අබුදුල් කලාම් වැනි කෙනෙක් ජනාධිපති වීම. සික් ජාතිකයෙක් අග‍්‍රාමාත්‍යවරයා වීම. කුලහීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති ධුරයට පත්වන්නෙ. ඒ දැක්ම තමයි අද දැවැන්ත සංවර්ධනයේ පිම්මක් පැන තියෙන්නෙ…….
මේ පාලකයන් අපේ දෘෂ්ටිවාදය අතීතකාමිත්වය තුළ හිරකළා. ….අතීත දෘෂ්ටිවාදය තුළ හිරවුන අපේ දේශපාලකයන්ගේ ප‍්‍රධාන ඇඳුම බවට පත්වුණේ ‘කපටි සූට් එක’ මෙය අතීත දෘෂ්ටිවාදය සමග එලා තියෙන ව්‍යාපෘතියේම එක් අවස්ථාවක්…’’ (පෙබරවාරි 24 දිවයින)

ඇඳුම, අදීනත්වය, දේශපේ‍්‍රමිත්වය පෙන්වන ලකුණක් කරගන්නට ලංකාවේ හා ඉන්දියාවේ ඇතැම් නායකයෝ සමත් වූහ. ධර්මපාලතුමා සහ මහත්මා ගාන්ධි නිදසුන් දෙකකි. යටත් විජිත පාලකයන්ගේ ග‍්‍රහණයෙන් මිදී නිවහල්ව නැඟී සිටීමේදී තමන්ටම ආවේණික ඇඳුමකින් සැරසීමෙන් අධිරාජ්‍යවාදීන්ගේ සංස්කෘතික ආක‍්‍රමණයට මුහුණ දීමට විශාල බලයක් ලැබෙන බව ඔවුහු අවබෝධ කරගෙන සිටියහ.

අනගාරික ධර්මපාලතුමා, සිංහලයින්ට ඇඳුමක් වුවමනා බව ප‍්‍රකාශ කළේය. සිංහලයින්ට දමා තිබුණු ඉංග‍්‍රීසි නම් වෙනස් කරමින්, හිසේ ගසා තිබුණු නැමි පනා ගළවමින් ධර්මපාලතුමන් උත්සාහ කළේ සංස්කෘතිකවත් ආර්ථිකවත් දණින් වැටෙමින් සිටි සිංහලයින් කෙලින් කිරීමටයි.

පී. ද එස්. කුලරත්න හා ගුණපාල මලලසේකර 1921 දී ජාතික ඇඳුමින් ආනන්ද විදුහලට එන්නේ ඒ ධර්මපාලතුමාගේ ආභාසයත්, ඔවුන් ඉන්දියානු නිදහස් සටනින් ලද ආස්වාදයත් නිසාය. එංගලන්තයේ අධ්‍යාපනය ලැබුවත් සිය ජාතික හැඟීම් මොට නොකරගෙන සිටින්නට ඔවුන්ට හැකි විය. වෙනකක් තබා එංගලන්තයේ ඉගෙන මාක්ස්වාදයට බර වූ ෙදාස්තර එස්. ඒ වික‍්‍රමසිංහ පවා ඇන්දේ ජාතික ඇඳුමයි. ජාතික ඇඳුම තමන් බි‍්‍රතාන්‍යයන්ගේ සපත්තුවට බය නැති අදීන ජාතිකවාදියෙකු බව පෙන්වීමට සකස් කරගත් ඇඳුමයි. පාර්ලිමේන්තුවේ ආචාර්ය ධර්ම පද්ධතියට ජාතික ඇඳුම නිර්දේශ වන්නේ ඒ නිදහස්කාමීන්ගේ උත්සාහයේ ප‍්‍රතිඵලයක් වශයෙනි.

බණ්ඩාරනායක අගමැතිවරයා, ‘ෆුල් සූට් එක, බලූ ප‍්‍රදර්ශන නැරඹීමට සුදුසු ඇඳුම යැ’යි කීම දේශපේ‍්‍රමීන් ධෛර්යවත් කිරීමකි. මෙත්තානන්ද, ඇන්. කියු. දියෙස් වැනි බෞද්ධ බලවේගයේ නායකයෝ ජාතික ඇඳුමින් සැරසී සිටියහ. අනුර දිසානායක, විජිත හේරත් ඇතුළු ජවිපෙ නායකයින්ද පාර්ලිමේන්තුවට ගියේ ෆුල් සූට් ඇඳගෙන නොවේ. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කියමින් සිටි පක්ෂයක බලය ලැබූ ඔවුන් ඉංග‍්‍රීසිකාරයාගේ ඇඳුමින් සැරසී ඉන්දියාවට යෑම බොහෝ දෙනෙකුට ප‍්‍රශ්නයකි.

ආචාර්ය හරිනිගෙන් ඔවුන්ට ඉංග‍්‍රීසි සිරිත් ටියුෂන් ලැබුණේ යැයි සමහරුනට සිතුණි. ‘ජාතික ඇඳුම අතීතකාමී දෘෂ්ටිවාදයේ කොටසක් නිසා ඒ ‘කපටි සූට් එක’ වන්නේ යැ’යි අනුර වැන්නෙකු කියනු අසන්නන් එවැනි නිගමනවලට එළඹීම සාමාන්‍ය සිද්ධියකි. අනුරට කළ හැකි නුවණැති ක‍්‍රියාව වූයේ තමාගේ වර්චස් ක‍්‍රියාව පහුරුගා ගඳ නොගස්සා නිහඩ වීමයි. සිංහ හමක් පොරවා ගෙන සිටින්නේ කොටළුවෙකු බව කැලේ සතුන් දැනගත්තේ ඌ සිංහනාද කරන්නට ගිය හේතුවෙනි.

මේ ලංකාවට අධික රස්නය ඇති කාලයකි. පාසල් දරුවන් එළිමහනේ කටයුතුවල නොයොදවන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල්වලට දන්වා තිබේ. මේ අතර බණ්ඩාරනායක අගමැතිවරයා කී බලූ ඇඳුමට රටවැසියන් බෝකරන පාසල් පද්ධතිය, ළමයින්ට ටයි පැළඳීමට අනුබල දෙයි. පයට සපත්තු මේස් දමා බෙල්ල හිරවන්නට ටයි ගැට ගැසූ විට ළමයින් රස්නයෙන් හෙම්බත් වන බව නොතේරෙන උගතා, දරුවන් ගැන වත් පරිසරය ගැන වත් වැටහීමක් නැති අමු ගොබ්බයෙකි. ළමයින්ට අනාගතය සඳහා පාර පෙන්වන්නේ මේ ගොබ්බයින්ය. තම දරුවන්ට අත්වන ඉරණම ගැන දෙමව්පියන් සිතිය යුතුයි.

ටයි පටිය නිර්මාණය වන්නේ අරාබි කාන්තාරයේ වැසියන් හොටු පිහින්නට කරේ එල්ලාගත් රෙදි කෑල්ල වෙනස් වීමෙනි. බටහිරුන් ෆුල් සූට් එක අඳින්නට පෙළඹුණේ සීතලෙන් ආරක්ෂා වීමේ උපක‍්‍රමයක් ද වශයෙනි. සුද්දන් විසින් දීනභාවයට පත් කරන ලද, හීනමානයෙන් පෙළෙන්නෝ, සුද්දාගේ ඇඳුම ඇන්ද විට තමන් සුද්දන් මෙන් උසස් තත්වයට පත්වෙතැයි සිතන්නට වූහ. ධර්මපාලතුමා ඇතුළු පිරිසට අවශ්‍ය වූයේ මේ හීනමානය බිඳ සිංහලයින්ගේ කොඳු කෙලින් කරන්නටය.

දැන් රටේ පරිපාලන නිලධාරින් ඇතුළු උගතුන් බොහෝ පිරිසක් රැකියාවට යන්නේ ෆුල් සූට් එකෙනි. ජාතිකත්වය පෙන්වන ඇඳුමට කපටි සූට් එක යැයි කියන අනුර දිසානායක, ෆුල් සූට් එක මහත්තුරුන්ගේ ඇඳුම යැයි හිතනවා විය යුතුයි. ටයි එකට හුරු කරන පාසල් ළමයින්ට සිංහල භාෂාව, සිංහල ඉතිහාසය හා සංස්කෘතිය ලැජ්ජාවට කරුණු වෙයි. ඔවුන් ඒ තැනට පත්කරන මතවාද හා ආදර්ශ ඇතැම් වැඩිහිටියන්ගෙන් ලැබේ. අනුර අතීතකාමය හැටියට හඳුන්වන්නේ සිංහල උරුමයයි.

ඉන්දියාව ගොඩනැගූ නායකයින්ගේ නම් වැල ඉදිරිපත් කරන අනුරට කුලහීනයන්ගේ අයිතිය වෙනුවෙන් වෙහෙසුන අම්බෙඞ්කාර්ගේ නම අමතක විය. කොමියුනිස්ට්වාදීන් සමග එක්ව සුද්දන්ට පහරදී එලවා දමන්නට සිතූ භගත් සිං ද අනුරගේ මතකයේ නැත. කුලවත් මහත්මා ගාන්ධි, කුලහීන අම්බෙඞ්කාර්ව දේශපාලනයෙන් ඉවත් කළේය. භගත් සිං එල්ලූම් ගසට යනතෙක් බලා සිටියේය. අනතුරුව නිදහස් සටනේ නායකත්වය සියතට ගත්තේය.

ඉන්දියාව සහ ලංකාව සමාන කිරීමට නොපුළුවන. ‘ඉන්දියාවේ සියලූ ජාතීන් එක්සත්ව සිටී’ යන කතාව පට්ට බොරුවකි. එහි කැකෑරෙන ආගම් භේදය කොයි වේලේ හෝ පුපුරා යන කාල බෝම්බයකි. බබ්රි මස්ජිඩය බිඳ රාම මන්දිරය ගොඩනැගූ හින්දු පූජකයෝ, තවත් මස්ජිඩ කිහිපයකට ඉව අල්ලමින් සිටිති. දකුණු ඉන්දියාවේ පන්සල් සංහාරය කළේ බමුණන් යයි හරිජනයෝ කියති. මේ අතර මදර් තෙරේසා හමුදාව, ක‍්‍රිස්තියානි නොවන්නන් ක‍්‍රිස්තියානි කිරීමට වෙහෙසේ.

යුදෙව් ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කළ යේසුස් වහන්සේට මරණ දඩුවම නියම විය. යේසුස් වහන්සේ නිසා බයිබලයේ අලූත් තෙස්තමේන්තුවක් සැදුණි. බුදුන් වහන්සේ බ‍්‍රාහ්මණ කුල ක‍්‍රමය වෙනස් කිරීමට උත්සාහ කළහ. බුදු දහමින් බ‍්‍රාහ්මණ ආගමේ පදනම බිඳ වැටෙන හැටි දුටු බ‍්‍රාහ්මණයෝ, සිව්වනක් පිරිස සමඟ බුදු සසුනම වඳ කළහ.
රටක පාලන ක‍්‍රමය හා සම්ප‍්‍රදායන් පවත්වාගෙන යාමට සියලූ ජාතීන්ගේ සහ ආගමිකයන්ගේ සහාය හැකි තරමට ලබාගත යුතුය. බරක් ඔබාමා ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනධිපති අපේක්ෂකයා බවට පත් කිරීම ඇමරිකාවෙන් ගත හැකි නිදසුනකි. ඔබමා ඇමරිකානු පාලන ක‍්‍රමය හා සංස්කෘතිය රැුකීමට කටයුතු කළේය. අනුර අවධාරණය කළ අබ්දුල් කලාම් කළේත් ඉන්දියානු උරුමය රැකීමයි.

සිංහලයන් තම නායකයන් බවට පත්කර ගත යුත්තේ සිංහලයන්ට හතුරුකම් කරන අධ්‍යාපනය ඉංග‍්‍රීසියට පවරන ජාතිකත්වයක් නැති තුප්පහියන් නොවේ. රටට ඇල්මැති බුද්ධිමතුන්ය. අනුර දිසානායක කතාවේදී සඳහන් කළ ගාන්ධි, සුභාස් චන්ද්‍රබෝස් ආදී නායකයින්ට ජාතිකත්වය තිබුණි. ගාන්ධි එංගලන්තයේ රජ මාළිගයට පවා ගියේ කදාර් රෙද්ද ඇඳගෙනය. වන්නිල ඇත්තන් සරම ඇඳගෙන පොරෝ කෙටිය උර දමාගෙන ගිය එංගලන්ත ගමන මුළු රටටම ආඩම්බරයකි. පොරෝ කෙටිය එල්ලාගෙන යන්නට ඔහුට ගුවන් සමාගමෙන් අවසර ලැබුණි. ඒ ඔහුගේ අදීනත්වයට ගරු කරමිනි.

‘ජාතික ඇඳුම අතීතකාමී දෘෂ්ටිවාදයේ කොටසක් නිසා ඒ ‘කපටි සූට් එක’ වන්නේ ය’ යන අදහස ජේවීපියේ බලය ලැබූ අනුරලාට කිසියම් ඉහළ තැනකින් ලැබෙන උපදෙසයක් විය යුතුය. ජාජබ පෙළපාලිවළ ලෙනින්, මාක්ස්, එංගල්ස් රූ ඔසවාගෙන යාම, ඉල්මහ විරු සැමරුම වැනි ක‍්‍රියාවන් ද වැටෙන්නේ අතීතකාමයටය. අප කාගේත් මවුපියන්, අත්තලා මුත්තලා කිරිඅම්මලා වැටෙන්නේද අතීතයටයි.

දේශපාලකයන් ජාතික ඇඳුමින් සැරසෙන්නේ කපටිකමටම නොවේ. රනිල් වික‍්‍රමසිංහ, සුමන්තිරන් වැන්නන් ෆුල් සූට් අඳින්නේත් කපටිකමට නොවේ.

ඉතිහාසය සැලකිල්ලට ගන්නා විට, අනුර කුමාර, විජිත හේරත් වැන්නන් ගැන අපට ඇති වන්නේ කණගාටුවකි. මොවුන්ගේ වහල් වැඩපිළිවෙළ දුර්වල නොකළොත් 71, 87 කාලවලදී පරිදි තුවක්කුවෙන් වඳ නොවුවද, නූතන සිංහල තරුණ පරපුර මතවාදීව වැනසීයාමට ඉඩකඩ ඇත.

ආරම්භයේදීම ජවිපෙ ඉන්දියානු ව්‍යාප්තිවාදයට විරුද්ධ විය. බටහිර අධිරාජ්‍යවාදයටද විරුද්ධ විය. ජවිපෙ නායකයන්ගේ ඉන්දියන් චාරිකාවෙන් පසු අපට පෙනෙන්නේ ඔවුන් ඉන්දියාව හමුවේ මෙන්ම බටහිර අධිරාජ්‍යවාදය හමුවේද දණින් වැටී ඇති බවයි.

‘දණින් වැටී ජීවත් වනවාට වඩා දෙපයින් සිට මිය යෑම උතුම්ය’ යනු ජවිපෙ සාමාජිකයින් පවා වන පොත් කළ ප‍්‍රසිද්ධ වැකියකි.
සහෝදරවරුනි, දෙපයින් හිටගන්න බලමුද?

1 thought on “සහෝදරවරුනි, දෙපයින් හිටගන්න බලමුද?”

  1. රණසිංහ

    බොහෝ දෙනෙකුට නොපෙනෙන ඇත්ත පහදා දුන්නාට ස්තුතිය. 🙏🙏🙏❤️❤️❤️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link