සිංහබාහුගේ නෑයෝ ලංකාවේ වැසිකිළි හෝදන්න දමති

Last Updated on 3 months by admin

පෘතුගාලයේ සිට දකුණු ඉන්දියාවේ කේරළයට පැමිණි වස්කෝද ගාමා ඇතැම් අවස්ථාවන්හිදී හින්දු දේවාලවලට යමින් පූජා කටයුතුවලට සම්බන්ධ වූ බවට වාර්තා තිබේ. ඊට හේතුව ඔහු හින්දු දේවාල ක්‍රිස්තියානි දේවස්ථාන ලෙස වරදවා වටහා ගැනීම යැයි කියන්නෝ සිටිති. ඔවුන්ට ඇත්තේ යහපත් අරමුණක් නොවේ. අද්මිරාල් වස්කෝ ද ගාමා යනු හින්දු කෝවිලක සහ ක්‍රිස්තියානි පල්ලියක වෙනස වටහා ගැනීමට නොහැකි මෝඩයෙකු නොවන බව හොඳාකාරව දන්නා මෙවැන්නන් කරන්නේ, බැතිමතුන් මෝඩයින් බව දැනගෙන ව්‍යාජ ඉතිහාස කතාන්දර ඉදිරිපත් කිරීමයි.

දකුණු ඉන්දියාවේ බලය තහවුරු කරගත් පසු පෘතුගීසි පාලකයින් හැසිරුණේ වස්කෝ ද ගාමා කටයුතු කළ ආකාරයට නොවේ. හින්දු රාජධානි මඬිමින්, හින්දූන් ක්‍රිස්තියානි කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹූ ඔවුන් ඒ වෙනුවෙන් කළ අපaරාධ මෙවැනි ලිපියකින් විස්තර කිරීමට නොහැකිය. කෙටියෙන් සඳහන් කළොත්, ‘ගෝව ඉන්කියුෂිසන්’ ඔවුන්ගේ ප්‍රසිද්ධ සංහාරයකි. බලය ලබාගන්නා තෙක් සහජීවනය මතුරා, බලය ලැබූ වහාම සහජීවන ස්වරූපය වෙනස් කිරීම අදටත් බොහෝ ජාතීන්ගේ උපායකි.

ඉන්දියාවට පැමිණි යුරෝපීය ආක්‍රමණිකයන් සංස්කෘත පොත් ඔවුන්ගේ භාෂාවලට පරිවර්තනය කිරීමේ එක් බලාපොරොත්තුවක් වූයේ පෙරදිග දැනුම ලබා ගැනීමයි. මෙම කටයුත්තේ යෙදුණු ඉන්දු භාෂා විශාරදයින් (ඉන්ඩියලොජිස්ට්) සංස්කෘත පොත්වල අඩංගු වචනවලට වැරදි අදහස් ඉදිරිපත් කළ අවස්ථා තිබේ. ජාති සහ වර්ණ වචන දෙක නිදසුනකි.

වෛදික ග්‍රන්ථයන්හි බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනුවෙන් වර්ණ හතරක් ගැන සඳහන් වේ. රටේ සම්පත් බලය හා රැකියා චතුර් වර්ණයන්ට පැවරුණු වගකීම් අනුව බෙදී ගොස් තිබුණි. අධ්‍යාපන හා ආගමික කටයුතු භාර වූ බ්‍රාහ්මණයින්ට කිසිම චංචල හෝ නිශ්චල වස්තුවක අයිතිය තිබී නැත. කෘෂිකර්මාන්තය, සතුන් ඇති කිරීම හෝ වෙළෙඳාම නොකළ ඔවුන් ජීවත් වූයේ රජු සහ මහජනයා සැපයූ ආහාර පානවලිනි. බුදුන් මහාවීර ආදී ශාස්තෘන් වහන්සේලා සංඝ ශාසන පිහිටුවා ඇත්තේ බ්‍රාහ්මණ සමාජය ආදර්ශයට ගනිමිනි.

මගධය වැනි විශාල රාජධානියක විසූ ජාතීන් සංඛ්‍යාව දහස් ගණනකි. විද්‍යාව හා තාක්ෂණික දියුණුවත් සමග ජාතීන් සංඛ්‍යාවෙහි වැඩි-අඩු වීම සිදු වුණි. මෙයින් ඔප්පු වන්නේ ජාතිය, වෘත්තිය පදනම් කරගෙන නිර්මාණය වුණු බවයි. අතීතයේ අලි ඇතුන් බලා ගැනීම වෘත්තිය කරගත් ජන කණ්ඩායම් විසූහ. යුද්ධ සහ ගමනාගමන කටයුතු සඳහා අශ්වයා ජනප්‍රිය වීමත් සමග අශ්වයින් හා සම්බන්ධ කටයුතු කරන අලුත් ජාතීන් (වෘත්තීන්) කිහිපයක් බිහිවුණි.

අනුරාධපුරය නමැති මහා රාජධානිය බිහි වන්නේ යක්ෂ රාජධානි තුළ බිහිවූ ජල කළමනාකාරිත්වය පිළිබඳ අලුත් දැනුම සහ තාක්ෂණය සමගිනි. අනුරාධපුර නගරය පිහිටු වූ පණ්ඩුකාභය රජතුමා අභයවැව ප්‍රධාන වැව් තුනක් නගරයේ ඉදි කළ බව මහාවංශය සඳහන් කරයි. ජල කළමනාකාරිත්වය නිසා අලුත් වෘත්තිකයින් (ජාතීන්) ගණනාවක් අනුරාධපුර රාජධානි සමයේ බිහි විණි. වැව් කළමනාකරුවන් (වපි හමික) සෙල්ලිපිවල සඳහන් එවැනි අලුත් වෘත්තිකයන්ගේ තනතුරකි.

අනුරාධපුර යුගය වැව් තැනීම සහ වාරිමාර්ග ඉදිකිරීම පිළිබඳ මහත් උද් යෝගයක් ඇතිවූ වකවානුවකි. රටේ මීට සමාන උනන්දුවක් ඇතිවූයේ විහාරස්ථාන ගොඩනැංවීම සම්බන්ධයෙනි. මේ නිසා රට පුරා අලුත් වෘත්තිකයින් රාශියක් බිහිවෙමින් ජාතීන් ගණනාවක් ඇති විය.

මහජනයාගේ එදිනෙදා අවශ්‍යතා පිරිමසා ගැනීම වැවෙන් සිදුවූ එක් සේවයකි. නෑම ඇඟ සේදීම, මුහුණකට සේදීම ආදී වූ ශරීරය පවිත්‍රකර ගැනීම, ඔවුන් වැවෙන් ඉටුකරගත් එදිනෙදා අවශ්‍යතාවන් කිහිපයකි. මේ සඳහා හැම වැවකම නාන තොටු පිළියෙල කිරීම සහ පාලනය කිරීම වපි හමිකයන් ඉටුකළ ක්‍රියාවකි.

ලංකාවේ ඕනෑම තැනක පිහිටි වැවක නාන තොට හෝ තොටු පොදු ස්ථාන වශයෙන් සැලකුණි. පැරණි වැවක නාන තොටක් කිසියම් ජන කණ්ඩායමකට වෙන්කර තිබූ පුවතක් ජනශ්‍රැතියක් ආධාරයෙන් හෝ ඉදිරිපත් කරන්නට කිසිවකුට නුපුළුවන. ශ්‍රී ලංකාව පුරා විහාරස්ථාන දහස් ගණනක් තිබුණි. ඒ කිසිම විහාරයක ජන කණ්ඩායමකට වෙන් කළ ප්‍රදේශයක් තිබුණු බවට සාක්ෂ්‍යයක් ඉදිරිපත් කිරීමටත් කිසිවකුට නොහැකිය.

ජලය සහ ආගමික ස්ථානය, පැරණි ලෝකයේ කුල, ජාති, ආගම්, ස්ත්‍රී, පුරුෂ, ධනවත්, දුප්පත් ආදී වශයෙන් මනුෂ්‍යයන් බෙදා වෙන් කළ ස්ථාන දෙකකි. මධ්‍යතන අවදිය තෙක්, බටහිර යුරෝපා රටවල් බොහෝමයක මනුෂ්‍යයින්, නෑම ඇඟ සේදීම වැනි ජලයෙන් ශරීරය පිරිසුදු කිරීමේ කාර්යයන් කළේද යන්න පිළිබඳව බටහිර උගතුන් අතරේ මතභේද පවතී. ඇතැමුන් පෙන්වා දෙන ලෙසට රෝම බලපෑම සිදුවන තෙක් ජලයෙන් පවිත්‍ර වීම ගැන බටහිර යුරෝපා රටවල වැසියන් දැන සිටියේ නැත. එංගලන්තයේ රජවරුන් ස්නානය කළ බවට යම් යම් තොරතුරු තිබේ. රෝම පාලකයින් ග්‍රීකයන්ගේ ආභාසය ලබමින් පොදු නාන ස්ථාන ඉදිකළ බවට සාක්ෂ්‍ය පවති. ග්‍රීකයන් ජලයෙන් පිරිසිදු වීම පුරුදු වන්නේ භාරතය සමග සම්බන්ධතා පැවැත්වීමෙනි.

යුරෝපා සමාජයේ සාමාන්‍ය ජනතාව සහ රදළ පූජකවරුන් ජලයෙන් පවිත්‍ර වී ඇත්තේ එක් ආකාරයකට නොවේ. ජලයෙන් පිරිසුදු වීමේ හැකියාව සහ නිදහස පොදු ජනයාට තිබී නැත. ක්‍රිස්තියානි පූජකවරුන්, ජලය වසංගත පැතිරෙන්නට හේතුවක් යැයි පවසමින් සාමාන්‍ය ජනයාට ජලය පාවිච්චි කිරීමේ නීති පැනවූ අවස්ථා තිබේ. දෙවන ලෝක යුද්ධ සමය වනතුරු ඇමරිකාවේ බොහෝ පවුල් දිය නෑවේ සතියකට හෝ මසකට එක් දිනයකි. ඒ දිනයේ පවුලේ සාමාජිකයන්ට නෑමට අවස්ථාව සැලසුන ක්‍රම තිබුණි. පුරුෂයෝ පළමුව දිය නෑහ.

දේවස්ථානය තුළද වංශවත්තු ප්‍රධාන ස්ථානය හිමිකර ගත්හ. දිව්‍ය පූජාව සඳහා ඇමරිකාවේ කිසිම දේවස්ථානයනකට ඇතුළු වීමේ හැකියාව කළු ඇමරිකානුන්ට නොතිබුණි. යුදෙව් සහ ඉස්ලාම් දේවස්ථානවලට කාන්තාවන් වැද්ද ගැනීම ඇරඹුණේ ඉතාම මෑත කාලයේය. තවමත් ඉස්ලාම් සහ යුදෙව් දේවස්ථානයන්හි පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට වෙන් වූ ස්ථාන පවතී.

ඉහත සඳහන් විස්තර ස්වල්පය සඳහන් කළේ ලංකාවේ කුල ක්‍රමය ගැන නොයෙක් කතාන්දර ලියමින් එක් පැත්තකින් තමන්ගේ නොදන්නාකම පෙන්වමින් තවත් පැත්තකින් සිංහල බෞද්ධයන්ට පහර ගසන උගතුන්ට පිළිතුරක් වශයෙනි. සමාජය භේද කරන කුලය (ඉංග්‍රීසි ‘කාස්ට්’) පෘතුගීසින්ගේ ‘කස්තා’වෙන් උපන් මහජනයා බෙදා වෙන්කර වැඩ ගැනීමේ සිරිතකි. හින්දු චතුර් වර්ණය, කස්තා ක්‍රමයට ගැළපෙන සේ සංශෝධනය කර ගැනීමට පෘතුගීසින්ට හැකි විය. ජාති වර්ණ ඈ හැම දේකටම තමන්ට වුවමනා අර්ථ සැපයීමට බ්‍රිතාන්‍ය පාලකයින්ට පුළුවන්කම තිබුණි. සිංහලයින්ගේ ඉතිහාසය හැදැරූ ඔවුන් දකුණු ඉන්දියාවෙන් ‘අරුන්තතියර්’ ජන කණ්ඩායම් ලංකාවට ගෙනවිත් වැසිකිළි පවිත්‍ර කිරීමේ කාර්යයේ යොදවා ඇත්තේ සිංහලයින් සහ ඔරිස්සා වාසීන් අතර පැවති නෑදෑකම ගැන හොඳ අවබෝධයකිනි.

දකුණු ඉන්දියාවේ ඔරිස්සාව සිංහලයන්ගේ මුල්බිම යැයි හිතන්නන් පෙන්වා දෙන ආකාරයට ලංකාවේ වංශකතාවන්හි කියවෙන සිංහබාහු ගොඩනැංවූ සිංහපුරය ඔරිස්සාවේ සැබැවින්ම පැවති රාජධානියකි. සිංහබාහුගේ මව සුප්පාදේවී කාලිංග කුමරියක බව මහාවංශයේ සඳහන් වේ. කාලිංගයේ රාජ්‍ය අර්බුදයක් ඇති වූ අවස්ථාවක හේමමාලී කුමරිය සහ දන්ත කුමරුන් දන්තපුර නුවර වැඩ විසූ දන්ත ධාතුන් වහන්සේ රැගෙන ලංකාවට පැමිණි විස්තරය ධාතුවංශයේ විස්තර වේ. සිංහල සිංහාසනය පිළිබඳ අයිතිය කාලිංග වංශිකයන්ට තිබෙන බව ලංකාව පාලනය කළ නිශ්ශංකමල්ල රජතුමා සෙල්ලිපි පිහිටුවමින් සඳහන් කරයි. මේ අයුරින් කාලිංග-සිංහල නෑදෑකම් ගැන කියවෙන ඉතිහාස තොරතුරු විශාල සංඛ්‍යාවකි.

කාලිංගය පුරාණ ආන්ද්‍ර රටේ අගනුවර විය. ආන්ද්‍රයන්ගේ භාෂාව ආන්ද්‍ර භාෂාව වූයේය. පැරණි ආන්ද්‍ර රට වර්තමාන ඔරිස්සාවයි. එහි ව්‍යවහාර වන ප්‍රධාන භාෂාව තෙලිඟු දෙමළ භාෂා පවුලට අයත් භාෂාවක් යැයි ඇතැම් භාෂා විශාරදයෝ සලකති. ‘සිංහලයෝ තෙලිඟු භාෂාවට අන්ඩර දෙමළ කියති’ යන්න පඬිවරුන්ගේ අදහසකි. ඒ අදහස් පිළිබඳව සාකච්ඡා කිරීමට මේ ලිපියේ ඉඩක් නැත.

තෙලිඟු භාෂාව කතා කරන ජන කණ්ඩායම් කිහිපයක් තමිල්නාඩුවේ වාසය කරති. ඔවුන් එහි පදිංචියට ගියේ කෙසේදැයි පැහැදිලි කෙරෙන සාක්ෂ්‍ය සොයාගැනීම තරමක් අපහසු ක්‍රියාවකි. මුස්ලිම් ජාතිකයින් හෝ යුරෝපා ජාතියක්, කිසියම් සේවාවක් ලබා ගැනීම සඳහා, ඔවුන් ඔරිස්සාවෙන් ගෙනගියා වන්නට පුළුවන. මොවුන් අතුරින් අරුන්තතියර් නමින් හඳුන්වන ජන කණ්ඩායම දීර්ඝ කාලයක් මුළුල්ලෙහි කරන්නේ තමිල්නාඩු වැසියන්ගේ වැසිකිළි හා නගර පිරිසිදු කිරීමයි. එම නිසා ඔවුන්ට ෂක්කිලාර් යන අපර නමක්ද ව්‍යවහාර වේ.

අරුන්තතියර් ජන කණ්ඩායම අනෙකුත් දලිත් (කුල හීන) ජන කණ්ඩායම්වලින් පවා කොන් වූ පිරිසකි. ඊට හේතුව ඔවුන්ට පැවරී ඇති වෘත්තියයි. හින්දු සමාජයේ දලිත් ජනයා සැලකෙන්නේ ස්පර්ශ නොවිය යුත්තන් (අන්ටචබල්ස්) ලෙසිනි. අරුන්තතියර් ජනයාට ඒ නීතිය අන් සැමට වඩා තදින් බලපායි. අනෙකුත් පොදු මහජනයා පාවිච්චි කරන ළිඳකින් තබා පයිප්පයකින්වත් ජලය ගැනීමේ හැකියාව ඔවුන්ට නැත. ගඟකින් ඇළකින් දොළකින් නම්, ඔවුන් ජලය පාවිච්චි කළ යුත්තේ පහළම ස්ථානයෙනි. කෝවිලක තාප්පයකින් පිට සිට හෝ හින්දු දෙවි දේවතාවියන් වන්දනා කිරීමේ හැකියාව දලිත් ජනයාට නැත.

ඉංග්‍රීසි පාලන කාලයේ කොළඹ වැනි ප්‍රධාන නගරයන්හි අශූචි බැහැර කිරීම වැසිකිළි සහ වීථි පිරිසිදු කිරීම සඳහා අරුන්තතියර් පවුල් සිය ගණනක් ලංකාවට ගෙනවිත් තිබේ. මීට වසර හතළිහකට පනහකට පෙරත් කොළඹ හා ඒ අවට නගර සියල්ලකම වැසිකිළි පිරිසිදු කළ අරුන්තතියර් ජනයා සක්කිලි නමින් හැඳින්වෙන්නට හේතුව ඔවුන් තමිල්නාඩුවේ ෂක්කිලාර් නමින් හැඳින්වීමයි. කොම්පඤ්ඤ වීථියේ අරුන්තියර් සේවකයන්ගේ වෘත්තීය සමිති කාර්යාලයක් තිබුණ බවක් අපට මතකය. කුරුණෑගල වැනි නගරයන්හි පවා හැත්තෑව දශකයේ අග භාගය පමණ වන තෙක් අරුන්තියාර්වරු සේවය කළහ. කුරුණෑගල යන්තම්පලාව රවුම්පාරේ ඔවුන් වාසය කරන නිවාස පේළියක් පවා තිබුණි.

කුල ක්‍රමය ගැන කතාන්දර කියමින් සිංහලයින්ට පහර ගසන්නන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දිය යුතු කාරණා ගණනාවක් තිබේ. ඉන්දියාවේ දලිතයන්ට, කුලවතුන් නාන ස්ථානවලට ඇතුළු විය නොහැක. ලංකාවේ උතුරු පළාතේ ද්‍රවිඩ වංශවත්තු ඔවුන් භාවිත කරන ළිං කුලහීන යයි සම්මත ජන කණ්ඩායම්වලට පාවිච්චි කරන්නට නොදෙති. විශේෂ අවසරයක් නැතිව කිසිම ඉස්ලාම් දේවස්ථානයක පස් පෑගීමට අන් ආගමිකයෙකුට නොහැකිය. නැගෙනහිර පළාතේ වැව් බොහෝමයක ස්ත්‍රීන් නාන තොටු සහ පුරුෂයින් නාන තොටු වෙන වෙනම ඉදිකර තිබේ. කොළඹ හෝ වෙනත් කිසිම සිංහල නගරයක අරුන්තියර් ජනයාට පොදු නාන ළිඳක් හෝ පයිප්පයක් තහනම් කිරීමට සිංහලයන් ඉදිරිපත් වී නැත.

දේවස්ථානය තුළද වංශවත්තු ප්‍රධාන ස්ථානය හිමිකර ගත්හ. දිව්‍ය පූජාව සඳහා ඇමරිකාවේ කිසිම දේවස්ථානයනකට ඇතුළු වීමේ හැකියාව කළු ඇමරිකානුන්ට නොතිබුණි. යුදෙව් සහ ඉස්ලාම් දේවස්ථානවලට කාන්තාවන් වැද්ද ගැනීම ඇරඹුණේ ඉතාම මෑත කාලයේය. තවමත් ඉස්ලාම් සහ යුදෙව් දේවස්ථානයන්හි පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට වෙන් වූ ස්ථාන පවතී.

(2019 මාර්තු 10 සතිඅග අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link