Last Updated on 9 months by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
ගමරාල දිව්‍යලෝකෙ ගිය හැටි ඉන්දීය කතාවේ කාන්තා චරිත නැත. Credit: kathakids.com
කතාන්දර කීම මෑතක් වනතුරුම ලංකාවේ බෙහෙමින් ජනප‍්‍රියව තිබුණි. විශේෂයෙන්ම මේ කතාන්දර දරුවන් අතර බෙහෙවින් ජනප‍්‍රිය විණි. දරුවන් නින්දට යන අවස්ථාවේ ඔවුන්ට කතාන්දර කීම හැම වැඩිහිටියකුගේම පාහේ සිරිතක්ව පැවතිණි. සිංහලයින් අතර පැවතුන මේ කතා ‘ගැමි කතා’ සහ ‘ගම කතා’ වශයෙන් කොටස් දෙකකට වර්ග කිරීමට පුළුවන. මෙවැනි වර්ග කිරීමක් නොකර ගැමියන්ගේ කතා සියල්ල ජන සම්මත කතා වශයෙන් සලකන්නෝ ද සිටිති. එහි අර්ථය පොදු ජනයා අතර භාවිත වන, ඔවුන් පිළිගත් කතා බවයි. මෙම හැඳින්වීමේ වරදක් තිබේ. ගැමි කතා යනු ගැමියන් අතර පහළ වූ කතා විශේෂයකි. ගම කතාව ගැමියන් අතර ප‍්‍රචලිත කරවන ලද කතා වර්ගයකි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, ගම කතා යනු ගැමියන් නිර්මාණය කළ, ඔවුන් රසවින්ද, ඔවුන්ගේ කතා නොවේ.
ගැමි කතා බොහෝමයක පොදු ස්වභාවය ඒවා බිහිවූයේ කවර කාලයකදැයි කිව නොහැකි වීමයි. ගැමියන් බොහෝ ගැමි කතා දැනගත්තේ පරම්පරාවෙනි. ශ‍්‍රවණය කිරීමෙනි. ඇතැම් ගැමි කතාවක ඉතිහාසය අනුරාධපුර රාජධානි සමය හෝ ඊට ඈත විය හැකිය. ගැමි කතාවේ මූලික පරමාර්ථය සාමූහික රසවිඳීමයි. කතාව අසන පුද්ගලයාගේ මෙන්ම සමාජයේද නුවණ අවදි කිරීම, චිත්ත ධෛර්ය වර්ධනය කිරීම, සත්ව කරුණාව පහළ කිරීම, නෑදෑකම් වැඩිකිරීම, රට ජාතිය ආගම කෙරේ ඇල්ම ඇති කිරීම ආදි නොයෙක් කාරණා ගැමි කතාවෙන් ඉටු විණි.
ගම කතාවල පසුබිම ඊට වෙනස්ය. ඒවා බිහි වූ කාලවකවානුවක් තිබේ. ඒ සිංහල ගමේ ශක්තිය බිඳ රට ජය ගැනීමට වෙහෙසුන පෘතුගීසි පාලන සමයයි. සිංහල රාජධානි පැවති නිසා පෘතුගීසින්ට රටවැසියන් අවනත කර ගැනීම පහසු වැඩක් නොවීය. සිංහල පාලනය සකස් වූයේ ග‍්‍රාම රාජ්‍ය ඒකාරාශී වීමෙනි. මෙවැනි ග‍්‍රාම රාජ්‍යයක ජාතීන් (කුටුම්බ) හෙවත් වෘත්තිකයෝ ගණනාවක් විසූහ. සිංහල ජාතිය සහ ගැමි වහරේ කියවෙන ‘ජාතිය’ දෙකක් මිස එකක් නොවේ. අදටත් ගම්වල ඇතැම් කුටුම්බ ‘අපේ ජාතියේ එකෙක්’ යයි කියන්නේ සිංහලයෙකු බව කීමට නොවේ. එය ඉංග‍්‍රීසි භාෂාවේ ‘රේස්’ race යන වචනයට වඩා පුළුල් අර්ථයක් ඇති පදයකි. සංස්කෘත භාෂාවෙන් කියවෙන ජාති, වර්ණ යන පද යුගලයද ‘රේස්’ යන ඉංග‍්‍රීසි වචනයට සමාන කළ නොහැකි බව ඉන්දියාවේ සංස්කෘත භාෂා වියත්තු පැහැදිලි කරති.
ගමේ බලය හැම ‘ජාතියක්’ නොහොත් වෘත්තියක් අතරේම බෙදී තිබුණි. එම නිසා සිංහල ගම ඉතාම ශක්තිමත් ආයතනයක් වූයේය. කුටුම්බ අවමානයට ලක්කිරීම හා ගම් නායකයින් විහිළුවට භාජනය කිරීම ගම කතාවෙන් සිදු විය. පෘතුගීසින් ඉස්කෝලා ආධාරයෙන් මෙවැනි කතා සමාජ ගතකර තිබේ.
මේ ගම කතාවකි:
එක්තරා ගම පවුලක හිටි එකම දියණිය මිය ගියාය. දිනක් මේ නිවසට හිඟන්නෙක් ආවේය. ඔහු දුටු ගමමහගේ, ‘උඹ ඔය තරම් කෙසඟ මන්දැ’යි හිඟන්නාගෙන් විමසුවාය. ‘මම මේ එළොව ගිහින් මෙලොව ආවා’’ යයි හිඟන්නා පිළිතුරු දුන්නේය. දියණිය මළ සොවින් සිටි ගමමහගේට නුවණ පහළ විය. ‘‘උඹ එලොව ගිහින් ආවා නම් එහෙදි ළඟදි මැරුණ අපේ දුව කළුමැණිකේ හම්බ වුනේ නැද්ද?’යි හිඟන්නාගෙන් විමසුවාය. හිඟන්නා ගමමහගේ මෝඩියක බව වටහාගෙන, ‘‘මොකද නැත්තෙ. එයා තමා මං කරකාර බැඳලා ඉන්නෙ. මං මෙහෙ ආවෙ කළුමැණිකෙගෙ කීමටයි. ගේ දොර, තාත්ත, අම්ම බලාගෙන එන්ඩ කියල එයා කිව්වා’’ කියා කීවේය.
බොහෝ සතුටට පත් ගමමහගේ, හිඟන්නාට ආහාර පානාදියෙන් සංග‍්‍රහ කර, කළුමැණිකාගේ රන් රිදී භාණ්ඩ පොට්ටනියකට බැඳ හිඟන්නා අතට දී ‘‘මේ කළුමැණිකෙගෙ ආයිත්තම් එයාට ගිහින් දෙන්ඩ’’ කියා හිඟන්නා පිටත් කළාය. හිඟන්නා පිටත් වී ටික වේලාවකට පසුව ගමරාළ නිවෙසට ආවේය. ගමමහගේ බොහෝ ප‍්‍රීතියෙන්, කළුමැණිකේගේ සැමියා පැමිණි කතාන්දරය ගමරාළට කීවාය. කපටි හිඟන්නකු ගමමහගේ රවටා රන් රිදී භාණ්ඩ ටික කොල්ලකාගෙන ගිය බව වටහාගත් ගමරාළ හනික ඉස්තාලයට ගොස් අශ්වයා අරගෙන හිඟන්නා ගිය මග දිගේ ලූහුබැන්දේය. ගමරාළ දුටු හිඟන්නා විශාල ගසකට නැග්ගේය. ගමරාල ගස මුල අශ්වයා දමා හිඟන්නා ඇල්ලීමට ගසට නැග්ගේය. එවිට හිඟන්නා ගසේ අත්තක් දිගේ බිමට බැස අශ්වයා පිට නැගී පලා ගියේය.
‘‘බෑණෝ, රිදී රත්තරං අම්මා දුන්නා කියාපං අස්සයා තාත්තා දුන්නා කියාපං’’ කියා කෑගැසූ ගමරාල ගෙදර ගියේය.
මේ කතාවේ කියවෙන ගමරාළ අශ්වයන් පිට ගිය පුද්ගලයෙකි. අශ්වයන් පිට ගිය ඉඩම් හිමියෝ පෘතුගාලයේ විසූහ. යුරෝපයේ විසූහ. ලංකාවේ ගමරාළල අසුන් පිට නොගියහ. එළොව ගිහින් මෙලොව ආවා කතාව වැනි ගමකතා ගණනාවක් තිබේ. ඒ හැම කතාවකින්ම කෙරෙන්නේ ගැමියන් නින්දාවට ලක් කිරීමයි.
ගමරාල දිව්‍යලෝකෙ ගිය හැටි, තවත් ප‍්‍රසිද්ධ ගම කතාවකි:
දිනක් උදෑසන කුඹුරට ගිය ගමරාලට කුඹුරේ ලියදුවල වංගෙඩි ලකුණු දකින්නට ලැබුණි. ගොයම් වගාවට සෑහෙන හානියක් සිදුව තිබුණි. ගමේ ගෙයක් ගානේ ගිය ගමරාල, ‘වංගෙඩි බැඳ තියන්නැ’යි සියලූ දෙනාටම අණ කළේය. ගමේ කවුරුත් වංගෙඩි බැඳ තැබූ නමුත් පසුවදා උදයේත් ගමරාළගේ කුඹුරේ වංගෙඩි ලකුණු තිබුණි. වගාවටත් හානි සිදුව තිබුණි. පසුදා ගමරාල කිතුල් පොල්ලකුත් රැගෙන විත් කුඹුරු මායිමේ පඳුරක් අස්සේ සැඟවී සිටියේය. රෑ වන විට අලියෙක් අහසින් කුඹුරට බැස ගොයම් පොඩි කරමින් ගොයම් කන්ඩ ගත්තේය. ගමරාළ හෙමිහිට අලියාට ළං වී උගේ නැට්ටේ එල්ලූණි. අලියා අහසට නැග දිව්‍ය ලෝකයට ගියේය. දිව්‍යලෝකය නැරඹූ ගමරාල අලියා ආපසු කුඹුරට බහින්ඩ සූදානම් වන විට අලි වල්ගයේ එල්ලූණේය. අලියා කෙලින්ම ගමරාලගේ කුඹුරට බැස්සේය.
ගෙදර ගිය ගමරාල සිද්ධිය ගමමහගේට කීවේය. ඇයටත් දිව්‍යලෝකය බලන්ඩ යන්ඩ වුවමනාව ඇති විය. කාටත් නොකියා සූදානම් වෙන්නැයි ගමරාල ඇයට කීවේය. මෙදින ගමරාලගේ නිවසට රෙදි නැන්දා පැමිණියාය. ගමහාමිනේගේ මුහුණේ ඇති අමුතු ප‍්‍රීතිය දුටු ඈ මේ ගැන අසද්දී ගමහාමිනේ රෙදි නැන්දාගේ කනට කර රහස කීවාය. ‘‘මමත් දිව්‍යලෝකෙ යන්ඩ එනවා’’ රෙදි නැන්දා කීවාය. ‘කාටවත් නොකියා හැන්දෑ වන විට කුඹුර ළඟට එන්නැයි’ ගමමහගේ රෙදි නැන්දාට කීවාය. රෙදි නැන්දාගෙන් මේ ආරංචිය තව කෙනකුට ලැබුණි. ඔහුගෙන් තව කෙනකුට ලැබුණි. හැන්දෑ වන විට ගමේ හැමෝම කුඹුර අසලට පැමිණ සිටියහ. ඔවුන් සියල්ලෝම පඳුරුවලට මුවා වී කුඹුරු යාය දෙස බලාගෙන සිටියහ. කළුවර වැටෙද්දී අලියා කුඹුරට බැස්සේය. ගමරාළ හෙමින් හෙමින් ගොස් අලි වල්ගයේ එල්ලූණි. ගමහාමිනේ ඒ පසුපස ගොස් ගමරාළගේ ඇෙඟ් එල්ලූණාය. ඇයගේ ඇෙඟ් රෙදි නැන්දා එල්ලූණි. මේ ආකාරයට ගමේ හැමෝම වැලක් මෙන් අලි වල්ගේ එල්ලූන අතර අලියා අහසට නැග්ගේය. මඳ දුරක් යන විට ‘දිව්‍යලෝකේ වී බෙදන කුරුණිය කොච්චර විතර ඇතිදැ’යි රෙදි නැන්දා ගමරාළගෙන් ඇසුවාය. ‘‘මේන්න මෙච්චර විතර ඇති’’ කියමින් එහි ප‍්‍රමාණය පෙන්වන්නට ගමරාල අත් දෙක ඈත් කළේය. සියල්ලෝම පොදිය පිටින් කුඹුරට ඇද වැටුණහ.
ගමරාළ උණට බෙහෙත් දුන් හැටි, තවත් ගම කතාවකි. එයින් කියවෙන පරිදි උදැල්ල අව්වේ තියා ගසක් යට ටිකක් ඇලවී සිටි ගමරාල ආපසු ඇවිත් උදැල්ල ඇල්ලූ විට එය හොඳටම රත්වී තිබුණි. උදැල්ලට උණ ගැනී ඇතැයි සිතූ ඔහු උදැල්ලත් ඔසවාගෙන වෙදරාළ සොයා දිව්වේය. ‘හනිකට ගෙදර ගොස් උදැල්ල කළගෙඩි පොළේ වළලන්නැ’යි වෙදා ගමරාළට උපදෙස් දුන්නේය. වළ ලෑ උදැල්ල ටික වේලාවකින් ගොඩගත් පසු උණ බැස ඇති බව ගමරාලට වැටහුණි. මේ සිදුවීමෙන් ටික දවසකට පසු ගමරාළගේ සිඟිති පුතාගේ ඇඟ රත් විය. වෙදාගේ උපදේශය සිහි කළ ගමරාළ කළගෙඩි පොළේ වළක් කපා පුතු එහි වැළලූවේය.
ගම කතා සියල්ලකම මුඛ්ය පරමාර්ථය ගමරාළ සහ විවිධ වෘත්තිකයන් හාස්‍යයට ලක්කිරීමයි. කිසිම ගැමි කතාවක මෙවැනි පරමාර්ථයක් නැත. ඒවායින් ගමරාළ හෝ වෘත්තිකයන් නැතිනම් ජාතීන් උපහාසයට ලක් නොවේ. ඒ වෙනුවට ඔවුන්ගේ නුවණ, ස්ථානෝචිත ප්රඥාව, වීර්යය, අවංකභාවය, සත්ව කරුණාව ආදි ගුණ ප්රකාශ වේ. මේ ගැමි කතාවට නිදසුනකි:
සිය දියණියත් සමග දර කැඞීමට වනාන්තරයට ගිය කාන්තාවක් දියණිය අලස ලෙස දර කඩනු දැක, ‘‘උඹව නම් දෙන්ඩ වෙන්නෙ කැලේ ඉන්න නරියෙකුට තමයි’’ කීවාය. මේ කතාව පඳුරක් අස්සේ සැඟවී සිටි නරියෙකුට ඇසුණි. ඌ හැන්දෑවේ ගම ගෙදරට පැමිණ ගමරාළ හමුවී පැමිණි කාරණය කීවේය. ගමරාල ඒ ගැන බිරිඳගෙන් ඇසූවිට කට වැරදී එවැනි කතාවක් කී බව ඈ පිළිගත්තාය. ගමරාල නරියාව සතුටු කරමින් ‘‘මිනිස්සු උඹල වගේ නෙවෙයි. මඟුල් කන ක‍්‍රමයක් තියෙනව. අපි දුවක් දීග දෙද්දි එයාට දෑවැද්දක් දෙනව.’’ කියා මඟුලට දිනයක් නියම කර ගත්තේය. නරියා නියමිත දිනයේ නා පිරිසිදු වී ගම නිවසට පැමිණියේය. ගමරාල පොරොන්දු පරිදි දියණිය බාරදී විශාල තෑගි මල්ලක්ද නරියාට දුන්නේය. නරියා අමාරුවෙන් තෑගි මල්ල කර තියාගෙන ටික දුරක් ගොස් එහි කන්නට විශේෂ යමක් ඇතැයි සිතා මල්ල බිම තියා මලූ කට ලෙහුවේය. මල්ල තුළ දමා සිටි ගමරාලගේ බලූ තඩියා එළියට පැන නරියා පස්සේ එලවන්නට ගත්තේය. නරියා පණ එපා කියා කැලේට දිව්වේය.
සිංහල ගැමි කතාවෙන් කිසිවකු නින්දාවට ලක් නොකෙරේ. සතුන් ගස් වැල් පවා අගය කිරීමට මනුෂ්‍යයාට නුවණ පහළ කරයි. වෘකයා, බකමුණා, වවුලා යුරෝපා ජනකතාවේ අනුකම්පා නොකළ යුතු විනාශ කළ යුතු නරක සතුන් තිදෙනෙකි. සිංහලයින් නරියාට සලකා ඇත්තේ මිතුරකු වශයෙනි. වවුලා සහ බකමුණා මිනිස් චරිතයට සම්බන්ධ කර ගෙතූ කතා පවතී. මොනම සතෙකු වු විනාශ කිරීම වරදක්ය යන සිංහල ධර්මය ඉගැන්වූයේ ගැමි කතාවෙනි.
මේ ‘ගම කතා’වලට සමාන කතා පෘතුගීසීන් විසින් ඉන්දියාවේද පතුරුවා තිබේ. ඔවුන් අපේ රටට හඳුන්වාදුන් මහදැනමුත්තා කතාවලින්ද කෙරෙන්නේ භික්ෂුව, ගමරාළ ඇතුළු ගම් ප‍්‍රධානීන් සිනාවට ලක් කිරීමයි. (මහදැනමුත්තා කතාවලට සමාන කතා ඉන්දියාවේද ප‍්‍රචලිත කළ අයුරු අපි කලකට පෙර ලියූ මහදැනමුත්තයි ගෝලයො රොත්තයි පොතෙන් පැහැදිලි කළෙමු).
ගමකතාවලට සමාන කතා ඉන්දියාවේද පතුරුවා ඇති බවට සාක්ෂ්‍ය ඉන්දියාවේ ‘ජනකතා’ ඇසුරින් පෙන්වාදිය හැකිය. මේ සමග පළ කර ඇති චිත‍්‍රය ඉන්දියාවේ ‘ජනකතාවක්’ වෙනුවෙන් අඳින ලද එකකි. එහි සිටින්නේ පිරිමින් පමණි. අපේ කතාවේ ගැහැණු මෙන්ම රෙදි නැන්දාද වෙයි. ඊට හේතුව පැහැදිලිය. රෙදි නැන්දා සිංහල සමාජයේ ප‍්‍රබල චරිතයකි. ඇය ගම පාලනය කළ ‘තොවිල් පහ’ නමැති පරිපාලන ඒකකයේ සාමාජිකාවක වූවාය. කතාවෙන් කෙරෙන්නේ ඇගේ වෘත්තිය හෑල්ලූවට ලක්කිරීමයි. ඉන්දීය බමුණු සමාජයේ කාන්තාවට ලැබුණේ අඩු සැලකිල්ලක් නිසා පෘතුගීසින් මේ ඉන්දීය කතාවට කාන්තා චරිත එක් නොකරන්නට ඇතැයි සිතිය හැකිය.
ගම කතා සියල්ලකම මුඛ්ය පරමාර්ථය ගමරාල සහ විවිධ වෘත්තිකයන් හාස්‍යයට ලක්කිරීමයි. කිසිම ගැමි කතාවක මෙවැනි පරමාර්ථයක් නැත. ඒවායින් ගමරාල හෝ වෘත්තිකයන් නැතිනම් ජාතීන් උපහාසයට ලක් නොවේ. ඒ වෙනුවට ඔවුන්ගේ නුවණ, ස්ථානෝචිත ප්රඥාව, වීර්යය, අවංකභාවය, සත්ව කරුණාව ආදි ගුණ ප්රකාශ වේ.
(2018 දෙසැම්බර් 23 ඉරිදා අරුණ පුවත්පත)