සිංහල අවුරුද්ද

Last Updated on 3 months by admin

සිංහල අලූත් අවුරුදු උත්සවයට සිංහල ජාතියට තරමටම දීර්ඝ ඉතිහාසයක් ඇත. ඒ ඓතිහාසික උරුමය නැති කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව බොහෝ සිංහලයන්ට නොවැටහීම අවාසනාවකි. සිංහලයින්ට උතුරු හා නැගෙනහිර පළාත්වල අයිතිවාසිකම නැතිකර හමාරය. එහි නටබුන්ව පැවති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන සිය ගණනක් පාදම් පවා උගුල්ලා විනාශ කර ඇත. උතුරේ ගම්මාන සියල්ලකම සිංහල නම් දෙමළට හරවා තිබේ. නැගෙනහිර ගම් සියල්ලකටම අරාබි නම් සපයා ලියාපදිංචි කර ඇත. සිරීපාදේ නම ‘සිවනොලි පාදම්’ කියා වෙනස් කළ කතාවක් අසන්ට ලැබේ.

සිංහල අවුරුද්ද, ‘සිංහල දෙමළ’ නැතිනම් ‘සිංහල හින්දු’ අවුරුද්ද යනුවෙන් වෙනස් කරගෙන යෑම නිසා තව කෙටි කාලයකින් සිංහල අවුරුද්ද නැති වී යන බව ඉතාම පැහැදිලි කාරණයකි. මේ ක‍්‍රියාවේ මහමොළකරුවන් සහ බළල් අ`ඩු වූ මාධ්‍යකරුවෝ සිංහලයින් රැවටීම සඳහා නොයෙක් උපායන් භාවිත කරති. ඊට ජනමාධ්‍යයන්ගේ පටන් පාසල දක්වා විවිධ ස්ථාන යොදා ගැනේ.

සිංහලයින් ඔවුන්ගේ රණකාමීන්ට ශක්තිය ලබාදීම සඳහා හැම වසරකම අලූත් අවුරුද්ද නමින් ‘මජා’ උත්සවයක් පවත්වතැයි ගාර්සියා දෙ ඔර්ටා නමැති පෘතුගීසි ජාතිකයා සඳහන් කර තිබේ. සිංහල බෙහෙත් පැළෑටි පිළිබඳ නාමලේඛනයක් සැකසූ එතුමා සිංහල භික්ෂූන් ‘මජා අලූත් අවුරුද්දේ හිසේ ගෑමට සාදනු ලබන විශේෂ තෙලක් සඳහා භාවිතයට ගත් පැළෑටි කිහිපයක’ නම් සඳහන් කරයි.

මජා (Majha) යනු ඉන්දියාවේ පංචනදී ප‍්‍රදේශයට අයත් භූමි කලාපයකි. ඇතැම් ඉංග‍්‍රීසි ජාතිකයින් සඳහන් කරන ලෙසට, මජා, ඉන්දියාවේ රණකාමීන් වෙසෙන ප‍්‍රදේශයයි (Sword Arm of the Country) ඉන්දියාවට නිදහස ලබාදෙන බි‍්‍රතාන්‍යයින් මජා භූමිය දෙකට බෙදා කොටසක් පකිස්ථානයට පැවරුවේ එම සටන්කාමීන් දෙකට බෙදීමේ පරාමාර්ථයෙනි.

බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ අනුදැනුමින් යටත් විජිත ලේකම් කාර්යාලයට යැවූ ලිපියක, ‘මරුවල්ලිය’ සහ ‘සුදලිය’ ගුරුකුලයන්හි, කඩු සේදීමේ උත්සවයක් අලූත් අවුරුද්ද නමින් සිංහලයන් විසින් පවත්වනු ලබන බව සඳහන් වේ. මරුවල්ලිය සහ සුදලිය යනු සිංහල හමුදාව පුහුණු කළ හමුදා පාසල් දෙකකි. සිංහල අවුරුද්ද හමුදා කඳවුරු දෙකක මූලිකත්වයෙන් සිදු වූ කඩු සේදීමේ මංගල්‍යයක් යැයි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා සඳහන් කිරීම ඉතාම වැදගත් ප‍්‍රවෘත්තියකි. මෙය සිංහලයින් සංහාරය සඳහා මෙහි සිටි පාලකයින් යොදාගත් උපායකි. ‘හමුදා පාසල්වල කඩු සේදීමේ මංගල්‍ය පවත්වනවා’ යැයි කී විට, ඒ ආරක්ෂක සේනා යොදවා ඉවත් කළ යුතු ස්ථාන බව වෙළෙඳ සමාගමට වැටහේ.

බි‍්‍රතාන්‍යයින්ට යටත් වූ සෙයිලාන් (සිංහල ද්වීපය නමැති රටේ පෘතුගීසි සමය වන විට පැවති සිංහල අවුරුද්ද ඔවුන් නිදහස ලබා දෙන විට පැවැති සිංහල අවුරුද්දට හාත්පසින්ම වෙනස් උත්සවයක් බව මෙයින් පැහැදිලි වේ. මරුවල්ලිය සහ සුදලිය සිංහල හමුදා පාසල් දෙක තහනම් ආයතන බවට පත් කළ බි‍්‍රතාන්‍ය පාලකයෝ ඒවායේ සිදු කළ ‘අංගම්පොර’ වැනි සරඹ ක‍්‍රීඩා, නීති විරෝධී ක‍්‍රියා බවට පත් කළහ.

මහාචාර්ය සෙනරත් පරණවිතාන සෙල්ලිපි සාක්ෂ්‍ය දක්වමින් මහාවශංයට අමතරව සිංහලයන් අතර පැවති වංශකතා දෙකක් ගැන විස්තරයක් ඉදිරිපත් කළේය. ඒ ‘පරම්පරා පුස්තකය’ සහ ‘යවන රාජ වෘත්තාන්තය’යි. ඔහුගේ ‘ග‍්‍රීක්ස් ඇන්ඞ් මෞර්යයෝස්’ නමැති පොතේ මේ ගැන විස්තර අඩංගු වේ. එයින් පැහැදිලි කරන ලෙසට ඇලෙක්සැන්දර් රජු ඉන්දියාවේ පංජාබ් ප‍්‍රදේශය ආක‍්‍රමණය කළ අවස්ථාවේ එහි විසූ ‘ග‍්‍රාමණේය’ නමැති ක්ෂතී‍්‍රයයන්ට ඔවුන්ගේ නිදහස හා ස්වෛරීතාව වෙනුවෙන් බිහිසුණු සටනක් කරන්නට සිදු විය. ක්ෂත‍්‍රීයයන් යනු පැරණි ඉන්දියානු සමාජයේ යුද්ධ කළ ජන කණ්ඩායමයි.

මහාචාර්ය පරණවිතාන විස්තර කරන ලෙසට ඇලෙක්සැන්දර් ග‍්‍රමණේයයන් සමඟ කළ යුද්ධය අවසන් වූයේ ග‍්‍රාමණේය නායක ‘සිංහල’ සමඟ මිත‍්‍ර ගිවිසුමක් ඇතිකර ගැනීමෙනි. මෙයින් පසුව ඇලෙක්සැන්දර් සිංහලගේ මිත‍්‍රයෙකු වී ආපසු සිය රට බලා යන අතරමගදී අසනීප වී මිය ගියේය.

ග‍්‍රීකයන් ‘සැන්ඩ‍්‍රකෝටස්’ නමින් හැඳින්වූ, මගධය මුල්කර අධිරාජ්‍යයක් ගොඩනැංවූ චන්ද්‍රගුප්ත, පංචනදී ප‍්‍රදේශය යටත්කර ගැනීමට පැමිණියේය. මෙවිට සිංහලගේ ආධාරයට සැලියුකස් නිකේටර් නමැති සෙනෙවියා ග‍්‍රීක හමුදාවක් සමඟ පැමිණ ඇත. නිකේටර් සටනේදී මිය ගියේය. සිංහලගේ බිරිය, සැලියුකස් නිකේටර්ගේ සොහොයුරියකි. සිංහල සිය ග‍්‍රීක බිරියද සමග රට හැර ගොස් පණ්ඩරපුර රාජධානිය පිහිටුවා ගත්තේය. ග‍්‍රීක බිසවට දාව උපන් සිංහලගේ පුත් මුරුණ්ඩශිව (මුටසිව* තප‍්‍රබෝනයට ගොස් සිංහල රාජ්‍යයක් පිහිටුවූයේය.

මේ විස්තරයේ ග‍්‍රාමණේය ක්ෂත‍්‍රීය (ගාමිණී) සිංහලගේ රාජධානිය, පංචනදී ප‍්‍රදේශයේ පැවති බව සඳහන් වීම ඉතාම වැදගත් ප‍්‍රවෘත්තියකි. පරණවිතාන පෙන්වා දෙන ලෙසට අනුරාධපුරයේ අභයගිරි විහාරයෙන් රචනා වූ පරම්පරා පුස්තකය නමැති වංශකතාව ලියා ඇත්තේ පංචනදී ප‍්‍රදේශයට ගොස් එහි තොරතුරු සෙවූ සිංහල භික්ෂුවක විසිනි.

‘සික්’ නමින් හැඳුනුම් ලබන ජන කණ්ඩායම පංජාබය ජන්ම භූමිය කරගත් ප‍්‍රධාන ජන කණ්ඩායමයි. පසුගිය කෙටි කාලය තුළ සිංහල ජීවිතයේ බරපතල වෙනස්කම් සිදුවන්නට පෙර සිංහලයින් බහුතරයකගේ ස්වරූපය සික්වරුන්ට සමාන විණි. ඔවුහු කොණ්ඩ බැඳ ඊට උඩින් ජටාවක් බැඳගත්හ. රැුවුල වැවූහ. කුඩා උල් පිහියක් භාවිතා කළහ.

වයඹ දිගින් පැමිණි ඕනෑම විදේශීය ආක‍්‍රමණිකයකු සමඟ සටන් කිරීමේ ඉතිහාසයක් පංචනදී ජනතාවට තිබේ. සික් නමින් ආගමක්් බිහිවන්නේ ද, පංචනදී ජනතාවට මුස්ලිම් ආක‍්‍රමණිකයින්ට මුහුණ දීමට සිදු වූ බැවිනි. ඖරංශිබ් නමැති පාලකයා ඉස්ලාම් ආගම වැළඳ නොගන්නා පංජාබ වැසියන්ගේ හිස් ගසා දැමීමට නීතියක් ප‍්‍රකාශ කළ විට, ගුරු ටෙයි බහදුර් ඉස්ලාම් ආගම නොපිළිගෙන මරණය තෝරාගනිමින් සිය ජනතාව ධෛර්යවත් කළේය.

හැම සික් ජාතිකයෙක්ම සිං කෙනෙකි. සිං යනු සංස්කෘත හා පාළි ඇතුළු සියලූම ප‍්‍රාචීන භාෂාවලින් සිංහයා හැඳින්වූ මූල ශබ්දයයි. සික්වරුන් සිං නම භාවිතා කිරීමෙන් ප‍්‍රකාශ කරන්නේ ඔවුන් සිංහයින් හා සමාන අභීතයින් බවයි. ලංකාව සිංහයින් වාසය කළ රටක් නොවේ. නමුත් සිංහයා සිංහල ජාතියේ සංකේතයයි. සිංහල ධජයෙන් පෙන්නුම් කරන්නේ කඩුවක් ඔසවාගත් සිංහයෙකි.

පංචනදි ප‍්‍රදේශය කාලයක් ඉන්දියානු බුදුසසුනේ කේන්ද්‍රස්ථානයක්ව පැවති ස්ථානයකි. ඉන්දියාවේ අවසාන ධර්ම සංඝායනාව මෙහි පැවැත්විණි. පංජාබි ජනයා අප‍්‍රියෙල් මාසයේ 13 සහ 14 දිනයයන්හි සමරන අලූත් අවුරුද්ද ඉන්දියාවේ අනිත් ප‍්‍රාන්තයන්හි අලූත් අවුරුද්දම නොවේ. එය හැඳින්වෙන්නේ ‘විසාකි’ (වෛසාකි) නමිනි. සංස්කෘත ‘වෛශාඛ’ යනු සිංහලට පෙරළෙන්නේ වෙසක් ලෙසිනි. පංජාබින් ‘බන්ග්රා’ සංගීතය සකස් කරගෙන ඇත්තේ වෛසාකි උත්සවය වෙනුවෙන් චිරාත් කාලයක් මුළුල්ලේ පවත්වන ජන නැටුම් හා ගායනා ඇසුරෙනි. මීට සමාන ජන නැටුම් සහ ගායනා ඉංග‍්‍රීසි පාලන සමයේදීත් සිංහලයින් අතර පැවති බවට තොරතුරු පවතී. සිංහල රටේ වෙසක් උත්සවය සිංහල අලූත් අවුරුද්දෙන් පසුව මැයි මාසයේ පවත්වන බෞද්ධ උත්සවයකි.

සිංහල ඉතිහාසය මැකීමට ලංකාව යටත් කිරීමට පැමිණි හැම විදේශ ජාතියක්ම උත්සාහ දරා තිබේ. මෙය ඉංග‍්‍රීසි කාලයේදී සාර්ථක වූයේය. ලංකාව නිදහස ලැබූ නමුදු බි‍්‍රතාන්‍යයන් පිහිටුවූ අධ්‍යාපන ක‍්‍රමය වෙනස් නොවූ නිසා සිංහල ඉතිහාසය මැකීමේ වැඩ පිළිවෙළ දිගටම ක‍්‍රියාත්මක වූයේය. පැරණි පොත පතේ සඳහන් වන ඉතිහාස තොරතුරු නොසලකා හැරීම එහි ප‍්‍රතිඵලයකි.
පාළි මහාවංශය ලියවුන පුස්කොළ පොත් සොයාගෙන මුද්‍රණය කිරීමේදී නොයෙක් වැරදි සිදුවී තිබේ. එය ඉංග‍්‍රීසියට පරිවර්තනය කිරීමේදී ඊටත් වඩා ලොකු වැරදි සිදුවී ඇත. විජය කුමරු දකුණු මදුරා රටින් කුමරියක් පවා ගැනීමේ පුවත උදාහරණයකි. මෙය වෙනස් කර, විජය පාණ්ඩ්‍ය රටේ මදුරා නුවරින් බිසවක ගෙනා බවට ලියවී තිබේ. ඒ වරදින් සිදු වූයේ විජය දෙමළ සම්භවයක් ඇත්තෙකැයි අදහසක් ඇති වීමයි.

සිංහල සාහිත්‍යයේ අඩංගු ඉතිහාස තොරතුරු මගින් මෙවැනි වැරදි නිවැරදි වේ. පසුගිය කාලය තිස්සේම සිදුවී ඇත්තේ සිංහල සාහිත්‍යයේ සඳහන් ඉතිහාස පුවත් නොසලකා හැරීමයි. සිංහලෙන් ලියවුන ශ්‍රේෂ්ඨතම මහාකාව්‍යය වශයෙන් පිළිගැනෙන ‘කව්සිළුමිණ’ නිදසුනකි. කව්සිළුමිණ කාලයක්ම විශ්වවිද්‍යාලයේ සිංහල විෂය සඳහා නිර්දිෂ්ඨ ග‍්‍රන්ථයක්ව පැවති නමුත් කිසිම අවස්ථාවක එහි අඩංගු ඉතිහාස කතාව සැලකිල්ලට ගෙන නැත.

කව්සිළුමිණට වස්තු වී ඇත්තේ කුස ජාතක කතාවයි. පන්සිය පනස් ජාතක පොතට අයත්, සිංහල රටේ අතිශයින් ජනප‍්‍රියව පැවති ජාතක කතාව කුස ජාතකය වේ. මෙහි අඩංගුව ඇත්තේ අති සුන්දර පේ‍්‍රම වෘත්තාන්තයකි. දඹදිව ඉක්ෂවාකු රටේ රජතුමාගේ පුත් අවලස්සන කුස, මදුරා රාජ්‍යයේ රජතුමාගේ සුරූපී දියණිය ප‍්‍රභාවතීට ආදරය කිරීමේ කතා පුවත එහි අඩංගු වේ.

පංචනදී ප‍්‍රදේශයට අයත් මදුරා රට කොටස් දෙකකින් යුක්ත වූ බව ඉන්දීය මූලාශ‍්‍රවලින් පැහැදිලි වේ. නැගෙනහිර මදුරාව චේනබ් සහ රවි ගංගාව අතර පිහිටා තිබුණි. චේනබ් සහ ජේලම් ගංගා බටහිර මදුරාවේ භූමි සීමා විණි. මදුරා රටේ අගනුවර වූයේ සාගල් නුවරයි. එදා සාගල්, වර්තමාන පකිස්තානයේ සියල්කෝට් නගරයයි. නාගසේන හිමියන් සමඟ වාද කළ මිනැන්ඩර් නමැති ග‍්‍රීක රජුගේ අගනුවර සාගල බව මිලින්ද ප‍්‍රශ්නය නමැති පාළි ග‍්‍රන්ථයේ ඉතා පැහැදිලිව සඳහන් වේ.

මදුරා දේශයේ උපදින අප්සරාවන් බඳු සුරූපී කාන්තාවන් පිළිබඳ බොහෝ කතාන්දර පැරණි සංස්කෘත සාහිත්‍යයේ අඩංගු වේ. පියාගේ මරණයෙන් පසු සිංහපුරයේ සිංහාසනය හිමි කරගෙන සිටි සුමිත්ත, තම සොහොයුරා විජය ඇතුළු සිංහල රටේ වෙසෙන නෑයන්ට සුදුසු කුමරියන් තමාගේ බිසවගේ රට වූ මදුරාවෙන් සිංහල රට වෙත පිටත් කර යවා තිබේ.

විජය මදුරා කුමරියක පාවා ගැනීම මෙන්ම, පංචනදී ප‍්‍රදේශයේ රජවරුන් සිංහල කුමාරිකාවන් විවාහ කර ගැනීමේ චාරිත‍්‍රයක්ද පැවත ඇත. කනෞජ නමැති අධිරාජ්‍යය බිහි කළ ශ‍්‍රී හර්ෂදේවයන් රචනා කළ ‘රත්නාවලී’ නමැති සංස්කෘත නාට්‍යයේ තේමාව මෙවැනි විවාහයක් පිළිබඳ සිද්ධියකි. වත්ස රටේ උදයන රජතුමා රත්නවල්ලි නමැති සිංහල කුමාරිකාව විවාහ කරගත් බව එහි කියවේ. ‘රත්නාවලී’ නාට්‍ය පොළ පොත, කාලයක්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල විෂය හදාරන්නන්ට නියමිතව තිබුණු පොතකි. රත්නාවලී පොත ගැන මහාචාර්යවරුන් ලියූ විචාර තිබේ. එහෙත් කිසිම අවස්ථාවක ඉතිහාස කතාව ගැන වචනයක් සඳහන් කර නැත.

රත්නාවලී නාට්‍යයේ උප කතාවකින් වත්ස රටට යාබද අවන්ති රටේ රජතුමා සිංහල කුමාරියක බිසෝ කරගෙන සිටි බව සඳහන් වේ. අශෝක රජතුමා බෞද්ධයෙකු වීම, ඔහු අවන්තියේ පාලකයා වශයෙන් කටයුතු කරන කාලයේ සිද්ධියකි. ලංකාවේ බුදු සසුන පිහිටුවන ලද්දේ, අවන්ති රටේ විදිසා නගරයේ සාංචි විහාරයේ සිටි පැමිණි මහින්ද හිමියන් ප‍්‍රධාන භික්ෂුන් වහන්සේ පිරිසක් විසිනි.

මුස්ලිම් ආක‍්‍රමණ නිසා සිංහල – පංචනදී සම්බන්ධතා සම්පූර්ණයෙන් බිඳ වැටුණි. දකුණු ඉන්දියාවේ විජයනගර් නායක්කර් සහ කැලිකට්හි සැමොරින්ගේ රාජධානින්හි බලය සිංහල රාජධානි වෙත එල්ල විය. ලංකාව යටත් කිරීමට පැමිණි යුරෝපීන්ගේ කාලයේ සිදු වූයේ සිංහල බලය යටපත් කිරීමේ කටයුතුයි. උතුරේ දෙමළ ජනයාට, ඉංග‍්‍රීසින් නැගෙනහිර පදිංචිකරවූ මුස්ලිම් ජනයාට දකුණු ඉන්දියාව සමඟ සම්බන්ධකම් පැවැත්වීමට නොයෙක් පහසුකම් සැලසුන නමුත් සිංහලයන්ට ඉන්දියාව සමඟ මොනම සබඳකමක් වත් ඇති කරගැනීමට පහසුකම් සැලසී නැත.

අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව බේරාගැනීමට වෙහෙසුන නමුත් සිංහල භාරතීය නෑ සබඳකම් සියල්ල ඉතිහාසයේ සැඟවී ගොසිනි. මේ සඳහා වෙහෙසෙන්නැයි පසුගිය කාලය තිස්සේ රාජ්‍ය නායකයින්ගෙන් හා වගකිව යුතු පුද්ගලයින් ගණනාවකගෙන් අප ඉල්ලා සිටියත් ඒ කිසිවකු ඒ ගැන සැලකිල්ලක් දක්වා නැත. රටේ ජාතික නායකයින්ගේ බලවත් හිඟයක් පවතී. දේශපාලනඥයින්ගෙන් ඊට සහායක් ලැබේ යයි සිතිය නොහැකිය.

විදේශ රටවල වෙසෙන උගත් සිංහලයන්ට රට ජාතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට පුළුවන. සැලකිය යුතු සිංහල ඩයස්පෝරාවක් තිබේ. නොයෙකුත් දක්ෂකම් ඇති සිංහලයෝ විදේශයන්හි වෙසෙති. මොවුන් අතර ඇමරිකාවේ වෙසෙන සිංහලයන්ට ඒ සඳහා වැඩි හැකියාවක් ඇතැයි අප සිතන්නේ, වෙනත් රටවල සිංහලයන්ට ඒ කළ නොහැකිය යන හැඟීමෙන් නොවේ. ඇමරිකාවේ හැම භාරතීය ජන කණ්ඩායමක්ම වෙසෙන බැවින් ඔවුන්ට සමීප වීමේ හැකියාව එහි වෙසෙන සමහරෙකුට ඇත. ඔවුන්ට ඉංග‍්‍රීසි භාෂාව ආධාරයෙන් ඇමරිකාවේ වෙසෙන භාරතීයයන් සමඟ ගනුදෙනු කිරීමට පුළුවන. භාරතයේ පළ වන පුවත්පත් සඟරා යනාදියට සිංහල භාරතීය සබඳකම් විස්තර කරමින් තොරතුරු ඉදිරිපත් කිරීමට පුළුවන. එවැනි කටයුතුවලට ඉදිරිපත් වන ඕනෑම සිංහලයෙකුට අප දන්නා ඉතිහාස තොරතුරු සැපයීමට පුළුවන.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link