ටිරාන්ගේ සිංහ පාට් සහ සෝමරත්නගේ බබා පාට්

Last Updated on 1 month by admin

ලංකාව, සිංහල ද්වීපය වශයෙන් ප‍්‍රසිද්ධ වීමට පෙර සෙරන්ඩිබ්, රත්නදීප, තැප‍්‍රබෝන් ආදී වෙනත් වෙනත් නම්වලින් ප‍්‍රසිද්ධව පැවතුණි. එය සිංහල ද්වීපය වූ පසු රටේ වැසියන්ව හඳුන්වා ඇත්තේ සිංහලයින් නමිනි. සිංහලයින්ගේ මුල පිළිබඳ කතා ගණනාවක් පැවතුණි. සිංහල සිංහාසනයේ උරුමය කාලිංගයන්ට හිමිවිය යුතු යැයි කියැවෙන කතාව කාලිංග සිංහලයන්ගේ කතාවකි. විජය කුමරාට මධු කුමරියක ගෙනා කතාව පංජාබ් සිංහලයින්ගේ කතාවකි. බෙංගාල කතාවක්ද තිබුණි. අනුරාධපුරයේ දික්සඳ සෙනවියා පිරිවෙනෙහි අධිපති මහානාම හිමියෝ, සිංහලයින්ගේ ඉතිහාස කතා එක කතාවකට සම්පින්ඩනය කර මහාවංශයේ විජය රජුගේ කතාව සකස් කළහ.

සිංහලයෝ මහාවංශ කතාව ඇසුරෙන් විවිධ නිර්මාණයන් කළහ. බි‍්‍රතාන්‍ය පාලනයෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගැමි නාඩගම් ඇසුරින් ‘සිංහබාහු’ නාට්‍යය නිෂ්පාදනය කළේය. දශක කීපයකට පෙර ‘සිංහබාහු’ නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කර තිබුණි. එය මහාවංශයේ සිංහබාහු කතාව නොව මෑත යුගයේ කතාවකි. නමුත් එහි සිංහබාහු කතාවේ ඡායාවක් තිබුණි. ඉතා මෑතක ආචාර්ය සෝමරත්න දිසානායක සිංහබාහු කතාව ඇසුරින් චිත‍්‍රපටියක් නිපදවා ඇත්තේ ඒ කිසිවක් සැලකිල්ලට ගෙන නොවේ.

‘‘මම ඉස්කෝලෙ යනකොට තමයි මුලින්ම මේ හැඟීම ඇතිවෙන්නෙ. සිංහබාහු කතා ඇතුලේ මට ලොකු අපුලක් දැනුනා. සිංහයෙක්ට දාව එහෙම නැත්නම් තිරිසන් සතෙක්ට දාව අපේ පරපුර ආරම්භ වුනා කියනකොට ඒක මදිපුංචිකමක් හැටියට තමා මට දැැනුනෙ.’’ (සතිඅග අරුණ, පිනි පළස, 2024 මැයි 05)

ලෝක ජනගහණයෙන් වැඩි කොටසක් යුදෙව් ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් හෝ ආගම් අදහති. ඒ කිසිම අදහන්නෙකුට බයිබලයේ සඳහන් මැවීම කතාව ගැටලුවක් නොවේ. ‘‘…මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන්වහන්සේ ඔහුගේ ඉලඇට වලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. උන්වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත‍්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක’’ (2:21:22) යැයි බයිබලයේ සඳහන් වේ.

ලෝකයේ, කාන්තාව ගලවා ගැනීමේ සංවිධාන මිලියන සංඛ්‍යාවක් තිබේ. පුරුෂයාගේ ඉල ඇටයෙන් ස්ත‍්‍රිය මැවීම ගැන අසා, කාන්තා සංවිධානයන්හි කිසිම කාන්තාවකට අපුල හැඟීම් ඇති වී නැත. එවන් හැඟීමක් ඇති වූව කියා, බයිබල කතාව වෙනස් කිරීමට මොනම කාන්තාවක් හෝ උත්සාහ නොකරයි.

ලංකාව කිසි කලෙක සිංහයින් වාසය නොකළ රටකි. ඉන්දියාවේ සිංහයෝ වෙසෙති. ‘සිංහල’ නමින් මනුෂ්‍ය කණ්ඩායමක් වාසය කළ බවට ඉන්දියාවෙන් සාක්කි නොලැබේ. ඇතැම් ඉන්දියානු ඉතිහාසඥයින් පැහැදිලි කරන ලෙසට, බෞද්ධයින්, මාගධී භාෂාවෙන් සිංහයින් වශයෙන් හඳුන්වනු ලැබ තිබේ. ධර්මාශෝක රජතුමා සිංහ නගරයක් (සාරනාත්) ගොඩනැංවූයේය. ඒ සියලූ කරුණු සැලකිල්ලට ගන්නා ඔවුන්, ‘සිංහල ද්වීප’ යන්නේ අර්ථය බෞද්ධයන්ගේ රට යැයි කියති.

සුප්පා දේවි සිද්ධිය කාලිංගයේ කතාවකි. නූතන ඉතිහාසකරුවන් පෙන්වන ලෙසට, පැරණි කාලිංගය යනු වත්මන් ආන්ද්‍ර ප‍්‍රදේශයයි. සුප්පා දේවි කතාව වැනි විශ්මිත කතා ඉදිරිපත් කරමින් තෙලිඟු චිත‍්‍රපටි නිපදවන සිනමාකරුවන් ආන්ද්‍ර ප‍්‍රදේශයේ හිඟ නැත. සමහර චිත‍්‍රපටි නිෂ්පාදකයෝ අපූර්ව නිර්මාණ ඉදිරිපත් කරති. ‘ස්පයිඩර් මෑන්’ නිදසුනකි. සෝමරත්නගේ ක‍්‍රියාව ඊට වෙනස් එකකි. ඔහු සිංහල ජාතික උරුමයක් තමාට ළමා කාලයේ ඇති වුන අපුල අදහසක් නිසා වෙනස් කරයි.

සමහර පුංචි ළමයි ‘මම උපන්නෙ කොහොම දැයි’ දෙමාපියන්ගෙන් අසති. මව ගැබ්බරව සිටින විටද ඊට සමාන ප‍්‍රශ්න අසති. දෙමව්පියන් උත්තරයට කියන්නේ ඇත්ත සිදු වීම නොවේ. ඔවුන්ගෙන් ’දෙයියො මල්ලියෙක්, නංගියෙක් එවලා’ වැනි පිළිතුරක් ලැබුණ විට ‘එතකොට කොහොමද එයා එළියට එන්නෙ?’ නැතිනම්, ‘එතකොට මං කොහොමද එළියට ආවෙ?’ වැනි තවත් ප‍්‍රශ්නයක් ඇසීම බොහෝ ළමයින්ගේ සිරිතකි. ‘බඩ කපලා එළියට ගත්තා’, නැතිනම්, ‘බඩ කපලා ගන්නවා’ වැනි පිළිතුරක් වැඩිහිටියන්ගෙන් ලැබේ. ස්වභාවික දරු උපත් හිග, සැත්කමින් දරුවන් එළියට ගන්නා අද කාලයේ නම් එය ඇත්තකි. ඉස්සර කාලයේ එය ඇත්තක් නොවේ. එහෙත් වැඩිහිටියෝ ස්වාභාවිකව දරුවන් බිහි වන හැටි දරුවන්ට නොකියති. ඔවුන්ගේ පිළිතුරු අසන දරුවන් තරුණ වියට පත්වන්නේ ඇත්ත අවබෝධ කරගනිමිනි. එවිට ඔවුන්, ‘බොරු කිව්වා’, ‘බොරු ඉගැන්නුවා’ කියමින් දෙමාපියන්ට දොස් කියන්නේ නැත.

සෝමරත්න චිත‍්‍රපටි කතාව හදන්නේ නොවැඩුන ළමා මනසකින් බව ඔහුගේ ප‍්‍රකාශවලින් හෙලි වේ. එනිසාම ඔහුට සිංහල සාහිත්‍යය හා ඉතිහාසය නොවැටහී යයි. ළමා මනස පෙන්නා, ‘බබා පාට් එකෙන්’ සිංහල සංස්කෘතියට, ඉතිහාසයට පහර දෙනවා වෙන්ටත් පුළුවන. සිංහල උරුමයට පහර ගසා තනතුරු කීර්තිය ප‍්‍රශංසා සම්මාන ලබාගත් පුද්ගලයින් අප‍්‍රමාණ පිරිසක් සිටිති. ලොකුම වරද සෝමරත්න වැන්නන්ගේ වැරදි ක්‍රියා ජනතාවට පැහැදිලි නොකරන මාධ්‍යකරුවන් වැරදිකරුවන්ට සායම් ගෑමයි. එයින් ජන සමාජයට ලොකු අයහපතක් වේ.

සිංහල වහරේ සිංහයින් පිළිබඳ හැඳින්වීම් තිබේ. ඔවුහු සමහර පුද්ගලයින්ට ‘බලු සිංහයින්’ යැයි කියති. ඊට හේතුව සත්ව ලෝකයේ බල්ලා ස්වාමියාට දැඩි ලැදියාවක් දක්වන සතෙකු වීමයි. ග‍්‍රැම්ෆෝනය ජනප‍්‍රිය වූ කාලයේ එංගලන්ත සමාගමක් ‘හිස් මාස්ටර් වොයිස්’ නමින් තැටි නිපදවා එහි වෙළෙඳ ලකුණ වශයෙන් ග‍්‍රැම්ෆෝනයෙන් සින්දු කියන බලූ රුවක් යොදා තිබුණි. බලු සිංහයා යනු අදීනත්වයක් නැති පුද්ගලයෙකි.

සිංහල වහරේ, ‘කේශර සිංහයින්’ ගැනද කියැවේ. කේශර සිංහයා බලු සිංහයාගේ විරුද්ධාර්ථයයි. ආරක්ෂක ඇමති ටිරාන් අලස් එවැන්නෙකි. ‘යුක්තිය’ මෙහෙයුම ඔහුගේ නිර්භීතකම පැහැදිලි කෙරෙන එක සිද්ධියකි. භික්ෂුන් වහන්සේ ප‍්‍රධාන රටවැසියන් විශාල පිරිසක් ටිරාන් අලස් ඇමතිවරයාට ඇලූම් කරන්නේ පාතාලය මැඞීමට ඔහු ගන්නා උත්සාහය ගැන වැටහීමෙනි.

මෙවැනි ක‍්‍රියාවන්හි යෙදෙන ටිරාන් අලස් වැනි ඇමතිවරුන්, ආරක්ෂක ප්රධානීන් ප‍්‍රවේශම් විය යුතුයි. ඔවුන්ට අකමැති පිරිසක් බිහිවීම ලෝක ධර්මයකි. පාස්කු සිද්ධිය මුල් කරගෙන, ටිරාන් අලස් මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ විවේචනයට ලක් විය. එතැන් පටන් නොයෙක් තැන්වලින් අලස් විරෝධයක් මතුවෙමින් පවතී. පාතාලයට සම්බන්ධ ඇතැමුන් තමාට ඉල්ලා අස්වන්න බලපෑම් කරන බවට ඇමතිවරයා විහාරස්ථානයක පැවති උත්සවයක දී පවසා තිබුණි. කේශර සිංහයින්ට මිස බලු සිංහයින්ට මෙවැනි විරෝධතා ඇති නොවීමත් ලංකාවේ ස්වභාවයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link