තායි – ලංකා බෞද්ධ සබඳතා

Last Updated on 4 months by admin

තායිලන්තය යනුවෙන් වර්තමානයේ හඳුන්වන රට අතීතයේ දී සියම් දේශය ලෙසට ව්‍යවහාර වුණි. මොන්ගෝලියානු ජන වර්ගයට අයත් කහ මිනිසුන් ගෙන් පැවත එන මේ රට වාසීන් ගේ සම්භවය සහ සංස්කෘතික හැදියාව වර්ධනය වනුයේ බෞද්ධ මූල ධර්මයන් අනුවයි. අතීතයේ දී තාඹුලිංගමුව යනවෙන් දැක්වුණු පෙදෙස දෙකට බෙදී බුරුමය සහ තායි සියම් දේශය යනුවෙන් බෙදී වෙන් ව ගිය නමුදු දෙරටේම ක්‍රියාත්මක වනුයේ ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායයි. තායිලන්තයේ අදටත් රාජවංශයක් පැවතෙයි. ඈත අතීතයේ සිට යුග ගණනාවකට සම්බන්ධ මේ රාජ වංශය වර්තමානයේ දැක්වෙන්නේ රාම රාජවංශය යනුවෙනි. බැංකොක් නුවර රාජධානිය කරගත් මෙම රාජකීයයන් වර්තමාන දේශපාලන ක්‍රම හා සමගාමීව රාෂ්ට්‍ර පාලනය ගෙන යන නමුත් පැරණි සම්ප්‍රදායන් අනුගමනය කිරීමට බෙහෙවින්ම කැමැත්තක් දක්වති.

අතීතයේ දී බුරුම වාසීන් සියම් දේශය ආක්‍රමණය කොට අත්පත් කරගත් අවස්ථාවක් ඇත. ඒ මොහොතේ දී රජු, සිය දේශයේ නිදහස වෙනුවෙන් ඉදිරිපත්ව සියම නැවතත් ස්වාධීන කරගන්නට සමත් වූ බව ඉතිහාසය පැහැදිලි කරයි. ඒ අනුව නිදහස් ලන්තය යන අර්ථය රැගත් තායිලන්තය යන වදන භාවියට පැමිණ තිබේ. තායි වරුන් සහ ලංකාවාසී සිංහලයන් අතර සංස්කෘතික වශයෙන් සමාන කම් රැසක් දක්නට ලැබේ. ඊට හේතුව අවස්ථා කීපයකදීම මෙරට ශාසනික සම්ප්‍රදායන් සියම් දේශය විසින් ලබා ගෙන තිබීමයි. ප්‍රථම වරට සියම් ලංකා සම්බන්ධය ඇති වන්නේ පොලොන්නරු යුගයේ දීය.මහා පරාක්‍රමබාහු රජු ශාසනය පිරිසිදු කර කතිකාවත් පණවා ථෙරවාදී සංස්ථාව පිරිසිදු කළ බව ආරංචි වූ සියම් රාමඤ්ඤ ආදී රටවල භික්ෂූන් වහන්සේලා, ‘පිරිසිදු ථෙරවාදී බුදුදහම උගෙන උපසම්පදා වී තමන්ගේ රට ශාසනිකව බබළවමි’යි යන උදාර චේතනාවෙන් මෙරටට පැමිණියහ. ඉන් පසු ක්‍රි.ව.1170 දී පමණ සියම් භික්ෂූන් වහන්සේලා පැරණි තාමුලිංගමුවේ නඛොන් සිරිධම්ම නුවරට පැමිණ ලංකා සම්ප්‍රදායේ වෙහෙරක් තනා  එහි ලංකා ශාසනය ඇති කළ බව ඉතිහාසයේ සඳහන්ය. ලංකා භික්ෂූන් වහන්සේලා පැමිණි සිටි වගද උන්වහන්සේලා ගේ උසස් ගති පැවතුම් ගැනද ආරංචි වූ එවකට සියම් අගනුවර වන සුඛොදය හි සිටි සියම් රජතුමා බලවත් ප්‍රමෝදයට පත්ව උන්වහන්සේලා එහි වැඩමවා බණ අසා දායකයන් බවට පත් වූ වගද පැවසේ. එසේම එවක රාජ්‍යය හෙබවූ බුන් රාමකම් රජතුමා ලංකා භික්ෂූන් වහන්සේලා සතු උසස් ගති පැවතුම් පිළිබඳව ශිලා ලේඛනයක්ද පිහිටුවා ඇත.

මේ තත්වය මේසේ වුවද එවක සියම්හි පැවති පුරාණ ථෙරවාදී නිකාය බලවත්ව සිටි බැවින් නව ලංකා ශාසනය හා පැරණි නිකාය වශයෙන් දෙපිළිකට බෙදී පැවතියා යැයි සඳහන්ය. ලංකා ශාසනික සම්ප්‍රදායේ භික්ෂූන් ආරාණ්‍යවාසීව සිටි අතර පැරණි සියම් භික්ෂූහු නගරබදව විසූහ. මේ දෙපිරිසෙන් ලංකා භික්ෂූන් වහන්සේලා පාළි භාෂාවෙන් ද පුරාණ සියම් භික්ෂූන් වහන්සේලා සංස්කෘත භාෂාවෙන්ද කටයුතු කිරීම නිසා දෙපිරිස එක්ව විනය කර්ම කිරීමේ බාධාවක් තිබුණු බව සඳහන්ය. මේ වන විට මහජනතාව අතර ජනප්‍රියව තිබුණේ ලංකා ශාසනයයි. එම ශාසනයේ තම කුල දරුවන් පැවිදි කරවනු වස් දෙමව්පියන් කැමැත්තෙන් සිටියහ. නමුත් පුරාණ භික්ෂූන් වහන්සේලා ගේ බලපෑම නිසාවෙන්ද නගරබද දරුවන්ට දුරබැහැර ආරණ්‍ය වාසී භික්ෂූන් කර යෑමට තිබෙන අපහසුව නිසාද යම් ගැටළුවක් පැණ නැගුණු බව සඳහන්ය.

මේ අවස්ථාවේ දී රජු මැදිහත් විය. රජු දෙපිරිස කැඳවා කතිකා කොට පොහෝ සීමාවන්හි අතිරේක ගල් පිහිටුවීමට උපදෙස් දුන්නේය. ඒ අනුව සීමා ප්‍රාසාද වල නිමිති නොහොත් ගල් 16ක් ද පැරණි රාජ මහා විහාර නොවන ස්ථානයන්හි ගල් කණු අට බැගින්ද පිහිටුවන ලදී. මේ සමගම පැරණි සියම් භික්ෂූන් වහන්සේලා ගේ ඇතැම් ඉල්ලීම් වලටද ලංකා ශාසනික භික්ෂූන් වහන්සේලාට කන් දෙන්නට සිදු විය. රජතුමාද එය අනුමත කලේය. බුද්ධම් සරණං ගඡ්චාමි යන්න සංස්කෘතයෙන් ගායනා කිරීම එක ඉල්ලීමකි. මේ එකඟතාවය මත ඇති වූ සංඝ සාමාග්‍රීය නිසා දෙපිරිසම එකට විනය කර්ම කිරීම් හා පැවිදි කිරීමත් නිසා නව සියම් සම්ප්‍රදායක් ඇති විය. ලංකාවේ වාස්තු සම්ප්‍රදායික හැඩයට විහාරස්ථාන සකස් කරගත් අතර පාළි බස එහි ජනප්‍රිය විය. සියමේ සුඛොදයෙහි  රජු වූ ප්‍රචෞලිද්‍යෙ තුමා ගේ කාලය වන විට සියම් ශාසනය සෑහෙන තරම් දියුණුවක් තිබියේ යැයි දැක්වේ.

තුන්වන කාලිංග විජයබාහු සිට දැතිගම පරාක්‍රමබාහු දක්වා කාලයේ දිඹුලාගල මහ කාශ්‍යප මහ රහතන් වහන්සේ මහා සංඝ පීතෘවරයන් වහන්සේ නමක ලෙසට ජනතාව අතර ගෞරවයට පත්ව සිටියහ. රාමඤ්ඤ දේශයට වැඩම කර බව සඳහන් වන්නේ උදුම්බර වාසී කාශ්‍යප මහ රහන් වහන්සේ යැයි පොත පතේ දක්වා ඇත. උන් වහන්සේ පිළිබඳ දැන ගන්නට ලැබුණු රජු උන්වහන්සේ සියම් දේශයට වඩම්මවා සත්කාර කොට සියම් ශාසනය ශුද්ධ කළ බව සඳහන්ය. එසේම රජු කෙටි කලක් පැවිදිව සිටි බවද දැක්වේ. බු.ව. 1967 දී නොහොත් ක්‍රි.ව. 1424  දී තවත් සියම් භික්ෂූන් පිරිසක් ලංකාවට වැඩම කොට පිරිසිදු ථෙරවාදී සම්ප්‍රදාය අනුව උපසපන් වී ආපසු පැමිණි ඇති බව දැක්වේ. ඒ තෙවන වරටත් ලංකා ශාසනය සියමේ පිහිටුවන අවස්ථාවයි.

මහා ධම්ම ගාම්භීර මහා මේධංකර මහා ඤාණ මංගල මහා ශීලවංශ මහා සාරිපුත්ත මහා රතනාකර මහා බුද්ධ සාගර ආදී තෙරුන් වහන්සේලා විසිපස් නමක් සියම් රටෙන්ද මහා ඤාණ සිද්ධි තෙරුන් ප්රධාන අට නමක් කාම්බෝජයෙන්ද රාමඤ්ඤ දේශයෙන් තෙරවරුන් සය නමක්ද ද වශයෙන් තෙරුන් වහන්සේලා 38 එක් නමක් ලංකාවට සැපත්ව බු.ව. 1968 දී නොහොත් ක්රි.ව.1425 ඇසළ මස පුරපසලොස්වක ලත් ඉරුදින කැලණියේ උදකුක්ඛෙප සීමාවේ දී වනරතන සාමීන් කර්මාචාර්ය ස්වාමීන් වහන්සේ වශයෙන්ද ධර්මචාරි තෙරුන් උපාධ්යායද කොටගෙන උපසම්පදාව ලබාගෙන බණ දහම් උගෙන උපාධ්යාය තනතුර සඳහා විජයබාහු සහ උත්තම පඤ්ඤ යන සිංහල භික්ෂූන් දෙනමක්ද ධාතුන් වහන්සේලාද සිරි මහා බෝඅංකුරයක්ද පොත්පත්ද ද රැගෙන බු.ව. 1974 දී නොහොත් ක්රි.ව.1433 දී ආපසු සියමට වැඩම කළහ. මේ සමය වැටෙන්නේ කොට්ටේ ශ්රී ජයවර්ධන පුර රාජ්ය කාලයටයි. එසේම සියමේ රාජ්ය කලේ පරම ත්රෛයිලෝකනාථ රජතුමා බව සඳහන්ය.

මෙලෙස සියම් රටත් ලංකා රාජ්‍යයත් අතර දැඩි සම්බන්ධයක් ඇති විය. බුදු දහම පමණක් නොව රාජ්‍ය පාලනය අතින් පවා සම්බන්ධතා දැඩි විය. කෝට්ටේ යුගයේ දළදා වහන්සේ භාරව සිටි කීරවැල්ල පරපුරේ කඳුරේබණ්ඩාරයන් ගේ දියණියක දෙවන රාමාධිපති රාජ්‍ය සමයේ දී ( ක්‍රි.ව. 1489 ) සියම් රජුට විවාහ කර දුන් බව සඳහන්ය. ඇය රාමවතී යනුවෙන් සඳහන්ය. මේ විවාහ සම්බන්ධකම් මත දෙරට අතර දැඩි දේශපාලන සබඳකමක් ඇති විය. දළදා පෙරහැර සඳහා සියම් දේශයෙන් ඇළි ඇතෙකු ගෙන ඒමේ සිරිත ඇති වූයේ මේ සබඳකම නිසාය. මේ විවාහ සබඳකම පිළිබඳ ලංකාවේ මූලාශ්‍ර මද වුවද සියම් රටෙන් ඒ මූලාශ්‍ර සොයා ගත හැකි යැයි සිතමි. කෝට්ටේ යුගයේ දී සුඛොදය නුවරට රැගෙන ගියේ සිංහල වංශයයි. ඒ සුඛොදයත් අයුධ්‍යා රාජ වංශයත් අතර කාලයයි. මේ කාලයේ දී  එහි ආරාම පිහිටවූහ. උතුරු සියමේ මේ පන්සල් ඇත. සිංහල වංශය පැරණි ලංකා වංශයත් මේ දෙකම රිසි සේ වැඩුණු අතර ග්‍රාම වාසී ආරණ්‍ය වාසීව වැඩ විසූ  භික්ෂූන් වහන්සේලා දෙපිරිසම පසු කාලයේ දී ශ්‍යාම වංශය යනුවෙන් හැඳින්වෙන්නට පටන් ගත්හ.

ලංකාවේ රජ කළ අවසන් සිංහල රජු යැයි සැළකෙන වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසුව සුදුසු රාජවංශයක කුමරියක නොවීමෙන් හටගත් ගැටළුව සමහන් කරගත්තේ මධුරාවෙන් නායක් කුමරියක ලබාගෙනයි. මේ නිසා එවක බලවත්ව සිටි වඩිග රාජවංශයක් ලංකාවේ බලයට පත් වූහ. නමුත් කළ ක්‍රියාව මෝඩකමක් යැයි වටහා ගන්නට වැඩි කලක් ගත නොවීය. කෝට්ටේ යුගය අවසානය වන විට සිංහල ශාසනය පිරිහී ගිය අතර පළමුවන විමලධර්ම සූරිය රජු උපසම්පදාව පිහිටුවා ලීමට කළ උත්සාහයන් අසාර්ථක වූ බැවින්, නායක්කර් යුගයේ දී වැලිවිට සරණංකර සංඝරාජ  හිමියන්ගේ මූලිකත්වයෙන් නැවත කළ උත්සාහය සාර්ථක විය. එනම් අප කවුරුත් දන්නා පරිදි සියම් රටෙන් උපසම්පදාව රැගනෙ සියම් උපාලි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙරටට වැඩම කිරීමයි.

 එකල  රදළවරු සහ නිලමේවරු රජු සමග බැඳි සිටියහ. කීර්ති ශ්‍රී රාජසිංහයන්ද බුදු සසුනට මහත් මෙහෙයක් කළ බැවින් රජු නෙරපීමට කිසිවෙකුත් ඉඩ නුදුන්හ. එහෙත් සෙනරත් රජු සමයේ සිට මෙතෙක් සැඟවී සිටි රාජ වංශිකයන් උත්සාහ අත් නොහළහ. සියම් රාජ වංශය සමග තිබෙන ලේ ඥාති සම්බන්ධකම නිසා සියම් කුමරෙකු බලයට පත් කිරීමට ගත් උත්සාහයක් විය. නමුත් එය ව්‍යර්ථ විය. කෙසේ වෙතත් සියම් උපාලි හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ඉතාමත් දුෂ්කර තත්වය යටතේ ලංකාවට වැඩම කොට ශ්‍යාම උපසම්පදාව යළි පිහිටුවීම සිදු නොකළා නම් අදටත් බුද්ධ ශාසනය පවතින්නේ නැත. ඒ නිසා ලක් බුදු සසුනේ නැගීමට මෙන්ම සියම් රටේ බුදු සසුනේ නැගීමටද  මෙරට මුල් බුදු සමය උපකාරී වූ බව සිහිපත් කළ මනාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link