සිරගෙවල්වලට කුරුසය යැවූ ඔබ දැන් රතු කුරුසයේ ද?

Last Updated on 4 months by admin

සති අන්ත පුවත්පතක පළ වූ විශේෂාංග ලිපියක, අම්මා මුං කඩමින් කී ජාතක කතාවලින් සාහිත්‍ය දැනුම පෝෂණය කරගත් විදුහල්පතිවරයෙකු ගැන විස්තර සඳහන් කර තිබුණි. රටේ උසස් තනතුරු හොබවන වැඩි පිරිසක් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් විශ්වවිද්‍යාලට ගිය ගැමි දරුවන් බවට මෙම ලිපියත් සාක්කියකි. ලංකාවේ බොහෝ ගම්වල ළමයින්ට විශ්වවිද්‍යාලයට යන්නට මග පෑදුනේ බණ්ඩාරනායක අගමැතිවරයා සිංහල රාජ්‍ය භාෂාව කිරීම, කන්නංගර ඇමතිවරයා මධ්‍ය විද්‍යාල ඇරඹීම සහ සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව මහා විද්‍යාල පටන්ගැනීම හේතුවෙනි. උගත්කම ලැබූ පසු ඔවුන් බොහෝමයක් දෙනා උසස් රැකියාවක් ලබා ටයි පටිකාරයින් බවට පත් වේ. ගමකින් බිහි වූ මෙම විදුහල්පතිවරයා පුුවත්පතේ පෙනී සිටින්නේද ටයි පටියක් බැඳගෙනයි.

ටයි පටියක් බැඳ ගැනීම වරදක් නොවේ. සිංහල තරුණයන් සරම අඳින කාලයේ සරම හිරවීමට ‘කිරිකැට්’ නමින් ටයි පටියක් බැඳීමේ මෝස්තරයක් තිබුණි. වර්තමානයේ බොහෝ දෙනා ටයි පටියක් බැඳගන්නේ එයින් පෞරුෂත්වයක් ලැබේය යන කල්පනාවෙනි. එයින් හීනමානය සහ නිවටකම ප‍්‍රකාශ වන බව ඇතැමුන්ගේ අදහසයි.

ශීතල දේශගුණය ඇති යුරෝපා රටවල මිනිස්සු ටයි බඳින්නට ප‍්‍රධාන හේතුව ශරීරයේ උෂ්ණය රඳවා ගැනීමයි. ඉන්දියාව, ලංකාව, මාල දිවයින වැනි රටකට මෙවැනි රටවලින් එන සංචාරයකින් වැඩි පිරිස ටයි බැඳගත්තවුන් නොවේ. ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් (කනිෂ්ඨ) රාජකාරියකට ඇෆ්ගනිස්ථානයට යන විට ටයි පටියක් පැළඳ නොසිටියේය. අනුර කුමාර දිසානයක ඉන්දියාවේදීත් ටයි පටියක් බැඳගෙන සිටියේය. එය අදීන දේශපාලන නායකයකුට උචිත හැසිරීමක් නොවේ.
ලංකාව ශීතල රටක් නොවේ. දිළිඳුභාවයෙන් ගැළවෙන්නට නොහැකි වූ ගම් විශාල සංඛ්‍යාවක් මෙහි ඇත. එවන් පසුබිමක ටයි බඳින විදුහල්පතිවරු ගම්බදත් සිටිති. ඔවුන් සනීපය සඳහා කරන්නේ පාසලේ මුදලින් වායුසමනය කර කාමරයක් පිළියෙල කර ගැනීමයි. මෙය වරදකි. රටේ අධ්‍යාපන ඇමතිවරයාගේ පටන් විදුහල්පතිවරුන් දක්වා ටයි පටියට ඇල්මැති සියලූ අධ්‍යාපන බලධරයන් කරන්නේ අනාගත පරපුුරට වැරදි ආදර්ශයක් සැපයීමයි.

ටයි පටියේ උපත මැද පෙරදිග ශිෂ්ටාචාරයක් යයි සිතන්නෝ සිටිති. ඊජිප්තුවේ වහලූන් නහයෙන් ගලන හොටු පිසදා ගැනීම සඳහා බෙල්ලේ රෙදි කැබැල්ලක් බැඳගෙන සිටින්නට ඇතැයි තවත් සමහරු කියති. වහලූන් යනු හොටු පිහදාගන්නට වත් නිදහසක් තිබූ මිනිසුන් පිරිසක් නොවේ. යේසුස් වහන්සේ සහ නබීතුමා මැදපෙරදිග විසූ ශාස්තෘවරුන් දෙදෙනෙකි. යේසුස් වහන්සේව දැක්වෙන පැරණි සිතුවම් කිසිවක ටයි පටියක් දක්නට නැත. ග‍්‍රීක ප‍්‍රතිමාවන්හි දැක්වෙන උගතුන් හා දෙවිවරුන් අතරත් ටයි පැළඳගත්තෙකු නැත.

අරාබි නායකයෝ ටයි නොපළඳිති. බටහිරුන් කලක සිට මැද පෙරදිග ඉස්ලාමිකයන්ගේ සංස්කෘතික උරුමයන් කඩා දමන්නට වෙහෙසෙන හැටි ඇතැම් ඉස්ලාම් නායකයෝ කියති. ඔවුන් තර්ක කරන ලෙසට කාන්තාවන්ගේ හිජාබය ඉවත් කිරීමේ උත්සාහයේ් ආරම්භය පටන්ගත්තේ ඉරානයේ ෂා රජුගේ කාලයේදීය. ෂා බටහිරට දැක්වූ දැඩි හිතවත්කම හේතුවෙන් ඉරානයේ ආගමික විප්ලවය ඇතිවූ බව ඔවුන්ගේ අදහසයි. බටහිරට පක්ෂව කටයුතු කරන අතර සංස්කෘතික උරුමය වූ ඇඳුම ආරක්ෂා කර ගැනීම මැද පෙරදිග හැම රටකම නායකයින්ගේ පොදු සිරිතයි.

කැනඩාව අල්ලාගත් සුදු ජාතිකයෝ ක‍්‍රිස්තියානි බෝඩිං පාසල් පිහිටුවමින් ස්වදේශිකයන්ගේ දරුවන් පැහැරගෙන ගොස් ඒවායේ ගාල් කරන්නට ගත්හ. 1863 – 1998 අතර කාලයේ් ළමුන් 150000ක් බෝඩිංවල සිරකරන ලද බව කැනේඩියානු වාර්තාවල දැක්වේ. තමන්ගේ භාෂාව කතා කරන, ඇදහිලි රකින, කතාන්දර කියන බෝඩිං ළමයින්ට දැඩි ද`ඩුවම් ලැබුණි. මෙසේ හිංසනයට ලක්ව මියගිය ළමයින්ගේ සමූහ මිනීවලවල් මතුවී තිබේ. 2008 වසරේදී කැනඩා රජය ඒ වැරදි වෙනුවෙන් සමාව ඉල්ලා සිටියාය. 2022 දී පාප්තුමා, ස්වදේශික ජන සහාරය පිළිබඳව නිල වශයෙන් සමාව ඉල්ලා සිටියේය.

ලංකාවේ ද මෙය සිදු වී තිබේ. උඩරට කැරැල්ලට සම්බන්ධ නායකයින් විශාල පිරිසකගේ අඹුවන් සහ දරුවන් මොරටුවට ගෙනත් ගාල්කර ඇත. උඩරට කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ නිලමේතුමාගේ භාර්යාව සහ දරුවාත් ගෙනැවිත් තිබේ. මේ දරුවා කෝට්ටේ සීඇම්ඇස් බෝඩිමේ රඳවා සිටියදී මරණයට පත්ව ඇත.

පිටරටවලට ගොස් සිංහල බෞද්ධයන්ට සිදු වන අකටයුතුකම් ගැන වචනයක් නොකියා ඔවුන්ගේ නුගුණ කියන දේශපාලනඥයෝ ලංකාවේ සිටිති. පෙඩරල් පක්ෂයේ නායකයින් බොහෝමයකගේ හැසිරීම නිදසුනකි. ඊට සමාන සිංහලයෝත් සිටිති. වරක් දෙමළ සම්භයවක් ඇති, සිරිමාවෝ බණ්ඩාරනායකගේ බෑණා කුමාර් රූපසිංහ බර්ලිනයට පැමිණියේ එවැනි ක‍්‍රියාවකට බව දැනගන්නට ලැබුණි. ඔහු ප‍්‍රසිද්ධව සිටියේ වාමාංශිකයෙකු වශයෙනි. 1971 කැරැල්ලට හසුවී අත් අඩංගුවට ගෙන සිරගෙවල සිටි තරුණයින් කුමාර් රූපසිංහගේ ‘ජනවේගය’ට එක් වූයේ බුරුතු පිටිනි. මැගසින් බන්ධනාගරයේ සිටි ඇතැම් ජවිපෙ නායකයින් ජනවේගයට ආධාර වශයෙන් කෑම වේලක් පරිත්‍යාග කරන්නට සූදානම් වූහ.

කුමාර් රූපසිංහගේ බර්ලින් දේශනය බර්ලින් රතු කුරුස සංවිධානය විසින් සංවිධාන කරන ලද්දකි. කථිකයා පිළිගෙන ඔහු සමග ඡායාරූපකට පෙනී සිටීමට කැමැති පිරිසක් බර්ලිනයේ සිටියහ. ඔවුන් රැස්ව සිටි දේශන ශාලාවට ඇතුළු වී රතු කුරුසේ කාන්තාවක මගින් කුමාර් රූපසිංහට කෙටි ලිපියක් යැවීමට අපට හැකි විය. ‘‘සිරගෙවල්වලට කුරුසිය යැවූ ඔබ දැන් රතු කුරුසියේ ද?’’ යන ප‍්‍රශ්නය එහි සඳහන් කර තිබුණි. ලිපිය කියවූ කුමාර් රූපසිංහ දේශනය නොපවත්වා අසනීප බව කියා රැස්වීමෙන් පිටව ගියේය.

කැනඩාවට පැමිණි අනුර කුමාර දිසානායක පිළිගන්නට ගුවන් තොටුපළට පැමිණි පිරිසගේ ඡායාරූප පුවත් පත්වල පළ වී තිබුණි. ඔහු සමග ඡායාරූපවලට පෙනී සිටි සමහරු ඒවා දමමින් මුහුණු පොත අලංකාරකර ගත්හ. අපි, ඒවා වැරදි යයි නොකියමු. වරදක් හැටියට අප දකින්නේ, අනුර, කොටි යුද්ධය අවස්ථාවේ කැනඩා රජය ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත ගැන නොදන්නා සේ හැසිරීමයි. ඒ කාලයේ ලංකාවේ කැනඩා තානාපති කාර්යාලය සිංහලයන්ට දැක්වූ සැලකිල්ල ගැනවත් ඔහු සඳහන් නොකළේය. මෙය තනිකරම බියගුලූ ප‍්‍රතිපත්තියකි.

‘තමාගේ අත්දෙක අල්ලාගත් පෙඩරල් පක්ෂයේ නායක සම්පන්දන්, ජාතිය නිසා ලංකාව තුළ දෙමළ ජනයා දෙවැනි පංතියේ පුරවැසියන් වී සිටින බව කීවේ යැ’යි පැවසූ අනුර, කිසියම් පුද්ගලයෙකුට උපතින් ලැබුණු ජාතිය හෝ ආගම නිසා දෙවැනි පංතියේ පුරවැසියෙකු යන හැඟීම ඇතිවන්නේ නම් ඒ ස්වභාවය අහෝසි කළ යුතු බව කීවේය. මෙය සිංහලයන්ට සහ බෞද්ධයන්ට නින්දා කිරීමේ පරමාර්ථයෙන් කළ වැරදි අර්ථ දැක්වීමකි. මෙවැනි අදහස් මානසික වහල්භාවය ඇත්තන්ගේ සිතේ ඇති වේ. දෙමළ ජනයා මුහුණපා සිටින සැබෑ ප‍්‍රශ්න ගැන දැනගන්නට අවශ්‍ය නම් අනුරට අරුන් සිද්ධාර්ථන්ගෙන් විමසිය හැකිය.

අත් දෙක එක්කර ආයුබෝවන් කීම සිංහල සිරිතකි. යමෙකුගේ අත් දෙක අල්ලා ගෙන තමන්ගේ වුවමනාව පැවසීම සිංහල සිරිත නොවේ. එය පරංගි කාලයේ ඇරඹුන පර සිරිතකි. මේ ක‍්‍රමය මගින් ස්වදේශිකයන්ට ලෙඩ රෝග බෝ කිරීමට ස්පාඤ්ඤ සහ පෘතුගීසි ආක‍්‍රමණිකයන්ට හැකි වූ බව අප අසා ඇත. කොවිඞ් වසංගතය පැතිර යද්දී ඒ කතාවේ ඇත්තක් ඇති බව පැහැදිලි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link