සුද්දාගේ සිංහල  සාහිත්‍ය  පාඩම

Last Updated on 4 months by admin

මහා ජන සංහාරයක් මගින් සිංහලයන්ගේ නිදහස් සටන පරාජය කළ බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම ලංකාවේ කටයුතු සොයා බැලීමට කොමිසමක් පත් කළාය. එම කොමිසමේ නියෝජිතයින් වශයෙන් ලංකාවට පැමිණ සිටි ඉංග්‍රීසි නිලධාරින් දෙදෙනාගේ නම් යොදාගෙන ‘කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා’ යනුවෙන් ලංකාවේ දේශපාලන විශාරදයින් කතාන්දරයක් ගොතා තිබේ. ඒ කතාව ලංකාවේ ආණ්ඩු ක්‍රමය හා දේශපාලන විද්‍යාව හදාරන්නන් අනිවාර්ය පාඩමක් වශයෙන් ඉගෙනුම ලබන්නකි. මේ පාඩම හදාරන ඔවුහු, කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පළමු පියවර බව කීමට පුරුදු වෙති.

කෝල්බෲක්-කැමරන් කොමිසමෙන් සිදු කෙරුණේ, ලංකාවේ නැවත බ්‍රිතාන්‍ය විරෝධී කැරැල්ලක් ඇතිවීම වැළැක්වීම පිණිස සිංහලයන් හික්මවීමට ගැළපෙන යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමයි. ඒ මගින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ හමුදා පාලනය තවත් ශක්තිමත් කිරීමට වුවමනා නීති හා ව්‍යවස්ථා යෝජනා කෙරිණි. ලංකාව නිදහස ලැබූ පසු පත් කරන ලද උඩරට ගැමි කොමිසම, බුද්ධ ශාසන කොමිසම වැනි කොමිසම්වලින් ඉදිරිපත් කළ යෝජනා මෙන් කෝල්බෲක් කොමිසමේ යෝජනා කුණු බාල්දියට නොවැටුණි. ඒවා නොයෙක් නොයෙක් ක්‍රමවලට ක්‍රියාවට නැංවිණි.

මිෂනාරි පාසල්වල සිංහල සාහිත්‍ය උගැන්වීම ආරම්භ කිරීම කොමිසමේ යෝජනා අතර විණි. ආණ්ඩුව ඉදිරිපත් වී සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම දැන සිටි උගතුන් යොදවා සිංහල සාහිත්‍ය පොත් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරවීය. එම කටයුත්ත සිදුවන තෙක් මිෂනාරි පාසල්වල භාවිතයට ගන්නා ලද්දේ ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබුණු ඉන්දියාවේ සංස්කෘත පොත් කිහිපයකි.

නිව්යොක් පරමවිඥානාර්ථ සමාගමේ නායකයින් ලංකාවට එනතුරු ස්වදේශිකයින්ට ඉංග්‍රීසියෙන් සිංහල සාහිත්‍ය ඉගැන්වීමේ යටත් විජිත වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නොහැකි විය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි බෞද්ධ නායකයින් විසින් මෙහෙයවනු ලැබූ බෞද්ධ ජනතාව මහත් ආගමික ගරුත්වයෙන් යුතුව මිෂනාරින් සමග වාද කළා මිස, ඔවුන්ගේ පාසල්වලට ළමයින් ඇතුළු කළේ නැත. මිෂනාරි පාසල්වලට ගියේ ක්‍රිස්තියානි ආගම වැලඳගෙන සිටි සිංහල පවුල්වල ළමයින් පමණකි. කෝට්ටේ ක්‍රිස්තියානි විදුහල වැනි තැන්වල නේවාසිකාගාර පිහිටු වූ ඉංග්‍රීසි පාලකයෝ, උඩරට කැරැල්ලට සම්බන්ධ නායකයින්ගේ දරුවන් ඒවාට ගෙනැවිත් දමා ඔවුන් විනාශ කළහ. කැප්පෙටිපොළ නිලමේතුමාගේ පුතකු මියගොස් ඇත්තේ කෝට්ටේ ක්‍රිස්තියානි විදුහලේ සිටියදී වසංගත රෝගයක් වැලඳීමෙනි.

ලංකාවට පැමිණි ඕල්කොට්, සිංහල බෞද්ධයන්ගේ ගැලවුම්කරුවා වූ පසු බෞද්ධයාගේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. සුද්දන් අපරාධකරුවන් ලෙස සැලකූ බෞද්ධයෝ, එතැන් පටන් සුද්දන් අතර සිංහල බෞද්ධයන්ගේ ගැලවුම්කරුවන් ද සිටින බව පිළිගත්හ. ඕල්කොට්, සිංහල ව්‍යාපාරිකයින් පිරිසකගේ උපකාරය ඇතිව කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා කොළඹ කොටුවේ පළමුවැනි ඉංග්‍රීසි පාසල ආරම්භ කළේය. එහි විදුහල්පතිවරයා වූ ලෙඩ් බීටර් බිෂොප්වරයා, පාසල පටන්ගන්නා දිනයේ බෞද්ධ නායකයින් සමග එකට වාඩිවී පන්සිල් ගත්තේය. (ඔහු ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිකමින් ඉවත් වී එංගලන්තයට ගිය පසු නැවත බිෂොප් ධුරයේ වැඩ ආරම්භ කළේය). කොළඹ හා ඒ අවට විසූ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ගේ දරුවන් ඉගෙනුම ලබන කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමේ පාසල මුළු රටේම බෞද්ධයන් වෙනස් කිරීමේ ශුභාරංචි පණිවිඩය රට පුරා ගෙන ගියේය.

ඕල්කොට්, පරම විඥානාර්ථ සමාගමේ පාසල් ආණ්ඩුවේ ලියාපදිංචි කර ඒවා ආණ්ඩුවෙන් මුදල් ආධාර ලබන පාසල් බවට පත් කළ පසු, ආණ්ඩුවෙන් මූල්‍යාධාර ලැබීමේ අරමුණින් පාසල් පිහිටුවීමේ උමතුවක් රට පුරා ඇති විය. භික්ෂුන් වහන්සේ විශාල පිරිසක් පාසල් පිහිටුවා ඒවා ආණ්ඩුවේ ආධාර ලබන පාසල් බවට පත්කර ගත්හ. ආධාර ලබන පාසල් ඇරඹීම වර්තමාන පෞද්ගලික පන්ති ව්‍යාපාරයට සමානය. ප්‍රධාන වෙනස එදා පාසල් හිමියන්ට ආණ්ඩුවෙන් ආධාර මුදලක් ලැබීමයි. බොහෝ දෙනා, පාසල්වලට පත්කර ගන්නා ගුරුවර ගුරුවරියන්ට මුදල් සොච්චමක් දී ඉතිරි මුදල තමන් සතුකර ගෙන ධනවතුන් වූහ.

ළමයින් උපකාරක පංතිවලට නොයවා බැරි යැයි වර්තමානයේ බොහෝ දෙමව්පියෝ සිතති. පාසල්වලට දරුවන් යැවීම දෙමව්පියන්ගේ වගකීම බව පෙන්වමින් ඔවුන් ඒ සඳහා පෙලඹවීමට එදා ආධාර ලබන පාසල් හිමියෝ කටයුතු කළහ. ඔවුන් මේ සඳහා නොයෙක් කපටි උපක්‍රම භාවිතා කර තිබේ. ‘උගත මනා ශිල්පයමයි මතු රැකෙනා’ දර්ශනය පැතිරවීම නිදසුනකි. මොවුන් කී උගත මනා ශිල්පය කුමක්ද? බ්‍රිතාන්‍ය පාලනයේ වහලුන් වීමට සිංහල දරුවන්ගේ මනස පුරුදු කිරීමයි.

මිෂනාරි පාසල්වලට හෝ ආණ්ඩුවේ ආධාර ලබන ඉංග්‍රීසි පාසල්වලට ගිය සිංහල ළමයින්ට ජාතක කතා, සන්දේශ කාව්‍ය, සුභාෂිතය ආදි සිංහල පොත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනීමට සිදු විය. ළමයින්ට ඒ සඳහා මෙවැනි පොත් ගණනාවක් ආණ්ඩුවේ ආධාරයෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කර මුද්‍රණය කෙරිණි. ආණ්ඩුවේ ආධාර ලබන සිංහල පාසල්වල සිංහල සාහිත්‍ය ඉගැන්වූ ගුරුවරුන් ද ඉංග්‍රීසි ක්‍රමයට පැවැත්වූ විභාග සමත් වී, පන්සලේ ඉගැන්වූ පැරණි ක්‍රමයට සම්පූර්ණයෙන් වෙනස් ක්‍රමයකට සිංහල පොත් උගන්වන්නට විය. ඕනෑම පොතක සිංහල ඉතිහාසය ගැන කියැවෙන තැන් නොසලකා හරින ලදි. නැතිනම් සැකයට ලක් කරන ලදි. නිදසුනක් ලෙස ඒ කාලයේ ඉංග්‍රීසි පාසල්වල භාවිත කෙරුණු රත්නාවලී නාට්‍යය දැක්විය හැකිය. එය සංස්කෘත භාෂාවෙන් ලියවුණ නාට්‍යයකි. රචකයා උතුරු ඉන්දියාවේ මහා බෞද්ධ රාජ්‍යයක් ගොඩනැංවූ ශ්‍රී හර්ෂවර්ධන රජතුමාය. ‘මැණික් මාලය’, රත්නාවලී නමේ අර්ථයයි. එයින් කියවෙන්නේ සියයට සියයක ඉතිහාස කතාවකි. රත්නාවලියෙන් කියවෙන්නේ දඹදිව වත්ස රටේ උදයන රජතුමා සිංහල රජ කුමරියක සරණ කරගැනීමේ පුවතකි. කුමරිය මුහුදු මගින් වත්ස රාජධානියට කැඳවාගෙන යන අතරතුර කුණාටුවකට හසුවී නැව බිඳෙයි. මේ අවස්ථාවේ ඒ අසලින් ගිය වෙනත් නැවක නියමුවා ගිලෙන නැවේ සිටි පිරිස බේරා ගනියි. ඔවුන් අතර රත්නාවලී කුමරිය ද වේ. මෙම නැව වත්ස රාජධානියට අයත් වූවකි. නියමුවා රත්නාවලී කුමරිය රජ මාලිගාවට භාර කළේය. මුහුදෙන් හමු වූ යුවතිය යන අරුතින්, ඈ, සාගරිකා නමින් රජ මාලිගාවේ සේවිකාවක බවට පත් වූවාය.

රජු සාගරිකා දැක ඇයට ආලය කරන්නට වූයේය. මෙය වටහාගත් රජ බිසව, සාගරිකා රජුගෙන් ඈත් කිරීමට වෙහෙසුණාය. මේ අතර රජ මාලිගාවට පැමිණෙන සිංහල සෙනෙවියන් දෙදෙනෙක්, සාගරිකාගේ කරේ ඇති රන්මාලය දැක එය සිංහල රජුගේ දියණියගේ කර පලඳනාව බව වටහා ගත්හ. වත්ස රජතුමාගේ බිසව සිංහල කුමාරියකි. රත්නාවලී කුමරිය තම නැගණියක බව වටහාගන්නා ඈ, කුමරිය වත්ස රජුට විවාහ කර දුන්නාය.

රත්නාවලී නාට්‍යය ඉගැන්වූ ඉංග්‍රීසි පාසලේ රත්නාවලී කතාවට මුල්වූ ඉතිහාස කතාව ඉගැන්වූයේ කෙසේද යන්න දැනගන්නට ක්‍රමයක් නැත. නමුත් ලංකා විශ්වවිද්‍යාලයේ රත්නාවලී නාට්‍යයේ සිංහල පොත ඉගැන්වූයේ ඉතිහාස කතාව කෙරෙහි බිඳක්වත් සැලකිල්ලක් නොදක්වමිනි. ඔවුහු, රත්නාවලී සංස්කෘත නාට්‍ය පෙළ පොත, සංස්කෘත නාට්‍යයේ රංග ශෛලිය ඉගැන්වීමට සීමාකර ගත්හ. ඊට හේතු ඉදිරිපත් කළ ඇතැම් සරසවි මහාචාර්යවරු, ඉතිහාසය දන්නවුන් සේ රඟපාමින්, සිංහල ඉතිහාසයේ මෙවැනි සිද්ධියක් ගැන සඳහන් නොවන බව පැවසූහ. එනිසා විශ්වවිද්‍යාලයෙන් රත්නාවලී නාට්‍යය උගෙන උපාධි හිමිකරගත් උගත්තු බොහෝමයක් දෙනා, රත්නාවලී නාට්‍යයෙන් කියැවෙන සිංහල උරුමය ගැන කිසිවක් නොදත්හ.

මහාචාර්ය සුචරිත ගම්ලත් රත්නාවලී නාට්‍යය විමර්ශනය කරමින් සංස්කෘත නාට්‍යයේ රංග ශෛලිය පැහැදිලි කරන මහ පොතක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙතුමා සුප්‍රසිද්ධ මාක්ස්වාදියෙකි. මාක්ස්, එංගල්ස් ආදීන්ගේ සාහිත්‍ය දෘෂ්ඨිය ගැන නොයෙක් කතා ලියූවෙකි. නමුත් රත්නාවලී නාට්‍යයෙන් ඉදිරිපත් කෙරෙන සිංහල කතාව දැකලාම නැත. තමන්ගේ ජාතික උරුමය නොපෙනීම හෝ එම උරුමය පහත් යැයි සිතීම හීනමානයේ ලක්ෂණයකි. එය යටත් විජිත මානසිකත්වය නිසා ඇතිවන ව්‍යාධියකි. ඉංග්‍රීසින්ගේ අධ්‍යාපනය විසින් රට තුළ මෙම ව්‍යාධිය පතුරුවා හරින ලදි. අප පසුගිය ‘අරුණ’ කලාපවලට ලියූ ලිපිවලින්, රටවල් යටත් කිරීමට ගිය ස්පාඤ්ඤ, පෘතුගීසි සහ බ්‍රිතාන්‍ය හමුදා, විෂබීජ ආයුධයක් වශයෙන් භාවිත කරමින් ජන සංහාර කළ හැටි පැහැදිලි කරන ලදි. අධ්‍යාපනය ආධාරයෙන්, යටත් රටවල, යටත් විජිත මානසිකත්වය ඇති රටවැසියන් බිහිකිරීම බ්‍රිතාන්‍යයන්ගේ තවත් යුද්ධ උපායකි. බ්‍රිතාන්‍යයන් වෙනුවෙන් ඔවුන්ගේ කටයුතු ඉටුකරන ස්වදේශික උගතුන් බිහි කිරීමට ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමයට හැකි වී ඇති බව පෙනෙන්නට තිබීම ඔවුන්ගේ යුද උපාය සාර්ථක වී ඇති බවට සාක්ෂ්‍ය සපයයි.  (2019 ජනවාරි 06 ඉරිදා අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link