හුණුවටයේ හොරකම

Last Updated on 5 months by admin

බුදුදහම රාජ්‍යයන් අතර මිත්‍රත්වය ඇති කරමින් රටවල් එකතු කළ දහමකි. එය විසින් භාරතයේ රාජධානි සහ චීනය එකතු කිරීම මෙය පැහැදිලි කරදෙන හොඳම නිදසුනයි. බෝධිධර්ම හිමියෝ චීන රජුගේ ආරාධනාවෙන් චීනයේ බුදු සසුන පිහිටුවීමට වැඩම කළ දකුණු ඉන්දියාවේ පල්ලව රාජධානියේ භික්ෂුවකි. චීන රජවරුන් මෙපරිද්දෙන් භාරතීය භික්ෂුන් වහන්සේ වැඩම කරවා පිහිටුවාලූ බුදුසසුන චීනයේ රාජ්‍යාගම බවට පත් විය. මේ චීන බුදු සසුන බිහිවීමේ කතාවයි. පැරණිම චීන විහාරයන්හි චීන මුහුණැති බුදුරජාණන් වහන්සේගේ සහ ආනන්ද, සැරියුත්, මුගලන් ආදි භාරතීය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිමා සහ සිතුවම් අදටත් දකින්නට තිබේ. තමන් බෞද්ධයන් වශයෙන් පිළිගන්නා ලක්ෂ සංඛ්‍යාත චීන ජාතිකයෝ ලොව පුරා වෙසෙති. බුදුදහම හැරෙන්නට භාරතයෙන් චීනයට ලැබුණු තවත් බොහෝ දෑ ඇත. ඒ ගැන විස්තර කිරීම මේ ලිපියට අදාළ නොවේ.

බුදුසසුන පිහිටවූ පසු බෞද්ධ ජාතක කතා ඇසුරින් නිපදවූ නාට්‍ය චීන විහාරයන්හි රඟදැක්වීම චීන බුදුසසුනේ අංගයක් විය. මේවා රඟදක්වා ඇත්තේ චීන නාට්‍ය ශෛලියන්ට අනුව මිස සංස්කෘත නාට්‍ය රංග ශෛලීන්ට අනුව නොවේ. නාට්‍ය රඟදැක්වීමේදී වාද්‍ය භාණ්ඩ වශයෙන් භාවිතා වූයේ ද චීන වාද්‍ය භාණ්ඩ මිස භාරතීය වාද්‍ය භාණ්ඩ නොවේ. බුදුසසුනට කිසිදාක පාලන මූලස්ථානයක් නොතිබුණි. එබැවින් භාරත භික්ෂූන් වැඩම කර බුදුසසුන පිහිටවූ නමුදු, චීන බුදුසසුන ස්වාධීන චීන ආගමක් විය. සිංහල රටේ සිදුවූයේද මෙයමයි. අශෝක බුදුසසුන යන්න යටත් විජිත මානසිකත්වය ඇත්තන්ගේ ප්‍රකාශයකි. අශෝක අධිරාජයා හෝ ඉන්දියාවේ බෞද්ධ මූලස්ථානයක් හෝ කිසිම කලෙක ලංකාවට බලපෑම් කර නැත.

යටත් විජිත සමයේ මැදපෙරදිග හා ආසියාවේ උරුමය සෙවූ යුරෝපීය ශාස්ත්‍රඥයෝ (ඔරියන්ටලිස්ට්ලා) චීනයට ද ගියෝය. මොවුන් අතර චීන නාට්‍ය සම්ප්‍රදායන් දුටුවෝ සිටිති. යු ආන් රාජ වංශය සමයේ චීනයේ වේදිකා ගතවූ බෞද්ධ නාට්‍ය විශේෂයක් ගැන තොරතුරු ඉදිරිපත් කරමින් ‘හුනුවටයේ කතාවක්’ ගැන සඳහන් කළ ප්‍රංශ ජාතික ශාස්ත්‍රඥයා මෙවැන්නෙකි. ඔහු සඳහන් කරන ‘හුනුවටයේ කතාව’ මෙසේය.

‘හුයි ටැන්ග්ගේ මව මිය ගියාය. ඇගේ පියා දහසය හැවිරිදි වියේ පසුවූ රූමත් දියණිය වෛශ්‍යා නිවසකට අලෙවි කළේය. මා චුන්ග් ෂින් නමැති බදු අයකරන්නා ඇයට ලොල් වූවේය. මහා ධනවතෙකු වූ ඔහු හුයි ටැන්ග් මිලයට ගෙන නිවෙසට කැඳවාගෙන ගියේය. ඇය එහිදී බදු එකතුකරන්නාට දාව දරුවකු වැදුවාය. ඔහුගේ පළමු බිරිඳ ඊර්ෂ්‍යාවෙන් යුතුව හුයි ටැන්ග්ට නොයෙක් තාඩන පීඩන හිංසා කළාය. නොසෑහෙන ලෙසින් පහර දුන්නාය. හුයි ටැන්ග් අනාචාරයේ හැසිරුන ස්ත්‍රියකැයි බැණ වැදුණාය. ඇය දරුවන් නැති වෛශ්‍යාවක බව පවසා ඇයගේ දරුවා තමන්ගේ දරුවා බව කීවාය.

කාලයක් පිට පළාතක විසූ ආදායම් බදු රැස්කරන්නාට, මේ ආරවුල අධිකරණයට ඉදිරිපත් කරන්නට සිදු විය. අධිකරණ විනිසුරුවරයා හුනු රවුමක් ඇඳ ඒ තුළ දරුවා තබවා කාන්තාවන් දෙදෙනාට දෙපසින් සිට දරුවා අදින්නට නියම කළාය. දරුවා තමා වෙතට ඇදගන්නා කාන්තාව දරුවාගේ සැබෑ අයිතිකාරිය බව ඔහු කීවේය. දරුවාගේ අත් දෙකෙන් එක කාන්තාවකත් දෙපයින් අනිත් කාන්තාවත් අල්ලාගෙන දෙපැත්තට අදින්නට විණි. වේදනාවට පත් දරුවා කෑ ගැසුවේය. ඒ හඬ ඇසුණු සැණින් හුයි ටැන්ග් අතින් දරුවා ගිලිහුණි. ඇය හඬන්ට ගත්තාය. දරුවාගේ අයිතිය හුයි ටැන්ග්ට බව විනිසුරුවරයා තීරණය කළේය.’

හුනුවටය චීන නාට්‍ය කතාව, ජුලියාන් නමැති ප්‍රංශ අධ්‍යක්ෂවරයකු විසින් ප්‍රංශයේ වේදිකා ගත කරන ලදී. ඇතැම් ලියවිලිවලට අනුව මෙම ප්‍රංශ නාට්‍ය කතාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූයෙන්, එංගලන්තයේ ලන්ඩන් නගරයේ හුනුවටයේ කතාව ඉංග්‍රීසි නාට්‍යය වේදිකා ගත වූයේය.

ජර්මනිය, රටවල් යටත් කරගෙන සිටි රටක් නොවේ. ජර්මන් ජාතික ‘පෙරදිග ශාස්ත්‍රඥයින්’ (ඔරියන්ටලිස්ට්ලා) බිහිවූයේ වෙනත් ක්‍රමයකටය. ඔවුන් අතරින් සමහරෙක් ප්‍රංශ සිරකරුවන්ව සිටි පුද්ගලයෝ වෙති. ජර්මන් නාට්‍ය නිෂ්පාදකයින් අතට ප්‍රංශයින්ගෙන් හුනුවටයේ කතාව පිටපත ලැබුණු බව ඇතැම් ගවේෂකයෝ පවසති. මේ අදහස නොපිළිගන්නා යුදෙව් උගතුන් පවසන ලෙසට යුදෙව් ජාතිකයින්ගේ හුනුවටය නාට්‍යය ජර්මන් ජාතික නාට්‍ය නිෂ්පාදකයෙක් කොල්ලකෑවේය. ඔවුන් පෙන්වා දෙන ලෙසට හුනුවටය කතාව යුදෙව් බයිබලය ඇසුරෙන් යුදෙව් නාට්‍යකරුවන් විසින් නිපදවන ලද්දකි. බයිබලයේ පරණ තෙස්තමේන්තුව සාලමොන් රජුගේ ප්‍රඥාව විස්තර කරමින් මෙම කතාන්දරය ඉදිරිපත් කර තිබේ. ඒ මෙසේය:

“….ඔහු (සාලමොන්) යෙරුසලමට ඇවිත් ස්වාමින් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ දවන පූජා ද ශාන්ති පූජා ද ඔප්පු කෙළේය. තමන්ගේ සියලු සේවකයනට මංගල්ලයක් ද පිළියෙල කොට දුන්නේය.

එකල වෛශ්‍යා ස්ත්‍රීන් දෙදෙනෙක් රජු ළඟට ඇවිත් ඔහු ඉදිරියේ සිටියෝය. එක ස්ත්‍රියක් කියන්නී අනේ මාගේ ස්වාමීනි මමත් මේ ස්ත්‍රීත් එක ගෙයක වසමුව. ඒ ගෙයි ඈ සමග සිටියදී මම දරුවෙකු වැදුවෙමි. තවද මා වදා තුන් දිනකට පසු මේ ස්ත්‍රීද වැදුවාය. අපි එකට සිටියෙමුව. ගෙයි අප දෙදෙනා ඇර අන් කිසිවෙක් අප සමග එහි සිටියේ නැත. මේ ස්ත්‍රියගේ දරුවා රාත්‍රියේදී ඇගේ ඇඟට යට වීමෙන් මළේය. ඈ මධ්‍යම රාත්‍රියෙහි නැගිට ඔබගේ මෙහෙකාරි නිදාගෙන ඉන්දැද්දී මාගේ පුත්‍රයා මා ළඟින් රැගෙන ඇගේ ළයෙහි තබාගෙන මළාවූ ඇගේ දරුවා මගේ ළයෙහි තැබුවාය. උදේ මාගේ දරුවාට කිරි දෙන්ට නැගිටුණු විට ඔහු මැරී උන්නේය. නුමුත් මා උදය ඔහු විමසා බැලූ විට ඔහු මා වැදූ මාගේ පුත්‍රයා නොවන බව දැනගතිමියි කීවාය. අනික් ස්ත්‍රී ද, නැත, ජීවමාන පුත්‍රයා මාගේය. මළ පුත්‍රයා නුඹේයයි කීවාය. මෙසේ ඔව්හු රජ ඉදිරියේ විවාද කළෝය. එවිට රජ කතාකොට එක් තැනැත්තියක් මේ ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය. මළ පුත්‍රයා නුඹේය කියාත් අනික් තැනැත්තී නැත මළ දරුවා නුඹේය ජීවත්ව ඉන්න පුත්‍රයා මගේය කියාත් කියනවාය, මට කඩුවක් ගෙනෙල්ලා යයි කීවේය. රජු ඉදිරියට කඩුවක් ගෙනෙන ලද්දේය. එවිට රජ කතාකොට ජීවත්ව ඉන්න දරුවා දෙකට කපා භාගයක් එක් තැනැත්තියකටත් භාගයක් අනිත් තැනැත්තියටත් දෙවවයි කීවේය. එවිට ජීවත්ව ඉන්න දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි උණුවූ බැවින් ඈ රජුට කතාකොට අනේ මාගේ ස්වාමිනි ජීවත්ව ඉන්න දරුවා ඇයට දුන මැනව මරන්ට නම් එපායයි කීවාය. නමුත් අනිත් තැනැත්තී ඔහු මටවත් නුඹටවත් නොවේවා කපත්වයි කීවාය. එවිට රජ උත්තර දෙමින් ජීවත්ව ඉන්න දරුවා මරන්ට එපා අර තැනැත්තිට දීපල්ලා. ඈ ඔහුගේ මවු යයි කීවේය. රජු විසින් කළ විනිශ්චය අසා යුක්තිය සිදු කිරීමට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක රජු කෙරෙහි භය වූවෝය.

දෙවන ලෝක යුද්ධයට පෙර දී ක්ලවුබුන්ග් (ඇල්ෆ‍්‍රඞ් හෙන්ෂ්කි – Alfred Henschke) නමැති ජර්මානු නාට්‍ය නිෂ්පාදකයෙක් බර්ලින් නගරයේ හුනුවටයේ කතාව මැයෙන් වේදිකා නාට්‍යයක් ප්‍රදර්ශනය කර තිබේ. මෙම නාට්‍ය කතාව ක්ලවුබුන්ග් අතට පත්වීම පිළිබඳව මතභේදයක් පවති. ක්ලවුබන්ග් හුනුවටය නිෂ්පාදනය කළේ යුදෙව්වන් අල්ලාගෙන සිටින ජර්මන් ආර්ථිකය ජර්මන් ජාතිකයින් සතු විය යුතු බව ජර්මානුවන්ට වටහාදීමේ අරමුණින් යයි සමහරු සිතති. යුදෙව් හුනුවටයේ නාට්‍යයේ පරමාර්ථය දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පැහැදිලි කිරීමයි.

චීන බෞද්ධ නාට්‍යය මෙවැනි පරමාර්ථයකින් රඟදැක්වුණ එකක් නොවේ. මේ බව තේරුම් ගැනීමට පහසුම මග බෞද්ධ ජාතක කතාව ගැන වැටහීමක් ඇතිකර ගැනීමයි. ජාතක කතා යනු බුද්ධ ධර්මයට අයත් පුනර්භව කතා සමූහයකි. ඒ හැම කතාවකින්ම කෙරෙන්නේ යහපත අයහපත නීතිය අවනීතිය ලෝක ස්වභාවය අටලෝ දහම වැනි දෑ උගන්වමින් පුද්ගලයාගේ බුද්ධිය අවදි කිරීමයි. බුදුසසුන පැතිර ගිය හැම දේශයකම ජාතක කතා ජනප්‍රිය වූ අතර කලාකරුවෝ ජාතක කතා ඇසුරින් නොයෙකුත් කලා නිර්මාණයන් කළහ. නාට්‍ය වේවා සිතුවම් වේවා ඒ සියල්ලකම පරමාර්ථය වූයේ පුද්ගල මනස විකසිත කිරීමයි.

කුරුණෑගල රාජධානිය කාලයේ ලියවුණ උම්මග්ග ජාතකය නමැති බණ පොතේ පුත්‍ර ප්‍රශ්නය නමින් කතාවක් තිබේ. එය ඉදිරිපත් කර ඇත්තේ මෙසේය:

‘එක් ස්ත්‍රියක් පුතකු වඩා ගෙනැ පණ්ඩිතයාණන් වහන්සේගේ පොකුණට ගොස් ආදී කොට තමාගේ කඩ මත්තෙහි හිඳුවා තොමෝ ඉස් සෝදා නහන්නට බට ඇසිල්ලෙහි යකිනියක් ඇගේ පුතු දැකැ කනු කැමතිවැ ගෑනු වෙසක් ගෙනැ දරුවන් සමීපයට අවුත් යෙහෙළිය මේ දරුවෝ ඉතා හොබනාහ. මූ තොපගේ දරු කෙනෙක්දැ යි විචාරා එසේය මෑණියෙනියි කි කල්හි, මේ දරුවන් කිරි පොවම්දැ යි කී කල්හි මෑණියන් විසින් යහපතැයි කී කල්හි ඕ දරුවා වඩාගෙනැ මදක් කිරි පොවා ලා වඩා ගෙනැ පලා ගියායැ. මෑණියෝ තමාගේ දරුවන් ඇරැගෙනැ යන්නිය දැකැ දිවගෙනැ ගොස්, මාගේ පුතු කොයි ගෙනයැයි දැ යි අල්ලා ගත. යකිනි කියන්නී තී කොයින් ලද පුතෙක් ද? මූ මාගේ පුතණුවෝයැ යි බයක් නැති වැ කීව. ඔහු දෙන්නා කලහ කරමින් සාලාව දොරකඩින් යන්නාහ.

මහ බෝසතාණන් වහන්සේ කලහ ශබ්දය අසා දෙන්නා මැ ගෙන්වා, මේ කුමන ඩබරයක්දැ යි අසා ඇස් නොමරන බැවින් ද ඔළිදැට දෙකක් සේ රත් වැ තිබෙන බැවින් ද මේ යකින්න යැ යි දැන මා කී යුක්තියෙකැ සිටුවු දැ යි විචාරා එසේයැ සිටුම්හ යි කී කල්හි බිම හිරක් අඳවා හිර මැද දරුවන් හොවා යකිනිය ලවා දෑත හා මෑණියන් ලවා දෙපය හා ගන්වා දෙන්නාම ඇද ගනුව යි ඇදැ ගත් එකෙකුටයි පුතණුවෝ යි වදාළ සේක. දෙන්නා මැ දරුවන් ඇදැ ගත්හ. දරුවෝ දෙන්නා විසින් අදිනු ලබන්නාහු දුකට පැමිණියහ. මෑණියෝ ළය පැළුණු කලක් මෙන් ශෝකයට පැමිණැ දරුවා අතහැර අඬමින් සිටියාහ.

බෝසතාණන් වහන්සේ දරුවන් කෙරෙහි වැදුවන්ගේ ළය මොළොක්ද නොහොත් නොවැදුවන්ගේ ළය මෙළොක් දැයි බොහෝ දෙනා විචාළ සේකැ. බොහෝ දෙනා පණ්ඩිතයන් වහන්ස වැදුවන්ගේ ය වේ ද මොළොක් වන්නේ ය කීවාහුයැ. ඒ අසා පණ්ඩිතයන් වහන්සේ, කිමෙක් ද දැන් දරුවන් වඩා ගෙනැ සිටින තැනැත්තිය මෑණියනැයි වැටහේ ද හැරපියා සිටි තැනැත්තිය මෑණියනැ යි වැටහේ ද යි හැම දෙනා විචාල සේකැ. හැම දෙන මැ දරුවන් හැර සිටි තැනැත්තෝ වේ ද පණ්ඩිතයින් වහන්ස මෑණියෝ යි කීහ.’

බණ කතාවට අනුව කාන්තාවන් දෙදෙනෙක් කෝලහාල කරමින් යනු දුටු බෝසතාණෝ ඔවුන්ගෙන් දබර වන්නේ මන්දැයි අසති. කුඩා දරුවකුගේ අයිතිය වෙනුවෙන් දබර වන බව දැනගෙන එතුමාණෝ ආරවුල විසඳාදීමට ඉදිරිපත් වෙති. නඩුව මහජනයා ඉදිරියේ විභාග වේ. ඉන්පසු බොසතාණෝ, වැරදි කවුරුන්ද නිවැරදි කවුරුන්දැයි මහජනයාගෙන් විනිශ්චයක් ඉල්ලති. මෙහි සඳහන් නොකළ කතාවේ අවසාන කොටසින් කියවෙන්නේ එතුමා මවට දරුවා ලබා දී යකින්න සුමගට යැවූ පිළිවෙළයි.

2018 දෙසැම්බර් 09 ඉරිදා අරුණ පුවත්පත

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link