අනුරට එරෙහිව දෝෂාභියෝගයක්?

Last Updated on 2 weeks by admin

ජවිපෙ 60 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති රැස්වීම අමතා ජනාධිපති අනුර කළ කතාවේදී, මාලිමාවේ අගමැති හරිනි ප්‍රධාන පාර්ශවය ඉලක්ක කරමින් තර්ජනාත්මක ප්‍රකාශයක් කළ බව බොහෝ දෙනාගේ අදහසයි. ‘එකට එක කඳවුරේ වැඩ කරමින් සිට පාවාදෙන්නන් සිටින බවත්, ජවිපෙ නොතිබෙන්න අනික් දේශපාලන කඳවුරක පාපිස්සට වත් නොගන්නා අය මාර වීර චරිත බවට පත් වන බවත්’ කියමින් ඔහු පහර ගැසුවේ එම කණ්ඩායමටය.

ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්නේ කැබිනට් සංශෝධනයක් පිළිබඳව හෝඩුවාවක් ඇති බවට මාධ්‍ය වාර්තා පළ වූ පසුබිමකය. හරිනිගේ අගමැති ධුරය ගලවා ජවිපෙ නියෝජනය කරන බිමල්ට හෝ වෙනත් කෙනෙකුට එය ලබාදී ආණ්ඩුවේ ජවිපෙ පාර්ශ්වය ශක්තිමත් කිරීමේ සාකච්ඡා ජවිපෙ අභ්‍යන්තරයේ පැවති බවට රාවයක් පැතිරණි. පසුගිය කාලයේ මාධ්‍ය සංවාදයක් අතරතුර, විජේවීර තමන්ගේ නායකයා නොවන බවට අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර පැවසූ විලාසය සැලකිල්ලට ගත් විට අළු යට ගිනිපුපුරුවල තත්වය සිතාගත හැකිය.

මාලිමාවේ හරිනි අනුර දෙපාර්ශ්වය දෙපිල බෙදී පක්ෂය දෙකඩ වී හරිනිට බලය පැවරීමේ අරමුණක් තිරය පිටුපස සිටින පිරිසකට ඇති බවට තොරතුරු ජනාධිපතිවරණය සමයේ සිටම තිබුණි. එය රට දෙකඩ කිරීමේ, බුදු සසුන වැනසීමේ හා සංස්කෘතිය කුරුවල් කිරීමේ අවශ්‍යතාවෙන් පෙළෙන සියලු පාර්ශවයන්ගේ අපේක්ෂාවයි. ඒ සඳහා වඩාත් ගැලපෙන්නේ හරිනි පාර්ශ්වය බව කුමන්ත්‍රණකරුවෝ දනිති. කොමියුනිස්ට්වාදය කරපින්නා ගත්, ලේ තැවරුණු අත් ඇති ජවිපෙ පාර්ශවය සමග කුමන්ත්‍රණකරුවන්ට ගැටලු තිබේ.

මේ වන විට ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පාත්‍ර වන්නට ප්‍රබල හේතුවක් වී තිබෙන්නේ, ජනාධිපති අනුර, හඳුන්නෙත්ති, විජිත, බිමල්, ලාල්කාන්ත, වසන්ත, නාමල්, හේවගේ, නලින් ඇතුළු ජවිපෙ ප්‍රධානීන්ගේ ප්‍රකාශ නිසාය. චතුරංග අබේසිංහ වැනි විකටයින්ගේ ප්‍රකාශ ජනතාවට සිනහ සපයනවා පමණි. විරුද්ධ පක්ෂ දේශපාලකයින්ගේ සොරකම් පිළිබඳව අනුර කාලයක පටන් පැවසූ කතා අසත්‍ය ඒවා යැයි මතයක් ජනතාව තුළ ඇත. හොරකම් වංචා පිළිබඳ ‘ෆයිල්’ විශාල ප්‍රමාණයක් සහ චීන සමාගම්වලින් මහින්ද රාජපක්ෂට දුන් චෙක්පත්වල අංක තමා සතුව ඇතැයි ඔහු කී කතා උදාහරණ දෙකකි. මේ නිසාම මේ ආණ්ඩුව සහ අනුර ඇතුළු ජවිපෙ ප්‍රධානීන් පචයන් යැයි සමාජ මතයක් ස්ථාපිත වී තිබේ. කලින් තිබුණු හොරු සටන් පාඨය වෙනුවට ‘පච’ යනුවෙන් අලුත් සටන් පාඨයක් ප්‍රචලිත වෙමින් තිබේ.

මේ නිසා, රට හදන්න උගතුන්ට භාර දෙන්නැයි කියමින් ඉදිරියට ආ අගමැති හරිනි ඇතුළු පිරිස සහ ඒ මතවාදයේ සිටි ජනතා තුළ ජනාධිපති ඇතුළු ජවිපෙ පාර්ශවය පිළිබඳව ඇත්තේ යහපත් හැඟීමක් නොවේ. මාලිමාවට ලැබුණු ඡන්දවලින් බහුතරය ලැබුණේ, හරිනි ප්‍රමුඛ උගතුන් කෙරෙහි ජනතාව තැබු විශ්වාසය නිසා මිස ප්‍රචණ්ඩත්වයට බර ජවිපෙ නිසා නොවේ යැයි මතයක් සමාජයේ තිබේ.

ජනාධිපතිවරයා රටේ ලොකුම දූෂිතයා බවත් ඔහු දැවැන්ත මුදලක් ග්‍රීක නැව් සමාගමක ආයෝජනය කර ඇති බවත් පසුගිය දා තුසිත හල්ලොලුව ප්‍රකාශ කළේය. මේ චෝදනාව ඇත්තක් නම්, හොරු අල්ලන්නට පත් කරගත් ජනාධිපතිවරයා, රටේ ලොකුම හොරාය. මෙය ජනතා අපේක්ෂාව මෙන්ම මාලිමාවේ සටන් පාඨයද බොඳ කරවන්නට සමත් තත්වයකි. ජනාධිපතිවරයාට එල්ල වී ඇති මේ චෝදනාව නිසා දෙපාර්ශවයේ ගැටුම කිසිවකු නොසිතූ දිශාවකට ගමන් කිරීමේ අවකාශයක් තිබේ.

තුසිත හල්ලොලුවගේ ප්‍රකාශය පදනම් කරගනිමින්, ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කිරීමට හරිනි පාර්ශ්වයේ තිරෙන් එහා සිටින බලවේගයට දැන් පාරක් කැපී තිබේ. ඒ මගින් මාලිමාවේ හරිනි පාර්ශවයටද සියලු පව් අනුරගේ පිටින් යවා, ජනතාවගේ සිත් දිනාගෙන අලුත් ගමනක් ඇරඹීමේ අවස්ථාව පාදාගත හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 පරිච්ඡේදයේ 38 (02) සඩ වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ දූෂණ සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පවරන්නැයි ඉල්ලා කථානායකවරයාට දෝෂාභියෝගයක් භාරදීමේ හැකියාව පාර්ලිමේන්තුවට තිබේ. කථානායකවරයා ජවිපෙ පාර්ශවයේ වුවද, මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් අත්සන් කර තිබේ නම් කථානායකවරයා දෝෂාභියෝගයක් භාරගත යුතු වේ.

මේ පවතින තත්වය යටතේ, හරිනි පාර්ශවයට තුනෙන් දෙක සොයාගැනීම අපහසු නැත. තුනෙන් දෙකක් යනු මන්ත්‍රීවරු 150 දෙනෙකි. විපක්ෂවල මන්ත්‍රීවරු 66 දෙනෙක් සිටිති. අඩු සංඛ්‍යාව 84කි. කිසිදු වරප්‍රසාදයක් නැතිව රූකඩ මෙන් පාර්ලිමේන්තුවට යන එන නිකමුන් බවට පත් කරනු ලැබ සිටින මාලිමාවේ බහුතර නවක මන්ත්‍රීවරුන් සිටින්නේ සතුටින් නොවේ. ටිල්වින් ඉතා දරුණු අන්දමින් මාලිමාවේ නවක මන්ත්‍රීවරුන් පමණක් නොව රාජ්‍ය නිලධාරීන් පවා හසුරුවන බව ප්‍රචලිත කරුණකි. විදුලි බල මණ්ඩලයේ සභාපතිව සිටි තිලක් සියඹලාපිටිය ඉල්ලා අස්වූයේ ටිල්වින්ගේ කුණු බැණුම් නිසා යැයි ප්‍රචාරය විය. තුරුම්පුවක් දෙකක් ඇද පෙන්නා මාලිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිස නම්මවා ගැනීමට පුළුවන. පක්ෂයේ ලේකම් ධුරය දරන්නේද හරිනි පාර්ශවයේ වෛද්‍ය නිහාල් අබේසිංහ වීම අමතර වාසියකි.

සජබ මන්ත්‍රීවරුන් 40 ඇතුළු විපක්ෂයේ අතිමහත් බහුතරය මෙහිදී දෝෂාභියෝගයට පක්ෂ වන බව නිසැකය. අඩුපාඩුවක් වුවහොත් ඒ සුළු සංඛ්‍යාව හරිනි පාර්ශවයෙන් සොයාගැනීම අපහසු නැත. මේ සඳහා බෙදුම්වාදීන් අන්තවාදීන් ඇතුළු ජාත්‍යන්තරයේ සහයෝගය ලැබෙනු ඇත.

එසේ වුවහොත්, තුසිත හල්ලොලුව කරන චෝදනාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම විභාගයට ගෙන ඇත්ත හෙළිදරව් කෙරෙනු ඇත. සමාජ මාධ්‍ය ආරංචිවලට අනුව, ජනාධිපතිවරයාගේ මුදල් ආයෝජනය කර ඇත්තේ, දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ අයකුගේ ව්‍යාපාරයක් වෙනුවෙනි. ඒ නිසා අවශ්‍ය සාක්කි ඉදිරිපත් කිරීමට දෙමළ ඩයස්පෝරාවේ සහාය ලැබෙනු ඇත. ඇතැම් විට මේ සඳහා ලෝක බැංකුවට අනුබද්ධ Stolen Asset Recovery Initiative (StAR) ආයතනයේ කඩිනම් සහයෝගය වුව ලැබෙනු ඇති බවට සැක නැත. එම නිසා, මාලිමා ආණ්ඩුවේ අර්බුදය බොහෝ දෙනා නොසිතන පැත්තකට තල්ලු වීමේ ඉඩක් තිබේ. ඇතැම් විට, මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට යෑමට ඉඩ සලසා දුනහොත් හොඳ හොඳ සෙල්ලම් බලන්නට පුළුවන්කම ලැබෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top