Last Updated on 5 days by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

මාලිනී ෆොන්සේකා කිසි විටෙක, ප්‍රසිද්ධිය, මුදල් හෝ වෙනත් පුද්ගලික ලාබ ප්‍රයෝජන පිණිස සිය ජාතියට ආගමට සංස්කෘතියට නින්දා නොකළ උත්තම කලාකාරියකි. බොහෝ කලාකරුවන් සිංහල ජාතිය ගැන කතා කරන්නට බිය වූ, ඇතැම් ගායක ගායිකාවන් රණවිරුවන්ගේ අභිමානය ගැන කියන ගීත ගැයීමට මැලි වූ, ජාතියට අවමාන කිරීම ප්‍රසිද්ධිය ලබාගත හැකි ක්‍රියාවක් යයි ඇතැම් චිත්‍රපටි හා නාට්‍ය නිෂ්පාදකයින් සිතූ පසුගිය සමයේ, මාලිනී සිය ජාතික ආලය පෙන්වන්නට අභීත වූවාය. එම නිසා ඇය කලාකාරියක පමණක්ම නොව ජාතියේ වීරවරියකද වන්නීය.
නිරුවතින් රඟපෑම වීරකමක් සේ සැලකූ සමයක ඇය කිසි විටෙක මුදලට ලෝබයෙන් හෝ ක්ෂණික ප්‍රචාරය පිණිස අසික්ශිත රංගනවලට දායක නොවූවාය. ඇතැම් වෙළෙඳ සමාගම් ජනතාවට ලණු කැවීම සඳහා කලාකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා රූප රැජිනියන් මුදලට ගනිති. මාලිනී, එවැනි, මුදලට නැමුණු කලාකාරියක නොවූවාය. එම නිසා ඇය හැම කලෙකම ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පෙළුන කලාකාරියක වූවාය. පංති සහෝදරත්වය ගැන බෙලි පුම්බාගෙන කෑ ගසන සහෝදරය සහෝදරිය, මාලිනී ඔබලාගේ වෛරී ඇස් නොදුටු, සැබෑ නිර්ධන පංතියේ කලාකාරියකි.
ශ්‍රී ලංකාව වැනි කුඩා ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටින රටක නළුනිළියන්ට ඉන්දියාව වැනි රටක නළුනිළියන්ට මෙන් මුදල් ඉපැයිය නොහැකිය. මාලිනීලාගේ පරපුර ක්ෂේත්රයේ සිටි සමයේ තත්වය අදට වඩා වෙනස්ය. ඔවුන්ට බොහෝ විට ලැබුණේ මුදල් නොව, ජනතා ආදරයයි. ඇතැම් විට ශිල්පීන්ට මුදල් ගෙවෙනුයේ, නිර්මාණය ප්‍රචාරය වී නිශ්පාදකයන්ට මුදල් ලැබුණු පසුවය. සමහර විට කිසිදා ඒ මුදල් නොලැබේ. මාලිනී ඒ හැම අභියෝකටම මුහුණ දුන්නාය.
මාලිනී වැනි ප්රමුඛ පෙළේ නිළියකට සිය ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීම සඳහා දැරිය යුතු වැය බොහෝය. එක සාරිය දෙවරක් අඳින්නට ඔවුන්ට නොහැකිය. හැඩවැඩවීම, සිරුර නිරෝගීව තබාගැනීම සඳහා වියදම් දැරිය යුතුය.
අපට දන්නා ලෙසට හැමදාමත් කුලී නිවාසවල විසූ ඇය තමාගේම කියා නිවසකට ගොස් ඇත්තේ, ජාතික ලැයිස්තු මන්ත්රීවරියකු වූ පසු ලබාගත් බැංකු ණයක් මගිනි. ඇයට ඒ මන්ත්‍රී ධුරය පිරිනැමීමත් ඇහේ කටු ඇනීමක් කරගත් පිරිසක් සිටිති.
මාලිනී මියගිය පසු මාධ්‍යයට අදහස් දැක්වූ ඇගේ සොහොයුරෙක් මෙසේ කීවේය. “අක්කා අපට අම්මා වුණා. අම්මා නැති වුනාට පස්සේ අපිව බලාගත්තෙ අක්කා. දැන් ඉතිං කවුරුවත් නෑ.” ඒ වචන කීපය යට ඇත්තේ සාතිශය හැඟීම්බර ජීවිත කතාවකි.
මාලිනී කිසිදා සිය අසීරුතා ගැන අfඳා්නා කී මාලිනීයක නොවූවාය. ඇය සිය නැතිබැරිකම් කියමින් සිංහල බෞද්ධකමට පහර දී බෞද්ධ විරෝධී සංවිධානවලින් මුදල් කඩාගෙන නැත. ඇය ආත්ම ගරුත්වය රැකගත් කලාකාරියකි.
දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය, සිනමා හා ටෙලිනාට්‍ය රසිකයින් පිනවමින් සිටි මාලිනී ෆොන්සේකා, ජීවිතයේ අවසාන සමයේ රෝගාතුරව ජීවිතය සමග සටනක යෙදී සිටින අවස්ථාවක, වෛරී දේශපාලනයේ ගොදුරක් බවට පත්වීම ඛෙදජනකය. ඇයට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 55ක් පරිත්‍යාග කර ඇත්තේ ඉන්දියාවට ගොස් ඇගේ අසනීපයට ප්‍රතිකාර ලබාගැනීම පිණිසය. දැනගන්නට ලැබුණු පරිදි එම මුදල ඉල්ලා ඇත්තේද ඇය නොව, රවීන්ද්‍ර රන්දෙණිය විසිනි.
රටේ ජනාධිපතිවරයා ඡන්දය පාවිච්චි කිරීමට පුද්ගලික ජෙට් යානයකින් වියට්නාමයේ සිට ශ්‍රී ලංකාවට ඒම සාධාරණ යැයි කියන්නෝ, මාලිනීගේ ජීවිතය බේරාගැනීමට ලක්ෂ 55ක් දීම පිළිබඳව අවලාද නගති. මොළ දූෂණය යයි අප කියන්නේ මේ කරුමයටයි.
සමාජය ගඳගස්සමින් ඇයට එම චෝදනාව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළ සහෝදරයා වෛද්‍යවරයකු වීම ලංකා සමාජයට සරදමකි. වෛද්‍යවරුන් යනු රෝගීන් කෙරෙහි අනුකම්පාවෙන් බලන පිරිසක් යැයි සමාජ සම්මතයක් තිබේ. එහි ඉතිහාසය අතීත වෙදැදුරන් සමාජයට දුන් ආදර්ශයයි. අදත්, රෝගීන් කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් සලකන වෛද්‍යවරු අප්‍රමාණ සංඛ්‍යාවක් සිටිති. වෛරී දේශපාලනයට ගොදුරු වන වෛද්‍යවරයාගේත් මොළය වසුරු ගොඩක් බවට පත් වේ.
මාලිනීට පරිභව කරන ජවිපෙ ඇමතිවරයා, 1978 අංක 7 දරණ ජනාධිපතිවරයාගේ අරමුදල් පනතට අනුව අරමුදල යෙදවිය හැකි කාර්යයන්ට අදාළ වගන්ති කියෙව්වේය. පනතේ 6. (ඇ) වගන්තියට අනුව, ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයක් කිරීම සඳහා අරමුදල පාවිච්චි කළ හැකිය.
මාලිනී, අන්තර්ජාතික සිනමා උළෙලකදී සම්මානයට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනියයි. 2010 වසරේ ඔස්කාර් සම්මාන උළෙලට සමගාමීම ඇමරිකාවේ සීඑන්එන් පුවත් සේවය ප්‍රකාශයට පත් කළ එතෙක් ආසියාවේ බිහිවූ විශිෂ්ටතම සිනමා රංගන ශිල්පීන් 25 දෙනා අතර ඇති එකම ශ්‍රී ලාංකික නාමය මාලිනී ෆොන්සේකාය. රටට ජාත්‍යන්තර කීර්තියක් ගෙන ඒමට දායක වීමද ජාතික සේවයකි. 2012 වසරේ ඇය වෙනුවෙන් තැපැල් මුද්දරයක් නිකුත් කෙරැණේ අැගේ සේවය ඇගැයුම පිණිසය.
මාලිනී ෆොන්සේකා යනු ජාතිය වෙනුවෙන් සේවයක් කළ තැනැත්තියක බව මේ ඇමතිවරයා නොදුටුවේය. සැබවින්ම මාලිනීට තරමට ලංකාවට සේවය කළ කිසිවකු පාර්ලිමේන්තුවේ හෝ මාලිමාවේ නැත. රට කාබාසිනියා කළවුන් නම් බුරුතු පිටින් සිටිති. මාලිනීට ගරහන්නේ, හොර සහතිකකාරයින් රකින්නට සහතිකය ගෙන්වා පෙන්වන බවට බොරු කියා රට රැවටූවෙකු වීම නොවැටහෙන රට වැසියන් රටට අභාග්‍යයකි.
පසුගියදා සිදුවූ බස් අනතුරින් මිය ගිය අයට ජනාධිපතිවරයා ලක්ෂ 10 බැගින් ප්රදානය කළේය. එය වරදක් නොවේ. වරද ඒ ක්‍රියාව අනුමක කළවුන් මාලිනීට දුන් ලක්ෂ 55 වරදක් සේ දැකීමයි. සනත් ගුණතිලක පැහැදිලි කළ පරිදි, 80 දශකයේ රිය අනතුරකින් මාලිනීගේ හිසට දැඩි සේ හානි වූ අවස්ථාවේ, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා, ඉන්දියාවට ගොස් ප්ලාස්ටික් සැත්කමක් කරගැනීමට අවශ්‍ය මුදල් ජනාධිපති අරමුදලෙන් ලබාදී ඇත. ඒ සඳහා මැදිහත් වී ඇත්තේද රවීන්ද්‍ර රන්දෙණියයි.
ජීවිතයේ අවසාන සමය ගතකරමින් සිටි මාලිනීට උපහාර පිණිස පැවති උළෙලට අසීරුවෙන් සහභාගි වූ මාලිනී ගී ගයමින්, හැකි පමණින් අංගචලනයෙන් රඟමින් සතුටු වූවාය. එහිදී වචන කීපයක් කතා කළ මාලිනී මෙසේ කීවාය.
“ඇත්තටම මම ආද ආවේ ආදරය සොයාගෙන. ආවා සොයා ආදරේ. මට මේ වගේ ආදරයක්… මට තේරෙන්නෙ නෑ කොහොමද කියන්නෙ කියල. හැම දෙනාම මේ වෙලාවෙ අවංකව මා වෙනුවෙන් මේ වෙලාව ගත කළ එක මට කෝටියක් වටිනව. අනේ ගොඩක් ස්තුතියි ඕගොල්ලන්ට. ඕගොල්ල මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගි වුණාට. ගොඩාක් දේවල් කියන්න ඕන. ඒ මොනව වුනත් මට එක දෙයයි කියවෙන්නෙ. මට හැමදාම ආදරය ලැබුණා. ඒ වගේම මමත් ආදරය දුන්නා. ඉතිං ඒක මං නවත්තන්නෙ නෑ. මං කොහොම හරි ඒ ආදරය රැකගන්නව. මම ආදරෙයි ඔබලා හැම දෙනාටම. බොහොම ස්තුතියි.
ජීවත්ව සිටිය දී මාලනීව හිංසනයට ලක් කර ඇයගේ මියගිය දේහයෙන් වාසි ගන්නට හදන මිනිසුන්ව හඳුනාගන්ඩ ඔබට හැකි නම් එය මාලිනීට දක්වන ලොකුම ගෞරවයයි. මොවුන් ඇයට වෛර කළේ ඇය ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනි. මහජනයා මාලිනීට දක්වන ආදරය දකින මොවුන් කලබල වී ඇයගේ දේහයට ගෞරව දක්වන්නේ රට රැවටීමටයි.
මාලිනී සිය සම්මානය ලබාගැනීම සඳහා ඉන්දියාවට ගිය අවස්ථාවේ මහාචාර්ය සුචරිත ගම්ලත් ද ඒ ගමනට සහභාගි වූයේය. ඒ, මාලිනී නිර්ධන පන්තියේ රංගන ශිල්පිනියක යන හැඟීමෙනි. ’මේ කොදිව්වෙ ඉන්න එවුන් කලාව දන්නෙත් නෑ පංතිය දන්නෙත් නෑ’, මහාචාර්ය සුචරිත ගම්ලත් කීවේය. මාලිනීට හතුරුකම් කළ මාලිමාවුන් රැල ගැන සිතන විට ඒ කතාවේ ඇත්තක් තිබෙන බව පෙනේ.
මාලිනී ෆොන්සේකාට නිවන් සුව අත්වේවා…