අරලිය ගහ මන්දිරේ බංකර් කඩන්නේ ඉතිහාසය මකන්නයි

Last Updated on 3 days by admin

ඩේවිඩ් ඇන්තනි

බටහිර රටවල් ඔවුන්ගේ ඉතිහාසයට බොහොම ආදරෙයි. ඒ රටවලින් බිහිවෙන ඕනෑම පණ්ඩිතයෙකුගේ වටිනාම ලකුණ රටේ ඉතිහාසය හදාරා තිබීමයි. අපේ උගත්තු බොහොමයකට රටේ ඉතිහාසය ගැන දැනුමක් නැහැ. පිටරටක ජීවත්වී ලංකාවේ ද්විත්ව පුරවැසිකම ගන්න බොහොම දෙනාට රටේ ඉතිහාසය ගැන දැනුම හරිම අඩුයි. සිංහල කතාකරන්ඩ නොහැකි සිංහලයන් ඉන්නව. ඉංග්‍රීසි කතාකරන්ඩ බැරි ඉංග්‍රීසින්, ජර්මන් කතාකරන්ඩ නොහැකි ජර්මානුවන් හෝ ජපන් කතාකරන්ඩ බැරි ජපනුන් නැහැ.

ඉස්සර ඉතිහාසය හා භාෂාව ඉගෙනීම රටේ අධ්‍යාපනයේ සම්ප්‍රදායක් හැටියට පැවතුනා. රටවැසියන්ට පාලි සංස්කෘත දෙමළ ආදී වෙනත් භාෂා ඉගෙනගන්ඩ නොයෙකුත් පහසුකම් තිබුණා. මහාවිහාරය අභයගිරිය ජේතවනය කියන අධ්‍යාපන මූලස්ථාන තුනෙන්ම මේ වැඩවලට අනුග්‍රහය ලැබී තියෙනව. ඉන්දියාවෙ අධිරාජ්‍යයන් පැවතුනා. ඒ කිසිවකින් ඔවුන්ගේ රටේ ඉතිහාසය ලියවී නැහැ. ලංකාව ඊට වෙනස්. මහාවංශය දීපවංශය ධාතුවංශය චූලවංශය වැනි ඉතිහාස පොත්වලට සමාන වංශකතා පොත් ලෝකයේ කිසිම රටක නැහැ. ජේ. ආර්. ජයවර්ධන සිංහල ඉතිහාසය එක්ක ‘ඇරියස්’ එකක් තිබුණ දේශපාලනඥයෙක්. ඔහු ඉතිහාසය නොරිස්සූ නායකයෙක් විදිහටයි සැලකෙන්නෙ. නැතිනම් ඉතිහාසය කන්ඩදැයි ප්‍රශ්න කරාවියැ.

වැස්ස සහ ගංවතුර හේතුවෙන් ලංකාවෙ ප්‍රදේශ බොහොමයකට හානි සිදුවෙලා. නායයාම් සිදුවෙනව. කොළඹ පුත්තලම දුම්රිය ගමනා ගමනය නැවතිලා. වැව් බැමි කැඩෙනව. මං මාවත් යටවෙනව. දක්ෂිණ අධිවේගී මාර්ගය පවා තාවකාලිකට වහන්ඩ සිදුවුනා. බස්නාහිර පළාතෙ පාසැල් ගණනාවක් වසා දමල. රටට මෙවැනි විපත්තිදායක අවස්ථාවක් උදාවී තියෙද්දි ආණ්ඩුව බැකෝ යන්ත්‍ර යොදවා විශාල ධනයක් වැයකරමින් අරලිය ගහ මන්දිරයෙ ආරක්ෂාවට හදා තිබූ ගොඩනැගිලි ඉවත් කරනව.

මේක සංදර්ශනයක් වගෙයි සමහරුන්ට පෙනෙන්නෙ. ‘පඩ ෂෝ’ කියල අයෙක් මැටාහි සඳහන් කර තිබුණ. සමහරුන් හිතන්නෙ ජනාධිපති අනුරගේ වුවමනා අභිභවා අගමැති හරිනිගේ වුවමනාව නැගී සිටීමක් විදියටයි. ඒ හැම අදහසකම ඇත්තක් අඩංගුයි. නමුත් යථාර්ථය එයම නොවෙයි.

ත්‍රස්තවාදය කියා දෙයක් අතීත ලෝකයේ පැවතුනේ නැහැ. ජර්මනියේ බාඩාමයින්හෝප් කල්ලිය එවැනි දෙයක් ලෝකයට හඳුන්වා දුන්නා. ලංකාවෙ ත්‍රස්තවාදය පටන්ගත්තෙ ජවිපෙ දේශපාලන සංවිධානයයි. රටේ ජනතාව 1971 සිංහල අලුත් අවුරුද්දට සූදානම් වෙද්දි ඔවුන් අප්‍රියෙල් 5 දින පොලිසිවලට පහර දෙමින් රාජ්‍ය බලය ඇල්ලීමේ සන්නද්ධ සටනක් ආරම්භ කළා. අගමැති නිවාසයට පැනල සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය අත්අඩංගුවට ගැනීම ඔවුන්ගේ සැලැස්ම වූ බවයි කියවෙන්නෙ.

අගමැති නිල නිවස හෙවත් අරලිය ගහ මන්දිරය ආරක්ෂක මුරකුටි හා බංකර් යොදා ආරක්ෂා කරන්ඩ දෙවැනි හේතුව ඇල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මක කළ රට බෙදීමේ යුද්ධයයි. ඉන්දියාව ඇල්ටීටීඊ සංවිධානය හැදීමට මූලික අඩිතාලම දමා දුන්න. බටහිර යුරෝපයේ රටවල් ගණනාවක් මුහුණ නොපෙන්නා ඊට උපකාර කළා. කොටින්ට උපකාර කිරීම ගැන කතෝලික පල්ලියටත් චෝදනා ලැබෙනව. ඒ ගැන කියද්දි මැල්කම් රංජිත් බිෂොප්වරයාගේ නමත් ඉහළින්ම සඳහන් වෙනව.

කොටි, කොටුවෙ මහාබැංකු ගොඩනැගිල්ලට බෝම්බ ගැහුව. කටුනායක ගුවන් තොටුපලට ප්‍රහාරයක් එල්ල කළා. ආරක්ෂක ලේකම්වරයාව හා යුද හමුදාපතිවරයාව බෝම්බ ගසා මරා දමන්ඩ උත්සාහ කළා. කොළඹ කොතැන කොයි මොහොතේ බෝම්බයක් පිපිරේවි දැයි අවිනිශ්චිත භාවයක් ඇති කළා. ගෙදරින් උදේට රැකියාවට යන පුද්ගලයා හවස ආපසු ගෙදර ඒවිද යන සැකය කොළඹ වෙසෙන කාටත් ඇති වුනා. පිටින් කොළඹට එන මිනිස්සුන්ට ආපුහ ගෙදර යන්න ලැබේදැයි බියක් තිබුණා. මේ තත්වය යටතේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආරක්ෂා කරගැනීමට ආරක්ෂක අංශයට සිදු වුනා. අරලිය ගහ මන්දිරයේ ආරක්ෂාව තර කරන්ඩ හේතුව ඉතාම කෙටියෙන් කීවොත් රාජ්‍ය නායකයාගේ ආරක්ෂාවයි.

අරලියගහ මන්දිරයෙ ආරක්ෂක බංකර් රටේ ඉතිහාසයට සම්බන්ධයි. මේවා කඩා විනාශ කිරීම මගින් කරන්නෙ ඉතිහාසය විනාශ කිරීමයි. මහජනයා නොදැක්ක මෙවැනි දේවල් ඔවුන්ට දැකගැනීමට සැලැස්වීමයි යහපත් ආණ්ඩුවකින් කළ යුත්තෙ. ඉතිහාසය කියන්නෙ රකින්ඩ වුවමනා දෙයක්.

ඕනෑම දෙයක් විනාශ කරන්ඩ ලේසියි. පහසුයි. ගොඩනගන්ඩ අපහසුයි. හැම යටත්විජිතවාදියාම යටත් කරගන්නා රට විනාශ කළා. රටේ සංස්කෘතිය විනාශ කළා. අද සිදුවෙන අරලිය ගහ මන්දිරයේ ආරක්ෂාවට තිබුණ ගොඩනැගිලි විනාශ කිරීම සෝබන වැඩක් විදිහට සැලකීම වැරදියි. සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරවීමට මාලිමා ආණ්ඩුව යොදාගන්ඩ සූදානම් පිරිසක් ඉන්නව. රනිල් යොදවා ඉඩම් ඔප්පු දීමෙන් උතුරු නැගෙනහිර බෙදුම්වාදීන්ගේ බලය තහවුරු කළා. මාලිමාව එහි ජයග්‍රාහී පියවරයි. ඒ හැර කොමියුනිස්ට්වාදීන්ට අකමැති සංවිධාන හා රටවල් මෙවැනි මාක්ස්වාදීන් පිරිසකට ආදරය කරන්නෙ නැහැ. මෙය විශ්මිත දෙයක් නොවේ. බෙදුම්වාදීන්ගේ අලුත්ම උපායක්.

පෘතුගීසින් ගොඩබසින කාලයේ ජයවර්ධන රාජධානිය සුරපුරයක් වශයෙන් පැවතුන බව කියවෙනව. පෘතුගීසි, ඒ සුරපුරය අපායක් කළා. මාලිමා රජය අරලිය ගහ මන්දිරයට අයත් ගොඩනැගිලි කඩා දැමීම විනාශ කිරීමක්. ජවිපෙ නොයෙක් දේවල් විනාශ කරපු දේශපාලන පක්ෂයක්. මාලිමාව හැදෙන්නේ ජවිපෙ ජානවලින්.

අනුර ජනාධිපතිවරයා මහා මැතිවරණයට තරග කරන මාලිමා අපේක්ෂකයින් අමතා කරන කතාවක් රූපවාහිනි නාළිකාවලින් 13 වැනි ඉරිදා විකාශනය වුනා. අතීතයේ මැතිවරණවලදී පාර්ලිමේන්තුවේ බලය ලැබූවන් හා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජය ගැන කී ඔහු පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි සංඛ්‍යාව වැඩි කරගැනීමට එහා ගිය පක්ෂයේ ගුණාත්මක ජයග්‍රහණයක් ගැන පැහැදිලි කළා. ප්‍රවෘත්තිය නැරඹූවන් බොහෝ දෙනාට ඔහුගේ කතාව වැටහුනාදැයි සැකයි. මාක්ස්වාදියෙක් හැටියට ඔහු කළ ඒ කතාව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට කරන භයානක අනතුරු ඇඟවීමක්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link