ආධුනිකයාගේ කටුසටහන

Last Updated on 8 months by admin

දෘෂ්ටි කෝණය නිසා රසය මොට වුණු නිර්මාණයක්

කවර හෝ නිර්මාණයකට ‘දෘෂ්‍ටි කෝණය’ කෙතරම් නම් වැදගත් දැයි අවබෝධ කර ගත හැකි නිර්මාණයකි, ටී. එම්. ජයරත්න විසින් ගයන ලද, රෝහණ වීරසිංහ විසින් තනුව නිර්මාණය කරන ලද, මාලනී ජයරත්න විසින් ලියන ලද, ‘අම්මා සඳකි’ ගීතය.

එය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියැවී තිබේ. එහි කථකයා, ‘තාත්තා’ ය.

තාත්තා ම ඉදිරිපත් වී අත්දැකීම නිරූපණය කරන හෙයින් භාවාතිශය වීමක් ද ඒ නිසා ම රසය මොට වීමක් ද සිදු වී තිබේ. එපමණක් නොව ජීවන දෘෂ්ටිය වශයෙන් ගත්ත ද මතු වන්නේ රසවත් යැයි එක හෙළා ම අගය කළ හැකි තත්ත්වයක් නොවේ. සැබැවින්ම තමා තමා ගැන ම පමණක් නොසෑහෙන්න වර්ණනා කර ගැනීම, රසයට බාධාවක් ව නැගී සිටියි.

අම්මා සඳක් බවත් තාත්තා වන තමා ඉරක් බවත් ස්ථායි කොටසින් කියැවේ. ඒ ඉරෙන් හා හඳෙන් දරුවාගේ ලෝකය එළිය වන බවත් එහි දැක්වේ. දරුවාගේ ලෝකය එළිය වන බව කීමෙහි කිසිදු වරදක් නැත. එහෙත් එකී නිරූපණය ඔස්සේ ඇඟවෙන්නේ (පියා අඟවන්නේ) සූර්යයා වන පියාගෙන් (තමාගෙන්) එළිය ගෙන දරුවා පමණක් නොව, දරුවාගේ අම්මා ද (සඳ ද) බැබළෙන බවය. කථන ක්‍රමය වෙනස් වූයේ නම් (පියා විසින් ම එම අදහස නොකියා, වෙන අන් කෙනෙකුගේ – කථකයෙකුගේ මාර්ගයෙන් එම අදහස කියැවුණේ නම්) රස භංග වීමක් සිදු නොවේ; ඖචිත්‍යය රැකේ. (එලෙස තමා තමා ගැන ම මහත් ඉහළින් අගය කර ගැනීමට යෑම අන්තරා කොටස්වලින් වඩාත් ප්‍රභල ව  සිදු වේ) තවද ‘ස්ථායි’ කොටසේ අවසන් පදවලින් කියැවෙන්නේ (අවධාරණය කෙරෙන්නේ) පුතා (දරුවා) රැකුමට දුක් ගැහැට විඳි පියා හෙවත් තමා වෙනුවෙන් කව්ගී ලියැවුණා මදියි කියාය. සැබැවින්ම මෙම අදහස තමා, තමා වෙනුවෙන් ම නොකියා (උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය වෙනුවට) වෙන අන් කථකයෙකු අතින් කියැවුණේ නම් වඩා වැඩි වටිනාකමක් තත් නිර්මාණයට එකතු වනු ඇත.

‘පළමු අන්තරා’ කොටසින් මව් සෙනෙහස සැහැල්ලුවට ලක් වේ. මව, දරුවා කුසේ දරාගෙන සිටිය බරට වඩා වැඩි බරක් පියා වන තමා දරුවා වෙනුවෙන් ඔසවා සිටින බව පළමු අන්තරා කොටසින් ධ්වනිත වේ. එසේම කථක පියා දරුවාගේ සිරුරේ දුවන්නේ තමාගේ ලේ පමණක් යැයි කියා අයිතිවාසිකම (ගෞරවය) සම්පූර්ණයෙන් ම තමන්ගේ පැත්තට ගැනීමට ද උත්සහ කරයි. මවගේ සේම තමාගේ ලෙයත් කිරි නොවීම ගැන කථකයා පුදුම වන බව කථකයා ම පවසයි. එය නිර්මාණයකට නුසුදුසු තරමේ ‘භාවාතිශය’ වීමකි.

මවකට ‘මුවා වී’ දරුවාට දිවි දුන්නේ කථකයා ම බව ‘දෙවන අන්තරා’ කොටසින් කියැවේ. ඒ බව දන්නේ ද තමා ම පමණක් බව ද ඔහු කියයි. මේ සියලු ‘භාවාතිශය වීම්’ ඔස්සේ කථකයා මවට වඩා පියා වන තමා උතුම් බව ඇඟවීමට යයි. එය කෙතරම් නම් පටු දෘෂ්ටියක් ද? එපමණක් නොව, “පිය සෙනෙහස නැති ද දරුවනි හඳුනන්නේ?” යනුවෙන් කථක පියා දරුවන්ට ද මහත් වූ චෝදනාවක් එල්ල කරයි. එම චෝදනාව කුළුගන්වන්නේ, “අම්මාවරුන් පමණ ද මතු බුදු වන්නේ? යනුවෙන් දැඩි ආත්මාර්ථකාමි දෘෂ්ටියක් මතු කරමිනි. එය රසය භංග කරන්නකි. දෘෂ්ටි කෝණය විසින් ජීවන දෘෂ්ටිය ද පහත දමා ඇති අන්දම මෙහි දී කැපී පෙනෙයි!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link