Last Updated on 2 hours by admin
ඩේවිඩ් ඇන්තනි

වසර කිහිපයක් තුළ ඉන්දියාව සමීපයේ පිහිටි රටවල් තුනක (ශ්‍රී ලංකාව, බංගාලිදේශය හා නේපාලය) දේශපාලන වියවුල් ඇති විය. ලංකාවේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිය ක්‍රියාව හැඳින්වූයේ ’ගෝල්ෆේස් අරගලය’ නමිනි. මෙය රටවැසියන් නොමග යැවීමට පාවිච්චි කළ වචනයක් බව වැටහෙන්නේ අරගලය යන්න ලංකාවේ වාමංශික ව්‍යාපාරය ජනගත කළ වචනයක් බව තේරුම්ගත් විටයි. මාක්ස් පෙන්වූ ලෙසට, ‘පීඩිත පන්තිය අරගලයක් මගින් ධනේශ්වර පංතිය සතු රාජ්‍ය බලය පැහැර ගනියි’. ගෝල්ෆේස් අරගලය ක්‍රියාවට නැංවූයේ කිසියම් පංතියක් විසින් නොවේ. එහි ක්‍රියාකාරීන් නිර්ධන පංතියට අයත් කිරීමට නොහැක. බංගාලිදේශ සහ නේපාල සිදුවීම්ද අරගල නොවේ. මේවා මෙහෙයවූයේ කවුරුන් වුවත් අරගලවල ප්‍රධාන ප්‍රතිඵලය වී ඇත්තේ අදාළ රාජ්‍යයන්හි ස්වෛරීභාවය නැතිවීමයි.
බංගාලි ජාතික තස්ලිමා නස්රින් නමැති උගත් කාන්තාව ලියූ පොතකින් ඉස්ලාම් ආගමට හානියක් වෙතැයි ඉමාම්වරුන් කියන්නට වූයෙන්, පණ බේරාගැනීම සඳහා රටින් පලායන්නට ඇයට සිදු විය. ඒ තරමටම අවදියෙන් සිටින ඉමාම්වරුන් සිටින ෂාරියා නීතිය ක්‍රියාත්මක වන රටක මහාපරිමාණයේ දූෂණවල යෙදෙන පාලකයින් පිරිසක් ඇති විය නොහැක. ඩැකා නුවර වීථි බැස්ස කලහකරුවන් පළමුව මොර ගැසුවේ හෂිනාගේ රැකියා කෝටා ප්‍රතිපත්තියට විරුද්ධව බව ඇත්තකි. නමුත් ඔවුන් ගිනි තැබීමේ වැඩපිළිවෙළින් කීවේ පාලකයින් දූෂිත බවයි. ෂෛක් හසිනා යනු බංගාලිදේශයේ නිදහස් සටනේ නායක ෂයික් මුජිබර් රහමන්ගේ දියණියයි. 1975 වසරේදී මුජිබර් රහමන් ඝාතනය විය. අරගලය නිසා හසීනාට ඉන්දියාවේ සරණාගතයෙකු වන්නට සිදු විය.
නේපාල ජාතිකයින් පිරිසක් කෝලහාලය පටන්ගත්තේද පාලකයින් දූෂිත බව කියමිනි. නේපාලයේ පැවතුනේ වමේ ආණ්ඩුවකි. එම නිසා දක්ෂිණාංශිකයන් පිරිසක් නේපාල පාලකයින් දූෂිතයන් වශයෙන් සැලකුවා යයි යමෙකුට කියන්නට පුළුවන. එහි අරගලකරුවන් පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි තැබුවේද පාලකයන් දූෂිත යයි කියමිනි. එම අවස්ථාවේදී අගමැති නිවෙසට ගිනිතබා අගමැතිවරයාගේ බිරිඳ පුළුස්සා මැරීම ප්‍රසිද්ධ සිදුවීමකි. අලසව සිදුවීම් දෙස බලමින් සිටි හමුදාව අන්තිමට රටේ පාලන බලය සියතට ගත්තේය. දැන් විශ්‍රාම ගිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයවරියක වූ ෂුෂිලා කර්කි රටේ තාවකාලික අගමැතිවරිය වශයෙන් කටයුතු කරයි. දූෂිත අධිකරණයක් පැවතුනේ නම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයවරියක සුජාත වූයේ කෙසේද යන්නත් සමහරුන්ට ප්‍රශ්නයකි.
ජවිපෙ ලංකාවේ රාජ්‍ය දේපොල විනාශ කිරීම අරඹන්නේ 1971 වසරේය. සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව මොවුන් සොයා සොයා පුනරුත්ථාපනය කිරීම ඇරඹූ පසුව ඔවුන්ට ‘චේ ගුවේරාකාරයෝ’ යන නම වැටුණි. එය රාජ්‍ය අංශයෙන් දුන් නමක් විනා ජවිපෙ සාමාජිකයන් හදාගත් නමක් නොවේ. වර්තමානයේ රට පාලනය වන්නේ ජවිපෙ සම්බන්ධ ආණ්ඩුවකිනි. කාටත් සාධාරණ නීතියක් ගැන කතා කිරීම ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණයකි. මෙය බළලා නවගුණ වැල ගැනීම හා සමාන ක්‍රියාවක් බව සමහරුන්ගේ අදහසයි.
ගෝල්ෆේස් අරගලය ජවිපෙන් මෙහෙයවූවක් නොවේ. ජවිපෙ නායකත්වයට පත්වු නමුදු අනුර කුමාර දිසානායක ජවිපෙ දරුවෙකු නොවේ. ඔහු පක්ෂයේ බලය ඇල්ලූ බව සෝමවංශ අමරසිංහ වැනි නායකයින්ගේ කතාවලින් හෙළි වේ. ගෝල්ෆේස්කරුවන් පාර්ලිමේන්තුව ගිනි නොතැබුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ දක්ෂකම නිසාය යන්නත් දෙවරක් සිතා බැලිය යුතු කතාවකි. ඒ සමයේ බොහෝ මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තැබිණි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නිවසත් ගිනි තැබුණු බව ඇත්තකි. නමුත් අරගලකරුවන් සැරසුනේ පාර්ලිමේන්තුව ගිනි තැබීමට නොවේ. ගඩාෆි මැරූ ආකාරය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දඩයම් කිරීමටයි. ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ රටේ නායකයා වනවාට හමුදාව හෝ කෝලහාලකරුවන් හෝ විරුද්ධත්වයක් දැක්වූයේ නැත.
මහින්ද රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙකු යයි කීමෙන් අදහස් කෙනෙන්නේ ඔහු කළ හැම වැඩක්ම නිවැරදි බවක් නොවේ. මොරටුව රාවතාවත්ත ‘ප්‍රේම නිවාසය’ ළමා ආරක්ෂක අංශයේ පරීක්ෂාවට ලක්ව එහි සිටි ඉන්දිය කන්‍යා සොහොයුරියක අත්අඩංගුවට ගත් අවස්ථාවේ කාදිනල් මැල්කම් රංජිත් සියලුම රජයේ උත්සව වර්ජනය කරන බව පැවසූ විට ඔහු හැසිරුන ආකාරය ආදිය ගැන විවේචන තිබේ. නමුත් ඔහු කොටින් හා කළ යුද්ධය අවසන් කරන්නේ රටට සාමය උදාකිරීමේ යහපත් පරමාර්ථයෙනි.
සාමය උදෙසා ප්‍රචණ්ඩත්වය නැති කිරීමට සිදු වන අවස්ථාවලට උදාහරණ අප්‍රමාණය. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බින් ලාඩන්ව ඔහු විසූ රටටම ගොස් මරා දැමීමට ඇමරිකානු හමුදාවට සිදු වීම නිදසුනකි. පසුගිය සතියේ කටාර් රාජ්‍යයේ ස්ථානයකට බෝම්බ දැම්මේ එහි හමාස් නායකයෙකු සැඟවී සිටි නිසා බව ඊශ්‍රායලය කියයි. වින්ස්ටන් චර්චිල් එංගලන්ත හමුදාව දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ කරන්නේ ලෝක සාමය වෙනුවෙන් එසේ කළ යුතු බව කියමිනි.
මහින්ද රාජපක්ෂට සාමය වෙනුවෙන් යුද්ධය නිමා කරන්නට සිදුවූ අතර ආර්. ප්‍රේමදාස ජේ ආර්. ජයවර්ධන වැනි නායකයින්ට නැති ගුණවත්කම්ද ඔහුට තිබුණි. ඔහු කිසිම අවස්ථාවක ජන ඝාතන අනුමත කළ බවක් දැනගන්නට නැත. ජවිපෙ සාමාජිකයන්ගේ ජීවිත බේරාගැනීමට පවා ඔහු ඉදිරිපත් විය. ඔහු හම්බන්තොට වරාය හැදීමට චීනය සම්බන්ධ කරගෙන ඉන්දියාව හතුරු කරගත් බව ඇතැමුන්ගේ අදහසයි. මේ ගැන අදහස් දක්වන සමහරු රනිල් බලයට ඒම යට ඉන්දියානු හස්තය ඇතැයි කියති. ඒ කාලයේ අනුර කුමාර දිසානායක මහින්ද රාජපක්ෂව බිම දැමීමට වෙහෙසුන රනිල්ගේ ගෝලයෙකු වශයෙන් කටයුතු කරනු පෙනුණි. සර්වජන බලය නායකයා කී ලෙසට ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම දේශපාලන නාටකයකි.
ඉන්දියාව ’වික්සිත් භාරත්’ නමින් මහාභාරතයක් ගොඩනැංවීමට කටයුතු කරයි. වාචාර්ථයෙන් ගත් විට එයින් කෙරන්නේ ඉන්දියාව පිබිදීම මිස අවට පිහිටි රටවල් යටත් කරගැනිමක් නොවේ. නමුත් වික්සිත් භාරත් යන්නේ යටි අරමුණ හෙජමනියක් ගොඩනැංවීම බව සමහරුන්ගේ අදහසයි. පැරණි ග්‍රීකයන්ගේ ව්‍යවහාරයක් ඇසුරෙන් නූතන ඉංග්‍රීසි භාෂාවේ හෙජමනි (Hegemony) යන වචනය හැදී තිබේ. එයින් කියවෙන්නේ බලගතු රටක් තමන්ගේ ඵෙතිහාසික උරුමයක් ප්‍රකාශ කරමින් රට වටා පිහිටි රටවල් මහා රටට එකතුකර ගැනීමයි. ඉන්දියාව හෙජමනිය තැනීම මීට කාලයක පෙර ඇරඹූ දේශපාලනික ක්‍රියාවකි. ඊට හිසනැමීමට ජේ. ආර්. ජයවර්ධනට සිදු විය. අනුර කුමාර ඉන්දියානු අගමැති හමුවේ හැසිරුන ස්වභාවය සහ ඔහු සමග අත්සන් කළ රහස් ගිවිසුම්වලින් කියවෙන්නේත් ඔහු ඉන්දියාවට අවනත වී කටයුතු කිරීමට සූදානම් බවයි.
ගතවූ කාලයේ අනුර කුමාර ජනපතිගේ ආණ්ඩුවෙන් කළ ප්‍රධානම ක්‍රියාව මහින්ද රාජපක්ෂට, ඔහුගේ පවුලට හා හිතවතුන්ට බැට දීමයි. ඒවා දැක දෙමළ ඩයස්පෝරාව සතුටු වූ බව ඇත්තකි. ආණඩුව මහින්ද රාජපක්ෂව නිවසින් පැන්නූ බව බෙදුම්වාදී ඩයස්පෝරා මාධ්‍යයන් ප්‍රකාශයට පත්කරන්නේ මහා ප්‍රීතියකිනි. ඒ කුමක් වුවත් මෝදිගේ ආණ්ඩුව තමිල්නාඩුව නමින් ස්වාධීන රටක් හැදෙන්නට කිසිදාක ඉඩක් දෙනු ඇතැයි සිතිය නොහැක. වික්සිත් භාරත් යටතේ ඉන්දියාවේ කිසිම ප්‍රාන්තයකට ඉන්දියාවෙන් ගැලවිමට ඉඩක් නොලැබේ. රජීව් ගාන්ධි සමයේ සිදුවූ පරිදි ඉන්දියානු හමුදා උතුරේ ජනයාට කන්ඩ ගුවනින් පරිප්පු දැමීමක් යළි කරාවි යයි සිතන්ට නුපුළුවන. ලංකාවේ පාලකයා ඉන්දියාවේ ප්‍රාන්ත නායකයෙකු වශයෙන් භාවිත කිරීම ඊට වඩා සාර්ථක දේශපාලනයකි. ඔහු ලවා සිංහල බෞද්ධයන්ට තඩිබා තමිල්නාඩුවේ ජාතිවාදී දේශපාලනඥයින් සතුටු කිරීම එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු බිම දැමීමකි.
මෛත්‍රීපාල සිරිසේන ඉන්දියානු ක්‍රමයට ඇඳුමක් දාගෙන ජනාධිපති තරගයට ඇවිත් ඉන්දියාවට තම පක්ෂපාතිත්වය පෙන්නුවේය. අනුර කුමාර මෝදි සමග ලංකාවට පැමිණි සියලුම ඉන්දියානුවන්ට ගුවන් තොටුපළක් නැති අනුරාධපුරයේ සිට ගුවනින් ඉන්දියාවට යාමට ඉඩ සලසා දුන්නේය. ‘නිවටයා දැක්කාම එළුවාත් නිකට පානවා වගේ යැ’යි කතාවක් සිංහලයේ පවතී.
අනුර කුමාර දිසානායක, සිරීසේනට වඩා දුර්වලයෙකු බව සමහරුන්ගේ අදහසයි. ඔහු තමිල්නාඩුවේ තලපති විජේ නළුවාගේ කතාවට පිළිතුරු සපයන්නට ඉදිරිපත් වූ හැටි ඊට සාක්කියකි. හැම වසරකම දහස් ගණනින් තමිල්නාඩු කතෝලිකයෝ කච්ච්තිව් එති. යති. අතීතයේ ප්‍රධාන විහාරයක් පැවති ස්ථානයක් වන නමුදු දැන් එහි බලය ඇත්තේ කතෝලික පල්ලියටයි. තමිල්නාඩුවේ සහ විජේගේ චිත්‍රපටි තරගයට වගේ ලංකාවේ සියලුම රූපවාහිනී නාළිකාවන්හි ප්‍රදර්ශනය වෙන්නේත් භික්ෂුන් වහන්සේගේ වුවමනාවකට විය නොහැක.
මහින්ද රාජපක්ෂ තමා නීතියට ගරු කරන්නෙකු බව පෙන්වමින් කොළඹ නිල නිවස අතහැර තංගල්ලට ගියේය. රටේ විවිධ ප්‍රදේශවලින් විවිධ තරාතිරමේ මනුෂ්‍යයෝ එහි ගොස් මහින්ද රාජපක්ෂට හිතවත්කම පෙන්වති. ඔවුන් අතර විදේශ තානාපතිවරුන්ද සිටි බව ජනමාධ්‍යයන්ගෙන් ප්‍රකාශ විය. ස්පාඤ්ඤයේ කොටසක් ඉස්ලාමිකයන් අල්ලාගෙන සිටි සමයේ එහි සිදුවූ යුද්ධවලදී මිය ගිය ඉස්ලාම් සෙනෙවියකුගේ (El Cid හෙවත් Rodrigo Díaz de Vivar) මළසිරුර අශ්වයකු පිට බැඳගෙන ගියේ යැයි කතාවක් තිබේ. වයෝවෘද්ධ නමුදු මහින්ද රාජපක්ෂ මාලිමාව පරාජය කිරීමේ දේශපාලන ව්‍යාපාරයේ සංකේතය වන බවක් පෙනේ. ඔහු වටා මාලිමා විරෝධී සියලුම දේශපාලන පක්ෂ හා නායකයින් එක්සත් වුවහොත් ඉන්දියාව, චීනය යන රටවල් ලංකාවේ අනාගතය ගැන දැනට වඩා වෙනස් ආකාරයකින් කටයුතු කරන්නට ඉඩ තිබේ.