ඇයි අනුරට මෙහෙම කළේ?

Last Updated on 4 hours by admin

කවුඩංගොල්ල මහවිදානේ විසිනි

Pic. from the internet

ඉන්දියාවේ නවදිල්ලියේ පැවති ඒඅයි ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගි වූ රාජ්‍ය නායකයින් ලෝකයට ප්‍රදර්ශනය කිරීමට ඉන්දියාව ප්‍රසිද්ධ කළ සමූහ ඡායාරූපය ගැන විචේචන පළ වේ. උස නායකයින් දෙදෙනෙකුට මැදිව සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඡායාරූපයෙන් පෙන්වන්නේ මිට්ටෙකු ලෙසටය. අන්ධයන් සේ මාලිමාව පස්සේ යන්නන්ට එහි වරදක් නොපෙනේ. රටට ආදරය ශ්‍රී ලාංකිකයන්ට ඇත්තේ වේදනාවකි. ඒ අනුර දිසානායක සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපතිවරයා බැවිනි. ඔහු නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය බැවින්, ඔහුගේ ප්‍රතිරූපය රටේ ප්‍රතිරූපයට විශාල බලපෑමක් එල්ල කරයි.

ජාත්‍යන්තර සම්මේලනවලට සහභාගි වන නායකයින්ගේ සමූහ ඡායාරූප ගැනීමේදී පිළිපැදිය යුතු නියමාවලියක් (ප්‍රෝටකෝල්) තිබේ. ඒ අනුව උස් නායකයන් දෙදෙනෙකුට මැදිව මිටි නායකයකු ස්ථානගත කිරීම බලාපොරොත්තු විය නොහැක්කකි.

මේ කාර්යයන් සංවිධාන කරන නියමාවලි කණ්ඩායම් (ප්‍රොටකෝල් ටීම්) මෙවැනි තත්වයන් පිළිබඳව හොඳ අවබෝධයක් ඇත්තවුන්ය. සුළු දෝෂයක් සහිත ඡායාරූපයක් නිසා වුව රාජ්‍ය නායකයින් සමාජයේ සරදමට ලක්වීමට ඉඩ ඇති බව ඔවුහු දනිති. ඒ නිසා මෙවැනි ගැටලු විසඳීම සඳහා ඔවුහු විවිධ උපක්‍රම පාවිච්චි කරති. කැමරා කෝණ හා කාච, ශිල්ප ප්‍රයෝග (ෆොටෝග්‍රැෆර් ඩිප්ලොමසි) පවා ඒ අතර වේ. උක්ත සමූහ ඡායාරූපය සංවිධාන කළ ඉන්දීය නියමාවලි කාර්ය මණ්ඩලය මේ දැනුමින් තොර වූවන් යැයි විශ්වාස කළ නොහැකිය.

එසේම තම රාජ්‍ය නායකයාට මේ ආකාරයෙන් නුසුදුසු ස්ථානයක් හිමි වුවහොත් නියමාවලි කාර්ය මණ්ඩලය වෙත කරනු ලබන ඉල්ලීමක් මගින් සුදුසු තැනක් වෙන් කරගැනීමට නායකයාගේ කාර්ය මණ්ඩලයට පුළුවන. ඒ සියලු අවස්ථාවන් මඟහැරී සෙසු නායකයින් අතර අනුර ජනාධිපතිවරයා හෑල්ලුවට ලක් කෙරෙන ඡායාරූපයක් ලෝකයට මුදාහැරුණේ කෙසේද? අපේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ නොහැකියාව නිසාද? අපේ ජනාධිපතිවරයා සමච්චලයට ලක් කරන්නට කිසිවෙකුට වුවමනා වූ නිසාද?

ඉන්දියාව බොහෝ කලක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතුණි. ඊට පෙර එය ඉස්ලාම් යටත් විජිතයකි. මේ සියලු කාලයන්හි ඉන්දියානුවන්ගේ සිත්වල යටත් විජිත මානසිකත්වය ඇති කිරීමට යටත් විජිත පාලකයින්ට හැකි විය. ශරීරයේ වර්ණය, ආගම, භාෂාව, සංස්කෘතිය, දැනුම ආදී හැම දෙයකින්ම ඉන්දියානුවන්ට වඩා යුරෝපීයයන් උසස්ය යන සිතුවිල්ල ඇති කිරීමට රට පාලනය කළ බ්‍රිතාන්‍ය නිලධාරීන් වෙහෙසී තිබේ. මේ ගැන හොඳ දැනුමක් බොහෝ ඉන්දියානුවන්ට ඇත.

සිංහලයන්ගේ අදීනත්වය නැති කිරීම පෘතුගීසි, ලන්දේසි පාලන සමයන්හිදී ආරම්භ වූවකි. අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර වැනි නායකයින්ගේ චරිත විභාග කරන්නෙකුට ඔවුන් බ්‍රිතාන්‍ය පාලකයින්ගෙන් සිංහල බෞද්ධයින් බේරාගැනීමට මොන තරම් වෙහෙසක් දරා ඇත්දැයි පැහැදිලි වේ. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා ජාතික ඇඳුමට බැස්සේ ලාංකිකයන්ට අදීනත්වය ලබාදීමේ අදහසනි. සිරිමා බණ්ඩාරනායක අගමැතිවරිය ඔසරියෙන් හැර වෙන කිසිම ඇඳුමකින් සභාවක් හමුවට පැමිණ නැත. මහින්ද රාජපක්ෂ රුහුණේ කුරක්කන් පැහැය සංකේතවත් කෙරෙන සාටකයක් ජාතික ඇඳුමට එක්කර ගත්තේය. මේ හැම ක්‍රියාවක්ම ජාතියට එක සේ වැදගත් වන්නේය.

සිරිමා අගමැතිවරිය එලිසබෙත් රැජින සමග

උක්ත ඡායාරූපයේ අනුර ජනාධිපතිවරයාට දකුණු පසින් සිටින අරාබි නායකයා සහ භූතාන නායකයා සිය ජාතික ඇඳුම්වලින් සැරසී සිටිති. මෝදි ඉන්දියානු ඇඳුමින් සැරසී සිටී. ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුළු යුරෝපීයයෝ යුරෝපා ඇඳුමින් සැරසී සිටිති. අපේ ජනාධිපතිවරයා පෙනී සිටින්නේ අංගබජල් ඇඳුමකිනි.

එංගලන්තයේ ඉගෙනුම ලැබූ ජවහර්ලාල් නේරු ‘කොකනට්’ (කළු හම ඇති මනසින් සුද්දෙකු වූ) ඉන්දියානුවෙක් වූයේය. ඔහුට සිහිය ආවේ මහත්මා ගාන්ධි ඉන්දියානු නිදහස් සටන මෙහෙයවන හැටි දැකීමෙනි. වරක් ගාන්ධි රාජකීයන් හමුවීමට එංගලන්තයට පැමිණියේය. ඔහුගේ ඇඳුම කදාර් රෙද්දකි. හෙතෙම, ශීතලට තවත් කදාර් රෙද්දක් පොරවාගෙන සිටියේය. ගාන්ධි දුටු ඉංග්‍රීසි නායකයෙක්, ‘හාෆ් නේකඩ් ෆකීර්’ යැයි කීවේය. ගාන්ධි නොසැලුණි. කලිසම, කෝට්බෑය, ටයිපටිය සහ නීතිඥ පට්ටම අළුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දැමූ ගාන්ධි කළ වීර ක්‍රියාවලින් පන්නරය ලැබූ නේරු ඔහු හා එක්වී නිදහස් සටනට සහභාගි වූයේය.

නේරු, නිදහස් ඉන්දියාවේ පළමු වැනි අගමැතිවරයා වශයෙන් තෝරා ගැනුණි. නේරු දිවුරුම් දිය යුතුව තිබුණේ මවුන්ට් බැටන් සාමිවරයා හමුවේය. මවුන්ට් බැටන් සාමි උස මහත ශරීරයක් හිමි පුරුෂයෙකි. නේරු, ඔහු හමුවේ කුඩා සිරුරක් ඇති මිට්ටෙකි. උත්සවය සූදානම් කරන ඉන්දියානු දේශප්‍රේමිහු උස් පඩියක් මත නේරු සිටුවා ඊට පහළ ස්ථානයක් මවුන්ට් බැටන් සාමිට සූදානම් කළහ. මේ නිසා ඡායාරූපවල මවුන්ට් බැටන් සාමි හා නේරු උසින් සමාන සේ පෙනේ.

නේරු දිවුරුම් දුන් අවස්ථාව

බර්ලිනයේදී ‘ෆ්‍රෝනවු’ පන්සලට යෑමට මැලිවූ විජේවීර එංගලන්තයට ගිය සැණින් මාක්ස්ගේ ස්මාරකය ඉදිරියට ගොස් මල් වඩමක් තබා බුහුමන් දැක්වූයේය. මෙය ඔහුගේ දීනත්වය පෙන්වන්නකි. රටවැසියන් තුළ ජාතිකත්ව හැඟීම් ඇති කරන හැම ක්‍රියාවකටම මාලිමාවන් හිනාවෙන්නට හේතුව ඔවුන්ගේ මොළයට ඇතුළු වූ නිවටකමයි. රට පාලනය කරන ඔවුන් අතින් දීන මනස පෙන්වන නොයෙක් ක්‍රියා සිදු වේ.

ජාතිකත්වයක් නැති දේශපාලනඥයින්ගේ රටක් වූ ශ්‍රී ලංකාවේ නායකයින් ඉන්දියාවේදී මේ ආකාරයට බාල්දු කිරීම ජාතිකත්වය නැතිකර ගැනීමේ විපාකයක් යැයි සමහරු කියති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top