එදා පටන් අද දක්වා ජවිපෙ හොරකම් මැරකම් ජඩකම් බලුකම් ගැන විජේවීරගේ සගයකු කරන හෙළිදරව්වක්

Last Updated on 3 weeks by admin

ජනාධිපති ඡන්දය ප්‍රකාශයට පත්ව නාමයෝජනා දීම තෙක් පැමිණ දැන් එහි ප්‍රචාරක උණුසුම ඉහළ නැගීම ආරම්භ වී තිබේ. ජවිපෙ ජාතික ජන බලවේගය ඒ සඳහා ප්‍රචාරක වැඩකටයුතු පටන්ගෙන සිය අපේක්ෂකයාද නම් කළේ මින් වසරකට පමණ පෙරදීය. එය ප්‍රතිවාදියකු නැති පොර පිටියක ඒක පාක්ෂික අඬහැරයක් වූයේය. හෙවත් පාළු ගෙයකට පැන වළං බිඳීමක් සේ විය. ප්‍රචාරක උපක්‍රමයන්ගෙන් සහ සංවිධානාත්මක හැකියාවෙන් තමන්ම පුම්බා පෙන්වීමට කවදත් දක්ෂ ජවිපෙ මෙයින් කිසියම් පලයක් නෙළාගත් බව සැබෑය. දේශපාලන රඟපෑම් නැරඹීමට කොහොමටත් උණක් ඇති අපේ රටේ ජනතාවට නැරඹීමට තිබූ එකම වේදිකා නාට්‍යය මෙය වූ බැවින් ඔවුන්ගේ රැස්වීම් සහ ‘අර-මේ’ සමුළු වටා එක් රොක් වූ බවද බොරුවක් නොවේ.

ජාතික ජන බලවේගය නමින් අලුතින් වෙස් ගැන්වූ වේදිකාවල් මත සිට වයස 60 ක් වූ පරණ ජවිපෙ ප්‍රධාන මෙත දෙකක් සමාජගත කිරීමට වෙර දැරුවේය. පළමුවැන්න පැවති සෑම ආණ්ඩුවක්ම අවුරුදු 76 ක් රට විනාශ කර 76 අවුරුදු සාපයක් ඇති කළ බවය. ‘හොරා කෑවා, හොරා කෑවා, හොරු… හොරු…’ දෙවැන්න වූයේය.

ජාතක කතාවකද ඇති සේ ඕනෑම ප්‍රලාපයක් නොනැවතීම කියවන විට විශ්වාසයට ගන්නා න්‍යායට අනුව ජනතාවගෙන් යම් ප්‍රමාණයක් මේ කතා විශ්වාස කරන්නට වූයේ විචාර බුද්ධියෙන් තර්කානුකූලව සිතා බලා නොවේ.

රටට නිදහස ලැබුණු පසු ගෙවුණ මේ වසර 76 පුරා (1948 – 2024) රට ගියේ විනාශයටදැයි සිතා බලමු. පළමු අගමැති ඩී. එස්. සේනානායක පාලන කාලයේදී ගල්ඔය වැනි සංවර්ධන කලාප, වගා, ගොවිබිම් සහ වැව් ඇතිකරනු ලැබිණ. ජවිපෙ ‘උපතිස්ස ගමනායකගේ’ පියා ‘උපේනිස් ගමනායකද’ මේ අනුව ඉඩම් අක්කර 8 ක් ලැබී කන්තලේට සංක්‍රමණය වූ ගොවියෙකි. එකල රට සහලින් ස්වයං පෝෂිත විය. තේ, රබර්, පොල් අපනයනයෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි විය.

බණ්ඩාරනායක පාලන කාලයන්හිදී සමාජවාදී කඳවුර සමග ඇතිකරගත් මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය නිසා ඔරුවල වානේ, කැලණි ටයර්, හිඟුරානේ සීනි, පුත්තලම ගාල්ල සිමෙන්ති, පූගොඩ, තුල්හිරිය රෙදි කම්හල් ආදී රටට ලැබුණ දේ කොතෙක්ද? ලෝක රාජ්‍ය නායකයන් ලංකාවට පැමිණ පැවැත් වූ නොබැඳි ජාතීන්ගේ සමුළුව නිසා පුංචි ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධ වූයේ නැතිද? අදටත් විරාජමාන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව එම වසර 76 ට අයත් නැද්ද, එම යුගයේදී වූ ජනසතු කිරීම්, නිදහස් අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සේවාව රටට ලැබුණ ජයග්‍රහණ නොවේද?

1977 දී ජේ.ආර්. විවෘත ආර්ථිකය ඇති කිරීමෙන් දේශීය නිෂ්පාදන ආර්ථිකය විනාශ වී රට පාදඩකරණය වූ බව පැවසෙතත් එම කාලයේදී පවා මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ඇති වී රටට මහා ජලාශ 5 ක් ලැබී විදුලිය බලාගාරද, කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආදී දේ රටට ලැබිණ.

රාජපක්ෂ පාලනයේ දෙවැනි ධුර කාලයේ සිට මහා පරිමාණ හොරකම්, අල්ලස් ගැනීම්, කොමිස් ගැසීම් ආදිය වූයේ යැයි පැවසෙතත් 30 අවුරුද්දක් පුරා පැවති කොටි ත්‍රස්තවාදී යුද්ධය නිමා කරමින් යුද්ධය නිසා විනාශව තිබූ උතුරු – නැගෙනහිර පළාත් නැවත ගොඩනගා දෙමින්, දියුණු රටකට අවශ්‍ය අධිවේගී මාර්ග පද්ධතියක්, තවත් වරායක් සහ ගුවන් තොටුපොළක්, කොළඹ වරාය නගරයත්, අගනගරයට අවශ්‍ය ඉදිකිරීම් රාශියක ඇතුළුව නවීකරණය වූයේය.

මේවාට අමතරව 1977 තෙක් උගත්, බුද්ධිමත්, ගෞරවනීය දේශපාලනඥයන් රැසක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළෝය.

රටක් සංවර්ධනය වන්නේ ඍජු රේඛාවක් ලෙස නොවේ. පන්ති 5 කළ ජවිපෙ සාමජාකයන්ද දන්නා පරිදි ‘දෙපියවරක් පසුපසට පියවරක් ඉදිරියට’ න්‍යාය අනුවය. ලෝක උදාහරණ එමට තිබේ. ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටී හිස ඔසවා තිබේ. වසර 70 ක් සමාජවාදය තිබී එය කඩාවැටී හිඟන රටක් වූ රුසියාව නැවතත් බලවත්ව තිබේ. එසේම වසර 43 ක් ෆිදෙල් කැස්ත්‍රෝ ජනාධිපතිකම කළ සමාජවාදී කියුබාව අද දුක්ඛිත තත්ත්වයක පසුවේ.

76 අවුරුදු සාපයක් ගැන කියන ශ්‍රී ලංකාව එසේද? 30 අවුරුදු ත්‍රස්තවාදී උවදුරක් තිබී, තරුණ කැරලි දෙකකට මුහුණ දී, කොවිඩ් වසංගතයෙන් සහ පාස්කු ප්‍රහාරයන්ද බැට කා ලංකාව සිටින තත්ත්වය ගැන සතුටුවිය නොහැක්කේ සර්ව අසුබවාදී කුහකයන්ටම පමණි. මින් අවුරුදු 50 කට එහා සහ අද වැටුප් පරතරය කෙසේද? එදා රුප. 170.00 ක් පමණ වූ ගුරුවරයකුගේ වැටුප අද රු. 40,000 කි. රු. 500 ක වැටුපක් ගත්තෙකුගේ වැටුප් රු. ලක්ෂය හෝ දෙක බවට පත්ව තිබේ. ඈත ගම්වලට පවා විදුලිය ලැබී තිබේ. ‘‘ප්‍රශ්න… ප්‍රශ්න… නැතෝ… නැතෝ’’ කියමින් හැමදාමත් කෑ ගසන්නේ සහනාධාරවලින් නැතිනම් කාගෙන් හෝ ලැබෙන දෙයකින් ජීවත් වීමට මාන බලන මිනිසුන්ය. හරියටම කියතොත් සියලු දෙයම අනුන්ගෙන් ගන්නා ජවිපෙ නායකයන් මෙනි. ධෛර්යවන්ත මිනිසුන් කුමක් හෝ රැකියාවක් කොට ජීවත් වෙති.

වසර 76 ක සාපයක් රටේ ඇතැයි යන මුසාවට කෙටි පිළිතුර එසේය. අතීත තොරතුරු හෝ දේශපාලනය නොදත් ජනතාව ගොනාට ඇන්දවීමට සිතා 76 අවුරුදු සාපයක් ගැන ජවිපෙ කියන්නේ තමන් මේ කිසිවකට සම්බන්ධ නැති සුපිරිසිදු මිනිසුන් සේය.

එහෙත් 1970 දී පත් වූ සමගි පෙරමුණ ආණ්ඩුව පත් වී වසරක් ගත වීමට පෙරම ආණ්ඩුව පෙරළා රාජ්‍ය බලය අල්ලා ගැනීමට 71 අප්‍රේල් කැරැල්ල ගැසීමෙන් ජවිපෙ රටට කරන ලද්දේ සාපරාධී අපරාධයකි. එසේ නොකළේ නම් රටේ විශාල දියුණුවක් ඇතිවීමට තිබුණේ සමසමාජ – කොමියුනිස්ට් පක්ෂ දෙකද රජයට සම්බන්ධව සිටි එම ආණ්ඩුව යටතේය. 1977 දී 5/6 ක විශාල බලයක් සහිතව ජේ.ආර්. බලයට පත්වන්නේද 70 ආණ්ඩුව පත් වූ විගසම 71 කැරැල්ල ගැසීමෙන් ජවිපෙ ඇති කළ අර්බුදය සිරිමා බණ්ඩාරනායක අගමැතිගේ රාජ්‍ය පාලනයට අහිතකර ලෙස බලපෑ නිසාය.

එයින් පසු රටට මහත් විනාශයක් අත්කළේ 87-89 වසරවල ජවිපෙ ගැසූ 2 වැනි කැරැල්ලය. එය කොටි සංවිධානය වසර 30 ක් පුරා කළ විනාශයට සමානය. 71 සහ 89 කැරලි දෙක නිසා විනාශ වූ ජීවිතවල වටිනාකම මිල කළ නොහැකි අතර කැරලි දෙක මර්ධනයට පුනරුත්ථාපනයට සහ බන්ධනාගාර වියදම්වලට ජවිපෙ විසින් විනාශ කරන ලද රාජ්‍ය පුද්ගලික දේපොළ යථා තත්ත්වයට පත් කිරීමට රජයට දැරීමට වූ මුදල අති විශාලය. ශ්‍රී ලංකාව අද කොතරම් ප්‍රමාණයක විදේශ ණයක උරුමකරුවෙක්ද? ජවිපෙ විසින් කරන ලද විනාශ සහ අලාභ එම ණය බරට ඇතුළත්ව තිබේ. ඊටත් අමතරව යළි නිවැරදි කළ නොහැකි දේවල්ද තිබේ. හොඳම තේ අපනයෙනයෙන් ලෝකයේ නම් දරා සිටි ලංකාවට එම තත්ත්වය අහිමි වී කෙන්යාව වැනි රටවල් එම තැන අල්ලා ගත්තේ 88-89 ජවිපෙ තේ ෆැක්ටරි ගිනි තබමින් තේ නිෂ්පාදනය නතර කර කළ මහා අපරාධය නිසාය.

හොරා කෑවා! හොරා කෑවා!! යන්න අර්ධ සත්‍යයෙන් සහ අතිශයෝක්තියෙන් පිරි කතා ඇතුළත් දෙයකි. තම සමීප හිතවතුන් සහ පවුලේ සහෝදරයකු එළිපිටම කොමිස් ගසමින් අල්ලස් ගනිමින් හොරකමේ යෙදෙද්දී මහින්ද ජනාධිපති ඒවා නොදුටු නෙතින් සිටීම හොරකමට අනුබල දීමක් සහ හොරකමේ යෙදීම හා සමානය. එහෙත් ලැම්බොගිනි කාර්, රත්තරං අශ්වයන්, ගුවන්යානාවල පටවා උගන්ඩාවට ගෙනගිය මුදල් ආදිය ජවිපෙ ගල්පැලෙන බොරුය. හොරකම් ගැන රාජපක්ෂලාට එළව එළවා පහර ගසන ජවිපෙ ඔවුන් විසින්ම වක්‍රාකාරව අගමැති තනතුරටද, ජනාධිපතිකමටද පත්කර වූ ඔවුන්ගේ හිතමිතුරා වන රනිල් කළ වාර්තාගත මහා බැංකු මංකොල්ලය ගැන පුංචි කෙඳිරිලි මිසක වෙනත් හඬක් නොනැගීම හාස්‍යයකි.

එසේම හොරකම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපි සුදනෝ! ලේබලයෙන් වෙනත් අයට ඇඟිලි දිගු කිරීමට ජවිපෙට කිසිදු සදාචාරමය අයිතියක් නොමැති බව ඔවුන්ටම අමතක වීම හෝ අමතක කිරීම මහා විහිළුවකි. උතුරේ කොටි සංවිධානය හැර මං පහරමින්, බැංකු කොල්ලකමින්, ජනතාවගේ මුදල් පැහැරගත් පක්ෂයක් දකුණේ වෙත්නම් ඒ ජවිපෙම පමණි. ජවිපෙ යනු හොරුන්ගෙත් හොරු සිටි පක්ෂයකි. වැල්ලවත්ත බැංකු මංකොල්ලයෙන් රුපියල් කෝටි 5 ක් තරම් වූ මුදල් සහ රත්රන් මළු 13 ක් අරන් එන ගමනේදී එක් රත්තරන් මල්ලක් පක්ෂයේ කිසිවකු විසින් සොරකම් කර ගන්නා ලදී. ජවිපෙ මාතර දිස්ත්‍රික් නායකයකු වූ ‘තල්පාවිල ධර්මේ’ පොලිසියෙන් පහර කා ඝාතනයට ලක් වූයේ ගුරුවරුන්ගේ වැටුප් මුදල් පැහැර ගැනීමට කළ කොල්ලය වැරදී යෑමෙනි. ගුරුවරුන් යනු කවුද? පීඩිත පන්තියේ වෘත්තිකයන් පිරිසකි. අනුන්ගේ හොරකම් ගැන කෑ ගසන්නේ මෙහෙව් ජවිපෙයකි.

ජවිපෙට සිය උපතේ සිටම කිසිම ඍජු ප්‍රතිපත්තියක් හෝ ස්ථිර දැක්මක් නොවීය. එදා සිටම හිතළු සහ ව්‍යාජ මතවාද නිර්මාණය කළ ඔවුහු, බලය ගැනීමේ චේතනාවෙන් ඕනෑම මුසාවක් දෙසා බෑ අතර නිර්ලජ්ජිත වැඩ කළහ. අද පවා එය වෙනස්ව නැත.

විජේවීර එදා පක්ෂය ආරම්භ කිරීමේ අරමුණ අවධාරණය කළේ ඩඩ්ලිගේ රජය තවදුරටත් මැතිවරණ නොතබා ඇමෙරිකාවේ සහායෙන් හමුදා ආණ්ඩුවක් පිහිටුවන බැවින් එය වැළැක්වීමට විප්ලවවාදී පක්ෂය පිහිටුවිය යුතු බවය. රජය ඇල්ල – වැල්ලවාය පාර හදන්නේ ඇමෙරිකානු ගුවන් යානා බෑමට බවය.

එහෙත් ඩඩ්ලි 1970 මහ මැතිවරණයක් පැවැත්වූවා සේම සමගි පෙරමුණ බලයට පත් විය. ජවිපෙ සාමාජිකයන් එම මැතිවරණයේදී සමගි පෙරමුණේ ඡන්ද ව්‍යාපාරයට උදව්කොට ආණ්ඩුවට හුස්ම ගැනීමටවත් කාලයක් නොදී තුවක්කු එකතුකර බෝම්බ හදා 71 දී පොලිසිවලට පහර දුන්නේය. ඉන්පසුව රාජ්‍ය මර්ධනයට මුහුණ දීමට ආත්මාරක්ෂාව සඳහා පහර දුන්නේ යැයි යන මුසාව නිර්මාණය කළේ ය.

විජේවීර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබ සිටියදී දෙවිනුවර රොනී ද මැල් සහ ඔහුගේ බිරිඳ මල්ලිකා ද මැල් හරහා ජේ.ආර්. සමග රහස් සබඳතා පවත්වා ශ්‍රීලනිපයට ප්‍රහාර එල්ල කිරීමේ පොරොන්දුව මත නිදහස ලබා ගත්තේය.

එයින් පසුවද ජේ.ආර්. ගේ මිත්‍රයන් වූ විදේශ විනිමය වංචා කිරීමේ වරදට සිරගතව සිටි ‘නාහා – මුක්තාර්’ යන දෙදෙනා නිදහස් කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ බැවින් ජවිපෙ නායකයන්ටද ඉබේම නිදහස ලැබුණ බවට වූ මුසාවක් ජනගත කළේ ය. නමුත් සැබෑව වූයේ ජවිපෙ නායකයන්ට නිදහස දීමට අදාළ පනත අහෝසි කළ බැවින් එම පනත යටතේ සිරගතකොට සිටි ‘නාහා සහ මුක්තාර්’ ද නිදහස් වීමය.

ජේ.ආර්. සහ විජේවීර අතර වූ මෙම රහස් එකඟතාව තහවුරැ කරන්නට මට ඇති ප්‍රබල සාක්ෂියක් මෙසේ ය. ‘ලයනල් බෝපගේ’ සහෝදරයාගේ නිවසත් මගේ නිවසත් අතර වූයේ සැතපුම් බාගයක දුරකි. ඔහුගේ පියා, මව, සහෝදරියන් තිදෙනා සහ මල්ලි එජාප රජයක් යටතේ ඔහුට නිදහස ලැබෙන පොරොන්දුව ගැන කලින්ම දැන වැලිගම ආනයේ එජාප ප්‍රබලයා වූ ‘මොන්ටේගු ජයවික්‍රම’ දිනවීමට කැන්වසින් ගියහ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු වූ ‘ලයියාගේ’ පියා සහ පවුලේ උදවිය එජාපයට යෑම ගැන අසල්වැසියෝ පුදුමයට පත්ව සිටියහ.

නිදහස ලැබීමෙන් පසු අවස්ථා ගණනක රාත්‍රීන්වලදී ජේ.ආර්. සමග රහස් සාකච්ඡා සඳහා ‘ප්‍රින්ස් ගුණසේකර’ මහතාගේ කාරයෙන් වෝඩ් ප්ලේස්හි ජේ.ආර්.ගේ නිවසට ගිය විජේවීර කුප්‍රකට ‘කෝපි සාකච්ඡා’ පැවැත්වූයේය.

ලෝකයේ කිසිදු විප්ලවවාදී ව්‍යාපාරයක නායකයකු මෙවන් දෙයක් කර තිබේදැයි ඔබ අන්තර්ජාලයට පිවිස ගූගල් සොයා බැලීමක් කර බලන්න. මෙවැනි විකෘති ප්‍රතිපත්ති ඇත්තේ ජවිපෙට පමණි.

එම රහස් සාකච්ඡාව අනුව බන්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ කොමිසමට ජවිපෙ සාක්ෂි දුන්නේය. එසේ සාක්ෂි දුන් කතරගම නෙත්තිකුමාර සහෝදරයා අදටත් ජීවතුන් අතර සිටියි. ඉන් අනතුරුව ‘ශ්‍රීලනිප ගමනක අවසානය’ දේශනය පවත්වමින් විජේවීර රටවටා ගියේය.

‘‘ලෝක සාම නායිකාව – අපේ මාර දූතිකාව’’, ‘‘තරුණන් මැරූ සුදු අධිරද සුරතලිය”, ”මරණින් මතුව ගන්නෙමි ලේවල පලිය’’ යන සටන් පාඨ මතක ඇත්තන් තවමත් ඇතැයි සිතමි.

සිය සාමාජිකයන් රවටමින් ධනපති පාලක පන්තිය සමග රහසිගත සබඳතා පවත්වන ජවිපෙ 87-88 භීෂණය උග්‍රව තිබියදී සුචරිතයට ගොස් ප්‍රේමදාස ජනාධිපති හමු වී ඔහු සමග රහස් සාකච්ඡා පැවැත්වීය. රුක්මන් සේනානායක සහ ඒ. ජේ. රණසිංහ හරහා සාකච්ඡාවට ගියේ ජවිපෙ ඩී. එම්. ආනන්දය. එහි ප්‍රතිඵලය ලෙස 1988 ජනාධිපති ඡන්දයේදී භීෂණය උග්‍ර කොට ශ්‍රීලනිප ඡන්දදායකයන් බියවද්දා සිරිමා බණ්ඩාරනායක පරාජය කොට ප්‍රේමදාසට ජය ගැනීමට සැලැස්වූයේය.

අද ජවිපෙ සහ අනුර කුමාර යනු එදා ජවිපෙම නොවෙනස් දිගුවක් බව වටහා ගැනීමට අවශ්‍ය මනා සිහිබුද්ධිය පමණි. විජේවීර එදා ඩඩ්ලිගේ හමුදා ආණ්ඩුව, ප්ලේන් බස්සන ඇල්ල – වැල්ලවාය පාර, මර්ධනයට මුහුණ දීමට පහරදීම, නානා – මුස්තාර්’ කතා කියූ සේම අනුර කුමාර සහ ඔහුගේ සඟයෝ හම්බන්තොට වරායේ ගල, මාළු ඇමුල්තියල් ගෙන යෑමට හයිවේ, පෝට් සිටියට යන රටේම කළුගල්, ගුවන් යානා පුරවා උගන්ඩාවට යැවූ මුදල්, උමා ඔයේ හිල ආදී හිතලු ගැන බින්න කියයි. විජේවීර, ජේ.ආර්. ප්‍රේමදාස ඇසුරු කළා සේ අද ජවිපෙ චන්ද්‍රකා, මහින්ද, ෆොන්සේකා, මෛත්‍රිපාල බලයට ගෙන ඒමට ක්‍රියා කරමින් සිය මිත්‍රයා වූ රනිල් අගමැති සහ ජනාධිපති කිරීමට වක්‍රව සහ රහසිගතව මෙහෙයුම් දියත් කළේ ය. ජවිපෙ සහ රනිල් අතර රහස් සබඳතා කොතෙක්ද යත් මෑතක්වනතුරු ජනතාව අනුර කුමාර හැඳින් වූයේ ‘‘රතු අලි පැටියා’’ යන නමිනි.

ජවිපෙ කවර ගණයේ දේශපාලන පක්ෂයක්දැයි කවරකු නම් දනිත්ද? ඔවුහු එදා තමන් ‘මාස්ක් – ලෙනින්වාදීන්’’ යැයි පැවසූහ. ‘‘අධිරාජ්‍යවාදයට සහ ධනේෂ්වරයට විනාශය’’ යැයි මොර දුන්හ. මාසයෙන් මාසයට උද්ඝෝෂණ තබමින් ‘‘කියුබාවට අත නොතබනු’’ යැයි ඇමරිකාවට තර්ජනය කළහ. අද ජවිපෙට හතර ගාතයෙන් ඇද වැටී ඇති අසරණ කියුබාව ගැන වගේ වගක් නැත. ඇමෙරිකාව, යුක්රේනය පාවිච්චි කොට නේටෝවෙන් අවි ආයුධ දී රුසියාවට ගැස්සවීම ගැන වගේ වගක් නැත. දැන් ජවිපෙ සටින්නේ ඇමෙරිකාව සමගය. ඔවුන්ගේ හොඳම මිතුරිය ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපතිවරිය වේ.

තමන් මාක්ස්වාදී පක්ෂයක්ද, සුළු ධනේෂ්වර මෙන්ෂෙවික් ව්‍යාපාරයක්ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්ද, ධනේෂ්වර ලිබරල් පක්ෂයක් දැයි ජවිපෙ වත් නොදනී. 71 කැරැල්ලට ආසන්න කාලයක ‘‘තරුණයන් බිලී බා ගන්නා සී.අයි.ඒ. කෙමනක්” යැයි කොමියුනිස්ට් පක්ෂයේ ‘‘ඇත්ත පත්‍රය’’ සිය මුල් පුවතින් රටට අනතුරු ඇඟවීය. එදා සිටම ජවිපෙ සාමාජිකයකු වූ මටද ඒ පරම සත්‍යය තේරුම් ගැනීමට වසර 40 ක් තරම් ගත විය.

එළඹෙන ජනාධිපති ඡන්දයෙන් ජවිපෙ අපේක්ෂකයා (මාලිවාවේ) නිසැකවම පරාජයට පත්වෙතත් රටේ සාමකාමී ජනතාව මේ සත්‍යය වටහාගෙන සිටීම සෑම අතින්ම හිතකරය.

ඔහු ජයගහණය කළේ යැයි අපි නිකමට සිතමු. ඉන්පසු සිදුවන බිහිසුණු ක්‍රියාදාමය ලෝකයේ සිදු වූ දේශපාලන ඛේදවාචකයන් ගැන නොදන්නා කිසිවකුට සිතා ගැනීමට වත් නොහැකි වියවුලකි. එය චීනයේ සංස්කෘතික විප්ලවය, කාම්බෝජයේ පොල්පොට් කළ දේවල්, අරාබි වසන්තයේදී ලිබියාවට, ටියුනීසියාවට, නොබෝදා බංගලිදේශයට වූ දෙයම විය හැක.

විරුද්ධ මතධාරීන්ට පහර දීමට එදා ජවිපෙ යොදා ගත් ‘‘පෝරියල් හමුදාව’’ අද ජවිපෙ ද සිටිති. එයට නිල නොවන නායකත්වය සපයන්නේ දැනටමත් ඒ ගැන ඉඟි සපයා ඇති ලාල්කාන්තය. ගෝල්ෆේස් අරගලයේ ගැටුමෙන් පසුව රජයේ ඇමැති මන්ත්‍රීලාගේ නිවාස හා දේපොළ ගිනි තබමින් මහා විනාශයක් කළේ එම පෝරියල් හමුදාවය. ‘‘මම අපේ ක්‍රමයට දඩබඩ ගාලා රටපුරා අපේ සංවිධානවලට කතා කරලා කිව්වා මේ පහරදීමට විරුද්ධව වහාම උද්ඝෝෂණ පටන් ගන්න කියලා’’ පහරදීම්, ගිනි තැබීම් ආදියට පසුව ලාල් ප්‍රසිද්ධියේම පැවසුවේය. ඔහු දඩබඩ ගා කතා කර කිව්වේ මෙනවාදැයි දුරකථන හඬපට පරීක්ෂාකොට දැනගෙන ඔහු අත්අඩංගුවට ගත හැකිව තිබූ නමුදු තමාට කළ උදව්වට ප්‍රති උපකාර වශයෙන රනිල් එවැනි පියවරක් නොගත්තේය. ඒ වෙනුවට ජවිපෙ ගිනි තබා විනාශ කළ දේපොළ සහ නිවාස සියයක් පමණ වෙනුවෙන් රටේ සහ ජනතාවගේ මුදලින් ඒ සැමට වන්දි දුන්නේය. ජවිපෙ කළ එම විනාශයේ අලාභයද රටේ සමස්ත ණය බරට ඇතුළත්ය.

ජවිපෙ ‘‘දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය’’ නමින් කළ 88-89 කැරැල්ලේ තොරුතරු හොඳින් දන්නකු වශයෙන් මම මේ කරුණ ඔබට කියමි.

මුලදී මුදල් කොල්ලකෑම් සහ පුද්ගල ඝාතන තීන්දු ගත්තේ ජවිපෙ ඉහළ මණ්ඩල සාමාජිකයන් විසිනි. පසුව හමුදා මෙහෙයුම් වැඩිවී ගමනාගමන සහ පණිවුඩ හුවමාරුවේ අසීරුතා මත මෙවැනි තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික් සහ ග්‍රාමීය කමිටුවලට දෙන ලදී. ඉන්පසුව ගමක් ගමක් පසා සිදු වූ මුදල් කොල්ල, කප්පම් ගැනීම්, පුද්ගලයන් ඝාතනය කිරීමේ ක්‍රියාවලිය ජවිපෙ ඉහළ නාකයන්ට පවා පාලනය කරගත නොහැකි විය. ඉතා සුළු කරුණුවලට පවා මරණ දඬුවම ක්‍රියාත්මක විය. කතා කළේ තුවක්කුවෙන්ම පමණි. මේ තත්ත්වය ගැන විජේවීර කම්පාවට පත්ව සිටියේය. පහළ කමිටුවල පාලනය විජේවීරගෙන් ගිලිහී ගියේය. ලාල්කාන්ත කියූ ගමට අධිකරණ බලතල දීමේ ක්‍රියාවෙන් පසු වන්නේ එයමය. එය ලාල්කාන්තලාටවත් පාලනය කළ නොහැකි තත්ත්වයක් වනු ඇත.

ජවිපෙ පාලනයක් යටතේ මුල්ම ගැටුම ඇතිවන්නේ ශ්‍රී ලංකා පොලිසිය සමගය. පොලිසිය සමග සැඟවුණු වෛරයක් සහ ඇරියස් එකක් කවදත් ඇති බැවින් ජවිපෙ රජයක් යටතේ රතු හමුදා සෙබළුන් වීමට පෙරුම්පුරා බලා සිටි ජවිපෙ සාමාජිකයන් සහ පොලිසිය අතර මේ ගැටුම ඇතිවීම අනිවාර්යය. අද පවා ජවිපෙ රැස්වීම්වලට පොලිසියේ ආරක්ෂාව නොඉල්ලන බවත්, පොලිසියේ ආරක්ෂාව ගැන විශ්වාසය නොතබන බවත් ඔබගේ නිරීක්ෂණයට හසුවිය යුතුය.

දැනට තාවකාලිකව සඟවා ඇති ජවිපෙ සැබෑ ‘‘විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි’‘ ඔවුන්ගේ රජයක් යටතේ, මර්ධනීය ආයතනයක් වන පොලිසිය සහ හමුදාව වහාම විසුරුවා හරින බව පැහැදිලිව දක්වා තිබේ. (ජවිපෙ වෙබ් එක පරීක්ෂා කළ විට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සොයාගත හැකිය.) ජවිපෙ ‘මාලිමාව’ හැර අන් කවර පේක්ෂකයකු බලයට පත් වූවත් රටට මෙවැනි අවදානමක් අත් නොවෙයි. ඉදින් කුමන හේතුවකට හෝ මාලිමාවට රැවටී ඡන්දය දී ඔබ මෙවැනි අවදානමක් ගත යුතුද?

මාලිමා අපේක්ෂකයා හැර අන් සියල්ලෝ කටයුතු කරන්නේ ධනේෂ්වර හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලවය. ඔවුන්ගේ පාලනයක් යටතේ රෝම – ලන්දේසි නීතිය අනුව ඇති රටේ අධිකරණ බලතල හෝ පොලිසිය අක්‍රිය කොට නිෂ්ක්‍රීය නොකරයි. ජනතාවට අධිකරණයේ රැකවරණය සහ පොලිසියේ ආරක්ෂාව ලැබේ. (පාර්ලිමේන්තුව ගිනි තැබීමට ගොස් එසේ කර ගැනීමට බැරි වූ පක්ෂයක් එහි යෑමට සිතීම ගැන සිතන්න.)

එම නිසා එළඹෙන ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් 39 දෙනාගෙන් 34 දෙනකුම ඔබ කසළ ගොඩටම විසිකර දැමිය යුතුය. ඔවුන් වෙනුවෙන් එක ඡන්දයක් හෝ පාවිච්චි කිරීම අපරාධයකි.

ඉතිරි 5 දෙනාගෙන් රටේ පවතින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට, අධිකරණයට හා නීතියට, පොලිසියට සහ හමුදාවට, ජනතාවට වගකියන, බුදු සසුන අනතුරේ නොදමන, බෙදුම්වාදයට ඉඩ නොතබන, අන්තවාදීන් හා බෙදුම්වාදීන් සමග ගිවිසුම් ගසා නැති, අපේක්ෂකයකුට ඔබේ ඡන්දය දී ජාතිකත්ව බලවේගය ශක්තිමත් කිරීම ඔබ සැමගේ යුතුකම හා වගකීම බව අවධාරණය කොට සිටිමි.


Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link